Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්!

ජීවිත වෙනස් කළ පොතක්!

ජීවිත වෙනස් කළ පොතක්!

තමන් සම්බන්ධ වී සිටි මැර කල්ලියෙන් ඉවත් වී හොඳ පුරවැසියෙක් වීමට මෙක්සිකෝවේ සිටි තරුණයෙකුව පෙලඹවූයේ කුමක්ද? ධන සම්පත් රැස් කිරීමෙන් වැළකී සිටීමට ජපානයේ සිටින ව්‍යාපාරික කාන්තාවක් පෙලඹුණේ ඇයි? නීති විරෝධී ලෙස අවි වෙළඳාමේ නිරත වූ රුසියානු ජාතිකයෙක් එය අත්හැර දැමුවේ ඇයි? එම පුද්ගලයන් සිදු කළ වෙනස්කම් ගැන ඔවුන්ගේ අදහස් දැන් අපි සලකා බලමු.

තොරතුරු

නම: ඒඩ්‍රියන් පරෙස්

වයස: අවුරුදු 30යි

රට: මෙක්සිකෝව

අතීතයේදී: කල්ලි සාමාජිකයෙක්

මගේ අතීතය: මට වයස අවුරුදු 13දී මගේ පවුලේ අය මෙක්සිකෝවේ පදිංචියට ගියා. ඒ දවස්වල එහෙ බාල අපරාධකරුවන්, පොදු දේපළ විනාශ කරන්නන්, හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය හැම තැනකම හිටියා. වැඩි කල් යන්න කලින් මමත් මත්පැන් බොන්න, පොදු දේපළට හානි කරන්න සහ අනාචාරයේ යෙදෙන්න පටන්ගත්තා.

ටික කාලෙකට පස්සේ මම උපන් නගරය වූ සැන් වින්සන්ටේවලට අපි ආයෙත් ගියා. එහෙත් හුඟක් අය මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. තරුණයෝ පාරවල් අයිනේ මැරිලා ඉන්න එක එහෙ සාමාන්‍ය දසුනක් වුණා. එහෙදී තමයි මම කල්ලියකට සම්බන්ධ වුණේ. අපි මත්ද්‍රව්‍ය හොරකම් කළාට අමතරව සැර සුවඳක් තිබූ ටිනර් සහ ඇතැම් ගම් වර්ග නාසයට උරන්නත් පුරුදු වුණා. හුඟක් වෙලාවට මම ගෙදර ගියේ කොහොමද කියලවත් මම දන්නේ නැහැ. සමහර දවස්වලට මම සිහිය නැතුව පාරවල් අයිනේ වැටිලත් තියෙනවා. මගේ සමහර යාළුවන්ව සොරකම් කිරීමේ සහ මිනී මැරීමේ වරදට සිරගත කළා.

මම වැරදි කළත් මට දෙවි ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මගේ හිත මට වධ දුන්න නිසා සහනයක් ලබාගන්න කතෝලිකයෙක් විදිහට මම යම් දේවල් කළා. උදාහරණයකට යේසුස් කුරුසය උසුලාගෙන කල්වාරි කන්දට නැඟ ගිය සිද්ධිය අපි ශුද්ධ වූ සතියේ රඟපෑවා. හැබැයි ඒක ඉවර වුණාට පස්සේ යේසුස්ගේ චරිතය රඟපෑ කෙනා ඇතුළු අපි හැමෝම ගිහින් වෙරි වෙන කල් මත්පැන් බිව්වා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: තරුණ වයසේදී මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය අධ්‍යයනය කළා. මගේ ජීවිතය වැරදි විදිහට ගෙන ගියොත් ඉන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා මට තේරුණා. බයිබලයේ ගලාති 6:8හි සඳහන් වදන් මගේ හිතට තදින්ම කාවැදුණා. ඒ පදයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “තම මාංසය සඳහා වපුරන තැනැත්තා මාංසයෙන් දිරාපත් වීම නෙළාගන්නේය. නමුත් ආත්මය සඳහා වපුරන තැනැත්තා ආත්මයෙන් සදාකාල ජීවනය නෙළාගන්නේය.” ඒකෙන් මම තේරුම්ගත්තා මගේ අනාගතය ප්‍රීතිමත් කරගන්න නම් හැකි ඉක්මනින් ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න ඕනේ කියලා.

