Skip to content

පටුනට යන්න

නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු

නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු

නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු

බයිබලය මුලින්ම ලියවුණේ හෙබ්‍රෙව්, අරාමීය සහ ග්‍රීක භාෂාවලිනුයි. ඒ නිසා බයිබලය කියවන්න කැමති අය තමන්ගේ භාෂාවට පරිවර්තනය කරන ලද බයිබලයක් සොයාගත යුතුයි.

ලොව පුරා වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වී තිබෙන පොත බයිබලයයි. භාෂා 2,400කට වැඩි ප්‍රමාණයකින් එහි කොටස් ලබාගත හැකියි. ඇතැම් භාෂාවල අනුවාදයන් කිහිපයක්ම තිබෙනවා. ඔබේ භාෂාවෙනුත් අනුවාද කිහිපයක්ම තිබෙනවා නම් ඒ අතුරින් හොඳම පරිවර්තනය තෝරාගැනීමට ඔබ කැමති වේවි.

ඒ සඳහා මෙවැනි ප්‍රශ්න සලකා බලන්න. අද දින තිබෙන්නේ මොන වගේ බයිබල් පරිවර්තනද? ඉන් වඩාත්ම සුදුසු පරිවර්තනය කුමක්ද? ඇතැම් පරිවර්තන කියවීමේදී කල්පනාකාරී විය යුත්තේ ඇයි?

අන්තයන් දෙකක්

බයිබලය පරිවර්තනය කිරීම සඳහා විවිධ ක්‍රම යොදාගෙන තිබෙනවා. ඒවා මූලිකවම කොටස් තුනකට වෙන් කළ හැකියි. පළමුව මුල් භාෂා ශෛලියම අනුගමනය කරමින් සෑම වචනයක්ම අදාළ භාෂාවට පරිවර්තනය කිරීම.

දෙවනුව පරිවර්තකයන් තමන්ට සිතෙන ආකාරයට මුල් භාෂාවේ තිබෙන තොරතුරු පාඨකයන්ගේ සිත් ඇදගන්නා ආකාරයෙන් පරිවර්තනය කිරීම.

තුන්වනුව මුල් භාෂාවේ ඇති අදහස සරලව හා පැහැදිලිව පරිවර්තනය කිරීම. එය ඉහත සඳහන් අන්තයන් දෙකටම වඩා වෙනස්.

සුදුසුම ක්‍රමය වචන පරිවර්තනය කිරීමද?

මෙම ක්‍රමය යොදාගෙන බයිබලය පරිවර්තනය කිරීමෙන් මුල් භාෂාවේ ඇති අදහස ගිලිහී යා හැකියි. ඒ නිසා එම ක්‍රමය එතරම් සුදුසු නැහැ. එසේ පැවසීමට හේතු දෙකක් සලකා බලන්න.

1. කිසිම විටක භාෂා දෙකක ව්‍යාකරණ, වචන මාලාව හා වාක්‍ය සැකැස්ම සමාන වෙන්නේ නැහැ. හෙබ්‍රෙව් භාෂාව සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් වන එස්. ආර්. ඩ්‍රයිව මෙසේ පැවසුවා. “භාෂා දෙකක් වෙනස් වෙන්නේ ව්‍යාකරණ හා වචන මාලාව අතින් පමණක් නොව . . . වාක්‍ය සැකැස්මෙන් පවා එකිනෙකට වෙනස්.” විවිධ භාෂා කතා කරන මිනිසුන් හිතන්නෙත් වෙනස් විදිහටයි. “එමනිසා වාක්‍යයක් සැකසෙන ක්‍රමය භාෂාවෙන් භාෂාවට වෙනස්” කියාත් ඔහු පැවසුවා.

