Skip to content

පටුනට යන්න

ලූක් පොතෙන් විශේෂාංග

ලූක් පොතෙන් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

ලූක් පොතෙන් විශේෂාංග

මතෙව් පොත මූලිකවම ලියා ඇත්තේ යුදෙව්වන් වෙනුවෙන් බවත් මාක් පොත යුදෙව් නොවන්නන් වෙනුවෙන් බවත් පැහැදිලියි. කෙසේනමුත් ලූක් සුවිශේෂය ලියා තිබෙන්නේ සියලුම ජාතීන්ට අයත් ජනයාව අරමුණු කරගෙනයි. ක්‍රිස්තු වර්ෂ 56-58 දක්වා කාලයේදී ලූක් විසින් වාර්තා කර ඇති තොරතුරුවලින් යේසුස්ගේ ජීවිතය සහ දේවසේවය ගැන පුළුල් අවබෝධයක් ලබන්න අපට හැකියි.

ඉතාමත් සැලකිලිමත් මෙන්ම දක්ෂ වෛද්‍යවරයෙක් වූ ලූක් තම සුවිශේෂයට තොරතුරු ලබාගෙන තිබෙන්නේ “සියල්ල මුල පටන් නිවැරදිව” සලකා බැලීමෙන් පසුවයි. එහි ක්‍රිස්තු පූර්ව 3 සිට ක්‍රි.ව. 33 දක්වා, එනම් අවුරුදු 35ක් පුරා සිදු වූ සිද්ධීන් වාර්තා වී තිබෙනවා. (ලූක් 1:3) එමෙන්ම අනෙකුත් සුවිශේෂවල සඳහන් වී නැති තොරතුරු බොහෝමයක්ද (සියයට 60ක් පමණ) ඔහුගේ සුවිශේෂයේ අඩංගුයි.

දේවසේවයේ මුල් සිදුවීම්

(ලූක් 1:1–9:62)

ලූක්, යොහන් බව්තීස්තගේ සහ යේසුස්ගේ උපත ගැන තොරතුරු වාර්තා කිරීමෙන් පසුව යොහන් තම සේවය ආරම්භ කළ වර්ෂය සඳහන් කර තිබෙනවා. ඒ ටයිබීරියස් සීසර්ගේ පාලන සමයේ 15වෙනි අවුරුද්ද හෙවත් ක්‍රි.ව. 29 මුල් කාලයයි. (ලූක් 3:1, 2) යේසුස් බව්තීස්ම වූයේද එම වර්ෂයේම අගභාගයේදීයි. (ලූක් 3:21, 22) එමෙන්ම ක්‍රි.ව. 30දී ‘යේසුස් නැවතත් ගලීලයට පැමිණ එහි සිනගෝගවල උගන්වන්න පටන්ගත්’ බවත් ලූක් පවසනවා.—ලූක් 4:14, 15.

යේසුස් ගලීලයෙන් තම ප්‍රථම දේශනා සංචාරය ආරම්භ කළ අතර රැස්ව සිටි ජනයාට මෙසේ පැවසුවා. “මා වෙනත් නුවරවලදීත් දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කළ යුතුය.” (ලූක් 4:43) මෙම සංචාරය සඳහා යේසුස් සමඟ හවුල් වීමට ධීවරයෙක් වූ සීමොන්වත් තවත් කිහිපදෙනෙක්වත් ඔහු කැඳවාගත් අතර “මෙතැන් පටන් ඔබ මිනිසුන්ව පණ පිටින් අල්ලන්නෙහිය” කියා ඔවුන්ට පැවසුවා. (ලූක් 5:1-11; මතෙ. 4:18, 19) යේසුස් ගලීලයේ කළ දෙවන සංචාරයේදී ඔහුගේ මුල් ගෝලයන් 12දෙනා ඔහු සමඟ සිටියා. (ලූක් 8:1) ඔහුගේ තුන්වන සංචාරයේදී යේසුස් තම ගෝලයන් 12දෙනාව “දෙවිගේ රාජ්‍යය දේශනා කිරීමට හා රෝගීන්ව සුව කිරීමට” පිටත් කර හැරියා.—ලූක් 9:1, 2.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

