Skip to content

පටුනට යන්න

ඔබ යන මාර්ගය නිවැරදිද?

ඔබ යන මාර්ගය නිවැරදිද?

ඔබ යන මාර්ගය නිවැරදිද?

‘මෙහෙම දෙයක් වෙයි කියලා දන්නවා නම් මම කවදාවත් ඒ තීරණය ගන්නේ නැහැ’ කියා ඔබ කවදා හෝ පවසා තිබෙනවාද? අපි යන මේ ජීවන ගමනේදී අපිට බොහෝ තීරණ ගැනීමට සිදු වෙනවා. සමහරුන් වැරදි තීරණ ගෙන පසුව ඒ ගැන දුක් වෙනවා. ඒ නිසා යම් තීරණයක් ගැනීමට පෙර එහි අවසාන ප්‍රතිඵලය ගැන සිතා බැලීම ඉතා වැදගත්.

ඕනෑම මඟියෙක් තමන් ගමන් කරන මාර්ගය ගැන දැනගැනීමට කැමතියි. ඒ සඳහා ඔහු සිතියමක් යොදාගැනීමට හෝ ඒ ප්‍රදේශය ගැන දන්නා කෙනෙකුගෙන් ඒ පිළිබඳව ඇසීමට පෙලඹෙනවා. එමෙන්ම ඔහු ගමන්ගන්නා මාර්ගයේ තිබෙන සංඥා පුවරු දෙසත් ඔහු හොඳින් බලනවා. නමුත් ජීවන ගමනේදී අපි ගමන් කරන්නේ නිවැරදි මාර්ගයේද කියා අපට සහතික කරගත හැක්කේ කෙසේද? අඥාන ලෙස තම ජීවිත ගමන ගෙන ගිය අතීතයේ සිටි ඊශ්‍රායෙල් ජාතිය සම්බන්ධයෙන් දෙවි මෙවැන්නක් පැවසුවා. “ඔවුන් නුවණැතිව ක්‍රියා කළා නම් තමන්ට සිදු වන දේ ගැන ගැඹුරින් කල්පනා කරනු ඇත. තමන් කරන දේවල නරක ප්‍රතිඵල ගැන සලකා බලනු ඇත.”—ද්විතීය කතාව 32:29, නව ලොව පරිවර්තනය, NW.

හොඳම මඟ පෙන්වීම්

ජීවිත ගමනේදී ගන්නා යම් වැරදි තීරණ නිසා මුහුණ දීමට සිදු වන “නරක ප්‍රතිඵල ගැන” අපි දන්නේ නැහැ කියා පවසන්න බැහැ. ඊට හේතුව එවන් තීරණ ගැනීමෙන් අත්විඳීමට සිදු වන ප්‍රතිඵල ගැන යෙහෝවා දෙවි අපට පවසා තිබීමයි. මිනිසුන් වැරදි මාර්ගවල ගමන් කර අද්දැක ඇති නරක ප්‍රතිඵල ඔහු දැක තිබෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙයයි. “මිනිසාගේ මාර්ග යෙහෝවා දෙවිගේ ඇස් ඉදිරියෙහිය. ඔහු ඒ සියලු මාර්ග ගැන විමසිල්ලෙන් සිටින්නේය.”—හිතෝපදේශ 5:21NW.

ශුද්ධ බයිබලයේ ඇති අනර්ඝ උපදෙස් යොදාගෙන අපි ගමන් කළ යුතු නිවැරදි මාර්ගය දෙවි අපට පෙන්වා දෙනවා. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “තීක්ෂ්ණ බුද්ධිය පාවිච්චි කිරීමට මම ඔබට උදව් කරන්නෙමි. ඔබ යා යුතු මාර්ගය ඔබට කියා දෙන්නෙමි.” අපේ ජීවිත ගමනේ තබන සෑම පියවරකදීම අතීතයේ සිටි දාවිත් රජ මෙන් “මා යා යුතු මාර්ගය මට පෙන්වන්න” කියා දෙවිගෙන් අයැදීම ඉතා වැදගත්.—ගීතාවලිය 32:8; 143:8NW.

