Skip to content

පටුනට යන්න

සොලොමන් දූපත්වල ව්‍යසනයක්

සොලොමන් දූපත්වල ව්‍යසනයක්

සොලොමන් දූපත්වල ව්‍යසනයක්

වර්ෂ 2007 අප්‍රියෙල් 2වන සඳුදා ඕස්ට්‍රේලියාවේ ඊසානදිග පිහිටි සොලොමන් දූපත් භූමිකම්පාවකට ගොදුරු වුණා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සඳහන් වුණේ 8.1ක් ලෙසයි. අඩි 30ක් පමණ උසට නැඟුණු ජල කඳ විනාඩි කීපයකින් එම දූපත් කරා ඇදී ගොස් ජීවිත 52ක් බිලිගත්තා. තවත් 6,000දෙනෙකුට උන් හිටි තැන් අහිමි වුණා.

වැඩියෙන්ම හානි සිදු වුණේ ගිසෝ දූපතේ ගීසෝ නගරයටයි. හත්දාහක පමණ ජනගහණයක් සිටින මේ දූපතට භූමිකම්පාව සිදු වූ ස්ථානයේ සිට තිබෙන දුර කිලෝමීටර් 45යි. ගීසෝ නගරයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ කුඩා කණ්ඩායමක් සූදානම්ව සිටියේ වාර්ෂිකව පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීම එදින සැන්දෑවේ පැවැත්වීමටයි. (1 කොරින්ති 11:23-26) වෙනදා මෙන් එදත් හිරු නැඟ ආ අතර මුහුදේ රළුබවක් තිබුණෙත් නැහැ. නමුත් උදේ 7:39ට භූමිකම්පාව හටගත්තා.

භූමිකම්පාවක්!

භූමිකම්පාව සිදු වෙද්දී සාක්ෂිකාර යුවළක් වන රොන් පාර්කන්සන් සහ ඩොරති උදේ ආහාරය පිළියෙල කරමිනුයි සිටියේ. රොන් මෙසේ පවසනවා. “අපේ ගේ පොල් ගහක් වැනෙනවා වගේ වැනෙන්න පටන්ගත්තත් ගේ කඩා වැටුණේ නැහැ. හැබැයි බඩුමුට්ටු ඔක්කොම පෙරළෙන්න පටන්ගත්තා. කොහොම හරි අපි ගෙයින් එළියට ආවත් ඩොරතිගේ කකුල වීදුරු කෑළිවලට කැපුණා.”

ඔවුන්ගේ අසල්වැසි නිවසක ජීවත් වූ දේවසේවකයන් දෙදෙනෙකු වන ටෝනි සහ ක්‍රිස්ටීන් ෂෝ යන යුවළත් ඉක්මනින්ම නිවසෙන් එළියට ආවා. “පොළොව කොච්චර හයියෙන් සෙලවුණාද කියනවා නම් මාව බිමට වැටිලා මට නැඟිටගන්නවත් බැරි වුණා. ලොකු රැල්ලක් ඇවිල්ලා අත්තිවාරමෙන්ම ගෙවල් ඉදිරිලා මුහුදට ගහගෙන ගියා. බෝට්ටුවලින් ආපු අය ගහගෙන යන අයව බේරගන්න ලොකු සටනක් කළා. ඒත් එක්කම තවත් ලොකු භූමිකම්පාවක් ඇති වුණා. ඊට පස්සේ තවත් එකක් ආවා. දවස් පහක් පුරා භූචලනත් තිබුණා. එදා අපි භය වුණ විදිහ මට තාමත් මතකයි” කියා ක්‍රිස්ටීන් පැවසුවා.

සුනාමියක්!

භූමිකම්පාවට ගොදුරු වූ තවත් කෙනෙක් තමයි පැට්සන් බාඑයා. එය සිදු වූ අවස්ථාවේ ඔහු සිටියේ ගීසෝවල සිට කිලෝමීටර් හතරක විතර දුරින් තිබුණ සෙපෝ හීටෙ නම් දූපතෙයි. මේ ව්‍යසනයට ඔහුත් ඔහුගේ පවුලේ අයත් මුහුණ දුන්නේ කෙසේද කියා අපි දැන් බලමු.