1:35—පාපය උරුම කරගත් ස්ත්‍රියක් වූ මරියා යේසුස්ව පිළිසිඳගත් විට ඇගේ ඩිම්බ සෛල ඊට සම්බන්ධ වුණාද? ඔව්. මරියාගේ ආදිපියවරුන් වන ආබ්‍රහම්, යූදා හා දාවිත්ට දෙවි පොරොන්දු වූ ලෙස මෙම දරුවා ඔවුන්ගේම පෙළපතින් පැමිණීමට නම් එය එසේ විය යුතුයි. (උත්. 22:15, 18; 49:10; 2 සාමු. 7:8, 16) මෙහිදී යෙහෝවා දෙවි යේසුස්ගේ පරිපූර්ණ ජීවිතය මරියාගේ ගර්භාෂය තුළට මාරු කළේ ඔහුගේ බලය මාර්ගයෙන් බව අප මතක තබාගත යුතුයි. (මතෙ. 1:18) පෙනෙන විදියට එහිදී මරියාගේ ඩිම්බ සෛලවල තිබූ අසම්පූර්ණත්වය මැකී ගිය අතර යේසුස්ව පිළිසිඳගත් මොහොතේ පටන්ම එය වර්ධනය වුණේ පරිපූර්ණ කළලයක් හැටියටයි.

1:62—සෙකරියාට කතා කිරීමේ මෙන්ම ඇසීමේ හැකියාවත් අහිමි වුණාද? නැහැ. ඔහුට අහිමි වුණේ කතා කිරීමේ හැකියාව පමණයි. ඔවුන්ගේ දරුවාට තැබිය යුතු නම ගැන සෙසු අය “සංඥා මාර්ගයෙන්” ඔහුගෙන් විමසුවේ ඔහු බිහිරි පුද්ගලයෙක් වූ නිසා නොවෙයි. තම දරුවාට තැබිය යුතු නම ගැන ඔහුගේ භාර්යාව පවසනවා ඔහුට ඇසුණා කියා සිතන්න පුළුවන්. එමෙන්ම ඔහු නැවතත් ‘කතා කරන්න පටන්ගත්තා’ කියා බයිබලයේ සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ ඔහුට අහිමිව තිබුණේ කතා කිරීමේ හැකියාව පමණක් බවයි.—ලූක් 1:13, 18-20, 60-64.

2:1, 2—“පළමුවන ලියාපදිංචි කිරීම මෙය විය” යන ප්‍රකාශය යේසුස්ගේ උපත සිදු වූ කාලය තීරණය කිරීමට උපකාරවත් වන්නේ කෙසේද? සීසර් ඔගස්ටස්ගේ පාලන කාලයේදී ලියාපදිංචි කිරීම කිහිප විටක්ම සිදු වුණා. එහි පළමුවැන්න ක්‍රි.පූ. 2දී සිදු වුණා. ඒ, දානියෙල් 11:20හි ඉටුවීමක් හැටියටයි. එමෙන්ම දෙවැන්න ක්‍රි.ව. 6දී හෝ 7දී සිදු වුණා. (ක්‍රියා 5:37) එම ලියාපදිංචි කිරීමේ අවස්ථා දෙකේදීම සිරියාවේ රෝම ආණ්ඩුකාරයා හැටියට කටයුතු කළේ කිරිනියස් නම් තැනැත්තායි. පෙනෙන ආකාරයට ඔහු එම තනතුර දෙවරක් දරා තිබෙනවා. ඒ අනුව ලූක් සඳහන් කරන ලියාපදිංචි කිරීම සිදු වූයේ ක්‍රි.පූ. 2දීයි. ඉන් පැහැදිලි වන්නේ යේසුස් ඉපදුණේ එම වර්ෂයේ බවයි.

2:35—“දිග කඩුවක්” මරියාව පසාරු කරගෙන යනවා කීමෙන් අදහස් කළේ කුමක්ද? මින් අදහස් කළේ එදා සිටි අයගෙන් බොහෝදෙනෙක් ගැලවුම්කරු හැටියට යේසුස්ව පිළි නොගැනීම හේතුවෙන් මරියාට දැනෙන වේදනාව සහ යේසුස් ඉතා කුරිරු මරණයකට මුහුණ දෙන විට ඇයට දැනෙන දැඩි ශෝකයයි.—යොහ. 19:25.

