Skip to content

පටුනට යන්න

දෙවි මට දයාන්විතව සැලකුවා

දෙවි මට දයාන්විතව සැලකුවා

දෙවි මට දයාන්විතව සැලකුවා

බෝල්ෆෙන්ක් මොච්නික්

“ඔයා දැන් ශක්තිමත්ව ඉන්න.” නඩු විභාගයට යන්න කලින් මාව වැලඳ ගනිමින් ඒ වදන් පැවසුවේ මගේ අම්මායි. මට ඒ නඩු විභාගයෙන් අවුරුදු පහක සිරදඬුවමක් නියම වුණා. ඒ වගේ තත්වයකදී බොහෝදෙනෙක් කලබල වුණත් දෙවිට නමස්කාර කරන කෙනෙක් හැටියට මට ඒක බලපෑවේ වෙනත් විදිහකටයි.

ඉහත සිද්ධිය වුණේ 1952දීයි. * නමුත් ඇත්තටම මගේ කතාව ඇරඹෙන්නේ ඊට අවුරුදු 20කට විතර කලින්. ඒ කියන්නේ 1930දීයි. අපේ රට වූ ස්ලෝවේනියාවේ මුල්ම වතාවට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වැඩිදෙනෙක් එකම වේලාවේ බව්තීස්ම වුණේ ඒ දවස්වලයි. ඒ අය අතරට මගේ දෙමව්පියන් වූ බෙර්ටා හා ෆ්‍රාන්ට්ස් මොච්නික්ද අයිති වුණා. එතකොට මට වයස අවුරුදු හයයි. මගේ නංගි මයිඩාට වයස අවුරුදු හතරයි. ඒ දවස්වල මැර්බොර්වල තිබුණු අපේ නිවසේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් රැසක් සිදු වුණා.

වර්ෂ 1933දී හිට්ලර් ජර්මනිය පාලනය කිරීම ඇරඹීමත් සමඟම සාක්ෂිකරුවන් පීඩා රැසකට මුහුණ දුන්නා. ඒ නිසා ජර්මනියේ සිටි බොහෝ සාක්ෂිකරුවන් යුගෝස්ලාවියාවට ඇවිත් ශුභාරංචිය දේශනා කිරීම ඇරඹුවා. එසේ පැමිණි ඇදහිලිවන්ත අමුත්තන්ට මගේ දෙමව්පියන් හරිම සතුටින් අපේ ගෙදර නවාතැන් දුන්නා. ඒ අය අතරින් එක් කෙනෙක් තමයි මාර්ටින් පෝට්සිංගර්. පසු කාලයකදී අවුරුදු නවයක් පුරාම ඔහු නාට්සි සිරකඳවුරුවලත් සිටියා. වර්ෂ 1977 සිට 1988දී ඔහු මිය යන තෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ඔහු සේවය කළා.

මාර්ටින් අපේ ගෙදර නවතින්න ආවම එයා නිදාගත්තේ මගේ ඇඳෙයි. ඒ නිසා මමයි මගේ නංගියි අම්මලාගේ කාමරයට ගිහින් නිදාගත්තා. ඔහු ළඟ ලස්සන පොඩි විශ්වකෝෂයක් තිබුණා. මගේ කුඩා අවදියේදී ඒ පොත බලන්න මම කොච්චර ආශාවක් දැක්වූවාද කියලා මට තාම මතකයි.

දරුණු පීඩා

වර්ෂ 1936 වෙද්දී හිට්ලර්ගේ බලය තව තවත් වැඩි වුණා. ඒ කාලයේදී මගේ දෙමව්පියන් ස්විට්සර්ලන්තයේ ලූසර්න්වල පවත්වපු ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වුණා. මගේ තාත්තට ලස්සන කටහඬක් තිබුණු නිසා බයිබල් දේශන පටිගත කරන්න ඔහුව තෝරාගෙන තිබුණා. එම පටිගත කිරීම් ස්ලෝවේනියාවේ ගෙයින් ගෙට දේශනා සේවයේදී භාවිත කළා. ඒ සමුළුව අවසන් වී වැඩි කාලයක් යන්න කලින් යුරෝපයේ සිටි සාක්ෂිකරුවන්ටත් පීඩා රැසක් එල්ල වුණා. සමහරු නාට්සි ගාල් කඳවුරුවල දරුණු පීඩාවලට මුහුණ දුන් අතර තවත් අය එහිදී මිය ගියා.