යෙහෝවා දෙවි මං ගැන සැලකිලිමත් වන බවත් මගේ වැරදිවලට සමාව දෙන්න සූදානමින් සිටින බවත් මම බයිබලය අධ්‍යයනය කරද්දී දැනගත්තා. ඔහු මගේ යාච්ඤාවලට සවන් දීලා ඒවාට පිළිතුරු ලබා දුන් ආකාරය මම අද්දැකලා තියෙනවා.

මම සම්බන්ධ වෙලා සිටි කල්ලියෙන් ඉවත් වෙලා ඒ ජීවිතය අත්හරින එක එච්චර ලේසි වුණේ නැහැ. කොහොමවුණත් මම දැන් කල්ලියකට සම්බන්ධ නැතත් තාමත් මට වෙනත් කල්ලිවලට අයත් ප්‍රදේශවලට යන්න බැහැ. සමහර දවස්වල මගේ පරණ යාළුවන්ව මුණගැහෙද්දී මට හැංඟෙන්න සිද්ධ වුණා. මම එහෙම කළේ ඒ අය මාව ආයෙත් පරණ ජීවිතයට ඇදලා දායි කියලා භය හිතුණ නිසයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හරිම ප්‍රේමණීය ගුණයහපත් අය බව ඔවුන්ගේ රැස්වීම්වලට ගිය වෙලාවේ මම තේරුම්ගත්තා. ඒ අය උගන්වන දේවලට එකඟවම ජීවත් වෙනවා. ඔවුන් අතර තිබුණේ මම කලින් ජීවත් වූ වාතාවරණයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වාතාවරණයක්.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මම මීට අවුරුදු දහයකට කලින් යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වුණා. බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න උත්සාහ කරන නිසා දැන් මගේ පවුලේ අයත් මට ගෞරව කරනවා. ඒ වගේම පවුලේ අවශ්‍යතා වෙනුවෙන් මම වෙහෙස වී වැඩ කරන බව ඔවුන් දකිනවා. මගේ අම්මත් බයිබලය පාඩම් කරලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් බවට පත් වුණා. තාත්තත් ඔහුගේ ජීවිතයේ යම් වෙනස්කම් කරගෙන තියෙනවා. මගේ පවුලේ වැඩිදෙනෙක් සාක්ෂිකරුවන් නෙවෙයි. ඒ වුණත් මගේ ජීවිතයේ සිදු වූ වෙනස්කම් දැක්කට පස්සේ බයිබලයේ සඳහන් දැනුමට කෙනෙක්ව යහමඟ යවන්න පුළුවන් බව ඔවුන් තේරුම් අරන් තියෙනවා.

තොරතුරු

නම: යායෝයි නාගාටානි

වයස: අවුරුදු 50යි

රට: ජපානය

අතීතයේදී: ව්‍යාපාරික කාන්තාවක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ මිත්‍රශීලී මිනිසුන් සිටි කුඩා නගරයකයි. මගේ තාත්තට සාප්පුවක් තිබුණා. ඒකේ සේවකයන් දහදෙනෙක් වැඩ කළා. සාප්පුව තිබුණේ අපේ ගෙදරට කිට්ටුව නිසා අම්මයි තාත්තයි කාර්යබහුල වුණත් මට පාළුවක් දැනුණේ නැහැ.

මට නංගිලා දෙන්නෙක් හිටියා. මම පවුලේ වැඩිමලා නිසා ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමේ වගකීම තිබුණේ මටයි. මම හුඟක් තරුණ වයසේදී විවාහ වුණා. ඊට පස්සේ මගේ මහත්තයා බැංකුවක කරමින් සිටි රැකියාවෙන් අයින් වෙලා අපේ ව්‍යාපාර කටයුතුවලට හවුල් වුණා. අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. මම උදේ ඉඳන් රෑ වෙනකල් ව්‍යාපාර කටයුතු කරන නිසා මගේ අම්මා තමයි දරුවන්ව බලා කියා ගත්තේ. අපි කාර්යබහුල වුණත් පවුලක් විදිහට එකට කාලය ගත කළා.