9:27, 28—තමා රාජ්‍ය බලයෙන් යුක්තව පැමිණෙනවා දකින්න පළමුවෙන් යේසුස් සමඟ සිටි සමහර ගෝලයන් “කිසිසේත් මරණ රසය අද්දකින්නේ නැත” කියා ඔහු පොරොන්දු වුණා. මතෙව් සහ මාක් පවසන්නේ යේසුස් අන් ස්වරූපයකට පත් වුණේ එම පොරොන්දුව දී ‘දවස් හයකට පසුව’ කියායි. නමුත් ලූක් පවසන්නේ එය සිදු වූයේ “දවස් අටකට” පසුව කියායි. ඊට හේතුව කුමක්ද? (මතෙ. 17:1; මාක් 9:2) පෙනෙන විදිහට ලූක් මෙහිදී යේසුස් එම පොරොන්දුව දුන් දවස හා ඔහු අන් ස්වරූපයකට පත් වූ දවස යන දවස් දෙකත් ඊට එකතු කර තිබෙනවා.

9:49, 50—තමන්ගේ අනුගාමිකයෙක් නොවූ එක් මිනිසෙක් භූතයන් දුරු කරනවා කියා යේසුස්ට අසන්න ලැබුණු අවස්ථාවේදී යේසුස් ඔහුව ඉන් වැළැක්වූයේ නැත්තේ ඇයි? ඒ කාලය වන විට ක්‍රිස්තියානි සභාව පිහිටුවා තිබුණේ නැහැ. ඒ වගේම යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබීමට සහ ඔහුගේ නාමයෙන් භූතයන්ව දුරු කිරීම සඳහා ඔහු තමා යන යන තැන තමා සමඟ යා යුතුයි කියා යේසුස් බලාපොරොත්තු වුණේ නැහැ.—මාක් 9:38-40.

අපට ගත හැකි පාඩම්:

1:32, 33; 2:19, 51යේසුස් පිළිබඳව ඉටු වූ අනාවැකි පිළිබඳ සියලුම තොරතුරු මරියා ඇගේ සිතේ තබාගෙන සිටියා. අපිත් ඒ හා සමානව යේසුස් “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” තුළ සිදු වන බවට පැවසූ දේවල් අද අපි ජීවත් වන කාලයේ සිදු වන දේවල් සමඟ සැසඳීමෙන් ඒ ගැන මතකයේ තබාගෙන විමසිල්ලෙන් සිටිනවාද?—මතෙ. 24:3.

2:37. ආනා ඇගේ ජීවිතය ගත කළ ආකාරයෙන් අප ඉගෙනගන්නේ අපත් යෙහෝවා දෙවිට දිගටම පක්ෂපාත වෙමින් “නොකඩවා යාච්ඤා” කළ යුතු බවයි. එමෙන්ම අපත් ‘අපේ රැස්වීම අත් නෑර, එකිනෙකාව දිරිගැන්වීම’ සඳහා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගී විය යුතුයි.—රෝම 12:12; හෙබ්‍රෙ. 10:24, 25.

2:41-50. යෝසෙප් දෙවිට කරන නමස්කාරය හා සම්බන්ධ කාරණාවලට මුල් තැන දුන්නා. එමෙන්ම ඔහු තම පවුලේ අයගේ ශාරීරික අවශ්‍යතාවන් මෙන්ම දෙවි සමඟ ඔවුන්ගේ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට අවශ්‍ය උපකාර සැපයීමටද වගබලා ගත්තා. මේ අනුව ඔහු පවුල් මූලිකයන්ට කදිම ආදර්ශයක් තබනවා.

4:4. දෙවිගේ වචනය කියවීම හෝ දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය ශක්තිමත් කරන යම් ක්‍රියාවල සෑම දවසකම නියැලීමට අදිටන් කරගැනීම වැදගත්.

6:40. දෙවිගේ වචනය අන් අයට උගන්වන කෙනෙක් හොඳ ආදර්ශයක් තැබිය යුතු අතර තමාද උගන්වන දේට අනුව කටයුතු කරන බව ක්‍රියාවෙන් පෙන්විය යුතුයි.