කිසිම භාෂාවක් බයිබලය මුලින්ම ලියවුණු හෙබ්‍රෙව් හෝ ග්‍රීක භාෂාවේ ව්‍යාකරණවලට හා වචන මාලාවට සමාන වෙන්නේ නැහැ. ඒ නිසා වචනයෙන් වචනය පරිවර්තනය කිරීමෙන් මුල් අදහස්වලට සමාන නැති අපැහැදිලි අදහස් ඉස්මතු විය හැකියි. පහත සඳහන් උදාහරණ සලකා බලන්න.

බොහෝ පරිවර්තනවල එෆීස 4:14හි “මිනිසුන්ගේ ප්‍රයෝගවලින්” යන යෙදුම දමා තිබෙන්නේ හරි අදහස දෙන්නයි. නමුත් ග්‍රීක භාෂාවෙන් එය සඳහන් කර තිබුණේ “මිනිසුන් දමන දාදු කැටය” ලෙසයි. * ඒ කාලයේ සිටි ග්‍රීක ජාතිකයන්ට එහි අදහස හොඳින් වැටහුණා. ඉන් අදහස් වුණේ මිනිසුන් වංචා කරනවා යන්නයි. නමුත් වෙනත් භාෂාවකට පරිවර්තනය කරද්දී එම වචනම යෙදීමෙන් කිසිම අර්ථයක් ලැබෙන්නේ නැහැ.

පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියක දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය විස්තර කිරීමට වතුර මෙන් “උතුරනවා” යන අදහස දෙන ග්‍රීක යෙදුමක් යොදාගත්තා. (රෝම 12:11, කින්ඩම් ඉන්ටලීනිය) වෙනත් භාෂාවකින් එය ඒ විදිහටම පරිවර්තනය කළොත් ඉන් කිසිම අදහසක් එන්නේ නැහැ. නමුත් පාවුල් පෙන්නුම් කරන්න උත්සාහ කළේ ‘දෙවිගේ බලයෙන් පිරී ඉතිරී යෑම’ සම්බන්ධයෙනුයි.

යේසුස් ප්‍රසිද්ධ දේශනයකදී පැවසූ දෙයක් පරිවර්තනය කර තිබෙන්නේ “සිතින් දිළින්දෝ භාග්‍යවන්තහුය” කියායි. (මතෙව් 5:3, පැරණි අනුවාදය) නමුත් එහි නියම අදහස එය නොවෙයි. සමහර භාෂාවලින් එම වදන් වචනෙන් වචනේ පරිවර්තනය කිරීම නිසා කෙනෙකුට අධිෂ්ඨාන ශක්තියක් නැහැ යන අදහස ඉස්මතු වී තිබෙනවා. කොහොමවුණත් යේසුස් එයින් අදහස් කළේ තමන්ට දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍යයි කියා තේරුම්ගන්නා අය සතුටින් සිටින බවයි. (ලූක් 6:20) එමනිසා යේසුස් පැවසූ දේ වඩාත් උචිත ලෙස දක්වා තිබෙන්නේ “බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තහුය” කියායි.—මතෙව් 5:3, නව අනුවාදය.

2. වචනයක හෝ වචන කාණ්ඩයක අදහස පද සම්බන්ධයට අනුව වෙනස් විය හැකියි. උදාහරණයකට හෙබ්‍රෙව් භාෂාවෙන් මිනිසාගේ ‘අත’ යන්නට විවිධ අර්ථ තිබෙනවා. පද සම්බන්ධයට අනුව එම වචනයෙහි ‘බලය යටතට ගැනීම,’ ‘බොහෝ දේ දීම’ සහ “බලවත්” යන අර්ථයන් ගැබ් වෙනවා. (2 සාමුවෙල් 8:3; 1 රාජාවලිය 10:13; හිතෝපදේශ 18:21) හෙබ්‍රෙව් බයිබලයේ තිබෙන අත යන වචනය එක් ඉංග්‍රීසි බයිබල් පරිවර්තනයක විවිධ ආකාර 40කට වඩා වැඩියෙන් පරිවර්තනය කර තිබෙනවා.—නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්.

