Skip to content

පටුනට යන්න

“බලන්න! යෙහෝවා දෙවිගේ දාසිය!”

“බලන්න! යෙහෝවා දෙවිගේ දාසිය!”

ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු

“බලන්න! යෙහෝවා දෙවිගේ දාසිය!”

මරියාගේ නිවසට අමුත්තෙක් පැමිණියා. ඔහුව දුටු විට ඇය පුදුම වුණා. එම අමුත්තාට අවශ්‍ය වුණේ මරියා සමඟ කතා කිරීමටයි. නාසරෙත් නුවර කුඩා වූ නිසා අමුත්තෙක් පැමිණි විට ඔහුව ඉක්මනින්ම හඳුනාගත හැකියි. ඒ නිසා මේ අමුත්තා නාසරෙත් නුවරේ කෙනෙක් නොවන බව මරියා දැනගත්තා. ඔහු මරියාට මෙවැනි දෙයක් පැවසුවා. “බොහෝ සෙයින් ප්‍රසාදය ලද තැනැත්තිය, ඔබට සුබ දවසක් වේවා! යෙහෝවා දෙවි ඔබ සමඟය.”—ලූක් 1:28.

මරියා ගලීලයේ නාසරෙත් නුවර වාසය කළ හේලිගේ දියණියයි. බයිබලයේ ඇය ගැන සඳහන් වන්නේ ඇගේ ජීවිතයේ වැදගත්ම තීරණ ගත යුතු අවදියක සිටයි. එතරම් ධනවත් නොවූවත් ඇදහිලිවන්ත ජීවිතයක් ගත කළ යෝසෙප් නම් වඩු කාර්මිකයා සමඟ ඇය විවාහ ගිවිසගෙන සිටියා. ඒ අනුව විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාගේ වැඩවලට සහය දෙමින් දරුවන්ව හදා වඩා ගෙන ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳින්න මරියා සිහින මවන්න ඇති. නමුත් නොසිතූ පරිදි ඇය නමස්කාර කළ දෙවිගෙන් ඇයට බැරෑරුම් පැවරුමක් ලැබුණා. එම පැවරුමත් සමඟම ඇය ගත කරමින් සිටි ජීවන රටාව වෙනස් වෙන්න ඇති.

බයිබලයේ මරියා ගැන එතරම් දීර්ඝ විස්තරයක් සඳහන් නොවීම ගැන සමහරවිට ඔබ පුදුම වෙයි. එහි ඇගේ පසුබිම හා පෞද්ගලිකත්වය ගැන කෙටියෙන් විස්තර කර තිබුණත් ඇගේ රූපය ගැන කිසිම විස්තරයක් සඳහන් කර නැහැ.

අද බොහෝ ආගම්වල මරියා ගැන විවිධ දේවල් උගන්වා තිබෙන අතර ඇගේ රූප පවා සාදාගෙන තිබෙනවා. එමෙන්ම බොහෝදෙනා ඇයව “දේවමෑණියන්” සහ “ස්වර්ග රාජිනිය” යන නම්වලින්ද හඳුන්වනවා. නමුත් මරියා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියා තේරුම්ගැනීමට මේ කිසිදෙයක් උපකාරවත් වන්නේ නැහැ. ඇය ගැන නිවැරදි තොරතුරු දැනගැනීමට බයිබලයේ ඇය ගැන සඳහන් කර ඇති දේ අපි දැන් සලකා බලමු. ඇයට මොන තරම් ඇදහිල්ලක් තිබුණාද කියාත් ඇගේ ඇදහිල්ල අපට අනුකරණය කළ හැක්කේ කෙසේද කියාත් ඉන් අපට දැනගත හැකියි.