වර්ෂ 1939 සැප්තැම්බර් මාසයේ දෙවන ලෝක මහා යුද්ධය ඇරඹුණා. පසුව 1941 අප්‍රියෙල් මාසයේදී ජර්මානු හමුදාව යුගෝස්ලාවියාවේ සමහර ප්‍රදේශ අල්ලගත්තා. ස්ලෝවේනියාවේ සියලුම පාසැල් වසනු ලැබුවා. අපේ භාෂාව ප්‍රසිද්ධියේ කතා කිරීමත් තහනම් කළා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලන කටයුතුවලට සහභාගි වුණේ නැති නිසා ඔවුන් යුද්ධවලට හවුල් වුණේ නැහැ. * ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙකුව අත්අඩංගුවට ගත් අතර තවත් අයව ඝාතනය කළා. නාට්සි හමුදාව මිනිසුන්ට වෙඩි තියලා මරපු තැන තිබුණේ අපේ ගෙවල් කිට්ටුවමයි. වෙඩි සද්දේ ඇහෙන්නේ නැති වෙන්න මගේ අම්මා රෙදිවලින් කන් දෙක වහගත්ත හැටි මට තාමත් මතකයි. එලෙස ඝාතනයට ලක් වූ අය අතර මම හොඳින්ම දන්නා තරුණයෙක් වූ ෆ්‍රාන්ට්ස් ඩ්‍රෝස්ග්ද සිටියා. ෆ්‍රාන්ට්ස් මැරෙන්න කලින් එයාගේ කිට්ටු මිතුරෙකුට ලියපු ලියුමක “දේවරාජ්‍යයේදී අපි හමු වෙමු” කියා සඳහන් වී තිබුණා.

කලකිරීමට පත් වී

ඒ වන විට මට වයස අවුරුදු 19යි. ෆ්‍රාන්ට්ස්ගේ නිර්භීතකම මම අගය කළත් මටත් මැරෙන්න වෙයිද කියලා මම හරිම භයෙනුයි හිටියේ. ඒ වෙද්දී මගේ ඇදහිල්ල වගේම යෙහෝවා දෙවිත් එක්ක තිබුණු සම්බන්ධයත් දුර්වල වෙලා තිබුණා. ඒ අතරතුර මටත් හමුදාවට බැඳෙන්න කියලා නියෝග කළා. මම භයෙන් හිටපු නිසා එයට එකඟ වුණා.

රුසියානුවන්ට එරෙහිව පැවති යුද්ධයට මාවත් යැව්වා. මගේ ඇස් පනාපිටම හුඟක් සොල්දාදුවන් මිය ගියා. යුද්ධය තව තවත් දරුණු අතට හැරුණා. මම කරන දේවල් ගැන මගේ හිත වධ දුන්නා. ඒ නිසා මම යෙහෝවා දෙවිගෙන් සමාවත් හරි මාර්ගයේ යන්න ශක්තියත් ඉල්ලා කන්නලව් කළා. අපේ කණ්ඩායමට දරුණු විදිහට ප්‍රහාර එල්ල වෙද්දී හැමෝම කලබල වුණා. ඒ නිසා මට හිතුණා මේක තමයි මෙතනින් පැනලා යන්න තියෙන හොඳම අවස්ථාව කියලා.

ඒ අයට අහු වුණොත් මාව මරලා දායි කියලා මම දැනගත්තා. ඒ නිසා මම මාස හතක්ම එක එක තැන්වල හැංගිලා හිටියා. ඔය අතරතුර මට පුළුවන් වුණා මගේ නංගිට ලියුමක් දාන්න. “මම රැකියාවෙන් අස් වුණා. දැන් වැඩ කරන්නේ අලුත් තැනක” කියලා මම ලිව්වා. ඇත්තටම මම කියන්න උත්සාහ කළේ මම දැන් දෙවිට සේවය කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලයි. හැබැයි ඒ දේ කරන්න මට ටික කාලයක් ගත වුණා.

