Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යය ගැන

දේවරාජ්‍යය ගැන

යේසුස්ගෙන් ඉගෙනගනිමු

දේවරාජ්‍යය ගැන

දේවරාජ්‍යය යනු කුමක්ද?

එය මුළු පොළොවම පාලනය කිරීමට නියමිත ආණ්ඩුවක්. යේසුස් වරක් මෙසේ පැවසුවා. “එහෙයින් ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටය. . . . ‘ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.’”—මතෙව් 6:9, 10; දානියෙල් 2:44.

දේවරාජ්‍යයේ පාලකයන් ලෙස කටයුතු කරන්නේ කවුද?

යේසුස් උපත ලැබුවේ දේවරාජ්‍යයේ පාලකයා වීමට නියමිතව සිටි තැනැත්තා ලෙසයි. එක් දේවදූතයෙක් යේසුස්ගේ මවට පැවසුවේ මෙයයි. “යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙන්නේය. ඔහු . . . රජකම් කරන්නේය.” (ලූක් 1:30-33) එමෙන්ම යේසුස් ඔහු සමඟ පාලනය කිරීමට ඔහුගේ අනුගාමිකයන් කිහිපදෙනෙකුව තෝරාගත්තා. ඔහු තම ගෝලයන්ට මෙසේ පැවසුවේ ඒ නිසයි. “මාගේ පරීක්ෂාවලදී මා සමඟ දිගටම සිටියේ ඔබය. මාගේ පියාණන් මා සමඟ ගිවිසුමක් කර තිබෙන්නාක් මෙන්, මම ඔබ සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරමි.” (ලූක් 22:28, 29; දානියෙල් 7:27) යේසුස් සමඟ ඔහුගේ අනුගාමිකයන් 1,44,000දෙනෙක් පාලකයන් ලෙස කටයුතු කිරීමට යනවා.—එළිදරව් 5:9, 10; 14:1.

දේවරාජ්‍යය තිබෙනු ඇත්තේ කොහෙද?

දේවරාජ්‍යයේ පාලනය ක්‍රියාත්මක වන්නේ ස්වර්ගයේ සිටයි. යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙවැනි දෙයක් පැවසුවා. “මා ගොස් ඔබට [ස්වර්ගයෙහි] ස්ථානයක් සූදානම් කර, මා සිටින තැන ඔබත් සිටින පිණිස, මම නැවත ඇවිත් ඔබව මාගේ ගෙට පිළිගන්නෙමි. . . . මා පියාණන් වෙතට [යන්නෙමි].”—යොහන් 14:2, 3, 12; දානියෙල් 7:13, 14.

දේවරාජ්‍යය නපුරු අය සම්බන්ධයෙන් කුමන පියවරක් ගනියිද?

යේසුස් ඉදිරියේදී දුෂ්ටයන්ව සම්පූර්ණයෙන්ම පොළොවෙන් ඉවත් කරනවා. ඒ ගැන ඔහුම මෙවැනි දෙයක් පැවසුවා. “මනුෂ්‍ය පුත්‍රයා [යේසුස්] තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන කල, ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නේය. සියලු ජාතීන් ඔහු ඉදිරියෙහි රැස් කරනු ලැබේ. . . . [ඔහු] මිනිසුන්ව වෙන් කරන්නේය. . . . [දුෂ්ටයෝ] සදහටම කපාහැරීමටද ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටද පිටත්ව යන්නෝය.”—මතෙව් 25:31-34, 46.

දේවරාජ්‍යයේ යටත්වැසියන් ලෙස පොළොවේ ජීවත් වනු ඇත්තේ කවුද?

යේසුස් පැවසුවේ “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය” කියායි. (මතෙව් 5:5; ගීතාවලිය 37:29; 72:8) දේවරාජ්‍යය යටතේ ජීවත් වන්නේ එකිනෙකාට ප්‍රේම කරන සෙනඟක්. ඔවුන් දැනටමත් එසේ කිරීමට ඉගෙනගනිමින් සිටිනවා. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙවැන්නක් පැවසුවා. “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.”—යොහන් 13:34, 35.

දේවරාජ්‍යය මිනිසුන් වෙනුවෙන් කුමක් කරනු ඇද්ද?

යේසුස් පොළොවේ සිටි කාලයේදී මිනිසුන්ට ‘දෙවිගේ රාජ්‍යය ගැන කතා කොට, සුවයක් අවශ්‍යව සිටි අයව සුව කළා.’ (ලූක් 9:11) ඔහු ඉදිරියේදීත් මිනිස් වර්ගයාට සම්පූර්ණ සුවයක් ලබා දෙනවා. නැවත නැඟිටවනු ලැබූ යේසුස්ව දර්ශනයකින් දුටු යොහන් මෙසේ පැවසුවා. “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. . . . සිංහාසනය කෙරෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසුණේය. බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. . . . [දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය.”—එළිදරව් 21:1-4.

දේවරාජ්‍යය මගින් මුළු පොළොවම පාරාදීසයක් කරනු ලබනවා. යේසුස් අසල සිටි අපරාධකරුවෙක් යේසුස්ගෙන් ඉල්ලා සිටියේ “ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වූ විට මාව සිහි කරන්න” කියායි. එවිට යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “සැබවින්ම මම අද ඔබට කියමි, ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය.”—ලූක් 23:42, 43; යෙසායා 11:4-9.

වැඩි විස්තර සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු * නම් පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න

[පාදසටහන]

^ 16 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.