විශ්වාසවන්ත මඟ පෙන්වන්නෙකුගේ උපදෙස් ලබා අපි ගමනක් යන විට ඒ ගමන ගැන කිසිම සැකයක් ඇති කරගත යුතු නැහැ. ඊට හේතුව ඔහු අපට නිවැරදි මාර්ගය පෙන්වන බව අප හොඳින්ම දැන සිටීමයි. දාවිත් රජත් ඔහුගේ ජීවිත ගමනේදී නිතරම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතූ නිසා ඔහුටත් ලොකු ආරක්ෂාවක් මෙන්ම සහනයක්ද දැනුණා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය. සරු තණබිම්වල මා සතපවා සිසිල් දිය ගලා බසින නිසංසල තැන්වලට ඔහු මා ගෙන යන්නේය. ඔහු මා ප්‍රාණවත් කරන්නේය. තම නාමය නිසා ඔහු මා ධර්මිෂ්ඨ මාවත්වල ගෙන යන්නේය. මා අඳුරු මිටියාවතක ගමන් කළත්, කිසිවකට භය නොවෙමි.”—ගීතාවලිය 23:1-4NW.

නොමඟ යන අයගේ අවසානය කුමක්ද?

අතීතයේ සිටි එක් ඇදහිලිවන්තයෙක් වූ ආසාෆ් හෝ ඔහුගෙන් පැවත ආ කෙනෙක් මෙසේ පැවසුවා. “තව මොහොතකින් මා නොමඟ යන්නට තිබිණ.” ඔහුට එවැනි දෙයක් සිදු වෙන්න ගියේ ඇයි? එවකට සිටි බලහත්කාරකම් කළ දුෂ්ට මිනිසුන් “කිසි කරදරයක් නැතුව සිටිනවා දකින විට” ඔහුට යම් ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ නිසා තමා හරි මාර්ගයේ ගමන් කිරීම තේරුමක් ඇද්ද කියා ඔහු කල්පනා කළා.—ගීතාවලිය 73:2, 3, 6, 12, 13NW.

නමුත් ඔහු යෙහෝවා දෙවිට නමස්කාර කළ ස්ථානයට ගොස් එවැනි දුෂ්ට මිනිසුන්ට “ඉදිරියේදී සිදු වන්නේ කුමක්ද” කියා කල්පනා කළා. එවිට එවැනි අය සිටින්නේ ‘ලිස්සෙන ස්ථානවල’ බව ඔහුට තේරුණා. එමෙන්ම “නිමේෂයකින් සිදු වූ භයානක දෙයකින් ඔවුන්ගේ අවසානය” සිදු වන බවද ඔහුට වැටහුණා. ඒ නිසා තමන් මෙතෙක් ගමන් කළ ධර්මිෂ්ඨ මාර්ගයේම ගමන් කළොත් යෙහෝවා දෙවි තමාව ‘ගෞරවයට පත් කරන’ බව ඔහු දැනගත්තා.—ගීතාවලිය 73:17-19, 24NW.

නීති විරෝධී කපටි ක්‍රම යොදාගෙන සාර්ථකත්වයට පැමිණෙන අය අවසානයේදී දුක් විඳින බව මේ ඇදහිලිවන්තයා තේරුම්ගත්තා. ඒ නිසා තමා මෙතෙක් ගමන් කළ මාර්ගයේම ගමන් කිරීමේ ඇති වටිනාකම ඔහුට අවබෝධ වුණා. එය ඔහු පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “දෙවිට ළං වී සිටීම මට ප්‍රයෝජනවත්ය.”—ගීතාවලිය 73:28NW.

“ඔබ යන මාවත සකසාගන්න”

අප සෑම කෙනෙකුටම ජීවිතයේදී විවිධ තීරණ ගැනීමට සිදු වෙනවා. උදාහරණයකට වැඩිපුර මුදල් උපයාගත හැකි රැකියාවක් හෝ රැකියාවේ යම් උසස් වීමක් ඔබට ලැබිය හැකියි. ඒ සෑම එකකම යම් අනතුරුදායක පැත්තක් තිබෙනවා. ඒ නිසා ඔබ ගන්නා තීරණයෙන් අවසානයේදී අද්දැකීමට සිදු වන “නරක ප්‍රතිඵල ගැන” සලකා බැලීම ඉතාමත් වැදගත්. කුමනාකාරයේ නරක ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වෙයිද? ඔබේ රැකියාව හෝ ඔබේ උසස් වීම නිසා ඔබට නිවසෙන් බැහැරව සිටීමට සිදු වුණොත් එය පවුලේ අයටත් ඔබටත් කෙසේ බලපායිද? ඔබ යන ප්‍රදේශයේ හෝ රටේ ඔබ නවාතැන් ගන්නා ස්ථානයේ සිටින අය හෝ ඔබ ආශ්‍රය කරන වෙනත් අය ඔබව යම් වැරදි දේවලට පොලඹවයිද? මේ ආකාරයට ඔබ ගැනීමට යන තීරණය ගැන සිතා බැලීමෙන් ඔබට වඩාත් ඥානවන්ත තීරණයක් ගත හැකි වෙයි. “ඔබ යන මාවත සකසාගන්න” කියා බයිබලයේ අපට උපදෙස් දී තිබෙන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 4:26NW.