අපි නොසිතූ විදිහට අපේ නගරයේ ව්‍යාපාර කටයුතු බිද වැටුණා. ඒ නිසා ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැලක් විවෘත කරන්න අපි තීරණය කළා. නමුත් එහි වැඩකටයුතු පටන්ගන්න කලින් දවසේ අපේ තාත්තා හදිසියේම අසනීප වුණ නිසා ඔහුට කතා කරන්න බැරිව ගියා. එදා ඉඳන් අලුත් ව්‍යාපාරයේ වැඩකටයුතු කරගෙන යන්න සිද්ධ වුණේ මටයි. මගේ මහත්තයා කලින් තිබුණු ව්‍යාපාරය දිගටම කරගෙන ගියා. මේ විදිහට අපේ ජීවිත හරිම කාර්යබහුල වුණා.

අපේ අලුත් ව්‍යාපාරය සාර්ථක වුණ නිසා මට ලොකු සතුටක් දැනුණා. සමහර දවස්වලට මම නිදිමරාගෙන වැඩ කළා. මම දරුවන්ට කොච්චර ආදරය කළත් නිතරම හිතුවේ ව්‍යාපාරය ගැනයි. කලින් මට පවුලේ අය එක්ක ගත කරන්න කාලය තිබුණත් අලුත් ව්‍යාපාරයේ වැඩ ගොඩගැහුණ නිසා මට මගේ මහත්තයා එක්ක කතා කරන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. කතා කරන්න අවස්ථාවක් ලැබුණත් අපි දෙන්නා අතරේ මතගැටුම් ඇති වුණා. මට තිබුණු මේ පීඩනයෙන් ගොඩ එන්න ඕනෙ නිසා යාළුවන් එක්ක ගිහින් මත්පැන් බොන්න මම පුරුදු වුණා. මේ විදිහට වැඩ කිරීමයි, මත්පැන් බීමයි, නිදාගැනීමයි හැරෙන්න වෙන දෙයක් මම කළේ නැහැ. ආර්ථික වශයෙන් ලොකු දියුණුවක් ලැබුවත් මගේ ජීවිතයෙන් සතුට ගිලිහුණා. ඒකට හේතුව මොකක්ද කියලා තේරුම්ගන්න මට පුළුවන් වුණේ නැහැ.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තට පස්සේ බයිබල් පද තුනක් මගේ සිතට තදින්ම කාවැදුණා. මතෙව් 5:3හි නියම අදහස තේරුම්ගත්තම මට ඇඬුණා. එහි සඳහන් වෙන්නේ මෙහෙමයි. “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය. මන්ද ස්වර්ග රාජ්‍යය අයිති ඔවුන්ටය.” මම ආර්ථිකමය වශයෙන් හොඳ තත්වයක සිටියත් හොඳ පිළිගැනීමක් තිබුණත් මට සතුටක් තිබුණේ නැත්තේ ඇයි කියලා මම ඒ බයිබල් පදයෙන් තේරුම්ගත්තා. සන්තෝෂය අද්දකින්න නම් මම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට උත්සාහ කළ යුතු බව මට වැටහුණා.

ජපානය ආර්ථික පරිහානියකට මුහුණ දුන් වෙලාවේ මගේ යාළුවන් කොතරම් අසරණ තත්වයකට පත් වුණාද කියලා මම දැක්කා. බයිබලයේ 1 තිමෝති 6:9හි සඳහන් මෙම වදන් කොතරම් සත්‍යයද කියා මම එයින් තේරුම්ගත්තා. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය පරීක්ෂාවටද, උගුලකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ බොහෝ ආශාවලටද වැටෙන්නෝය.” ඒ වගේම මතෙව් 6:24හි සඳහන් වෙන විදිහට මට ‘මුදලටත් දෙවිටත් දාසයෙකු විය නොහැකි’ බව මම තේරුම්ගත්ත නිසා ඉක්මනින්ම මගේ ජීවිතයේ වෙනස්කම් කරන්න මම තීරණය කළා.