ඉහත සඳහන් බයිබල් පරිවර්තනයේ ග්‍රීක යෙදුම් 5,500ක් පමණ පරිවර්තනය කිරීම සඳහා ඉංග්‍රීසි යෙදුම් 16,000ක් පමණ යොදාගෙන තිබෙනවා. එමෙන්ම හෙබ්‍රෙව් යෙදුම් 8,500ක් පමණ පරිවර්තනය කිරීම සඳහා ඉංග්‍රීසි යෙදුම් 27,000කට වඩා යොදාගෙන තිබෙනවා. * එලෙස විවිධ යෙදුම් භාවිත කිරීමට තීරණය කළේ ඇයි? පද සම්බන්ධයට අනුව හෙබ්‍රෙව් හා ග්‍රීක වචනවල අදහස පරිවර්තනය කිරීම වචන පරිවර්තනය කිරීමට වඩා යෝග්‍ය බව පරිවර්තන කමිටුව තේරුම්ගත් නිසයි. පරිවර්තනයට හානියක් නොවන තාක් කල් නිවැරදි අදහස දෙන වචන යොදාගැනීමට ඔවුන් වගබලා ගන්නවා.

මේ අනුව බයිබලය පරිවර්තනය කිරීම යනු මුල් භාෂාවේ තිබුණු වචනවලටම සමාන වචන යොදාගෙන කරන පරිවර්තනයක් නෙවෙයි. පරිවර්තකයන් මුල් භාෂාවේ තිබෙන අදහස ඉස්මතු කරන ආකාරයේ වචන තෝරාගැනීම වැදගත්. ඊට අමතරව, ඔවුන් පරිවර්තනය කරන භාෂාවේ තිබෙන ව්‍යාකරණ රීතිවලට අනුකූලව වචන හා වාක්‍යයන් යොදා තිබිය යුතුයි.

තමන්ට සිතෙන ආකාරයට පරිවර්තනය කිරීම

සමහර පරිවර්තකයන් මුල් භාෂාවේ ඇති අදහස එලෙසම නොදමා තමන් කැමති ආකාරයෙන් පරිවර්තනය කර තිබෙනවා. බොහෝවිට සිදු වන්නේ මුල් භාෂාවේ ඇති ඇතැම් අදහස් ඉවත් කර තමන්ට තේරෙන විදිහට පරිවර්තනය කිරීමයි. එවැනි පරිවර්තනයන් කියවීමට පහසුයි. නමුත් ඒවායේ මුල් භාෂාවේ තිබූ අදහස ගිලිහී ගොස් තිබෙන අතර අදහසද වෙනස් වී තිබෙනවා.

යේසුස් ඉගැන්වූ ප්‍රසිද්ධ යාච්ඤාව ඉහත ක්‍රමයට පරිවර්තනය කර තිබුණේ මෙලෙසයි. “ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබ කවුද කියා අපට හෙළි කළ මැනව.” (මතෙව් 6:9, ද මෙසේජ්: ද බයිබල් ඉන් කන්ටෙම්පරරි ලැන්ග්වේජ්) නමුත් වඩාත් නිවැරදි පරිවර්තනයක එය මෙසේ සඳහන් වෙනවා. “ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා!” තවත් උදාහරණයක් බලමු. යේසුස්ව අත්අඩංගුවට ගත් රාත්‍රියේදී යේසුස් පියාණන්ට කළ යාච්ඤාව එක් බයිබල් පරිවර්තනයක යොදා තිබුණේ “මම ඔබව ඔවුන්ට හඳුන්වා දුන්නා” කියායි. (යොහන් 17:26, ටුඩේස් ඉන්ග්ලිෂ් වර්ෂන්) කොහොමවුණත් එක් විශ්වාසවන්ත පරිවර්තනයක එම යාච්ඤාව මෙසේ සඳහන් වෙනවා. “මම ඔබේ නාමය ඔවුන්ට දැන්වීමි.” සමහර පරිවර්තකයන් දෙවිගේ නාමය බයිබලයෙන් ඉවත් කිරීමට දරපු උත්සාහය ඉන් පැහැදිලි වෙනවා.

කල්පනාකාරී විය යුත්තේ ඇයි?

මුල් පිටපතේ ඇති සදාචාර ප්‍රමිති සමහර බයිබල් පරිවර්තනවල පැහැදිලිව පෙන්වා නැහැ. උදාහරණයකට 1 කොරින්ති 6:9, 10හි ඇති දේ එක් බයිබල් පරිවර්තනයක සඳහන් කර තිබුණේ මෙලෙසයි. “ඔබ ජීවත් වන ආකාරය වැරදි බව ඔබට වැටහෙන්නේ නැද්ද? දෙවි ගැන සැලකිල්ලක් නොදක්වන අධර්මිෂ්ඨයන්ට ඔහුගේ රාජ්‍යය උරුම වන්නේ නැහැ. අන් අයට නරක විදිහට සලකන, අනාචාරයේ යෙදෙන, පොළොව හා එහි ඇති දේවල් දූෂණය කරන අයට දෙවිගේ රාජ්‍යයේ පුරවැසියන් වීමේ වරම ලැබෙන්නේ නැහැ.”—ද මෙසේජ්: ද බයිබල් ඉන් කන්ටෙම්පරරි ලැන්ග්වේජ්.

නමුත් නව ලොව පරිවර්තනයේ එම අදහස වඩාත් පැහැදිලි ලෙස යොදා තිබෙන ආකාරය සලකා බලන්න. “අධර්මිෂ්ඨ අයට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව ඔබ දන්නේ නැද්ද? මුළා නොවන්න. වේශ්‍යාකම් කරන්නන්ටවත්, රූප වඳින්නන්ටවත්, පරදාර සේවනයේ යෙදෙන්නන්ටවත්, අස්වාභාවික කාම සේවනය සඳහා යොදාගන්නා ලද පිරිමින්ටවත්, සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින්ටවත්, සොරුන්ටවත්, ගිජුකමක් ඇති අයටවත්, බේබද්දන්ටවත්, නිග්‍රහ කරන්නන්ටවත්, අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නන්ටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.” අපි නියැලිය යුතු නැති ක්‍රියාවන් ගැන පාවුල් ඉතාමත් පැහැදිලිව පැවසූ දේවල් කලින් සඳහන් කළ පරිවර්තනයට ඇතුළත් වී නැහැ.

කෙනෙක් බයිබල් ඉගැන්වීම් ගැන දරන ආකල්පයත් පරිවර්තනය සඳහා බලපානවා. උදාහරණයකට එක් බයිබල් පරිවර්තනයක යේසුස් පැවසූ දෙයක් සඳහන් කර ඇත්තේ මෙයාකාරයටයි. “පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. මක්නිසාද නිරයට යන දොරටුව විශාලය. එහි ගමන් කිරීමත් පහසුය. එයින් ඇතුල් වන්නෝද බොහෝය.” (මතෙව් 7:13, ගුඩ් නිව්ස් බයිබල්) මතෙව්ගේ වාර්තාවේ “විනාශය” ලෙස දක්වා තිබෙන දේට එම පරිවර්තකයන් “නිරය” යන වචනය යොදා තිබෙනවා. ඔවුන් එසේ කළේ ඇයි? එයට හේතුව වුණේ නපුරු අය විනාශ නොවී සදහටම වධ විඳිමින් සිටිනවා යන අදහස තහවුරු කිරීමට ඔවුන්ට වුවමනා වීමයි. *

හොඳම පරිවර්තනය තෝරාගැනීම

බයිබලය මුලින්ම ලියවුණේ ගොවියන්, එඬේරුන් සහ ධීවරයන් වැනි අයට පවා තේරුම්ගත හැකි සරල භාෂාවකිනුයි. (නෙහෙමියා 8:8, 12; ක්‍රියා 4:13) හොඳ බයිබල් පරිවර්තනයක් ඕනෑම පසුබිමක සිටින අයට පහසුවෙන් තේරුම්ගත හැකි විය යුතුයි. එවැනි පරිවර්තනයක පහත සඳහන් ලක්ෂණත් ඇතුළත් වෙනවා.

