Skip to content

පටුනට යන්න

ගලාති, එෆීස, ෆිලිප්පි සහ කොලොස්සි යන පොත්වලින් විශේෂාංග

ගලාති, එෆීස, ෆිලිප්පි සහ කොලොස්සි යන පොත්වලින් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

ගලාති, එෆීස, ෆිලිප්පි සහ කොලොස්සි යන පොත්වලින් විශේෂාංග

යුදෙව් සම්ප්‍රදායන්ට ඇලී සිටි අයගේ බලපෑම නිසා සමහර ක්‍රිස්තියානීන් සැබෑ නමස්කාරයෙන් ඉවත් වෙමින් සිටි බව පාවුල්ට දැනගන්න ලැබුණා. ඒ නිසා ඔහු “ගලාතියේ සභා වෙත” ඉතා ප්‍රබල උපදෙස් සහිත ලිපියක් ලිව්වා. (ගලා. 1:2) එහි ඉතා ඍජු උපදෙස් මෙන්ම ඔවුන්ව ක්‍රියාවට පොළඹවන ආකාරයේ මඟ පෙන්වීම් ඇතුළත් වූ අතර එය ලියනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 50-52 අතර කාලයේදීයි.

ඉන් දස වසරකට පසු ඔහු “ක්‍රිස්තුස් යේසුස්ගේ සිරකරුවෙකු” ලෙස රෝමයේ සිටියදී එෆීසය, ෆිලිප්පිය, කොලොස්සිය යන සභාවලට නිශ්චිත උපදෙස් හා ප්‍රේමණීය දිරිගැන්වීම් ඇතුළත් ලිපි ලිව්වා. (එෆී. 3:1) ගලාති පොත ඇතුළු එම පොත් තුනට හොඳ අවධානයක් දීමෙන් අපටත් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකියි.—හෙබ්‍රෙ. 4:12.

“ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කරනු” ලබන්නේ කෙසේද?

(ගලා. 1:1–6:18)

යුදෙව් සම්ප්‍රදායන් දැඩිව අනුගමනය කළ අය පාවුල්ව පහත් අයෙකු ලෙස සලකන්න ඉතා කපටි ලෙස උත්සාහ කළා. නමුත් පාවුල් තම ජීවිතයේ සිදු කළ වෙනස්කම් සඳහන් කරමින් ඊට විරුද්ධව කරුණු ඉදිරිපත් කළා. (ගලා. 1:11–2:14) තමාට චෝදනා කළ අයගේ බොරු ඉගැන්වීම් හෙළි කරමින් ඔහු පැවසුවේ “ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඇදහිල්ල මාර්ගයෙන් මිස, නීතියේ ක්‍රියාවලින් මිනිසෙකු ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු නොලබන බවයි.”—ගලා. 2:16.

“නීතිය යටතේ සිටින්නන්ව මිල දී ගැනීමෙන් [යේසුස්] ඔවුන්ව නිදහස්” කර තිබෙන නිසා “දාසකමේ වියගහකට නැවත හිර නොවී ස්ථිරව සිටින්න” කියා ඔහු දැඩි උපදෙස් දුන්නා.—ගලා. 4:4, 5; 5:1.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

3:16-18, 28, 29—දෙවි ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම තවමත් වලංගුද? ඔව්. දෙවි මෝසෙස් තුළින් නීතිය ලබා දුන් විට ඔහු ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම අහෝසි වුණේ නැහැ. එය එලෙසම පැවතුණා. එමෙන්ම මෝසෙස් තුළින් දුන් නීතිය ‘නැති කළාට’ පසුවද එය අහෝසි වුණේ නැහැ. (එෆී. 2:15) එම ගිවිසුමෙහි සඳහන් වූ පොරොන්දු ඉටු වන්නේ එම වංශයෙන් පැවත එන ප්‍රධාන තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් මගින් සහ “ක්‍රිස්තුස්ට අයිති” අය මගිනුයි.

6:2—“ක්‍රිස්තුස්ගේ නීතිය” කුමක්ද? ඊට යේසුස්ගේ ඉගැන්වීම් හා ඔහු අණ කළ සියල්ල අයත්. “එකිනෙකාට ප්‍රේම කරන්න” යන ආඥාව එහිදී විශේෂ තැනක් ගන්නවා.—යොහ. 13:34.