පැට්සන් මෙසේ පැවසුවා. “මම වෙරළ දිගේම බිරිඳයි (නෙයෝමි) දරුවන් හතරදෙනයි ඉන්න පැත්තට දිව්වා. ඒගොල්ලන් බිම වැටිලා හිටියත් අනතුරක් වෙලා තිබුණේ නැහැ. ළමයි ටිකත් හොඳටම බය වෙලා අඬ අඬයි හිටියේ. මායි නෙයෝමියි ඉක්මනින්ම ඒගොල්ලන්ව සැනසුවා.

“මුහුද අසාමාන්‍ය විදිහට රළු වෙද්දි සුනාමියක් එන ලකුණුයි පෙනෙන්න තිබුණේ. අපේ පුංචි දූපතත් යට වෙලා යයි කියලා මට හිතුණා. මගේ අම්මා (එවලින්) හිටියෙත් අපේ දූපත කිට්ටුව තිබුණ තවත් පුංචි දූපතකයි. අපේ පවුලේ අයවත් මෝටර් එකක් සවි කරලා තිබුණ බෝට්ටුවට ඉක්මනින්ම නග්ගගෙන මම අම්මව බේරගන්න ගියා.

“අපි යද්දී ලොකු රැල්ලක් ඇවිත් අපේ බෝට්ටුවත් පැද්දෙන්න පටන්ගත්තා. කොහොම හරි අපි ඒ දූපතට කිට්ටු වුණා. හැබැයි අම්මා ලොකු කම්පනයකින් හිටිය නිසා වතුරට බහින්න භය වුණා. ඒ හින්දා නෙයෝමියි අපේ 15 හැවිරිදි පුතායි (ජෙරමි) වේගයෙන් ගහගෙන යන වතුරට බැහැලා පීනගෙන බෝට්ටුවට එන්න අම්මට උදව් කළා. ඊට පස්සේ පුළුවන් තරම් වේගයෙන් ඇන්ජිම පනගන්වලා අපි මුහුද මැදට ගියා.

“මේ වෙද්දි කොරල්පර පේන තරමටම මුහුද ආපස්සට ඇදිලා ගිහිනුයි තිබුණේ. ඒත් එකපාරටම ආපහු ජලකඳ ඉදිරියට ඇදිලා ආවා. දූපත් දෙකම යට වෙලා මුහුද කිට්ටුව තිබුණ අපේ තානායමත් සම්පූර්ණයෙන්ම කැඩිලා ගියා. අපේ ගේත් වතුරෙන් යට වුණ නිසා අපේ බඩුමුට්ටු නාස්ති වුණා. මුහුදු මට්ටම සාමාන්‍ය තත්වයට ආවට පස්සේ අපි ගේ ඇතුළට ගිහින් අපේ බයිබලුයි ගීතිකා පොතුයි අරගෙන ගීසෝවලට යන්න පිටත් වුණා.”

වෙරළ ආසන්නයේ තිබුණ ගොඩනැඟිලි කැඩිලා බිඳිලා ගිහින් මළ මිනිත් තැනින් තැන තිබුණා. වැඩියෙන්ම හානි වී තිබුණේ ගීසෝ දූපතේ බටහිර පැත්තටයි. වාර්තාවලින් හෙළි වුණේ අඩි 15ක් පමණ උසට නැඟුණු ජල කඳ නිසා ගම්මාන 13ක්වත් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බවයි.

එදා රාත්‍රියේ ගීසෝවල පිහිටි සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේ යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන්න 22දෙදෙනෙක් රැස් වී සිටියා. එම ව්‍යසනයෙන් ඔවුන්ට බරපතළ තුවාල සිදු වී තිබුණේ නැහැ. කලින් සඳහන් කළ රොන් පැවසුවේ මෙයයි. “විදුලි බලය ඇණහිටලා තිබුණ නිසා සහෝදර ෂෝ කතාව දුන්නේ විදුලි පන්දම් එළියෙන්. අපි අඳුරෙම හඬ නඟා යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගැයුවා.”