අමුත්තෙක් පැමිණෙයි

මරියාව හමුවීමට පැමිණි අමුත්තා සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. ඔහු ගාබ්‍රියෙල් නම් දේවදූතයායි. “බොහෝ සෙයින් ප්‍රසාදය ලද තැනැත්තිය” කියා දේවදූතයා මරියාට කතා කළ විට ඇය ‘බොහෝ සේ කැලඹුණා.’ තමන්ව එලෙස ආමන්ත්‍රණය කිරීමට හේතුව කුමක්ද කියා ඇය කල්පනා කළා. (ලූක් 1:29) ඇය බොහෝ සෙයින් ප්‍රසාදය ලැබුවේ කාගෙන්ද? මරියා කවදාවත් මිනිසුන්ගේ ප්‍රසාදය ලැබීමට උත්සාහ කළේ නැහැ. එම දේවදූතයා කතා කරමින් සිටියේ මරියා ඉතා වැදගත් කොට සැලකූ යෙහෝවා දෙවිගෙන් ලද ප්‍රසාදය ගැනයි. නමුත් දැනටමත් දෙවිගේ අනුමැතිය තමන්ට තිබෙනවා කියා ඇය උඩඟු ලෙස සිතුවේ නැහැ. අපි ගැන කුමක් කිව හැකිද? අපට දැනටමත් දෙවිගේ අනුමැතිය තිබෙනවා කියා උඩඟු ලෙස නොසිතා අපිත් එය ලබාගැනීමට උත්සාහ කළ යුතුයි. එසේ කිරීමෙන් මරියා ඉගෙනගත් මෙම වැදගත් පාඩම අපටත් ඉගෙනගත හැකියි. එනම් දෙවි උඩඟු අයට විරුද්ධව සිට, යටහත් අයට මහත් කරුණාව පෙන්වන බවයි.—යාකොබ් 4:6.

නිහතමානී කෙනෙකු වූ ඇයට උතුම් වරප්‍රසාදයක් දෙවිගෙන් ලැබී තිබුණා. ඒ ගැන දේවදූතයා ඇයට පැවසුවේ ඇය දරුවෙකු බිහි කරන බව හා එම දරුවා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වන බවයි. ඒ දරුවා සම්බන්ධයෙන් දේවදූතයා මෙසේද පැවසුවා. “යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙන්නේය. ඔහු යාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය අවසන් නොවන්නේය.” (ලූක් 1:32, 33) දාවිත්ගෙන් පැවතෙන්නෙක් සදහටම පාලනය කරන බවට අවුරුදු දහසකට කලින් දෙවි දී තිබූ පොරොන්දුව ගැන ඒ වන විට මරියා දැනගෙන සිටි බවට සැකයක් නැහැ. (2 සාමුවෙල් 7:12, 13) සියවස් ගණනාවක සිට දෙවිගේ සේවකයන් බලා සිටි ගැලවුම්කරුගේ මව වීමේ වරප්‍රසාදය ඇයට ලැබුණා.

ඇයට ඉපදීමට සිටි දරුවාව “මහෝත්තමයාණන්ගේ පුත්‍රයා” ලෙස හඳුන්වන බවත් දේවදූතයා පැවසුවා. නමුත් දෙවිගේ දරුවෙකුව බිහි කරන්න ස්ත්‍රියකට හැකිද? මේ වන විට මරියා විවාහ ගිවිසගෙන සිටියත් විවාහ වී සිටියේ නැති නිසා ඇය මෙසේ පැවසුවා. “මේ දේ සිදු වන්නේ කෙසේද? මන්ද මා පුරුෂයෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා නැහැ.” (ලූක් 1:34) මරියා නිර්මල ජීවිතයක් ගත කරමින් සිටි නිසා තමා කන්‍යාවක් කියා පැවසීමට ඇයට හැකි වුණා. නමුත් අද සිටින සමහර යෞවනියන් කන්‍යාභාවය වටිනා යමක් ලෙස සලකන්නේ නැති අතර එය රැකගැනීමට උත්සාහ කරන අයටත් සමච්චල් කරනවා. එදාට වඩා අද සමාජය බොහෝ වෙනස්. නමුත් යෙහෝවා දෙවි නම් කවදාවත් වෙනස් වන්නේ නැහැ. (මලාකී 3:6) එදා මෙන්ම අදත් දෙවිගේ ප්‍රමිති පිළිපදින අයව දෙවි අගය කරනවා.—හෙබ්‍රෙව් 13:4.