6:8—‘ආත්මය සඳහා වපුරනවා’ කීමෙන් අදහස් වන්නේ කුමක්ද? අප ජීවත් විය යුත්තේ දෙවිගේ බලය අප තුළ නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ දෙන ආකාරයටයි. අප එසේ කරන්නේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයට දායක වන කටයුතුවල උද්‍යෝගයෙන් නියැලීමෙනුයි.

අපට ගත හැකි පාඩම්:

1:6-9. සභාව තුළ ප්‍රශ්න ගැටලු පැන නඟින විට ඒවා විසඳීමට වැඩිමහල්ලන් ඉක්මනින් පියවර ගැනීම අවශ්‍යයයි. ඒ සඳහා ඔවුන් ශුද්ධ ලියවිල්ලෙන් පැහැදිලි උපදෙස් යොදාගනිමින් වැරදි මත ඉවත් කළ යුතුයි.

2:20. යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගෙන් අපට පෞද්ගලිකවම ලැබුණු ත්‍යාගයක්. අපත් එය එසේම සැලකීමට ඉගෙනගත යුතුයි.—යොහ. 3:16.

5:7-9. ‘සත්‍යයට කීකරු නොවන ලෙස අපව බාධාවට’ පත් කිරීමට නරක ආශ්‍රයට හැකියි. එනිසා අප ඉන් ඉවත් විය යුතුයි.

6:1, 2, 5. “ආත්මික” හෙවත් ශුද්ධ ලියවිලිවලට අනුව “සුදුසුකම්” ඇති අය අපගේ ජීවිතයේ දුෂ්කරතා නමැති බර හෙවත් යම් ගැටලුවකට මුහුණ දෙන විට වැරදි තීරණ ගැනීමෙන් වැලකී සිටින්න අපට උපකාර කරයි. නමුත් ක්‍රිස්තියානීන් හැටියට අපට පැවරී තිබෙන වගකීම් නමැති බර ඉසිලිය යුත්තේ අප විසින්මයි.

‘සියල්ල ක්‍රිස්තුස් තුළ එක්සත් කිරීම’

(එෆී. 1:1–6:24)

ක්‍රිස්තියානි එක්සත්කමේ වැදගත්කම අවධාරණය කරමින් එෆීසයේ සිටි ක්‍රිස්තියානීන්ට ලියූ තම ලිපියේ පාවුල් පැවසුවේ දෙවි ‘ස්වර්ගයේ තිබෙන දේවල් හා පොළොවේ තිබෙන දේවල් යන සියල්ල නැවතත් ක්‍රිස්තුස් තුළ එක්සත් කර, නියම කරන ලද කාලවල් සම්පූර්ණ වූ විට, පරිපාලනයක් ඇති කිරීමට’ නියමිත බවයි. එමෙන්ම යේසුස් “පුරුෂයන්ව තෑගි වශයෙන්” දී තිබෙන්නේ සියල්ලන්ටම ‘ඇදහිල්ලේ එක්සත්ව’ සිටීම සඳහායි.—එෆී. 1:10; 4:8, 13.

දෙවිට ගෞරවය ගෙන ඒමට හා එකිනෙකා අතර එක්සත්කම සඳහාත් ක්‍රිස්තියානීන් “අලුත් පෞද්ගලිකත්වය පැළඳගත” යුතු අතර “ක්‍රිස්තුස් කෙරෙහි භය ඇතිව එකිනෙකාට යටත්ව” සිටිය යුතුයි. එමෙන්ම “යක්ෂයාගේ උපායවලට විරුද්ධව ස්ථිරව සිටින්න” හැකි වන පිණිස මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳ ගත යුතුයි.—එෆී. 4:24; 5:21; 6:11.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:4-7—ලෝකය පිහිටුවීමටත් කලින් දෙවි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව තෝරාගෙන තිබුණේ කෙසේද? දෙවි එසේ ඔවුන්ව තෝරාගෙන තිබුණේ කණ්ඩායමක් හැටියටයි. එය සිදු වුණේ පව්කාර ලෝකය බිහිවීමට පෙර එනම් ආදම් සහ ඒවට දරුවන් ලැබෙන්න කලිනුයි. ඉන් අදහස් කරන්නේ ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට තවත් පිරිසක් හවුල් වන බව අඟවමින් උත්පත්ති 3:15හි සඳහන් අනාවැකිය දෙවි පැවසුවේ ආබෙල් ඉපදෙන්නත් පෙර බවයි.—ගලා. 3:16, 29.