වර්ෂ 1945 අගෝස්තු මාසයේදී මිත්‍ර පාක්ෂික හමුදාව ජර්මනිය යටත් කරගත්තා. ඉන් මාස තුනකට පස්සේ ආපසු මැර්බොර්වලට යන්න මට අවස්ථාව ලැබුණා. එහි පැවති දරුණු යුද්ධයෙන් මගේ පවුලේ අයට කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ. හැබැයි කොමියුනිස්ට්වාදීන්ගේ පාලනය ඇරඹීමත් සමඟම සාක්ෂිකරුවන්ට පීඩා රැසකට මුහුණ දෙන්න සිදු වුණා. ඔවුන් දේශනා සේවයත් තහනම් කළා. ඒත් සාක්ෂිකරුවන් රහසිගතව දේශනා සේවය කරගෙන ගියා.

වර්ෂ 1947 පෙබරවාරි මාසයේදී ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් තිදෙනෙකු වූ රූඩොල්ෆ් කාලේ, ඩූෂාන් මිකිච් සහ එඩ්මන්ට් ස්ට්‍රෝප්නික්ට මරණ දණ්ඩනය නියම වුණා. නමුත් පසුව ඒ තීරණය වෙනස් වී ඔවුන්ට වසර 20ක සිරදඬුවමක් නියම වුණා. මේ ආකාරයට සාක්ෂිකරුවන්ට මුහුණ දීමට සිදු වූ පීඩා හා අසාධාරණයන් ගැන ප්‍රවෘත්ති මධ්‍යයන් තුළින් හෙළි කළා. ඒ නිසා බොහෝ මිනිසුන් ඒ ගැන දැනගත්තා. ඒ දේවල් කියවද්දී මට මං ගැනම කලකිරුණා. ඔවුන් වගේ මමත් දෙවිට උද්‍යෝගයෙන් සේවය කරන්න ඕනේ කියලා මම දැනගෙන හිටියා.

නැවත ශක්තිමත් වී

බයිබල් සත්‍යයට එකඟව ජීවත් විය යුතු බව මම හොඳින්ම දැනගෙන සිටියා. ඒ නිසා රහසිගතව කළ දේශනා සේවයට සහයෝගය දෙන්න මට ඕන වුණා. මම බයිබලය ගැඹුරින් අධ්‍යයනය කළ නිසා මගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්නත් දුම්කොළ භාවිතය වැනි නරක පුරුදුවලින් ගොඩ එන්නත් මට පුළුවන් වුණා.

වර්ෂ 1951දී මම යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වුණා. ඊට අවුරුදු දහයකට කලින් දෙවි සමඟ තිබූ සම්බන්ධතාවය යළිත් ඇති කරගන්න මට පුළුවන් වුණා. යෙහෝවා දෙවි විශ්වාසවන්ත, පක්ෂපාත මෙන්ම ප්‍රේමණීය පියෙක් බව අන්තිමේදී මම තේරුම්ගත්තා. තරුණයෙක් විදිහට මම අඥාන තීරණ ගත්තත් දෙවි සමාව දෙන බවට වූ බයිබල් පොරොන්දුව මට ලොකු සහනයක් වුණා. යෙහෝවා දෙවි ප්‍රේමණීය පියෙක් මෙන් ‘මාව ඔහු වෙතට ඇදගත්තා.’—හොෂෙයා 11:4, නව ලොව පරිවර්තනය.

ඒ පීඩාකාරී කාලවලදී විවිධ සහෝදරයන්ගේ නිවෙස්වල අපි රහසිගතව ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වුවා. ඒ වගේම රහසිගතව දේශනා සේවයත් කරගෙන ගියා. මම බව්තීස්ම වෙලා අවුරුද්දක් ගත වෙන්නත් කලින් මාව අත්අඩංගුවට ගත්තා. මේ ලිපියේ මුලදී සඳහන් කළ ආකාරයට මගේ නඩු විභාගයට යන්න කලින් මගේ අම්මා මාව බදාගෙන “ඔයා දැන් ශක්තිමත්ව ඉන්න” කියලා කිව්වා. අවුරුදු පහකට මට සිරදඬුවම් නියම වුණත් මම කලබල වුණේ නැහැ.