මරියා ඇදහිලිවන්ත කෙනෙක් වුණත් ඇයත් අපි මෙන් පාපය උරුම කරගත් ස්ත්‍රියක්. ඒ නිසා කිසිම පාපයක් උරුම කරගෙන නැති, දෙවිගේ පුත්‍රයාව බිහි කරන්නේ කෙසේද? ඒ ගැන ගාබ්‍රියෙල් මෙසේ පැහැදිලි කළා. “මහෝත්තමයාණන්ගේ බලය ඔබව වසාගන්නේය. එහෙයින් උපදින තැනැත්තා ශුද්ධයයිද, දෙවිගේ පුත්‍රයායයිද කියනු ලබන්නේය.” (ලූක් 1:35) ශුද්ධ යන්නෙන් “පවිත්‍රකම” හා “නිර්මලකම” අදහස් වෙනවා. සාමාන්‍යයෙන් දරුවෙක් බිහි වන්නේ පව්කාරකම උරුම කරගෙනයි. නමුත් යෙහෝවා දෙවි සිය බලය යොදාගෙන තම පුත්‍රයාව මරියාගේ ගර්භාශයේ වැඩෙන්න සැලැස්වූ නිසා මේ දරුවාට කිසිම පාපයක් උරුම වුණේ නැහැ. දේවදූතයා පැවසූ මේ සියල්ල මරියා විශ්වාස කළාද? ඇය ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

මරියා දැක්වූ ප්‍රතිචාරය

බලවත් ක්‍රියා ගැන විශ්වාස නොකරන උගත් අයට කන්‍යාවක් දරුවෙකුව බිහි කරන්නේ කෙසේද යන්න තවමත් ප්‍රශ්නයක්. ඔවුන් කොතරම් උගත් අය වුණත් ‘දෙවිට ඉටු කළ නොහැකි කිසිවක් නැහැයි’ කියා ගාබ්‍රියෙල් පැවසූ ඒ සත්‍යය ඔවුන් තේරුම්ගෙන නැහැ. (ලූක් 1:37) දේවදූතයා තමන්ට පැවසූ වදන් සත්‍යයක් බව තහවුරු කරගැනීමට මරියාට සාක්ෂි අවශ්‍ය වුණා. එම සාක්ෂි ලබා දීම සඳහා දේවදූතයාද සූදානමින් සිටියා. මරියාගේ නෑයෙක් වූ එලිසබෙත් ගැන ඔහු ඇයට පැවසුවා. එනම් මහලු වියේ පසු වන හා වඳ ස්ත්‍රියක් වන ඇයට දෙවි ආශ්චර්යවත් ලෙස දරුවෙකුව පිළිසිඳගැනීමේ හැකියාව ලබා දී ඇති බවයි.

දැන් මරියා කුමක් කරයිද? ගාබ්‍රියෙල් මාර්ගයෙන් දෙවි කී සියල්ලක්ම ඉටු වන බවට දැන් ඇයට විශ්වාසයි. මරියාට ලැබුණේ උතුම් වරප්‍රසාදයක් වුණත් යම් අභියෝගවලටත් මුහුණ දෙන්න ඇයට සිදු වුණා. එක් දෙයක් නම් ඒ වන විටත් ඇය යෝසෙප් සමඟ විවාහ ගිවිසගෙන සිටීමයි. මරියා ගැබ්ගෙන ඇති බව දැනගත් පසු ඇයව විවාහ කරගන්න යෝසෙප් කැමති වෙයිද? එමෙන්ම දෙවි බෙහෙවින් ප්‍රේම කළ ඔහුගේ පුත්‍රයාව මේ පොළොවට බිහි කර, දුෂ්ට සමාජයක් තුළ ඔහුව හොඳින් හදා වඩා ගන්නත් ඇයට සිදු වුණා. එය මොන තරම් බැරෑරුම් වගකීමක්ද!

ඇතැම් ඇදහිලිවන්තයන් පවා දෙවි පැවරූ අභියෝගාත්මක පැවරුම් භාරගැනීමට අදි මදි කළ ආකාරය ගැන බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට පුරාණ ඇදහිලිවන්තයෙකු වූ මෝසෙස් දෙවි වෙනුවෙන් කතා කිරීමට තරම් තමා දක්ෂ කථිකයෙක් නොවන බව පැවසුවා. (නික්මයාම 4:10) තවත් අවස්ථාවකදී යෙරෙමියා දෙවිගෙන් ලද පැවරුම භාරගැනීමට අදි මදි කරමින් “මම තවම තරුණයෙක්” කියා පැවසුවා. (යෙරෙමියා 1:6, නව ලොව පරිවර්තනය) එමෙන්ම යෝනාද දෙවිගෙන් ලැබුණු පැවරුමෙන් පලා ගියා. (යෝනා 1:3) නමුත් මරියා ක්‍රියා කළේ කෙසේද?