2:2මෙහි සඳහන් වන්නේ කුමන “ස්වභාවය” ගැනද? මෙහි කතා කරන්නේ ලෝකය තුළ පවතින නපුරු බලපෑම ගැනයි. එය ආකාශය පුරා පැතිර පවතින වාතය මෙන් හැම තැනම පැතිර පවතී. (1 කොරි. 2:12) එහි ප්‍රධාන ලක්ෂණ අතර අකීකරුකම හා හිතුවක්කාරකම දැකගත හැකියි. එය කොතරම් ප්‍රබලද කියනවා නම් එමගින් ඉතා පොලඹවනසුලු, දැඩි බලපෑමක් එල්ල කරනවා.

2:6—අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමහරෙක් මේ පොළොවේ සිටියදීම ඔවුන් “ස්වර්ගීය ස්ථානවල” සිටින්නේ කොහොමද? මෙහි “ස්වර්ගීය ස්ථාන” කීමෙන් ඔවුන් ලබන්න නියමිත ස්වර්ගයේ ජීවිතය අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඉන් අදහස් කරන්නේ “ශුද්ධාත්මය” හෙවත් දෙවිගේ බලයෙන් ඔවුන්ව මුද්‍රා කර තිබෙන නිසා ඔවුන් සිටින උසස් තත්වය ගැනයි.—එෆී. 1:13, 14.

අපට ගත හැකි පාඩම්:

4:8, 11-15යේසුස් ක්‍රිස්තුස් “වහලුන්ව ගෙන ගොස්” එනම් සාතන්ගේ පාලනය යටතේ සිටි මිනිසුන්ව රැගෙන ක්‍රිස්තියානි සභාව ගොඩනැගීම සඳහා ඔවුන්ව යොදාගන්නවා. ඒ නිසා අප වෙනුවෙන් පෙරමුණ ගන්නා ඔවුන්ට කීකරු වීමෙන් හා සභාව තුළ ඔවුන් ගන්නා තීරණවලට සහයෝගය දැක්වීමෙන් “ක්‍රිස්තුස් යටතේ සියලු කාරණාවලදී ප්‍රේමයෙන්” අප කටයුතු කරන බව පෙන්විය හැකියි.—හෙබ්‍රෙ. 13:7, 17.

5:22-24, 33. භාර්යාවක් තම ස්වාමිපුරුෂයාට යටත්කම දක්වනවාට අමතරව ගෞරවයද දැක්විය යුතුයි. ඇය එය පෙන්වන්නේ ඇගේ “තැන්පත් වූ මෘදු වූ ගතිය” විදහා පෑමෙන් හා ඔහුට ගෞරවය ගෙන දෙන ආකාරයෙන් කතා කිරීමෙනුයි. එමෙන්ම ඔහු ගන්නා තීරණ සාර්ථක කරගැනීමට උපකාර කිරීමෙන්ද එම ගෞරවය පෙන්වීමට ඇයට හැකියි.—1 පේතෘ. 3:3, 4; තීත. 2:3-5.

5:25, 28, 29. ස්වාමිපුරුෂයෙක් තමන්ව “පෝෂණය” කරගන්නා ආකාරයෙන්ම තම භාර්යාවගේ ශාරීරික අවශ්‍යතා ගැනත් ඇයගේ හැඟීම් ගැන සැලකිල්ල දැක්වීමත් දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් වර්ධනය කරගැනීමට ඇයට උපකාර කිරීමත් අවශ්‍යයි. ඒ වගේම ඇය සමඟ එකට කාලය ගත කිරීමෙන්ද ඇය සමඟ කතා කරන සහ ක්‍රියා කරන ආකාරයෙන්ද ඇයව අගය කරන බව පෙන්විය යුතුයි.

6:10-13. සාතන්ට හා ඔහුගේ භූත සේනාවට විරුද්ධව සිටින්න නම් අපි දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලය පැළඳ සිටිය යුතුයි.