මාව දාපු පුංචි සිරකුටියේ සිටි සිරකරුවන් තිදෙනා එක්ක මම බයිබල් සත්‍යය බෙදාගත්තා. ඒ අවස්ථාවේදී මං ළඟ බයිබලයවත් බයිබලය ආශ්‍රිත වෙනත් පොත් පත්වත් තිබුණේ නැහැ. ඒත් මම බයිබලයෙන් අධ්‍යයනය කළ තොරතුරු ඒ මොහොතේ මතක් වුණු එක ගැන මට පුදුම හිතුණා. මට අවුරුදු පහක් සිරදඬුවම් විඳින්න සිදු වුණත් එය දරාගැනීමට අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවි මට ලබා දෙනවා කියලා මම අනික් සිරකරුවන්ට කිව්වා. ඕනේ නම් ඊට කලින් මාව මෙතනින් නිදහස් කරන්නත් දෙවිට පුළුවන්. ඔහු එහෙම කරනවා නම් ඒක වෙනස් කරන්න කාටවත් බැහැ කියාත් මම පැවසුවා.

යම් තරමක නිදහසක්

වර්ෂ 1953 නොවැම්බර් මාසයේදී රජය විසින් අපට පනවා තිබුණු තහනම ඉවත් කළා. ඒ වගේම හිරේ හිටපු සාක්ෂිකරුවන්ටත් නිදහස ලැබුණා. ඊට මාස දෙකකට කලින් දේශනා සේවයට පනවා තිබුණු තහනමත් ඉවත් කරලා කියලා ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ. ඒ නිසා අපි ඉක්මනටම ක්‍රිස්තියානි සභාවන් හා දේශනා සේවය නැවත සංවිධානය කළා. අපි රැස්වීම් පැවැත්වුවේ මැර්බොර්හි තිබූ ගොඩනැඟිල්ලක පහළ මහලයකයි. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මැර්බොර් සභාව” කියලා අපි එහි බිත්තියක සඳහන් කළා. ඒ විදිහට නිදහසේ යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබුණු අවස්ථාව අපි හුඟක් අගය කළා.

වර්ෂ 1961 මුල් කාලයේදී මම පූර්ණකාලීන දේවසේවය පටන්ගත්තා. මාස හයකට විතර පස්සේ යුගෝස්ලාවියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන්න මට ආරාධනාවක් ලැබුණා. එය පිහිටා තිබුණේ ක්‍රොඒෂියාවේ සාග්‍රෙබ්වලයි. ඒ වන විට ශාඛා කාර්යාලයේ වැඩ කටයුතු කළේ කුඩා කාමරයකයි. එහි සේවය කළේ සහෝදරයන් තුන්දෙනෙක් විතරයි. ඒ ළඟ පාත හිටපු සහෝදරයන් ඇවිත් මුරටැඹ සඟරාව තමන්ගේ භාෂාවට පරිවර්තනය කරන්න උදව් කළා.

ඒ සඟරාවල පිටු එකට අමුණන්න අවට හිටපු ක්‍රිස්තියානි සහෝදරියනුත් උදව් කළා. එහිදී මම සෝදුපත් කියවීම, පරිවර්තනය කිරීම, බඩු භාණ්ඩ ප්‍රවාහණය කිරීම හා වාර්තා පිළියෙල කිරීම වැනි විවිධ කාර්යයන්වල නිරත වුණා.

පැවරුම වෙනස් වෙයි

වර්ෂ 1964දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් බැහැදැකලා ඔවුන්ට අවශ්‍ය දිරිගැන්වීම් ලබා දෙන සංචාරක අවේක්ෂකයෙක් විදිහට සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. මම හරිම ආශාවෙන් ඒ වගකීම ඉටු කළා. ගොඩක් අවස්ථාවලදී මම සභාවන්වලට ගියේ කෝච්චියෙන් නැත්නම් බස් එකෙන්. කුඩා ගම්බද පළාත්වල හිටපු සාක්ෂිකරුවන්ව බලන්න ගියේ බයිසිකලයෙන්. පයින් ගිය අවස්ථාවනුත් තිබුණා. සමහර දවස්වල මඩේ බැහැගෙන යන්නත් මට සිද්ධ වුණා.

