Skip to content

පටුනට යන්න

දෙවිගේ අතිමහත් බලය කියාපාන තාරකාවන්

දෙවිගේ අතිමහත් බලය කියාපාන තාරකාවන්

දෙවිගේ අතිමහත් බලය කියාපාන තාරකාවන්

“අහස දෙස බලන්න. මේවා මැව්වේ කවුද? ඒ අන් කිසිවෙකු නොව සේනාවක් බඳු තාරකාවන්ට නමින් කතා කිරීමටත් ඒ සියල්ල ගණන් කිරීමටත් හැකි තැනැත්තාණෝය. ඔහු සතු අති මහත් බලයත් ශක්තියත් නිසා සෑම තරුවක් ගැනම ඔහු හොඳින් දනියි.”—යෙසායා 40:26, නව ලොව පරිවර්තනය, NW.

අනිකුත් තාරකාවන් හා සසඳද්දී අපේ සූර්යයා සාමාන්‍ය ප්‍රමාණයේ තාරකාවක්. ඒ වුණත් පෘථිවියට වඩා එය 3,30,000 වාරයක් විශාලයි. පෘථිවිය අසලින් පිහිටි වෙනත් තාරකාවලින් වැඩි හරියක් සූර්යයාට වඩා කුඩායි. නමුත් V382 සිග්නි නම් තාරකාව සූර්යයාට වඩා 27 වාරයක් පමණ විශාලයි.

සූර්යයා මොන තරම් තාප ශක්තියක් පිට කරනවාද? යම් විශාල ගින්නක් සිදු වූ ස්ථානයක සිට කිලෝමීටර් දහයක් ඈතින් සිටිද්දී පවා එම ගින්නේ රස්නය දැනෙනවා නම් එය කොතරම් විශාල ගින්නක් විය යුතුද? සූර්යයා පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට කිලෝමීටර් කෝටි 15ක් පමණ ඈතින්. ඒ වුණත් තදින් හිරු රශ්මිය දැනෙන දිනක මිනිසුන්ගේ සමට එය අහිතකර ලෙස බලපෑ හැකියි. එසේනම් එය මොන තරම් තාප ශක්තියක් පිට කරනවා විය යුතුද? සූර්යයා නිපදවන මුළු තාප ශක්තියෙන් සිය කෝටියකිනුත් එකක් පමණ ප්‍රමාණයකුයි (බිලියනයකින් එකයි) පොළොවට පතිත වන්නේ. නමුත් සෑම ජීවියෙකුටම එය ප්‍රමාණවත්.

සූර්යයා නිකුත් කරන මුළු ශක්ති ප්‍රමාණය පෘථිවිය මෙන් තවත් ග්‍රහලෝක කෝටි ලක්ෂ 31ක් පමණ (ට්‍රිලියන 31) පවත්වාගැනීමට ප්‍රමාණවත්. එය මේ ආකාරයට පැහැදිලි කළ හැකියි. එක්සත් ජනපදයේ “දැන් භාවිත වන ශක්ති ප්‍රමාණය අනුව ගණන් බලන විට” සූර්යයා නිකුත් කරන මුළු තාප ශක්තිය එක තත්පරයකට පමණක් එකතු කරගතහොත් එම රටේ “ඊළඟ වසර 90,00,000ටම එය ප්‍රමාණවත්” කියා එක් වෙබ් අඩවියක සඳහන් වුණා.—Space Weather Prediction Center.

සූර්යයාගේ මේ විශාල ශක්ති ප්‍රමාණය නිපදවෙන්නේ එහි අභ්‍යන්තරයෙන්. න්‍යෂ්ටික බලාගාරයක සිදු වෙනවා හා සමාන ක්‍රියාවලියක් සූර්යයා තුළ සිදු වීමෙනුයි ශක්තිය නිපදවෙන්නේ. සූර්යයා ඉතා විශාල නිසාත් එහි අභ්‍යන්තරයේ ඝනත්වය ඉතා වැඩි නිසාත් සූර්යයා තුළ නිපදවෙන තාප ශක්තිය මතුපිටට පැමිණෙන්න වසර කෝටි ගණනක් ගත වෙනවා. “සූර්යයා අද දින සිය ශක්තිය නිපදවීම නතර කළහොත් එහි ප්‍රතිඵල පෘථිවියට අද්දකින්න ලැබෙන්නේ වසර 5,00,00,000ට පසුවයි” කියා එම වෙබ් අඩවියේම සඳහන් වුණා.

මේ ගැනත් සිතා බලන්න. පැහැදිලි රාත්‍රියක ඔබට අහසේ තාරකා දසදහස් ගණනක් පෙනෙයි. ඒ හැම තාරකාවක්ම සූර්යයා මෙන් ප්‍රබලයි. විද්‍යාඥයන් පවසන පරිදි අපේ විශ්වයේ එවන් තාරකා කෝටි ගණනක් තිබෙනවා.