මරියා කොතරම් නිහතමානී, කීකරු තැනැත්තියක්ද කියා ඇය දේවදූතයාට පැවසූ මෙම වදන්වලින් පැහැදිලි වෙනවා. “බලන්න! යෙහෝවා දෙවිගේ දාසිය! ඔබ පැවසූ දෙයට අනුව මට සිදු වේවා.” (ලූක් 1:38) සාමාන්‍යයෙන් දාසියක් සිටින්නේ ඇගේ ස්වාමියා යටතේයි. ඒ හා සමානව මරියාට හැඟුණේ ඇය තම ස්වාමියා වන යෙහෝවා දෙවි යටතේ සිටින බවයි. එසේ සිටීම ආරක්ෂාවක් බව ඇය දැන සිටියා. දෙවි කෙදිනකවත් තමන්ට පක්ෂපාත අයව අත්හරින්නේ නැති නිසා මෙම අභියෝගාත්මක පැවරුම ඉටු කිරීමේදී මරියා දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබුවා.—ගීතාවලිය 18:25.

සමහර අවස්ථාවලදී අපට කොහෙත්ම කරගන්න බැහැයි කියා පෙනෙන යම් පැවරුම් යෙහෝවා දෙවිගෙන් අපිට ලැබෙන්න පුළුවන්. ඒ කොහොමවුණත් මරියා මෙන් දෙවි යටතේ සිටිමින් ඔහු කෙරෙහි විශ්වාසය තැබීමට ඇති තරම් හේතු බයිබලයේ සඳහන් වී තිබෙනවා. (හිතෝපදේශ 3:5, 6) අපි දෙවි කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා කළොත් ඔහු කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය උපකාරය දෙවි අපට සපයනවා.

එලිසබෙත්ව මුණගැසීමට යෑම

එලිසබෙත් ගැබ්ගෙන ඇති බවට වූ ගාබ්‍රියෙල් දේවදූතයාගේ වචන මරියාට ඉතා වැදගත් වුණා. මරියාගේ තත්වය වෙන කාටත් වඩා හොඳින් තේරුම්ගත හැකි වුණේ එලිසබෙත්ට පමණයි. ඒ නිසා මරියා ඉක්මනින්ම ඇයව හමුවීමට යුදයට ගියා. ඒ සඳහා ඇයට අඩුම තරමින් දින තුන හතරක්වත් ගත වෙන්න ඇති. මරියා එලිසබෙත්ගේ නිවසට ගිය අවස්ථාවේදී යෙහෝවා දෙවි මරියාගේ ඇදහිල්ල ශක්තිමත් කළා. මරියාගේ කටහඬ ඇසුණු විට තම කුසේ සිටි දරුවා ප්‍රීතියෙන් දැඟලූ බව එලිසබෙත්ට දැනුණා. මරියාගෙන් උපදින දරුවා ගැලවුම්කරු වන බව දෙවි එලිසබෙත්ට කලින්ම දන්වා තිබූ නිසා ඇය මරියාව ඇමතුවේ “මාගේ ස්වාමීන්ගේ මව” ලෙසයි. එමෙන්ම මරියාගේ ඇදහිල්ල හා කීකරුකම අගය කරමින් ඇයට මෙසේ පැවසීමට දෙවි එලිසබෙත්ව පෙලඹෙව්වා. “ඔබ මේ දේ විශ්වාස කළ නිසා ඔබත් සන්තෝෂවත්ය.” (ලූක් 1:39-45) මෙසේ යෙහෝවා දෙවි මරියාට දුන් සෑම පොරොන්දුවක්ම ඉටුවීමට නියමිතයි.