මේ සේවය කරගෙන යද්දී හාස්‍යජනක දේවලුත් වුණා. මමයි එක සහෝදරයෙකුයි මඩ පිරිච්ච පාරක් දිගේ අශ්ව කරත්තයක නැඟලා තව සභාවක් බැහැදකින්න ගියා. එහෙම යද්දී අශ්ව කරත්තේ රෝදයක් ගැලවිලා ගිහින් අපිව මඩ වගුරක වැටුණා. අපි මඩේ වැටිලා ඉද්දී අශ්වයත් අපි දිහා පුදුමයෙන් වගේ බලන් හිටියා. ඒ සිද්ධිය වෙලා අවුරුදු ගණනාවක් ගත වුණත් අපි තාමත් ඒක මතක් කරලා හිනා වෙනවා. ඒ ගම්බද පළාත්වල හිටපු සහෝදර සහෝදරියන් දක්වපු ප්‍රේමය නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

නෝවි සෑඩ්වල පූර්ණකාලීන දේවසේවය කරපු මරිකාව හඳුනාගන්න මට අවස්ථාවක් ලැබුණා. ඇය බයිබල් සත්‍යයට හා දේශනා සේවයට දක්වපු පුදුමාකාර උනන්දුව නිසා ඇයව විවාහ කරගන්න මම කැමති වුණා. විවාහයෙන් ටික කාලෙකට පස්සේ අපි දෙන්නම සතුටින් සංචාරක සේවයේ නිරත වුණා.

තහනම පැවති කාලයේදී අපේ පවුලේ අය විවිධ දුෂ්කරතාවයන් විඳදරාගෙන කටයුතු කළා. යුද්ධය පැවති කාලයේදී සතුරු හමුදාව එක්ක සම්බන්ධකම් පැවැත්වුවා කියලා නැඟූ බොරු චෝදනාව නිසා තාත්තට රැකියාව අහිමි වුණා. ඒක ලබාගන්න උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැති නිසා තාත්තා හොඳටම කලකිරුණා. ඔය කාලයේදී තාත්තාගේ ඇදහිල්ලත් දුර්වල වෙලයි තිබුණේ. හැබැයි 1984 ඔහු මිය යද්දී සභාවේ ක්‍රියාශීලී සාමාජිකයෙක් ලෙස සේවය කරමින් සිටියා. නිහතමානී, ඇදහිලිවන්ත කෙනෙක් වූ මගේ අම්මා 1965 මුල් කාලයේදී මිය ගියා. මගේ නංගි මයිඩා මැර්බොර් සභාවේ ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටිනවා.

ඔස්ට්‍රියාවේ දේශනා සේවය

වර්ෂ 1972දී ඔස්ට්‍රියාවේ හිටපු යුගෝස්ලාවියානු භාෂාවන් කතා කළ අයට දේශනා කරන්න මටයි මරිකාටයි ආරාධනාවක් ලැබුණා. අපි එහේ අගනුවර වූ වියානාවලට ගියාම හැමදාමත් එහෙ සේවය කරන්න වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. කාලයක් යද්දී ඔස්ට්‍රියාව පුරාම යුගෝස්ලාවියානු භාෂා කතා කරන සභාවන් හා කණ්ඩායම් පිහිටුවනු ලැබුවා.

ටික කාලයක් යද්දී ඔස්ට්‍රියාව පුරාම පැවති එවැනි සභාවන් හා කණ්ඩායම් බැහැදකින සංචාරක අවේක්ෂකයෙක් විදිහට සේවය කරන්න මම පටන්ගත්තා. කාලයක් යද්දී ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ තිබූ යුගෝස්ලාවියානු භාෂාවන් කතා කරන සභාවන් බැහැදකින්නත් අපට සිදු වුණා. සාක්ෂිකරුවන් පවත්වපු එක්රැස්වීම් හා සමුළු සංවිධානය කරන්නත් මට අවස්ථාව ලැබුණා.

විශාල සමුළු පවත්වද්දී පාලක මණ්ඩලයේ සහෝදරයන්ද ඒ සඳහා සහභාගි වුණා. එක් අවස්ථාවකදී මට මාර්ටින් පෝට්සිංගර්ව මුණගැසුණා. මීට අවුරුදු 40කට කලින් ඔහු අපේ ගෙදර අමුත්තෙක්ව සිටි කාලය ගැන අපි මතක් කළා. මම මාර්ටින්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයා ළඟ තිබුණු පොඩි ලස්සන විශ්වකෝෂය බලන්න ඒ දවස්වල මම කොච්චර ආසද කියලා ඔයාට මතකද?”