අපි යම් දෙයක් කිරීමට පෙර එහි අවසාන ප්‍රතිඵලය කුමක්ද කියා සිතා බැලිය යුතුයි. විශේෂයෙන්ම තරුණ වයසේ පසු වන අය එසේ කළ යුතුයි. මේ සිදුවීම සලකා බලන්න. තරුණයෙක් වීඩියෝ පට කුලියට දෙන ස්ථානයකට ගොස් වීඩියෝ පටයක් ගත්තා. එහි ලිංගික දර්ශන ඇතුළත් වී තිබෙන බව ඔහු හොඳින්ම දැන සිටියත් ඔහු එය නැරඹුවා. ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ හැඟීම් ඇවිස්සී ඔහු ගණිකාවක් සමඟ අනාචාරයේ යෙදුණා. අවසානයේදී ඔහුගේ සිත වධ දෙන්න පටන්ගත් අතර ලිංගිකව බෝ වන රෝගයක් තමන්ට වැලඳෙයිද යන බියත් ඔහු තුළ ඇති වුණා. බයිබලයේ ඇති මෙම වදන් මේ තරුණයා සම්බන්ධයෙන් සැබෑවක් වී තිබෙනවා. ‘මරන්න ගෙන යන ගොනෙකු මෙන් ඔහු ඇය පසුපස යන්නේය.’ මෙම තරුණයා එසේ හැසිරීමට පෙර “එහි නරක ප්‍රතිඵල” ගැන සිතුවා නම් ඔහු කවදාවත් එවැනි තත්වයකට පත් වෙන්නේ නැහැ.—හිතෝපදේශ 7:22, 23NW.

මාර්ග සලකුණු සැලකිල්ලට ගන්න

අපි යම් මාර්ගයක ගමන් කරන විට එහි ඇති සංඥා පුවරු නොසලකාහැරීම ඥානවන්ත දෙයක් නොවෙයි. නමුත් ජීවිත ගමනේදී බොහෝදෙනා කර ඇත්තේ ඒ හා සමාන දෙයක්. ජීවිතයට අවශ්‍ය ඥානවන්ත මඟ පෙන්වීම් තමන්ගේ ආශාවන්වලට හරස් වෙනවා නම් මිනිසුන් ඒවා නොසලකා හරිනවා. උදාහරණයකට අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන් ගැන සලකා බලන්න. ඔවුන් ජීවිතයේ වැදගත් තීරණයක් ගත යුතු අවස්ථාවක යෙහෝවා දෙවි ඔවුන්ට මෙවැනි උපදෙසක් දුන්නා. “ඔබේ මුතුන්මිත්තන් ගමන් කළ යහපත් මාර්ගය සොයා එහි ගමන් කරන්න.” නමුත් ඒ සෙනඟ පැවසුවේ “අපි ඒ මාර්ගයේ යන්නේ නැහැ” කියායි. (යෙරෙමියා 6:16NW) මෙයින් ඇති වූ ‘නරක ප්‍රතිඵලයක්’ ලෙස ක්‍රිස්තු පූර්ව 607දී ඔවුන් බැබිලෝනිවරුන් අතින් විනාශ වුණා. ඉතුරු වූ වැසියන්ව වහලුන් ලෙස බැබිලෝනියට ගෙන ගියා.

ජීවිතය ගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් දෙවි දී තිබෙන මඟ පෙන්වීම් නොසලකාහැරීමෙන් භයානක ප්‍රතිඵල අත් වෙනවා. බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙන්නේ ඒ නිසයි. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ ගන්නා සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.”—හිතෝපදේශ 3:5, 6NW.

