Skip to content

පටුනට යන්න

“ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය”

“ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය”

දෙවිට ළං වෙන්න

“ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය”

ක්‍රියා 17:24-27

විශ්වය සමඟ සසඳන කළ මිනිසා කොතරම් කුඩාද! ‘එවැනි තත්වයක සිටින මිනිසුන්ට සියලු බලැති දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන්ද’ කියා සමහරවිට ඔබ කල්පනා කරනවා ඇති. එවැනි මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් දෙවිද ඊට කැමති විය යුතුයි. ඒ සඳහා ඔහු කැමති වෙයිද? බයිබල් ලේඛකයෙක් වූ පාවුල් ඇතන්ස් නගරයේ සිටි අයට පැවසූ දෙයින් ඊට පිළිතුර සොයාගත හැකියි. (ක්‍රියා 17:24-27) එහිදී පාවුල් යෙහෝවා දෙවි සම්බන්ධයෙන් පැවසූ කරුණු හතරක් ගැන අපි දැන් සලකා බලමු.

මුලින්ම පාවුල් පැවසුවේ දෙවි “ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ” බවයි. (ක්‍රියා 17:24) ඒ අනුව ජීවිතය සතුටින් භුක්ති විඳීමට හැකි වන ලෙස සියල්ල නිර්මාණය කර තිබීමෙන් පැහැදිලි වන්නේ දෙවි මිනිසුන් ගැන සැලකිල්ලක් දක්වන ප්‍රේමණීය කෙනෙක් බවයි. (රෝම 1:20) එවැනි දෙවි කෙනෙක් මිනිසුන්ගෙන් ඈත්ව සිටීමට තීරණය කරයි කියා සිතීම සාධාරණද?

දෙවනුව පාවුල් පැවසුවේ යෙහෝවා දෙවි ‘සියලුදෙනාටම ජීවනයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේය’ කියායි. (ක්‍රියා 17:25) ජීවනයේ උල්පත වන්නේ යෙහෝවා දෙවියි. (ගීතාවලිය 36:9) ජීවිතයට නැතුවම බැරි වාතය, ජලය සහ ආහාර යන මේ සෑම දෙයක්ම අපට ලැබී තිබෙන්නේ ඔහුගෙන්. (යාකොබ් 1:17) එවැනි ත්‍යාගශීලී දෙවි කෙනෙක්, ඔහු ගැන සහ ඔහුට ළං විය හැකි ආකාරය ගැන මිනිසුන්ගෙන් වසං කරයි කියා සිතිය හැකිද?

තුන්වෙනුව පාවුල් පැවසුවේ දෙවි “එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවේය” කියායි. (ක්‍රියා 17:26) අද පොළොවේ සිටින සියලු ජාතීන්ට අයත් මිනිසුන් පැවතවිත් තිබෙන්නේ ආදම් නමැති මුල්ම මිනිසාගෙනුයි. යෙහෝවා දෙවි කවදාවත් එක ජාතියකට පමණක් විශේෂ අනුග්‍රහයක් දක්වන්නේ නැහැ. (ක්‍රියා 10:34) ඔහු කැමති වන්නේ ‘සියලු ආකාර මිනිසුන් ගැලවීම ලබනවා’ දකින්නයි. (1 තිමෝති 2:4) ඒ නිසා අපේ හමේ පාට, ජාතිය කුමක් වුණත් දෙවිට ළං වෙන්න අපි සියල්ලන්ටම අවස්ථාව තිබෙනවා.

හතරවෙනුව දෙවි “අප එකිනෙකාට නුදුරුව සිටින්නේය” කියා පාවුල් පැවසුවා. (ක්‍රියා 17:27) යෙහෝවා දෙවි උතුම්, ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් වුණත් තමාට ළංවීමට කැමති අයට ඔහු ඒ සඳහා අවස්ථාව දී තිබෙනවා.—ගීතාවලිය 145:18.

පාවුල්ගේ වදන්වලින් පැහැදිලි වන්නේ අපිට යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගත හැකි බවයි. නමුත් දෙවි එවැනි මිත්‍රත්වයක් ඇති කරගන්නේ “මහත් උත්සාහයකින්” ඔහුව “සොයන” අය සමඟ පමණයි. (ක්‍රියා 17:27) පාවුල් ඉහත යොදාගත් යෙදුම් දෙක ගැන එක් බයිබල් අත්පොතක මෙවැනි දෙයක් සඳහන් වුණා. “පාවුල්ගේ එම යෙදුම් දෙකෙන්ම පැහැදිලි වන්නේ එය කෙනෙකුට කළ හැකි දෙයක් බවයි.” දැන් අපි එය මෙසේ නිදර්ශනය කරමු. අඳුරේ ඔබ ඔබේ කාමරයේ ස්වීචය දමන්න දැඩි උත්සාහයක් දරනවා කියා සිතන්න. එය ඔබට කළ හැකි දෙයක් බව ඔබ හොඳින්ම දන්නවා. ඒ හා සමානව දෙවිව සොයන්නත් අපි දැඩි උත්සාහයක් දරනවා නම් පාවුල් පැවසූ ආකාරයට දෙවිව අපට ‘සොයාගන්න’ පුළුවන්.—ක්‍රියා 17:27.

දෙවිට ළං වන්න ඔබත් කැමතිද? යෙහෝවා දෙවි සිටින්නේ ‘අප එකිනෙකාට නුදුරුවයි.’ ඒ නිසා අපි ‘මහත් උත්සාහයක්’ දරා දැඩි විශ්වාසයකින් දෙවිව ‘සොයනවා’ නම් අපේ උත්සාහය කිසිදාක අපතේ යන්නේ නැහැ.