මරියා එලිසබෙත්ට පැවසූ වදන් ලූක් 1:46-55 දක්වා වාර්තා වෙනවා. ගැලවුම්කරුගේ මව වීමේ වරප්‍රසාදය දෙවි ඇයට ලබා දීම ගැන ඇය කොතරම් ස්තුතිවන්ත වුණාද කියා එම වාර්තාවෙන් පැහැදිලි වෙනවා. එමෙන්ම දෙවි උඩඟු අයව පහත් කරමින් යටහත් අයට කරුණාව දක්වනවා කියාත් ඇය සඳහන් කළා. මින් පැහැදිලි වන්නේ ඇයට දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් තිබූ බවයි. එම වාර්තාව තුළ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ උපුටා දැක්වීම් 20කට වඩා දකින්න පුළුවන්. එයින් පැහැදිලි වෙන්නේ ඇයට ශුද්ධ ලියවිල්ල ගැන මනා අවබෝධයක් තිබූ බවයි.

මරියා දෙවිගේ වචනය ගැන ගැඹුරින් සිතූ කෙනෙක්. ඒ නිසා ඇය ඇගේ තත්වය ගැන නිහතමානී ලෙස අන් අයට පැවසුවේ ශුද්ධ ලියවිල්ල යොදාගෙනයි. ඇය බිහි කළ දරුවාද ඒ ආකාරයටම කටයුතු කළා. ඒ බව යොහන් 7:16හි සඳහන් මෙම වදන්වලින් පැහැදිලි වෙනවා. “මා උගන්වන දේ මාගේ නොව, මාව එවූ තැනැත්තාට අයිතිය.” දැන් අපි අපෙන්ම මෙසේ අසාගනිමු. දෙවිගේ වචනයට මමත් ගෞරවයක් දක්වනවාද නැත්නම් මම උගන්වන්නේ මගේ අදහස්ද?

මරියා, එලිසබෙත් සමඟ සිටි මාස තුනක කාලය තුළ ඒ දෙදෙනාම එකිනෙකාගෙන් යම් දිරිගැන්වීම් ලබන්න ඇති. (ලූක් 1:56) මිත්‍රත්වයේ වැදගත්කම ගැන මේ දෙදෙනාගෙන් වටිනා පාඩමක් අපට ඉගෙනගත හැකියි. අපිත් යෙහෝවා දෙවිට ආදරය කරන අයව අපේ මිතුරන් කරගන්නවා නම් දෙවිට තව තවත් ළංවීමට එය අපට උපකාරවත් වෙයි. (හිතෝපදේශ 13:20) මරියාට නැවතත් ඇගේ නිවසට යෑමට කාලය උදා වුණා. ඇය සිටින තත්වය යෝසෙප් දැනගත් විට ඔහු කුමක් කරයිද?

මරියා සහ යෝසෙප්

මරියාට අවශ්‍ය වුණේ තමන් ගැබ්ගෙන සිටින බව තමන් විසින්ම යෝසෙප්ට දැනුම් දීමටයි. ඊට කලින් එම කාරණය යෝසෙප්ට කෙසේ බලපායිද කියා ඇය කල්පනා කරන්න ඇති. පසුව ඇය යෝසෙප් වෙතට ගොස් සිදු වූ සියල්ල පැවසුවා. ඒ අවස්ථාවේදී යෝසෙප්ට කෙසේ හැඟෙන්න ඇද්ද? යෝසෙප් මරියාව විශ්වාස කළත් මීට පෙර කිසිදාක මෙවැනි දෙයක් සිදු වී නැති නිසා මේ කාරණය ඔහුට අදහාගත නොහැකි වුණා. ඒ අවස්ථාවේදී ඔහු කල්පනා කළේ මොනවාද කියා බයිබලයේ නිශ්චිතව සඳහන් කර නැහැ. ඒ කාලයේදී විවාහ ගිවිසගැනීමක් සැලකුවේ විවාහ වුණා හා සමානවයි. ඒ නිසා මරියාව දික්කසාද කරන්න යෝසෙප් තීරණය කළා. නමුත් ඔහු ඒ දේ කරන්න උත්සාහ කළේ ඇයව ලැජ්ජාවට පත් කිරීමේවත් දඬුවම් කිරීමේවත් අදහසකින් නොවන නිසා එය රහසිගතව කිරීමට ඔහු තීරණය කළා. (මතෙව් 1:18, 19) බලාපොරොත්තු නොවූ තත්වයකට යෝසෙප්ට මුහුණ දීමට සිදුවීම ගැන මරියා දුක් වෙන්න ඇති. නමුත් යෝසෙප් මෙම කාරණය විශ්වාස නොකළා කියා ඔහු කෙරෙහි ඇයට තිබුණු ආදරය ඇය නැති කරගත්තේ නැහැ.