“පිළිවෙළකින් යුතුව දිගටම ගමන් කරමු”

(ෆිලි. 1:1–4:23)

ෆිලිප්පිවරුන්ට පාවුල් ලියු ලිපිය තුළින් ප්‍රේමය ගැන කාවැද්දුවා. ඔහු පැවසුවේ “ඔබ උදෙසා නොකඩවා කරන මාගේ යාච්ඤාව මෙයයි. නිවැරදි දැනුම හා පූර්ණ වැටහීමත් සමඟම ඔබේ ප්‍රේමය තව තවත් වැඩි” කරගන්න කියායි. එමෙන්ම තමන් ගැනම පමණට වඩා විශ්වාසය තැබීමේ උගුලට හසු නොවීම සඳහා “භයෙන් සහ වෙවුලමින් යුතුව ඔබගේම ගැලවීම ඉටු කරගන්න” කියා ඔහු උනන්දු කළා.—ෆිලි. 1:9; 2:12.

දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගෙන සිටින අයට පාවුල් පැවසුවේ “දෙවිගේ ස්වර්ගික කැඳවීම නමැති තෑග්ග ලබන පිණිස ඉලක්කය” දිගටම ලුහුබඳින්න කියායි. එසේ නම් “අපි යම් මට්ටමකට වර්ධනය වී සිටිමුද, ඒ ආකාරයටම පිළිවෙළකින් යුතුව දිගටම ගමන් කරමු.”—ෆිලි. 3:14-16.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:23—පාවුල් පීඩනයෙන් සිටියේ කුමන “දේවල් දෙක” නිසාද? එමෙන්ම ඔහු ආශාවෙන් බලා සිටි “නිදහස් වීම” කුමක්ද? පාවුල් මුහුණ දුන් තත්වය නිසා ඔහු ඉදිරියේ තිබූ දේවල් දෙක වන්නේ ජීවිතය සහ මරණයයි. (ෆිලි. 1:21) තමන් තෝරාගන්නේ කුමක්ද කියා පවසනවා වෙනුවට ඔහු ආශාවෙන් බලා සිටින්නේ “නිදහස් වීම දෙස හා ක්‍රිස්තුස් සමඟ සිටීම දෙසය. මන්ද, මෙය වඩාත් හොඳ බව ස්ථිරය” කියා ඔහු පැවසුවා. (ෆිලි. 3:20, 21; 1 තෙස. 4:16) යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීම අතර තුර සිදුවන මෙම “නිදහස් වීම” නිසා පාවුල්ට යෙහෝවා දෙවි සූදානම් කර ඇති ත්‍යාගය ලබා ගැනීමට හැකි වෙනවා.—මතෙ. 24:3.

2:12, 13—අප ‘අධිෂ්ඨාන’ කරගෙන සිටින දේ ‘ක්‍රියාත්මක’ කිරීමට දෙවි සලස්වන්නේ කෙසේද? යෙහෝවා දෙවිට සේවය කිරීමට හැකි වන ලෙස අපගේ මනසේ හා හදවතේ ආශාවක් ඇති කරන්න දෙවිගේ බලයට හැකියි. ඒ නිසා අප ‘අපගේම ගැලවීම ඉටු කර ගන්න’ කටයුතු කරන විට දෙවි අපට උපකාර කරනවා.

අපට ගත හැකි පාඩම්:

1:3-5. ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන් දුප්පත් අය වුණත් ත්‍යාගශීලී වීම ගැන ඔවුන් හොඳ ආදර්ශයක්.—2 කොරි. 8:1-6.

2:5-11. යේසුස්ගේ ආදර්ශයෙන් පෙන්වන පරිදි යටහත්පහත්කම දුර්වල ගුණාංගයක් නොව එය පුද්ගලයෙකු තුළ තිබිය යුතු උසස් ගුණාංගයක්. ඒ වගේම දෙවිද එවැනි අයව උසස්කොට සලකනවා.—හිතෝ. 22:4.