මම මගේ දෙමව්පියන්ට, සැමියට හා දරුවන්ට හරියට සලකන්නේ නැහැ කියලා මට තේරුණා. ඒ වගේම මම ඉක්මනටම කේන්තිගන්න, අහංකාර කෙනෙක් වෙලා කියලත් මට දැනුණා. මගේ ජීවිතය වෙනස් කරගෙන ක්‍රිස්තියානියෙක් වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. ඒත් මම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන දරුවන්ට ආදරෙන් සලකද්දී දරුවනුත් ඒ ගැන සතුටු වුණා. මම ඔවුන් සමඟ තවත් වැඩියෙන් කාලය ගත කරමින් ඔවුන්ව ක්‍රිස්තියානි රැස්වීම්වලට එක්කගෙන ගියා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: ජීවිතයේ අරමුණ ගැන දැනගෙන දෙවිට සේවය කිරීම නිසා මම දැන් ලොකු සතුටක් අද්දකිනවා. මම පවුලේ අයත් එක්ක ගත කළ යුතු වෙලාව රැකියාව සඳහා යොදවන්නේ නැහැ. ඒ නිසා මම අහිමි කරගෙන තිබුණු ගෞරවය දැන් මට ආයෙත් ලැබෙනවා.

බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන මගේ ජීවිතයේ වෙනස්කම් කළ නිසා මගේ අම්මත් බයිබලය අධ්‍යයනය කරලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් බවට පත් වුණා. මම ගත්ත තීරණවලට මගේ තාත්තවත් සැමියවත් විරුද්ධ නොවුණු එක ගැන මට හරිම සතුටුයි. මමයි මගේ දරුවනුයි අතර ශක්තිමත් බැඳීමක් ඇති වෙලා තියෙන නිසා දැන් මම සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගෙවනවා.

තොරතුරු

නම: මයිකාඑල් සූයෙෆ්

වයස: අවුරුදු 51යි

රට: රුසියාව

අතීතයේදී: නීති විරෝධී අවි වෙළෙන්ඳෙක්

මගේ අතීතය: මම ජීවත් වුණ ක්‍රස්නෝගෝර්ස්ක් නගරයේ බහුලව තිබුණේ එළවළු වගාවයි. මොස්කව් ගඟත් ඒ ළඟින්ම ගලා ගියා. නගරයේ දකුණු හා බස්නාහිර පැත්තට වෙන්න තිබුණු පළාත ඝන කැලෑවලින් වැසී තිබුණා.

මම තරුණ වයසේදී බොක්සින් වැනි ක්‍රීඩාවල නියැලෙන්නත් අවි ආයුධවලින් සෙල්ලම් කරන්නත් ලොකු ආශාවක් දැක්වුවා. ඒ නිසා මම හුඟක් කාලය වැය කරමින් ඒ දේවල් පුරුදු වුණා. මම නීති විරෝධී විදිහට ගිනි අවි, වෙඩි උණ්ඩ සහ පිහි හදලා විකුණුවා. හොඳින් සැලසුම් කරලා ඒ ව්‍යාපාරය කළ නිසා ඒක සාර්ථක වුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: වර්ෂ 1990 ගණන්වල මුල්භාගයේදී මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණා. ඒත් මම මුලින්ම ඔවුන්ව විශ්වාස කළේ නැහැ. මට හිතුණේ ඒගොල්ලන් මගෙන් හුඟක් ප්‍රශ්න ඇහුවා කියලයි.