සමහර ස්ථානවල “ඇතුල් වීම තහනම්” කියා සඳහන් පුවරු තිබෙනවා ඔබ දැක ඇති. යෙහෝවා දෙවිද අපට එවැනි සංඥාවන් දී තිබෙනවා. එවැනි අනතුරු ඇඟවීමක් සලකා බලන්න. “දුෂ්ටයන්ගේ මාර්ගවලට ඇතුල් නොවන්න. දැන දැනම නපුරු අයගේ මාවත් වෙතට පියමං නොකරන්න.” (හිතෝපදේශ 4:14NW) අපි ඇතුල් නොවිය යුතු එවැනි මාර්ගයක් ගැන බයිබලයෙහි මෙසේ සඳහන් වෙනවා. “දුරාචාර ස්ත්‍රියකගේ තොල් මී වදයකින් වෑස්සෙන මිහිරි පැණි මෙනි. ඇගේ මුඛයෙන් පිට වන වචන වශී කරවනසුලුය. නමුත් ඇගේ ඇසුරට යන තැනැත්තාට අවසානයේදී අත් වන ප්‍රතිඵල අතිශයින් තිත්තය. දෙමුවහත් කඩුවකින් අනින්නාක් මෙන් ඔහුට බොහෝ වේදනා විඳින්න සිදු වන්නේය.” (හිතෝපදේශ 5:3, 4NW) ගණිකාවක් සමඟ හෝ වෙනත් කෙනෙකු සමඟ අනාචාරයේ යෙදීමෙන් සමහරුන් වින්දනයක් ලබනවා. නමුත් “ඇතුල් නොවන්න” කියා දෙවි දී තිබෙන ආඥාව කඩ කිරීමෙන් අවසානයේදී මහත් විපතකට මුහුණ දීමට සිදු වෙනවා.

ඉහත සඳහන් මාර්ගයේ ගමන් කිරීමට පෙර ඔබෙන්ම මෙසේ අසාගැනීම වැදගත්. ‘මේ මාර්ගයේ අවසානය කුමක් වෙයිද?’ මෙවන් මාර්ගයක ගමන් කිරීමෙන් අත් වන ප්‍රතිඵල ගැන මුලින්ම සිතා බැලුවොත් එම මාර්ගයේ ගමන් කිරීමෙන් අත්විඳින්න සිදු වන ‘නරක ප්‍රතිඵලවලින්’ මිදිය හැකියි. බොහෝදෙනා දෙවි දී තිබෙන අනතුරු ඇඟවීම් නොසලකා වැරදි මාර්ගයේ ගමන් කිරීමෙන් ඒඩ්ස්, ලිංගිකව බෝ වන රෝග, අනවශ්‍ය ගැබ්ගැනීම්, ගබ්සාවන්, මිනිස් සබඳතා පලුදු වීම සහ තමන්ගේ සිත වධ දීම වැනි දේවලට මුහුණ දී තිබෙනවා. එමෙන්ම අනාචාරයේ යෙදෙන අයට “දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැහැ” කියාත් බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා.—1 කොරින්ති 6:9, 10.

“යා යුතු මාර්ගය මෙයයි”

අපි ගන්නා තීරණවලින් මොන වගේ ප්‍රතිඵල අත් වෙයිද කියා හරියටම කියන්න බැහැ. ඒ නිසා අපි ගැන සැලකිල්ල දක්වන දෙවිගෙන් අපට නිසි මඟ පෙන්වීම් ලැබීම ගැන අපි කොතරම් ස්තුතිවන්ත විය යුතුද? “යා යුතු මාර්ගය මෙයයි” කියා යෙහෝවා දෙවි අපිට පැහැදිලිව පෙන්වා දෙනවා. (යෙසායා 30:21) යෙහෝවා දෙවි පෙන්වා දෙන මාර්ගයේ අපි ගමන් කළොත් අපිට අවසානයේදී ලැබෙන්නේ කුමක්ද? ඒ මාර්ගය පටු වුණත් එහි යම් අවහිරතා තිබුණත් එහි අවසානයේ ඇත්තේ සදාකාල ජීවනය බව යේසුස් පැවසුවා.—මතෙව් 7:14.