8:15. දේවවචනය “සිතෙහි තබාගෙන විඳදරාගනිමින් පල දරන අය” වීමට නම් අපි එහි අඩංගු දේ තේරුම්ගැනීමත් අගය කිරීමත් එය හොඳින් සිතට ගැනීමත් අවශ්‍යයි. බයිබලය කියවීමේදී මෙන්ම බයිබලය මත පදනම් ප්‍රකාශන කියවීමේදීද යාච්ඤාපූර්වකව ඒවා ගැන මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි.

යේසුස්ගේ පසුකාලීන දේවසේවය

(ලූක් 10:1–24:53)

යේසුස් තමාට කලින් යුදයේ වෙනත් ප්‍රදේශවලට හා නගරවලට තවත් හැත්තෑදෙනෙකුව පිටත් කර හැරියා. (ලූක් 10:1) ඔහු ‘නුවරින් නුවරටත් ගමින් ගමටත් යමින් ඒවායෙහි ඉගැන්නුවා.’—ලූක් 13:22.

ක්‍රිස්තු වර්ෂ 33 පාස්කු මංගල්‍යයට දින පහකට පෙර යේසුස් යෙරුසලමට බූරුවෙකු පිටින් පැමිණියා. යේසුස් තම ගෝලයන්ට කලින් පවසා තිබූ ලෙස “මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නත් වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ ලියන්නන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ මරනු ලබන්නත්, තුන්වන දින නැඟිටුවනු ලබන්නත් යුතුය” යන වචන ඉෂ්ට වීම සඳහා කාලය ළං වී තිබුණා.—ලූක් 9:22, 44.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

10:18—“විදුලියක් අහසෙන් පහතට වැටෙන්නාක් මෙන් සාතන් මේ වන විටත් ස්වර්ගයෙන් පහතට වැටී සිටිනවා මට පෙනුණේය” කියා යේසුස් තම ගෝලයන් 70දෙනාට පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? යේසුස් ඉන් අදහස් කළේ ඒ වන විටත් සාතන්ව ස්වර්ගයෙන් නෙරපා දමා තිබුණු බව නෙවෙයි. ඊට හේතුව එය සිදු වුණේ යේසුස් 1914දී ස්වර්ගයේ රජ වී ටික කාලයක් ගත වූවාට පසුවයි. (එළි. 12:1-10) අනාගතයේදී සිදුවීමට නියමිත දෙයක් ඒ වන විටත් සිදු වී තිබූ බවක් යේසුස් පැවසුවා කියා අපට ස්ථිරවම කිව නොහැකියි. නමුත් ඔහු එසේ පැවසීමෙන් අදහස් කරන්න ඇත්තේ අනාගතයේදී එය අනිවාර්යයෙන්ම සිදු වන බව තහවුරු කිරීමට විය හැකියි.

14:26—යේසුස්ගේ අනුගාමිකයන් තමන්ගේ පවුලේ අයට “වෛර” විය යුත්තේ කුමන අර්ථයෙන්ද? බයිබලයේ “වෛර” කිරීම යන වචනය, යම් කෙනෙකුට හෝ යම් දෙයකට වඩා අඩුවෙන් තවත් කෙනෙකුට හෝ දෙයකට ප්‍රේම කිරීම යන්න ඇඟවීමටත් යොදාගන්නවා. (උත්. 29:30, 31) එමනිසා ක්‍රිස්තියානීන් තම පවුලේ අයට “වෛර” කළ යුතුයි යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් පවුලේ අයට වඩා යේසුස්ට ප්‍රේම කළ යුතු බවයි.—මතෙ. 10:37.

17:34-37—මෙහි සඳහන් “රාජාලීන්” කවුද? එමෙන්ම ඔවුන් රැස්වෙන “මෘත දේහය” කුමක්ද? දූරදර්ශී රාජාලීන්ව සමාන කර තිබෙන්නේ “ගෙන යනු ලබන” අය හෙවත් ගැලවීම ලබන අයටයි. ඔවුන් රැස්වෙන ‘මෘත දේහයට’ අදෘශ්‍යමාන ලෙස යේසුස්ගේ පැමිණ සිටීමත් ගැලවීම ලබන අයගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට දෙවි සපයන ආහාරත් ඇතුළත් වෙනවා.—මතෙ. 24:28.