මේ තාරකා සියල්ල පැමිණියේ කොහෙන්ද? වසර කෝටි 140කට කලින් සියල්ල එකපාරටම බිහි වුණේ කෙසේද කියා පර්යේෂකයන්ට තේරුම්ගන්න බැහැ. නමුත් බයිබලයේ ඉතා සරලව පවසන්නේ “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියායි. (උත්පත්ති 1:1NW) මෙවන් තාරකා නිර්මාණය කළ දෙවිට ‘අතිමහත් බලයක්’ තිබෙන බව නොඅනුමානයි.—යෙසායා 40:26NW.

දෙවි තම බලය යොදාගන්නා අයුරු

තම කැමැත්ත කරන අයට දෙවි උපකාර කරනවා. උදාහරණයකට දෙවි ගැන අන්‍යයන්ට උගන්වන්න පාවුල් කැපවීමෙන් වැඩ කළා. ඔහුත් අපි වගේම සාමාන්‍ය කෙනෙක්. දැඩි විරුද්ධවාදිකම් මැද පවා යහපත් ක්‍රියා කරන්න ඔහු පසුබට වුණේ නැහැ. පාවුල්ට එය කළ හැකි වුණේ කෙසේද? ඒ ගැන ඔහුම පැවසුවේ තමාට දෙවිගෙන් “සාමාන්‍යය ඉක්මවූ බලය” ලැබුණු බවයි.—2 කොරින්ති 4:7-9.

සදාචාරය සම්බන්ධයෙන් දෙවි දී තිබෙන ප්‍රමිති හිතාමතාම කඩ කරන අයව විනාශ කිරීමටත් දෙවි තම බලය යොදාගන්නවා. උදාහරණයකට සොදොම් හා ගොමෝරා නගර දෙක විනාශ කිරීමෙන් සහ නෝවාගේ කාලයේ විශාල ජලගැල්මක් ගෙන ඒමෙන් දෙවි දුෂ්ටයන්ව විනාශ කළ ආකාරය යේසුස් පෙන්වා දුන්නා. ඉදිරියේදීත් දෙවි තම බලය යොදාගෙන ඔහුගේ ප්‍රමිති උල්ලංගනය කරන අයව විනාශ කරන බවට යේසුස් අනාවැකි පැවසුවා.—මතෙව් 24:3, 37-39; ලූක් 17:26-30.

ඔබ ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

තාරකාවලින් දිස්වෙන දෙවිගේ අතිමහත් බලය ගැන කල්පනා කිරීමෙන් පසු දාවිත්ට හැඟුණු මේ දේම ඔබටත් හැඟෙයි. “ඔබේ දෑත්වලින් නිම කළ ඔබේ අහස් තලය දෙසද, ඔබ සෑදු සඳ හා තාරකා දෙසද මා බලන විට, ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද? ඔබේ රැකවරණය ලැබීමට තරම් මනුෂ්‍ය පුත්‍රයා වටින්නේද?”—ගීතාවලිය 8:3, 4NW.

විශ්වය හා සසඳද්දී අපි කොතරම් කුඩාද කියා අපට හැඟෙනවා. නමුත් අතිමහත් බලයක් සතු දෙවිට අපව වටින්නේ නැහැ කියා කෙදිනකවත් සිතිය යුතු නැහැ. ඊට හේතුව අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් දෙවි මෙවැනි දෙයක් පවසා තිබීමයි. “දෙවි විඩා වූවන්ට සවිය දෙයි. දුර්වල අයව බොහෝසෙයින් ශක්තිමත් කරයි. තරුණයෝ පවා වෙහෙස වී වැටෙයි. පිරිමි ළමයින්ට පවා වෙහෙස දැනෙයි. එහෙත්, යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය සවිමත් වෙයි. ඔවුන් දිව්වත් ඇවිද්දත් වෙහෙස නොදැනෙයි. ඔවුන් රාජාලීන් මෙන් පියඹා යයි.”—යෙසායා 40:29-31NW.

ඔබ දෙවිගේ කැමැත්ත කරන්න ආශාවෙන් සිටිනවා නම් ඒ සඳහා දෙවි තම බලය ලබා දෙන බවට ස්ථිර විය හැකියි. නමුත් ඒ සඳහා ඔබ දෙවිගෙන් බලය ඉල්ලිය යුතුයි. (ලූක් 11:13) ඔහුගේ උපකාරයෙන් ඔබට හැකියි ඕනෑම පීඩාවක් දරාගෙන හරි දේ කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගන්න.—ෆිලිප්පි 4:13.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවිගේ උපකාරයෙන් ඔබට හැකියි හරි දේ කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගන්න

[7වන පිටුවේ පින්තූර]

වමේ සිට දකුණට: වර්ල්පූල් මන්දාකිනිය, ප්ලේඩීස් තරු පොකුර, ඔරයන් නිහාරිකාව ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිනිය

[7වන පිටුවේ පින්තූර]

පෘථිවියට වඩා සූර්යයා 3,30,000 වාරයක් විශාලයි

[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pleiades: NASA, ESA and AURA/​Caltech; all others above: National Optical Astronomy Observatories