Skip to content

පටුනට යන්න

දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි?

දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි?

පාඨකයන් අසයි

දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි?

මිනිසුන්ට දුක් වේදනාවන් ඇති කරන්නේ දෙවි කියා පවසන්න බැහැ. එයට හේතුව ‘සැබෑ දෙවි දුෂ්ටය කියා, කිව නොහැකි’ බව බයිබලයේ සඳහන් වීමයි. (යෝබ් 34:10, නව ලොව පරිවර්තනය) එසේනම් දුක් වේදනාවලට වගකිව යුතු ප්‍රධාන තැනැත්තා කවුද?

මුළු විශ්වයම පාලනය කිරීමට අයිතිය ඇත්තේ යෙහෝවා දෙවිටයි. ඔහු එම අයිතිය වෙන කිසිවෙකුටවත් පවරන්නේ නැහැ. නමුත් හොඳ හේතු ඇතුව යම් කාලෙකට මිනිසුන්ව පාලනය කිරීමට දෙවි සාතන්ට අවසර දී තිබෙනවා. (1 යොහන් 5:19) ඒ නිසයි යේසුස් සාතන් නමැති යක්ෂයාව “ලෝකයේ පාලකයා” ලෙස හැඳින්වූයේ.—යොහන් 14:30.

සාතන් මොන වගේ පාලකයෙක්ද? ඔහු මිනිසුන් සමඟ කතා කළ මුල්ම අවස්ථාවේ සිට මිනී මරන්නෙක් හා බොරුකාරයෙක් බවට පත් වුණා. හිතාගන්නවත් නොහැකි ආකාරයේ කුරිරු දේවල් සිදු වන්නේ සාතන් නිසයි. යේසුස් ඔහුට විරුද්ධව මෙවැනි දෙයක් පැවසුවා. “ඒ තැනැත්තා පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්ය. ඔහු තුළ සත්‍යය නැති හෙයින් ඔහු සත්‍යය තුළ ස්ථිරව සිටියේ නැත. ඔහු බොරු කියද්දී තමාගේම අදහස්වලට අනුව කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. බොරුවේ පියාය.” (යොහන් 8:44) තමාව මරන්න උත්සාහ කළ අයව යේසුස් හැඳින්වූයේ මුල්ම මිනීමරුවා වන සාතන්ගේ දරුවන් ලෙසයි. සාතන්ගේ ක්‍රියා අනුගමනය කිරීමෙන් ඔවුන් තමන්වම ඔහුගේ දරුවන් බවට පත් කරගත්තා.

අදටත් සාතන් උත්සාහ කරන්නේ මිනිසුන්ගේ සිත් තුළ මිනී මරු ආකල්ප ඇති කිරීමටයි. උදාහරණයකට වර්ෂ 1900 සිට 1987 දක්වා කාලය තුළ දේශපාලන ගැටුම්, වාර්ගික සමූලඝාතන, හා නිකරුණේ සිදු කළ මිනී මැරීම් නිසා මිනිස් ජීවිත දාසයකෝටි අනූ එක්ලක්ෂ අනූඅටදාහක් අහිමි වී තිබෙන බව එක්සත් ජනපදයේ හවායි විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහචාර්යවරයෙක් වූ ආර්.ජේ රමල් ගණන් බලා තිබෙනවා. නමුත් එම ගණනට එම කාල වකවානුවේදී යුද්ධය නිසා මිය ගිය මිලියන ගණන අයිති නැහැ.

දුක් වේදනාවන්ට වගකිව යුත්තේ දෙවි නෙවෙයි නම් ඔහු ඒවාට ඉඩහැර තිබෙන්නේ ඇයි? එයට හේතුව වසර ගණනාවකට පෙර හරි වැරැද්ද පිළිබඳව මුළු විශ්වයේ සිටින සියල්ලන්ටම බලපාන ප්‍රශ්න මතු කර තිබීම හා ඒවාට විසඳුම් ලබා දිය යුතුව තිබීමයි. එම ප්‍රශ්නවලින් එකක් ගැන අපි දැන් සලකා බලමු.

මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම ආදම් සහ ඒව කියා හැඳින්වූ මුල්ම මිනිස් යුවළ සාතන්ගේ පැත්ත ගත්තා. ඔවුන් දෙවිගේ පාලනය යටතේ සිටිනවා වෙනුවට හිතුමතේට ජීවත් වෙන්න පටන්ගත්තා. එසේ කිරීමෙන් ඔවුන් තෝරාගත්තේ යක්ෂයාගේ පාලනයයි.—උත්පත්ති 3:1-6; එළිදරව් 12:9.

යෙහෝවා යුක්තිසහගත දෙවි කෙනෙක් නිසා නිවැරදි පාලනය තෝරාගැනීම සඳහා අවශ්‍ය සාක්ෂි සොයා බැලීමට ඇති තරම් කාලය දුන්නා. ප්‍රතිඵලයක් ලෙස ඔප්පු වී තිබෙන්නේ සාතන්ගේ බලපෑම යටතේ සිදු කෙරෙන මිනිස් පාලනය දුක් වේදනාවලට මඟ පාදන බවයි. ඒ ප්‍රශ්න විසඳීමට දෙවි යම් කාලයක් ලබා දීමෙන් හොඳ ප්‍රතිඵල ලැබී තිබෙනවා. එමනිසයි දෙවිගේ පාලනය සුදුසුම එක බවට තිබෙන සාක්ෂි සොයා බලන අයට ඒවා විශ්වාස කරමින් එම පාලනයට යටත් වෙන්න තමන් කැමති බව පෙන්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ. දෙවිගේ ප්‍රතිපත්ති සොයා බලා ඒවා ජීවිතයට අදාළ කරගන්නා අයට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටිය හැකියි.—යොහන් 17:3; 1 යොහන් 2:17.

මුළු ලෝකයම සාතන්ගේ පාලනය යටතේ පවතින බව ඇත්තයි. නමුත් වැඩි කාලයකට නෙවෙයි. ළඟදීම යෙහෝවා දෙවි “යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම” සඳහා තම පුත් යේසුස්ව යොදාගන්නවා. (1 යොහන් 3:8) දෙවිගේ මඟ පෙන්වීම යටතේ ඔහු සියලුම දුක් වේදනාවලට නිමාවක් ගෙන ඒමට නියමිතයි. එමෙන්ම ඉතිහාසය පුරා දුක් විඳ මරණයට පත් වුණු බිලියන ගණනක් මිනිසුන්ව ඔහු නැවත නැඟිටුවනවා.—යොහන් 11:25.

යේසුස්ව නැවත නැඟිටුවීමෙන් ඔප්පු වන්නේ දෙවිට සාතන්ගේ ක්‍රියා පරාජය කළ හැකි බවයි. එමගින් දෙවිගේ පාලනයට පක්ෂව සිටින අයට ලැබෙන්න යන දේ ගැන සහතිකයක්ද ලබා දෙනවා. (ක්‍රියා 17:31) අනාගතයේදී පැමිණීමට නියමිත ප්‍රීතිමත් කාලය ගැන බයිබලයේ මෙසේ සඳහන් වී තිබෙනවා. “දෙවිම [මිනිසුන්] සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:3, 4.