3:13.පාවුල් මෙහි සඳහන් කරන “පසුපස තිබෙන දේවල්” විය හැක්කේ හොඳ වැටුපක් ලබන රැකියාවක්, ධන සම්පත්වලින් ලැබිය හැකි ආරක්ෂාව හෝ අප කලින් කර තිබූ නමුත් පසුතැවිලි වූ නිසා “සෝදා පවිත්‍ර කර” ගත් අපගේ පාපයන් විය හැකියි. (1 කොරි. 6:11) අප ඒවා ගැන සිත සිතා ඉන්නේ නැතුව ඒවා අමතක කර “ඉදිරියේ තිබෙන දේවල් අල්ලාගැනීමට මහත් සේ වෙර” දරමු.

“ඇදහිල්ලේ ස්ථිරව සිටින්න”

(කොලො. 1:1–4:18)

පාවුල් විසින් කොලොස්සිවරුන්ට ලියු ලිපියේදී එහි සිටි බොරු ගුරුවරුන්ගේ වැරදි අදහස් හෙලි කළා. ගැලවීම ලැබෙන්නේ නීතියේ ඇති දේවල් ඉටු කිරීම මගින් නොව කෙනෙක් “ඇදහිල්ලෙහි දිගටම” සිටිනවාද යන්න මත බව ඔහු පැවසුවා. පාවුල් කොලොස්සිවරුන්ට දිරිගැන්නුවේ ක්‍රිස්තුස් “සමඟ එක්සත්ව දිගටම ගමන් කරමින්, ඔබට ඉගැන්වූ ලෙස ඔහු තුළ මුල් ඇද වර්ධනය වෙමින් ඇදහිල්ලේ ස්ථිරව සිටින්න.” කියායි.—කොලො. 1:23; 2:6, 7.

“සියල්ලට අමතරව ප්‍රේමය පැළඳගන්න. මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි” කියා පාවුල් පවසනවා. ඒ වගේම ඔහු උනන්දු කරන්නේ “ඔබ කුමක් කළත්, මිනිසුන්ට නොව, යෙහෝවාට කරන්නාක් මෙන් මුළු හදවතින්ම එය කරන්න” කියායි. ඇදහිලිවන්ත නොවන අය සමඟ ක්‍රියා කරද්දී “ප්‍රඥාවන්තව කටයුතු කරන්න” කියාත් ඔහු පැවසුවා.—කොලො. 3:14, 15, 23; 4:5.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

2:8—පාවුල් මෙහි සඳහන් කරන “ලෝකයේ මූලධර්මවලට” අයත් වන්නේ කුමක්ද? සාතන්ගේ පාලනය යටතේ පවතින ලෝකය විසින් ඇති කරන, මඟ පෙන්වන, පොළඹවන, දෙවල් ඊට අයත්. (1 යොහ. 2:16) මේවාට දර්ශනවාදයන්, ධන සම්පත්වලට ආශාවීම, බොරු ආගම්ද අයත් වෙනවා.

4:16—ලවොදිසීය සභාවට ලියූ ලිපිය බයිබලයට ඇතුළත් නොවුයේ ඇයි? සමහරවිට එම ලිපියේ තිබූ තොරතුරු අද දිනට වැදගත් නොවන්න ඇති. එසේ නැත්නම් එහි අන්තර්ගත වන්න ඇත්තේ අනෙකුත් ලිපිවල තිබූ තොරතුරුම විය හැකියි.

අපට ගත හැකි පාඩම්:

1:2, 20. යේසුස්ගේ ජීවිත පූජාව මගින් දෙවි අපට පෙන්වූ මහත් කරුණාව නිසා අපට දෙවි ඉදිරියේ යහපත් හෘදය සාක්ෂියක් හා මනසේ සාමය ඇතිව කටයුතු කිරීමට හැකි වී තිබෙනවා.

2:18, 23. සමහරුන් “බොරු යටහත් පහත්කමක්” පෙන්වීම සඳහා හිතාමතාම ඉතා දිළිඳු ජීවිතයක් ගත කිරීමෙන් හෝ ශරීරයට වධ දීමෙන් අන් අයගේ අවධානය ගැනීමට උත්සාහ කරනවා. ඒ තුළින් දිස්වන ඔවුන්ගේ වැරදි ආකල්ප නිසා ඔවුන් ‘හිස උදුම්මාගත් අය’ බව පැහැදිලියි.