යෝසෙප් අදහස් කරගෙන සිටි දේ කරන්න යෙහෝවා දෙවි ඔහුට ඉඩ දුන්නේ නැහැ. මරියා ගැබ්ගත්තේ ආශ්චර්යවත් ආකාරයකින් බව දෙවි යෝසෙප්ට දේවදූතයෙකු මාර්ගයෙන් දැනුම් දුන්නා. එය දැනගැනීමෙන් යෝසෙප් සහනයක් ලැබුවා. එතැන් සිට යෝසෙප් මරියා මෙන් දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව ක්‍රියා කරන්න පටන්ගත්තා. මරියාව ඔහුගේ බිරිඳ ලෙස පිළිගෙන දෙවිගේ පුත්‍රයාව රැකබලා ගැනීමේ වගකීමද ඔහු භාරගන්න සූදානම් වුණා.—මතෙව් 1:20-24.

විවාහ වූ අයට මෙන්ම විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයටද මේ තරුණ යුවළගෙන් වැදගත් පාඩම් ඉගෙනගත හැකියි. මරියා ඉතා සැලකිලිමත් ලෙස මවකගේ වගකීම ඉටු කරනවා යෝසෙප් දකිද්දී දේවදූතයෙක් මාර්ගයෙන් දෙවි තමාට මඟ පෙන්වීම ගැන ඔහු දෙවිට ස්තුතිවන්ත වුණා. ජීවිතයේ වැදගත් තීරණ ගනිද්දී දෙවි මත රඳා සිටීම කොතරම් වැදගත්ද කියා ඔහුට තේරෙන්න ඇති. (ගීතාවලිය 37:5; හිතෝපදේශ 18:13) එමෙන්ම ඔහු පවුලේ මූලිකයා ලෙස කාරුණිකව හා ඉතා සැලකිලිමත්ව තීරණ ගන්නත් ඇති.

මරියාගෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? යෝසෙප් ඇයගේ තත්වය තේරුම් නොගත්තත් ඇය යෝසෙප්ව එපා කළේ නැහැ. ඒ වෙනුවට ඇය තමාගේ අනාගත ස්වාමිපුරුෂයා වන යෝසෙප් ගැන විශ්වාසයෙන් සිටියා. එය අද දින සිටින ක්‍රිස්තියානි කාන්තාවන්ටද වැදගත් පාඩමක්. එමෙන්ම මේ යුවළ අවංකව හා විවෘතව අදහස් හුවමාරු කරගැනීමේ ඇති වැදගත්කම මොන තරම්ද කියා තේරුම්ගන්න ඇති.

යෝසෙප් හා මරියා යෙහෝවා දෙවිට ප්‍රේම කළා. එමෙන්ම දෙමව්පියන් හැටියට ඔවුන්ට හිමි වගකීම් හරි හැටි ඉටු කරමින් දෙවිව සතුටු කරන්නත් ඔවුන්ට වුවමනා වුණා. ඒ නිසා ඔවුන්ගේ විවාහය ගොඩනැඟුණේ ශක්තිමත් අත්තිවාරමක් මත කියා කිව හැකියි. මේ දෙදෙනාගේ විවාහ ජීවිතයේ අභියෝග තිබුණත් දෙවිගෙන් බොහෝ ආශීර්වාදද ඔවුන්ට ලැබුණා. ලෝකයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වීමට නියමිත තැනැත්තා වන යේසුස්ව හදා වඩා ගැනීමට ලැබීම ඔවුන් දෙදෙනාට මොන තරම් වරප්‍රසාදයක් වන්න ඇද්ද!

[17වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමෙන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකියි