Skip to content

පටුනට යන්න

ස්වාභාවික විපත්වලින් දෙවි දඬුවම් කරනවාද?

ස්වාභාවික විපත්වලින් දෙවි දඬුවම් කරනවාද?

පාඨකයන් අසයි

ස්වාභාවික විපත්වලින් දෙවි දඬුවම් කරනවාද?

දෙවි ස්වාභාවික විපත්වලින් අහිංසක මිනිසුන්ට දඬුවම් කරන්නේ නැහැ. කිසි දිනක එවැනි දෙයක් නොකළ ඔහු ඉදිරියටත් එවැනි දෙයක් කරන්නේ නැහැ. ඊට හේතුව “දෙවි ප්‍රේමයය” කියා බයිබලයේ 1 යොහන් 4:8හි සඳහන් වී තිබීමයි.

දෙවි කරන සෑම දෙයකින්ම පිළිබිඹු වන්නේ ඔහුගේ ප්‍රේමයයි. ප්‍රේමණීය කෙනෙක් අහිංසක අයට වේදනාවන් පමුණුවන්නේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ “ප්‍රේමය, යමෙකුගේ අසල්වැසියාට නපුරක් කරන්නේ නැත” කියායි. (රෝම 13:10) “දෙවි කිසි දින දුෂ්ට දෙයක් නොකරන බව ස්ථිරයි” කියාත් බයිබලයේ පවසනවා.—යෝබ් 34:12, නව ලොව පරිවර්තනය, NW.

“මහත් භූමිකම්පා” වැනි දේවල් මේ කාලයේදී සිදු වෙන බව බයිබලයේ පවසා තිබෙනවා. (ලූක් 21:11) නමුත් ඊට වගකිව යුත්තේ යෙහෝවා දෙවි නොවෙයි. උදාහරණයකට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කුණාටුවක් ගැන කලින්ම දැනුම් දුන්නායයි සිතන්න. කුණාටුව පැමිණි පසු කාලගුණ දෙපාර්තමේන්තුව ඊට වගකිව යුතු බව අප පවසනවාද? නැහැ. එසේනම් විපත්වලට වගකිව යුත්තේ කවුද?

“මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට” එනම් සාතන් නමැති යක්ෂයාගේ බලයට “යටත් බව” බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 5:19) මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිට අද දක්වා ඔහු මිනි මරන්නෙක් වී සිටිනවා. (යොහන් 8:44) සාතන් මිනිස් ජීවිතය සලකන්නේ කිසි වටිනාකමක් නැති දෙයක් ලෙසයි. ඔහු ඉතා ආත්මාර්ථකාමී කෙනෙක්. එම ගතිලක්ෂණය අද මුළු ලෝකය පුරාම පැතිරී තිබෙනවා. බොහෝ අහිංසක ජනතාවට ස්වාභාවික විපත් සිදු වන ස්ථානවල හෝ මිනිසුන් විසින්ම විපත් සිදු කරන ස්ථානවල ජීවත් වෙන්න සිදු වී ඇත්තේ මේ ආත්මාර්ථකාමී මිනිසුන් නිසයි. (එෆීස 2:2; 1 යොහන් 2:16) එබැවින් ඔවුන් අද්දකින විපත්වලට යම් දුරකට වගකිව යුත්තේ එම ආත්මාර්ථකාමී මිනිසුන්මයි. (දේශනාකාරයා 8:9) එසේ පැවසිය හැක්කේ කෙසේද?

බොහෝ විපත් ඇතිවීමට මිනිසුන් කරන දේවල්ද බලපානවා. උදාහරණයකට ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වූ දරුණු කුණාටුවෙන් හෝ වෙනිසුවෙලාහි සිදු වූ නායයෑම්වලින් සිදු වූ විපත් ගැන සලකා බලන්න. දරුණු සුළං හා අධික වර්ෂාව ඇතිවීමට හේතුව කුමක්ද? එයට හේතුව මිනිසාගේම වරදයි. ඊට පරිසරයේ සිදු වන දේවල් ගැන හරි අවබෝධයක් නොතිබීම, නියම ප්‍රමිති අනුව ඉදි කිරීම් නොකිරීම, හරි සැලැස්මක් ඇතුව දේවල් නොකිරීම, අනතුරු ඇඟවීම්වලට සවන් නොදීම සහ අධිකාරීන් නිසි ලෙස පරිපාලනය නොකිරීම වැනි දේවල් බලපානවා.

යේසුස් සිටි කාලයේ සිදු වූ විපත්තියක් ගැන සලකා බලන්න. ඒ දවස්වල ටැඹක් කඩා වැටීම හේතුවෙන් 18දෙනෙකු මරණයට පත් වුණා. (ලූක් 13:4) මෙය සිදු වන්න ඇත්තේ මිනිසාගේම වැරදි නිසා හෝ “නොසිතන වේලාවක, බලාපොරොත්තු නොවූ සිදුවීම්” ඇතිවීම නිසා හෝ විය හැකියි. නමුත් එය දෙවි ගෙනා විනිශ්චයක් නම් නොවෙයි.—දේශනාකාරයා 9:11NW.

දෙවි කවදාවත් විපත්ති සිදු කළේ නැති බවක් ඉන් අදහස් වෙන්නේ නැහැ. උදාහරණයකට අතීතයේ ජීවත් වූ නෝවාගේ කාලයේ දෙවි මහ ජලගැල්මක් ගෙනා අතර ලොත්ගේ කාලයේ සොදොම් හා ගොමෝරා යන නගර දෙකත් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවා. (උත්පත්ති 6:7-9, 13; 18:20-32; 19:24) නමුත් ස්වාභාවික විපත් හෝ මිනිසුන් නිසා ඇති වෙන විපත්වලට වඩා ඒවා වෙනස්. දෙවි එම විපත් තෝරා බේරා සිදු කළේ යම් අරමුණක් ඇතුවයි. එමෙන්ම ඒවා ඉතා දුර්ලභ සිද්ධීන්. එම විපත්වලින් දෙවි නපුරු මිනිසුන්ව විනාශ කර දැමූ අතර ඔහුගේ ප්‍රමිති අනුව ජීවත් වූ අයව බේරාගනු ලැබුවා.

ස්වාභාවික විපත් සහ සියලුම දුක් වේදනා නැති කරන්න යෙහෝවා දෙවිට හැකියාව, ආශාව හා බලය තිබෙනවා. ඔහු රජු ලෙස පත් කළ යේසුස් ගැන ගීතාවලිය 72:12හි [NW] පවසා ඇත්තේ මෙයයි. “උපකාරය පතා හඬනඟන දුප්පතාව ඔහු ගලවන්නේය. පීඩිතයාවද කිසි හව්හරණක් නැත්තාවද ඔහු ගලවන්නේය.”