Skip to content

පටුනට යන්න

අපට සැලකිල්ල දක්වන කෙනෙක්

අපට සැලකිල්ල දක්වන කෙනෙක්

දෙවිට ළං වෙන්න

අපට සැලකිල්ල දක්වන කෙනෙක්

ලූක් 12:6, 7

‘අපේ සිත් අපිටම දොස් නැඟිය’ හැකි බව බයිබලයේ සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ දෙවිගේ ප්‍රේමය හා සැලකිල්ල ලබන්න තරම් අපි වටින්නේ නැහැ කියා අපට සිතෙන්න පුළුවන් බවයි. නමුත් “දෙවි අපේ සිත්වලට වඩා උතුම් වන අතර, ඔහු සියලු දේ දන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 3:19, 20) අපි අපවම අවතක්සේරු කරගත්තත් යෙහෝවා දෙවිට අපිව වටිනවා. අපිටත් වඩා හොඳින් ඔහු අපි ගැන දන්නවා. ඔහුට අප ගැන හැඟෙන්නේ කොහොමද? එය තේරුම්ගැනීමට අවස්ථා දෙකකදී යේසුස් පැවසූ නිදර්ශනයක් සලකා බලන්න.

“ගේ කුරුල්ලන් දෙදෙනෙකු සුළු මුදලකට විකුණනවා නොවේද” කියා එක් අවස්ථාවක යේසුස් ඇසුවා. (මතෙව් 10:29, 31) එමෙන්ම ලූක් 12:6, 7ට අනුව ඔහු මෙවැන්නක්ද පැවසුවා. “ගේ කුරුල්ලන් පස්දෙනෙකු සුළු වටිනාකමක් ඇති කාසි දෙකකට විකුණනවා නොවේද? එහෙත් උන්ගෙන් එකෙකුවත් දෙවි අමතක කරන්නේ නැත. . . . බිය නොවන්න. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය.” මේ සරල නිදර්ශනයෙන් යේසුස් ඉතා ප්‍රබලව කාවද්දන්නේ තමාට සේවය කරන අයව දෙවි කොතරම් වටිනා අය ලෙස සලකනවාද යන්නයි.

යේසුස්ගේ කාලයේදී ආහාරයට ගත් සියලුම කුරුල්ලන්ගෙන් ලාභම කුරුල්ලන් වුණේ ගේ කුරුල්ලනුයි. තමාගේම මව ඇතුළු දිලිඳු ස්ත්‍රීන් ආහාර සඳහා මේ කුරුල්ලන්ව මිල දී ගන්නවා යේසුස් දකින්න ඇති. ඒ කාලයේදී භාවිත කළ අසේරියන් කාසියකින් ගේ කුරුල්ලන් දෙන්නෙකුව මිලට ගන්න පුළුවන් වුණා. උන්ගේ වටිනාකම කොතරම් අඩුද කියනවා නම් අසේරියන් කාසි දෙකක් දුන්නොත් ගේ කුරුල්ලන් පස්දෙනෙක්ම ලැබුණා.

යෙහෝවා දෙවි එක ගේ කරුල්ලෙකුවත් ‘අමතක කරන්නේ නැහැ’ කියාත් උන්ගෙන් එකෙකුවත් ‘දෙවි නොදැනුවත්ව බිමට වැටෙන්නේ නැහැ’ කියාත් යේසුස් පැවසුවා. (මතෙව් 10:29) අනතුරක් නිසා ගේ කුරුල්ලෙක් බිමට වැටුණත් කෑම සොයා ඌ බිමට ආවත් යෙහෝවා දෙවි ඒ බව දන්නවා. මේ කුරුල්ලන් එච්චර විටින්නේ නැහැ කියලා හිතුණත් තමා නිර්මාණය කරපු මේ කුරුල්ලන්ව යෙහෝවා දෙවි නම් කවදාවත් අමතක කරන්නේ නැහැ. දෙවිට එම කුරුල්ලන්ව බොහෝසෙයින් වටිනවා. මෙයින් යේසුස් උගන්වන්න උත්සාහ කළ පාඩම කුමක්ද?

බොහෝ අවස්ථාවන්වලදී යේසුස් සරල උපහැරණ යොදාගෙන ඉතා ප්‍රබල පාඩම් ඉගැන්නුවා. උදාහරණයකට ඔහු පැවසූ මේ දේ සලකා බලන්න. “කපුටන් බීජ වපුරන්නේ හෝ අස්වැන්න නෙළාගන්නේ හෝ නැති බවත්, උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැති බවත් හොඳින් සිහියට ගන්න. එහෙත් දෙවි උන්ව පෝෂණය කරන්නේය. ඔබ කුරුල්ලන්ට වඩා කොපමණ වටිනවාද!” (ලූක් 12:24) ගේ කුරුල්ලන් යොදාගෙන යේසුස් උගන්වන්න හදපු පාඩම දැන් වඩාත් හොඳින් තේරුම්ගන්න පුළුවන්. මේ කුඩා කුරුල්ලන් ගැන යෙහෝවා දෙවි සැලකිලිමත් වෙනවා නම් ඔහුට ප්‍රේම කරමින් නමස්කාර කරන අය ගැන ඔහු ඊටත් වඩා කොපමණ වැඩියෙන් සැලකිලිමත් වෙයිද!

යේසුස්ගේ වදන්වලට අනුව බලන කල “අපේ සිත්වලට වඩා උතුම්” වන යෙහෝවා දෙවිගේ ප්‍රේමය හා සැලකිල්ල ලබන්න තරම් අපි නොවටිනා බව සිතන්න කිසිම හේතුවක් නැහැ. අපි ගැන අපි නොදන්න දේවල් අපිව නිර්මාණය කළ යෙහෝවා දෙවි දන්න බව දැන සිටීම මොන තරම් ලොකු සහනයක්ද!

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Sparrows: © ARCO/​D. Usher/​age fotostock