Skip to content

පටුනට යන්න

ප්‍රේම කළ කෙනෙක් මිය ගිය විට

ප්‍රේම කළ කෙනෙක් මිය ගිය විට

ප්‍රේම කළ කෙනෙක් මිය ගිය විට

වර්ෂ 2007 ජූලි 17වෙනිදා බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ පිහිටි ගුවන් තොටුපොළේ විශාල අනතුරක් සිදු වුණා. එය සිදු වුණේ ධාවන පථයේ ගමන්ගත් ගුවන් යානය ලිස්සා, මහා මාර්ගය හරහා ගොස් ඒ අසල තිබූ භාණ්ඩ ගබඩාවක ගැටීම නිසයි. එම අනතුරෙන් මිනිසුන් 200ක් පමණ මිය ගියා.

එම භයානක අනතුරෙන් මිය ගිය අයගේ පවුල් සාමාජිකයන්ට මේ සිද්ධිය කෙදිනකවත් අමතක වෙන්නේ නැහැ. ක්ලෝදෙත්ති නමැති මව ඒ අය අතරින් කෙනෙක්. ඇගේ 26-හැවිරිදි පුතා වන රෙනාටෝද සිටියේ එම ගුවන් යානයෙයි. ඔහු මාස තුනකින් විවාහ වීමට බලාපොරොත්තුවෙනුයි සිටියේ. මේ අනතුර ගැන ආරංචි වූ විගස රෙනාටෝගේ මව ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුවත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඉතා අසරණ තත්වයට පත් වූ ඇය හඬා වැලපුණා.

වර්ෂ 1986 ජනවාරි මාසයේදී ආන්ට්ජි නම් තැනැත්තිය විවාහ ගිවිසගෙන සිටි පුද්ගලයා රිය අනතුරකින් මිය ගියා. එය ආරංචි වූ විට තමන්ට හැඟුණු ආකාරය ඇය මෙසේ විස්තර කරනවා. “මුලින්ම මම ඒක විශ්වාස කළේ නැහැ. මම හිතුවේ ඒක හීනයක් කියලයි. හැබැයි ඒක ඇත්ත කියලා දැනගත්තම මට දරාගන්න බැරි වේදනාවක් ඇති වුණා.” එය සිදු වී අවුරුදු තුනක් යනතුරු ඇය දැඩි මානසික පීඩනයක් අද්දැක්කා. මේ වන විට එය සිදු වී අවුරුදු 20ක් ගත වී තිබුණත් එය මතකයට නැඟෙන සෑම වතාවකදීම ආන්ට්ජිට වේදනාවක් දැනෙනවා.

බලාපොරොත්තු නොවූ ලෙස කෙනෙක් මරණයට පත් වූ විට ඒ මොහොතේ ඇති වන හැඟීම් වචනයෙන් විස්තර කළ නොහැකියි. එමෙන්ම දරුණු අසනීපයකින් පෙළෙන කෙනෙක් මිය යන බව දැන සිටියත් එවැනි කෙනෙකුගේ මරණය පවා දරාගැනීම පහසු නැහැ. ඊට හේතුව අපි ආදරය කරන අය මරණයට පත් වෙනවාට අපි කොහෙත්ම කැමති නැති නිසයි. උදාහරණයකට නාන්සිගේ අද්දැකීම සලකා බලන්න. දරුණු රෝගයකින් පෙළුණු ඇගේ මව 2002දී මිය ගියා. ඇගේ මව මිය යන බව නාන්සි දැන සිටියත් මව මිය ගිය අවස්ථාවේදී ඇති වූ දුක ඇයට දරාගත නොහැකි වුණා. සෑම දෙයක්ම තමන්ට අහිමි වුණා කියා ඇයට හැඟුණා. එය සිදු වී මේ වන විට අවුරුදු පහක් ගත වී තිබුණත් මව ගැන සිහි වන සෑම මොහොතකදීම ඇයට ඇඬෙනවා.

වෛද්‍යවරයෙක් වූ හොලි ප්‍රිගර්සන් මෙවැනි දෙයක් පැවසුවා. “කෙනෙක් මිය ගිය විට ඇති වන තනිකම සහ අඩුව කවදාවත් නැති වෙන්නේ නැහැ. නමුත් කාලයක් යද්දී ඒ තත්වයත් සමඟ ජීවත් වෙන්න මිනිසුන් හුරු වෙනවා.” ඔබ ආදරය කළ කෙනෙක් මිය ගොස් තිබෙනවා නම් ඔබ මෙසේ කල්පනා කරන්න පුළුවන්. ‘ඒ ගැන සිතමින් වැලපීම සුදුසුද? ඒ දුක දරාගන්නේ කෙසේද? මිය ගිය කෙනාව යළි දකින්න මට හැකි වෙයිද?’ මෙවන් ප්‍රශ්න ඇතුළු ඔබට ඇති විය හැකි තවත් ප්‍රශ්නවලට පිළිතුරු ඊළඟ ලිපියේ සපයා තිබෙනවා.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

EVERTON DE FREITAS/​AFP/​Getty Images