ඔබ ගමන් කරන මාර්ගය ගැන මොහොතකට සිතා බලන්න. ඔබ යන්නේ හරි මාර්ගයේද? එහි අවසානය කුමක්ද? එය දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතා යාච්ඤා කරන්න. ජීවන ගමනේදී අපිට නිවැරදි මාර්ගය පෙන්වා දෙන ‘සිතියමක්’ හා සමාන බයිබලයේ උපදෙස් අනුගමනය කරන්න. අප යම් මාර්ගයක ගමන් කරන විට ඒ ගැන දන්නා කෙනෙකුගෙන් තොරතුරු විමසනවා හා සමානව දෙවි පෙන්වා තිබෙන මාර්ගයේ ගමන් කරන විටත් ඒ සම්බන්ධයෙන් අද්දැකීම් ඇති කෙනෙකුගෙන් උපදෙස් ලබාගන්න. ඔබ ගමන් කරමින් සිටින මාර්ගයේ යම් වෙනසක් සිදු කළ යුතුයි කියා ඔබට හැඟෙනවා නම් නොපමාව එය කරන්න.

මඟියෙක් යම් මාර්ගයක ගමන් කරද්දී ඒ මාර්ගයේ නම සඳහන් කර තිබෙන පුවරුවක් දකින විට තමා ගමන් කරන්නේ නිවැරදි මාර්ගයේ කියා ඔහුට විශ්වාසයක් ඇති වෙනවා. ඒ හා සමානව ජීවිතය නමැති ගමනේදී ඔබ යන මාර්ගය නිවැරදියි කියා පෙන්වන සාක්ෂි තිබෙනවාද? එසේනම් ඒ මාර්ගයේ දිගටම ගමන් කරන්න. ඊට හේතුව ජීවනයේ උතුම් ත්‍යාගය ඒ ගමනේ අවසානයේ තිබීමයි.—2 පේතෘස් 3:13.

ඕනෑම මාර්ගයක් කුමන හෝ ස්ථානයකට මඟ පෙන්වනවා. ඔබ ගමන් කිරීමට තෝරාගත් මාර්ගයේ අවසානයට පැමිණි පසු “අපරාදේ මම මේ පාරේ ආවේ” කියා ඔබට හැඟුණොත් තත්වය කුමක්ද? ඒ නිසා අපි ඕනෑම මාර්ගයක ගමන් කිරීමට පෙර ඉන් අත් විය හැකි “නරක ප්‍රතිඵල” ගැන සිතා බැලීම ඥානවන්ත දෙයක් නොවේද?

[10වන පිටුවේ කොටුව/පින්තූර]

අත් විය හැකි “නරක ප්‍රතිඵල” මොනවාද?

අද දින ජනප්‍රියයැයි සැලකෙන දේවල් කිරීමට යොවුන් වියේ පසු වන බොහෝදෙනෙකුට යම් බලපෑම් එල්ල වෙනවා. එවන් අවස්ථා කිහිපයක් සලකා බලන්න.

දුම්පානයට පෙලඹවීම.

විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන්න කියා ගුරුවරයෙක් පැවසීම.

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කරන සාදයකට ඇරයුමක් ලැබීම.

“පෞද්ගලික තොරතුරු ඇතුළත් කර වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න” කියා මිතුරෙක් පැවසීම.

ප්‍රචණ්ඩත්වය හෝ ලිංගිකත්වය හුවා දක්වන චිත්‍රපටියක් නැරඹීමට ආරාධනයක් ලැබීම.

ඉහත සඳහන් කර තිබෙන තත්වයකට කවදා හෝ ඔබට මුහුණ දීමට සිදු වුණොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබ එවැනි දෙයකට එකඟත්වය පළ කරනවාද? නැත්නම් එවැනි දෙයක් කිරීමෙන් අත් විය හැකි “නරක ප්‍රතිඵල” ගැන ඔබ කල්පනා කරනවාද? එවන් අවස්ථාවල මෙම බයිබල් ප්‍රතිපත්තිය අදාළ කරගැනීම ඉතා ඥානවන්තයි. “මිනිසෙකු ගින්දර තම ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සෙයිද? මිනිසෙකු ගිනි අඟුරු මත ඇවිද්දොත් ඔහුගේ දෙපා නොදැවෙයිද?”—හිතෝපදේශ 6:27, 28NW.