එක දවසක් ඒ අය බයිබලයේ රෝම 14:12හි සඳහන් පදය මට ඇහෙන්න කියෙව්වා. ඒකෙ තිබුණේ “අප එකිනෙකා තම තමා ගැන දෙවිට ගණන් දෙනු ඇත” කියලයි. ඒක කියෙව්වට පස්සේ මම කල්පනා කළා මම කරපු දේවලට දෙවිට උත්තර දෙන්නේ කොහොමද කියලා. දෙවි මගෙන් බලාපොරොත්තු වන දේවල් ගැන ඉගෙනගන්න මාව පෙලඹවූයේ ඒ බයිබල් පදයයි.

බයිබලයේ කොලොස්සි 3:5-10හි සඳහන් දේවල් අදාළ කරගන්න මම ලොකු වෑයමක් දැරුවා. එහි සඳහන් වුණේ මෙයයි. ‘වේශ්‍යාකම, අපවිත්‍රකම, ලිංගික තෘෂ්ණාව, අනතුරුදායක ආශා සහ රූප වන්දනාවක් වන තණ්හාව වැනි කාරණා හා බැඳි, පොළොවේ තිබෙන ඔබේ අවයව නසා දමන්න. ඒ දේවල් නිසා දෙවිගේ උදහස පැමිණෙන්නේය. උදහස, කෝපය, අයහපත, නිග්‍රහ කිරීම සහ කටින් පිට වන අසභ්‍ය කතා මුළුමනින්ම ඉවත දමන්න. එකිනෙකාට බොරු නොකියන්න. පරණ පෞද්ගලිකත්වය එහි ක්‍රියාත් සමඟ ඉවත් කර, අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න.’

මගේ පරණ ගනුදෙනුකරුවන් වැඩි මුදලකට මගෙන් ආයුධ ඉල්ලද්දිත් මගේ වෙනස ගැන සමහර අය මට අපහාස කරද්දිත් යහමඟ ගමන් කිරීම ලේසි වුණේ නැහැ. ඒත් මං ළඟ තිබුණු හැම අවියක්ම මම විනාශ කරලා දැම්මා. යෙහෝවා දෙවි සහ යේසුස් මට මොන තරම් ප්‍රේමයක් පෙන්වලා තියෙනවාද කියලා දැනගත්තම මමත් ඔවුන්ට ප්‍රේම කරන්න පටන්ගත්තා. ඒ නිසා මම බයිබලය අධ්‍යයනය කිරීම, ක්‍රිස්තියානි රැස්වීම්වලට හවුල් වීම, දෙවිට යාච්ඤා කිරීම දිගටම කළා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මම දෑරූ වෑයමෙන් සහ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ උපකාරයෙන් යහපත් ගුණාංග වර්ධනය කරගන්න මට පුළුවන් වුණා. යෙහෝවා දෙවි අපි එකිනෙකා ගැන මෙන්ම මිය ගිය අය ගැනත් සැලකිලිමත් බව දැනගත්තම මට ලොකු සතුටක් දැනුණා. (ක්‍රියා 24:15) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තුළ තිබුණු අවංකකම සහ ඔවුන් දෙවිට දැක්වූ පක්ෂපාතකම මම අගය කරනවා. ඒ වගේම ඔවුන් මා කෙරෙහි දැක්වූ සැලකිල්ල ගැනත් මං ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

මම බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තම මගේ පවුලේ අයයි යාළුවනුයි ඒකට කැමති වුණේ නැහැ. ඒත් නීති විරෝධී විදිහට අවි ආයුධ විකුණනවාට වඩා මම ආගමකට සම්බන්ධ වෙලා ඉන්න එක හොඳයි කියලා ඒ අය හිතුවා. දැන් මම අවි ආයුධ විකුණනවා වෙනුවට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න අනික් අයට උපකාර කරනවා. මම ඒකෙන් ලබන සතුට කියා නිම කරන්න බැහැ.

[27වන පිටුවේ පින්තූරය]

සහනය පතා මම කතෝලිකයෙක් විදිහට පල්ලියේ ක්‍රියාකාරකම්වලට හවුල් වුණා

[28වන පිටුවේ පින්තූරය]

මගේ ආර්ථිකය හොඳ ස්ථාවරයක තිබුණත් මට කිසිම සතුටක් ලැබුණේ නැහැ