Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

මාක් සැලුණේ නැහැ

මාක් සැලුණේ නැහැ

යේසුස් ගැන බයිබලයේ ලියලා තියෙන පොත් හතරෙන් එක පොතක් ලිව්වේ මාක්. ඒ පොත පොඩි නිසා කියවන්නත් ලේසියි. ඇත්තටම මාක් කවුද? ඔයා හිතන විදිහට එයා යේසුස්ව දැනගෙන ඉන්න ඇද්ද?— *අපි දැන් බලමු මාක්ට මූණ දෙන්න වුණේ මොන වගේ ප්‍රශ්නවලටද, ඒ වගේම එයා නොසැලී හිටියේ කොහොමද කියලා.

මාක්ගේ නම මුලින්ම බයිබලයේ සඳහන් වෙන්නේ හෙරෝද් අග්‍රිපා රජ පේතෘස්ව හිරගෙට දාපු වෙලාවේ. එක දවසක් රෑක දේවදූතයෙක් ඇවිත් හිරේ හිටපු පේතෘස්ව නිදහස් කළා. ඊට පස්සේ පේතෘස් ඉක්මනටම යෙරුසලමේ හිටපු මරියාගේ ගෙදරට ගියා. මරියා තමයි මාක්ගේ අම්මා. මේක වුණේ ක්‍රිස්තු වර්ෂ 33 පාස්කුවේ යේසුස් මැරුණු දවසේ ඉඳන් අවුරුදු 10ක් විතර ගත වුණාට පස්සෙයි.—ක්‍රියා 12:1-5, 11-17.

ඔයා දන්නවද පේතෘස් මරියගේ ගෙදර ගියේ ඇයි කියලා?— සමහරවිට මරියගේ පවුලේ අයව එයා දැනගෙන ඉන්න ඇති. ඒ වගේම යේසුස්ගේ ගෝලයන් එහේ රැස්වීම් පවත්වනවා කියලත් ආරංචි වෙන්න ඇති. ඒ වෙද්දී මාක්ගේ ඥාති සහෝදරයෙක් වූ බානබස් යේසුස්ගේ ගෝලයෙක් වෙලා හිටියා. සමහරවිට ඔහු ගෝලයෙක් වෙන්න ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ ඉඳලයි. බානබස් අලුතින් ගෝලයන් වූ අයට කළ යහපත් ක්‍රියාවන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. මේ හේතූන් නිසා යේසුස්, බානබස්වත් ඔහුගේ නෑයෙක් වුණු මරියාවත් ඇගේ පුතා වූ මාක්වත් දැනගෙන ඉන්න ඇති.—ක්‍රියා 4:36, 37; කොලොස්සි 4:10, 11.

යේසුව අත් අඩංගුවට ගත්තු රාත්‍රියේදී එතන හණ ඇඳුමක් ඇඳන් හිටපු තරුණයෙකුත් හිටියා කියලා මාක් වාර්තා කළා. සතුරන් ඇවිත් යේසුස්ව අල්ලගත්තම ඒ තරුණයා එතනින් පැනලා ගියා කියලත් මාක් කියනවා. ඔයා හිතන්නේ ඒ තරුණයා කවුරු කියලද?— ඔව් ඒ තමයි මාක්. එයා එතනට ගියේ කොහොමද? එදා රාත්‍රියේ යේසුයි එයාගේ ගෝලයනුයි ගෙදරින් පිටත් වුණා කියලා මාක් දැනගත්තා. එතකොට එයා ඉක්මනටම ඇඳුමක් ඇඳගෙන ඒ අය පිටිපස්සේ ගියා.—මාක් 14:51, 52.

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ දෙවිගේ බලය ගෝලයන්ට ලැබුණු වෙලේ මාකුත් එතන ඉන්න ඇති. පේතෘස් වගේ ඇදහිලිවන්ත අයව මාක් කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඒ වගේම ඔහුගේ ඥාතියෙක් වූ බානබස් එක්ක දේශනා කිරීම සඳහා ගිය සංචාරවලටත් හවුල් වුණා. බානබස් තමයි පාවුල්ව, පේතෘස්ට හඳුන්වලා දුන්නේ. එහෙම කළේ පාවුල්, යේසුස්ව දර්ශනයකින් දැකලා අවුරුදු තුනක් විතර ගියාට පස්සෙයි. පාවුල්ව හොයන්න බානබස්ව ටාසස්වලට යැව්වේ ඉන් හුඟ කාලයක් ගියාට පස්සෙයි.—ක්‍රියා 9:1-15, 27; 11:22-26; 12:25; ගලාති 1:18, 19.

ක්‍රිස්තු වර්ෂ 47දී පාවුල්ටයි බානබස්ටයි වෙන රටවලට ගිහින් දේශනා කරන්න පැවරුමක් ලැබුණා. ඉතින් ඒ දෙන්නා මාක්වත් එක්කන් ගියා. හැබැයි මොකක් හරි හේතුවක් නිසා මාක් ආයෙත් යෙරුසලමේ තිබුණු එයාගේ ගෙදරට ආවා. පාවුල්ට ඒ ගැන ගොඩක් කේන්ති ගියා. මාක් කරපු දේ ලොකු වරදක් විදිහටයි පාවුල් දැක්කේ.—ක්‍රියා 13:1-3, 9, 13.