22:44—යේසුස්ට දැඩි සිත් වේදනාවකට මුහුණ දීමට සිදු වූයේ ඇයි? මෙයට හේතු කිහිපයක් තිබෙනවා. එක හේතුවක් නම් ඔහු අපරාධකරුවෙක් ලෙස මිය යෑම යෙහෝවා දෙවිට සහ ඔහුගේ නාමයට බලපාන ආකාරය ගැන යේසුස් සැලකිලිමත් වූ නිසයි. එමෙන්ම ඔහුගේ සදාකාලික ජීවිතය මෙන්ම මුළු මිනිස් වර්ගයාගේම සදාකාලික ජීවිත රඳා පවතින්නේ ඔහු දෙවිට දක්වන පක්ෂපාතකම මත යන කාරණයත් ඔහු දැනගෙන සිටියා.

23:44—පැය තුනක ඝන අන්ධකාරයක් පැවතුණේ සූර්ය ග්‍රහණයක් සිදු වූ නිසාද? නැහැ. සාමාන්‍යයෙන් සූර්ය ග්‍රහණයක් සිදු වෙන්නේ නව සඳ දැකීමට තිබෙන කාලයේදී මිස පුර සඳ තිබෙන කාලයේදී නොවෙයි. නමුත් පාස්කු කාලය පුර සඳ තිබෙන කාලයක් නිසා එය සූර්ය ග්‍රහණයක් විය නොහැකියි. එය දෙවි විසින්ම සිදු කළ ආශ්චර්යයක්.

අපට ගත හැකි පාඩම්:

11:1-4. මෙහි සඳහන් යාච්ඤාව යේසුස් මීට මාස 18කට පමණ පෙර කන්ද උඩ දේශනාවේදී කියා දුන් ආදර්ශ යාච්ඤාවට වඩා ටිකක් වෙනස්. මෙයින් පෙනී යන්නේ අප යාච්ඤා කිරීමේදී කටපාඩමින් එකම දේ නැවත නැවත කීම නුසුදුසු බවයි.—මතෙ. 6:9-13.

11:5, 13. යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට පිළිතුරු දීමට කැමැත්තෙන් සිටියත් අපි නොකඩවාම ඉල්ලිය යුතුයි.—1 යොහ. 5:14.

11:27, 28. කෙනෙකුට සැබෑ ප්‍රීතිය ලැබෙන්නේ පවුල් සම්බන්ධතා හෝ ද්‍රව්‍යමය දේවලින් නොව විශ්වාසවන්තව දේවකැමැත්ත කිරීමෙනුයි.

11:41. අප පරිත්‍යාග කළ යුත්තේ ප්‍රේමයෙන් සහ කැමැත්තෙන්ම පෙලඹුණු හෘදයකිනුයි.

12:47, 48. නිසි අවබෝධයක් නැතිකම නිසා තම වගකීම හරි හැටි ඉෂ්ට නොකරන පුද්ගලයාට වඩා තමාගේ වගකීම ගැන හොඳ අවබෝධයක් තිබියදීත් එය පැහැරහරින පුද්ගලයා වැරදිකාරයෙක් වෙනවා.

14:28, 29. තමන්ගේ ආදායමේ හැටියට වියදම් කරන්නා ඥානවන්තයෙක්.

22:36-38. යේසුස් තම ගෝලයන්ට ආරක්ෂාව සඳහා ආයුධයක් රැගෙන යෑමට පැවසුවේ නැහැ. කෙසේවෙතත් යේසුස්ව අත්අඩංගුවට ගත් රාත්‍රියේදී ඔහුගේ ගෝලයන් ළඟ කඩු තිබුණා. යේසුස් මේ අවස්ථාවේදී ඉන් ඔවුන්ට කදිම පාඩමක් ඉගැන්නුවා. එනම් “කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නේය” යන්නයි.—මතෙ. 26:52.

[31වන පිටුවේ පින්තූරය]

පවුලේ මුලිකයා ලෙස යෝසෙප් කදිම ආදර්ශයක් තැබුවා

[32වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ ජීවිතය හා ඔහුගේ දේවසේවය ගැන වැඩිම තොරතුරු සැපයුවේ ලූක්