දෙවිගෙන් ලද පණිවිඩය නිවැරදිව ඉදිරිපත් කිරීම.—2 තිමෝති 3:16.

පරිවර්තනයට හානියක් සිදු නොවේ නම් මුල් භාෂාවේ වාක්‍ය සැකැස්ම අනුගමනය කරමින් මුල් භාෂාවේ ඇති වචනම පරිවර්තනය කිරීම.

මුල් භාෂාවේ ඇති වචනම දැමීමෙන් අදහස වෙනස් වේ නම් හෝ අදහස සම්පූර්ණයෙන්ම යටපත් වේ නම් වචනයේ අර්ථය පමණක් පරිවර්තනය කිරීම.

කියවීමට ආශාවක් ඇති වන සේ පහසුවෙන් තේරුම්ගත හැකි භාෂාවක් යොදාගැනීම.

ඉහත සඳහන් ලක්ෂණ ඇතුළත් පරිවර්තනයක් සොයාගත හැකිද? මෙම සඟරාව කියවන මිලියන ගණන්දෙනා නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් එනම් නව ලොව පරිවර්තනය පාවිච්චි කිරීමට කැමැත්තක් දක්වනවා. එයට හේතුව එම බයිබලයේ පරිවර්තන කමිටුව මුල්ම ඉංග්‍රීසි පරිවර්තනයේ පෙරවදනේ සඳහන් මේ තොරතුරුවලට එකඟව කටයුතු කිරීමයි. “අපි කවදාවත් අපිට සිතෙන ආකාරයට බයිබල් පරිවර්තනය වෙනස් කරන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ පරිවර්තනය කරන භාෂාව ඉඩ දෙන තරමට මුල් භාෂාවේ ශෛලියම අනුගමනය කරන්නයි. නමුත් එය කරන්නේ නියම අදහස යටපත් නොවන ලෙසයි.”

නව ලොව පරිවර්තනයේ පිටපත් 14,50,00,000කට වැඩි ප්‍රමාණයක් කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් භාෂා 60කට වඩා වැඩි සංඛ්‍යාවකින් මුද්‍රණය කර තිබෙනවා. එය ඔබේ භාෂාවෙනුත් ලබාගත හැකි නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් පිටපතක් ලබාගෙන ප්‍රයෝජන නොගන්නේ ඇයි?

බයිබලය අධ්‍යයනය කිරීමට අවංක ආශාවක් තිබෙන අය දෙවිගෙන් ලැබී තිබෙන පණිවිඩය තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කරන්න කැමතියි. ඔබත් එවැනි කෙනෙක් නම් නිවැරදි බයිබල් පරිවර්තනයක් ලබාගෙන එය කියවිය යුතුයි.

[පාදසටහන්වල]

^ 13 ඡේ. ද කින්ඩම් ඉන්ටලීනිය ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද ග්‍රීක් ස්ක්‍රිප්චර්ස්. මෙම පරිවර්තනයේ හැම ග්‍රීක වචනයක්ම ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙනවා.

^ 17 ඡේ. සමහර බයිබල් පරිවර්තනවල නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් පරිවර්තනයට වඩා විවිධ වචන භාවිත කර තිබුණත් නිවැරදි අදහස දෙන වචන යොදාගෙන නැහැ.