එතකොට එයා “පොඩ්ඩක් ඉන්න” කියලා කාමරයෙන් එළියට ගියා. එයා ආයෙත් එද්දී එයාගේ අතේ ඒ පොත තිබුණා. “මේක යාළුවෙකුගෙන් ලැබුණු තෑග්ගක් විදිහට තියාගන්න” කියලා එයා මට කිව්වා. ඒ පොත මට ගොඩක් වටින නිසා මගේ පොත් රාක්කයේ තාමත් ඒක තියාගෙන ඉන්නවා.

සෞඛ්‍ය ගැටලු මැද ක්‍රියාශීලීව

වර්ෂ 1983දී මට පිළිකාවක් වැළදී ඇති බව මම දැනගත්තා. මගේ රෝගය සුව කරන්න බැහැ කියා වෛද්‍යවරුන් පැවසුවා. ඒ කාලයේදී අපි හිටියේ ලොකු පීඩනයකින්. හැබැයි මරිකා දක්වපු ආදරය හා සැලකිල්ල වගේම ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් දක්වපු සැලකිල්ල නිසා මේ වනතුරු දේවල් දරාගන්න මට හැකි වෙලා තියෙනවා.

මරිකායි මමයි තාමත් වියානාවල පූර්ණකාලීන දේවසේවය කරනවා. හුඟක් වෙලාවට මම ශාඛා කාර්යාලයේ සිදු වන පරිවර්තන වැඩ කටයුතුවලට හවුල් වෙනවා. මරිකා හරිම උද්‍යෝගයෙන් දේශනා කටයුතුවල යෙදෙනවා. කුඩා කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රියාවේ හිටපු යුගෝස්ලාවියානු භාෂා කතා කරන අය අද වෙද්දී 1,300කටත් වඩා වර්ධනය වීම ගැන මට හරි සතුටුයි. ඒ අය අතරින් බොහෝදෙනෙක්ට බයිබල් සත්‍ය කියා දීමේ මහඟු වරප්‍රසාදය මටයි මරිකාටයි ලැබුණා.

පසුගිය කාලයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයන් කැප කිරීම සඳහා සහභාගි වීමේ වරප්‍රසාදයත් මට ලැබුණා. වර්ෂ 1999දී ක්‍රොඒෂියාවලත් 2006දී ස්ලෝවේනියාවෙත් සිදු වූ කැප කිරීම්වලට මම සහභාගි වුණා. එහිදී මීට අවුරුදු 70කට කලින් මේ රටවල දේශනා සේවය ආරම්භ වුණේ කොහොමද කියලා කියන්නත් මට අවස්ථාව ලැබුණා.

යෙහෝවා දෙවි අපේ වැරදිවලට සමාව දෙන්න සූදානමින් සිටින ප්‍රේමණීය පියෙක්. ඔහු වැරදි දෙස පමණක් නොබලන දෙවි කෙනෙක් වීම ගැන මම ඔහුට නිතරම ස්තුතිවන්ත වෙනවා. (ගීතාවලිය 130:3) ඔහු මට දයාන්විතව සැලකුවා. *

[පාදසටහන්වල]

^ 4 ඡේ. එවකට යුගෝස්ලාවියාවට ස්ලෝවේනියාව ඇතුළු තවත් ජනරජ හයක් අයත් වුණා.

^ 9 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට සහභාගි නොවීමට හේතුව දැනගැනීම සඳහා මෙම සඟරාවේ 22වෙනි පිටුවේ ඇති “පාඨකයන් අසයි” යන ලිපිය බලන්න.

^ 39 ඡේ. මෙම ලිපිය සකස් කෙරෙමින් තිබියදී 2008 අප්‍රියෙල් 11වන දින බෝල්ෆෙන්ක් මොච්නික් මිය ගියා.

[27වන පිටුවේ පින්තූරය]

වමේ සිට දකුණට: 1940දී ස්ලෝවේනියාවේ මැර්බොර්වල අම්මයි තාත්තයි නංගියි මමයි

[29වන පිටුවේ පින්තූරය]

මමයි මගේ බිරිඳයි