සහනාධාර ලබා දීම

ව්‍යසනය ගැන පුවත සැළ වූ වහාම හොනියාරාවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය මගින් කඩිනම් පියවර ගත් අතර එම ප්‍රදේශවල සිටින සාක්ෂිකරුවන් ආරක්ෂිතව සිටිනවාද කියා දැනගැනීමට දුරකථන ඇමතුම් දුන්නා. චොයිසුල් දූපතේ තනි වී සිටි සාක්ෂිකාරියකව සෙවීමට විශ්වාසවන්ත කීපදෙනෙකුව යැවූ අතර ඇයව සොයාගත් විට කිසි අනතුරක් නැතුව ඇය ආරක්ෂිතව සිටියා. අවශ්‍ය දේවල් ගැනීම සඳහා ගීසෝවලට මුදල් පවා යවනු ලැබුවා.

බ්‍රහස්පතින්දා වෙද්දී එම ශාඛා කාර්යාලයෙන් ගීසෝවලට දෙදෙනෙකුව ගුවන් යානයෙන් යැවූ අතර ඔවුන්ගෙන් කෙනෙක් වූ ක්‍රේග් ටකර් මෙසේ පවසනවා. “බර ප්‍රමාණය වැඩි වුණ හින්දා අනිත් මඟීන්ට සමහර බඩු ගෙනියන්න ලැබුණේ නැහැ. ඒත් අපේ බඩු පෙට්ටි ඔක්කොම ව්‍යසනය සිද්ධ වෙලා තිබුණ ප්‍රදේශයට ප්‍රමාද නොවී ආවා. බෝට්ටුවට දාපු අනිත් බඩු ඉන් දවස් දෙකකට පස්සේ ආවා.”

මේ අතරතුර ගීසෝවල සිටි ටෝනි ෂෝ සහ පැට්සන් බාඑයා සහ තවත් සාක්ෂිකරුවන් කීපදෙනෙක් රානොන්ගා දූපතේ තනි වී සිටි සාක්ෂිකරුවෙකුව හා සාක්ෂිකාරියකව හොයන්න පැය දෙකක ගමනක් බෝට්ටුවෙන් ගියා. කිලෝමීටර් 32ක් දිග සහ කිලෝමීටර් 8ක් පළල මේ දූපත භූමිකම්පාවේ ප්‍රබලත්වය නිසා මුහුදු මට්ටමේ සිට අඩි හයකට වඩා ප්‍රමාණයකින් ඉස්සී තිබුණා. දූපත අවට සිදු වූ සුනාමි තත්වය නිසා අනිත් දූපත්වලටත් හානි සිදු වුණා.

“අපිව දැකලා එහෙ හිටිය සාක්ෂිකරුවන් හුඟක් සතුටු වුණා. භූචලනයන් නිසා ඔවුන් භය වෙලා හිටියත් ඔවුන්ට අනතුරක් වෙලා තිබුණේ නැහැ. අපි තමයි එහෙට මුලින්ම සහනාධාර අරගෙන ගියේ. ඒගොල්ලන්ගෙන් සමුගන්න කලින් අපි එකතු වෙලා යෙහෝවා දෙවිට ස්තුති කළා” කියා ටෝනි පැවසුවා.

එමෙන්ම පැට්සන් පැවසුවේ මෙයයි. “දවස් කීපයකට පස්සේ අපි තවත් සහනාධාර අරගෙන රානොන්ගාවලට ආපහු ගියේ ඒ දූපතේ කෙළවරක තනි වෙලා හිටිය සාක්ෂිකාර පවුලක් හොයන්නයි. අන්තිමේදී අපිට මැතිව් ඊටූවයි එයාගේ පවුලේ අයවයි හොයාගන්න ලැබුණේ කැළෑවේ ඇතුළෙදියි. අපි ඔවුන්ව අමතක කරලා නැහැයි කියන සතුටට ඔවුන්ට ඇඬුණා. ඒගොල්ලන්ගේ ගේත් ඒ ගම්මානයේ හුඟක් ගොඩනැඟිලිත් විනාශ වෙලා තිබුණා. ඒත් ඒගොල්ලන්ට වැඩියෙන්ම ඕන වුණේ නැති වුණ බයිබල් වෙනුවට වෙන බයිබල් ලබාගන්නයි.”