^ 25 ඡේ. බයිබලයේ උගන්වා තිබෙන්නේ කෙනෙක් මිය ගිය පසු ඔහු දූවිල්ලට හැරී, කිසි දෙයක් හිතෙන්නෙවත්, දැනෙන්නෙවත් නැති තත්වයකට පත් වෙන බවයි. (උත්පත්ති 3:19; දේශනාකාරයා 9:5, 6; එසකියෙල් 18:4) දුෂ්ටයන් ගින්නෙන් දැවෙන ස්ථානයක දුක් විඳින බව බයිබලයේ කිසිම තැනක සඳහන් වී නැහැ.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

එවැනි පරිවර්තනයන් කියවීමට පහසුයි. නමුත් ඒවායේ මුල් භාෂාවේ තිබූ අදහස ගිලිහී ගොස් තිබෙන අතර අදහසද වෙනස් වී තිබෙනවා

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

නව ලොව පරිවර්තනයේ පිටපත් 14,50,00,000කට වැඩි ප්‍රමාණයක් කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් භාෂා 60කට වඩා වැඩි සංඛ්‍යාවකින් මුද්‍රණය කර තිබෙනවා

[20වන පිටුවේ කොටුව/පින්තූරය]

සිතැඟි පරිදි කළ පරිවර්තනයක්

පරිවර්තකයන් තමන්ට ඕනෙ විදිහට මුල් භාෂාවේ ඇති තොරතුරු පරිවර්තනය කිරීම අලුත් දෙයක් නොවෙයි. පුරාණයේ සිටි යුදෙව්වන් සතුව එවැනි පරිවර්තන තිබුණා. ඒවා හැඳින්නුවේ ඇරමයික ටාගම් ලෙසයි. ඒවා නිවැරදි පරිවර්තන නොවුණත් සමහර ශුද්ධ ලියවිලි පද යුදෙව්වන් තේරුම්ගත්තේ කෙසේද කියා ඉන් හෙළි වෙනවා. පහසුවෙන් පරිවර්තනය කිරීමට අපහසු කොටස් පරිවර්තනය කිරීමට පරිවර්තකයන්ට ඒවා උපකාරවත් වී තිබෙනවා. උදාහරණයකට යෝබ් 38:7හි සඳහන් “දෙවිගේ පුත්‍රයෝ” යන්න පැහැදිලි කර තිබෙන්නේ “දේවදූත කණ්ඩායමක්” ලෙසයි. එමෙන්ම උත්පත්ති 10:9 නිම්රොද්ව විස්තර කිරීමට යොදාගෙන ඇති හෙබ්‍රෙව් නිපාත පදයෙන් අදහස් වෙන්නේ ඔහු දෙවි “ඉදිරියේ” සිටි බව පමණක් නොව නමුත් දෙවිට “එරෙහිව” නැඟී සිටි බවයි. එම පරිවර්තනයන් ප්‍රධාන ලියවිල්ලට අමුණා තිබුණා. නමුත් ඒවා බයිබලය වෙනුවට භාවිත කළ යුතු දෙයක් ලෙස සැලකුවේ නැහැ. එය භාවිත කළේ බයිබලය තේරුම්ගැනීමට ආධාරකයක් ලෙස පමණයි.

[පින්තූරය]

වර්ෂ 1657දී සම්පූර්ණ කරන ලද වෝල්ටන්ස් “බිබ්ලියා පොලිග්ලොටා” බයිබල් පරිවර්තනයේ කොටසක්, යෝබ් 38:1-15

හෙබ්‍රෙව් බසින් බයිබල් පදය (ලතින් ඉන්ටලීනියර් ට්‍රාන්ස්ලේෂන් සමඟ)

ඇරමයික ටාගම් පරිවර්තනයේ එම පදය තිබෙන අයුරු

[19වන පිටුවේ පින්තූරය]

“ද කින්ඩම් ඉන්ටර්ලීනිය ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද ග්‍රීක් ස්ක්‍රිප්චර්ස්,” යන පරිවර්තනයෙන් ගත් කොටසක්, එෆීස 4:14

වම් පැත්තේ තිබෙන්නේ වචනෙන් වචනෙට කරන ලද පරිවර්තනයක්. දකුණු පැත්තේ තිබෙන්නේ අදහස පරිවර්තනය කිරීමක්

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Background: Shrine of the Book, Israel Museum, Jerusalem