කොහොමවුණත් තමන් කරපු සේවයෙන් හොඳ ප්‍රතිඵල ලැබුණා කියලා පාවුලුයි බානබසුයි කිව්වා. (ක්‍රියා 14:24-28) මාස කීපයකට පස්සේ ඒ දෙන්නා තීරණය කළා අලුතින් ගෝලයන් වුණු අයව ආපහු ගිහින් බලන්න ඕනේ කියලා. බානබස්ට ඕනෙ වුණා මාක්වත් ඒ ගමනට එක්කගෙන යන්න. හැබැයි ඔයා දන්නවද පාවුල් මොනවද හිතුවේ කියලා?—මාක් කලින් වතාවේ ගෙදර ගිය නිසා පාවුල් හිතුවා මාක් ඒ ගමන යන්න “වටින්නේ නැහැ කියලා.” ඊළඟට සිද්ධ වුණු දෙයින් නම් අනිවාර්යෙන්ම මාක්ට ගොඩක් දුක හිතෙන්න ඇති!

පාවුලුයි බානබසුයි අතරේ ලොකු වාදයක් ඇති වුණා. ඉතින් ඒ දෙන්නට හොඳටම කේන්ති ගිය නිසා ඒගොල්ලෝ වෙන් වුණා. බානබස්, මාක් එක්ක ගිහින් සයිප්‍රසයයේ දේශනා කළා. කලින් සැලසුම් කරපු විදිහට පාවුල් අලුත් ගෝලයන්ව බලන්න සීලස්ව එක්කගෙන ගියා. පාවුල් සහ බානබස් අතරේ ප්‍රශ්නයක් ඇති වුණේ තමා නිසා කියලා මාක්ට හිතෙද්දී එයාට කොච්චර දුකක් ඇති වෙන්න ඇද්ද?—ක්‍රියා 15:36-41.

මාක් කලින් වතාවේ ගෙදර ගියේ ඇයි කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒකට හොඳ හේතුවක් තියෙන්න ඇති. කොහොමවුණත් බානබස්ට ලොකු විශ්වාසයක් තිබුණා මාක් ආයෙත් එහෙම කරන එකක් නැහැ කියලා. මාක් නොසැලී දිගටම සේවය කරපු නිසා බානබස් හිතපු දේ හරි ගියා. කාලයක් ගියාට පස්සේ මාක්ට පුළුවන් වුණා පේතෘස් එක්ක දුර ඈත තිබුණු බැබිලෝනියට ගිහින් දේශනා සේවයේ හවුල් වෙන්න. පේතෘස් එහේ ඉඳන් එවපු සුභ පැතුම්වල මාක්ව ‘මගේ පුතා’ කියලා හඳුන්වලා තිබුණා.—1 පේතෘස් 5:13.

මාකුයි, පේතෘසුයි එකතු වෙලා දෙවිට සේවය කරද්දී ඒ දෙන්නා අතරේ මොන තරම් කිට්ටු බැඳීමක් ඇති වෙන්න ඇද්ද! මාක්ගේ වාර්තාව කියවද්දී අපිට ඒ ගැන හොඳින් පැහැදිලි වෙනවා. පේතෘස් යේසුස් එක්ක හිටපු කාලේ අද්දැකපු දේවල් මාක්ට කියපු නිසා ඒවා ඒ විදිහටම මාක් වාර්තා කළා. උදාහරණයකට ගලීල මුහුදේ ඇති වුණු කුණාටුව ගැන මාක් ලියලා තියෙන වාර්තාව බලන්න. ඒ සිද්ධියේදී බෝට්ටුවේ සිටි යේසුස් නිදාගෙන හිටියේ කොහේද, මොකක් උඩද කියලත් මාක් වාර්තා කරලා තියෙන්නේ පේතෘස් වගේ ධීවරයන් ඒ ගැන හිතන විදිහටමයි. මාක් වාර්තා කරලා තියෙන මේ සිද්ධිය අනිත් බයිබල් ලේඛකයන් වාර්තා කරලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න අපි මතෙව් 8:24; මාක් 4:37, 38 සහ ලූක් 8:23 කියවලා බලමු.

කාලයක් ගියාට පස්සේ පාවුල්ව රෝමයේදී අත්අඩංගුවට ගත්තා. මාක් තමන් වෙනුවෙන් කරපු දේවල් පාවුල් ගොඩක් අගය කළා. (කොලොස්සි 4:10, 11) ආයෙත් සැරයක් පාවුල්ව හිරේ දැම්මම ඔහු තිමෝතිට ලියලා ඇරියා මාක්ව එක්කගෙන එන්න, මොකද “දේවසේවයේදී ඔහු මට ප්‍රයෝජනවත්” වෙයි කියලා. (2 තිමෝති 4:11) මාක් සැලෙන්නේ නැතුව කටයුතු කරපු නිසා ඔහු මොන තරම් ආශීර්වාද ලැබුවද!

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙක් සමඟ නම් ඉරක් (—) යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.