බලා සිටි අයගෙන් ප්‍රශංසා

සාක්ෂිකරුවන් දැක්වූ ප්‍රේමය අන් අයගේ අවධානයට ලක් නොවී තිබුණේ නැහැ. “ඔවුන් තම සාමාජිකයන්ට අත්‍යවශ්‍ය දේවල් දවස් කීපයක් ඇතුළත ලැබෙන්න සැලැස්සුව විදිහ දැකලා පුවත්පත් ලේඛකයෙක් පුදුමයට පත් වුණා” කියා ක්‍රේග් ටකර් පැවසුවා. පැට්සන්ද ඊට යමක් එකතු කළේ මෙලෙසයි. “අපි ඉක්මනින්ම සහනාධාර ලබා දුන්න විදිහ ගැන පැසසූ රානොන්ගාවල ඉන්න ගම්වැසියන් ඔවුන්ගේ පල්ලියෙන් ඒ විදිහට නොකරපු එක ගැන දොස් කිව්වා.” “ඕගොල්ලන්ගේ සංවිධානය නම් ඉක්මනින්ම උපකාර කළා” කියා තවත් කාන්තාවක් පැවසුවා.

සාක්ෂිකරුවන් තමන්ගේ අසල්වාසීන්ටත් උපකාර කළා. “ගීසෝවල තාවකාලිකව පිහිටුවලා තිබුණ රෝහලට යද්දී කලින් මුණගැහුණ යුවළක් එහි ඉන්නවා අපි දැක්කා. ඒ දෙන්නට හොඳටම තුවාල වෙලා තිබුණා. ඔවුන්ගේ මුණුබුරා සුනාමියට ගහගෙන ගිහිල්ලා. අපි ඉක්මනින්ම ආපහු ගිහින් ඔවුන්ට අවශ්‍ය ආහාර සහ ඇඳුම් පැළඳුම් ගෙනත් දුන්නා. ඔවුන් හද පතුලෙන්ම ස්තුති කළා” කියා ක්‍රිස්ටීන් ෂෝ පැවසුවා.

නමුත් ව්‍යසනයකට ලක් වූ අයට අවශ්‍ය වන්නේ එවැනි දේවල් පමණක් නොවෙයි. ඔවුන්ව සැනසීම අවශ්‍යයි. විශේෂයෙන්ම බයිබලයේ තිබෙන දේවවචනයෙන් ඒ සැනසීම ලබා දිය යුතුයි. රොන් පැවසුවේ මෙයයි. “සමහර පූජකයන් කිව්වේ මිනිසුන්ගේ පව්කාරකමට දෙවි දඬුවම් කළා කියලයි. ඒත් දෙවි කවදාවත් දුෂ්ටකම් කරන්නේ නැහැ කියලා අපි ඒගොල්ලන්ට බයිබලයෙන් පෙන්නුවා. මේ වගේ දේවල් පෙන්වලා සැනසුව එක ගැන හුඟදෙනෙක් අපිට ස්තුති කළා.”—2 කොරින්ති 1:3, 4; යාකොබ් 1:13. *

[පාදසටහන]

^ 24 ඡේ. “‘ඇයි’—පිළිතුරක් දීමට අමාරුම ප්‍රශ්නය” නමැති 2006 නොවැම්බර් පිබිදෙව්! කලාපයේ 3-9 දක්වා පිටු බලන්න. මෙයින් පිටපත් සියගණනක් ව්‍යසනයෙන් පසුව බෙදාහරිනු ලැබුවා.

[13වන පිටුවේ රූප සටහන/සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

චොයිසුල්

ගීසෝ

ගිසෝ

රානොන්ගා

හොනියාරා

ඕස්ට්‍රේලියාව

[15වන පිටුවේ පින්තූරය]

බාඑයා පවුල මෝටර් එකක් සවි කර තිබූ බෝට්ටුවේ

[15වන පිටුවේ පින්තූරය]

ගිසෝහි සුනාමියෙන් සිදු වූ හානි

[15වන පිටුවේ පින්තූරය]

මේ රාජ්‍ය ශාලාව රානොන්ගා දූපතේ ලැලේ ගම්මානයේ ඉතිරි වූ එකම ගොඩනැඟිල්ලයි