Skip to content

පටුනට යන්න

දෙවිගේ නාමය නිවැරදිව උච්චාරණය කරන ආකාරය නොදැන එය භාවිත කරන්නේ ඇයි?

දෙවිගේ නාමය නිවැරදිව උච්චාරණය කරන ආකාරය නොදැන එය භාවිත කරන්නේ ඇයි?

පාඨකයන් අසයි

දෙවිගේ නාමය නිවැරදිව උච්චාරණය කරන ආකාරය නොදැන එය භාවිත කරන්නේ ඇයි?

හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවිගේ නාමය උච්චාරණය කළේ කෙසේද කියා අද සිටින කිසිවෙකු දන්නේ නැහැ. නමුත් බයිබලය තුළ දෙවිගේ නාමය 7,000 වතාවක් පමණ සඳහන් වී තිබෙනවා. යේසුස් මේ පොළොව මත සිටියදී දෙවිගේ නාමයට ගෞරවය ගෙන දුන් අතර දෙවිගේ නාමයට ගෞරව වේවා කියා යාච්ඤා කිරීමට තම අනුගාමිකයන්ටත් ඉගැන්වූවා. (යොහන් 17:6; මතෙව් 6:9) මින් පැහැදිලි වන්නේ දෙවිගේ නාමය භාවිත කිරීම සැබෑ ක්‍රිස්තියානීන්ට ඉතා වැදගත් බවයි. එසේනම් දෙවිගේ නාමය අතීතයේදී උච්චාරණය කළ ආකාරය අද දින සිටින කිසිවෙක් නොදන්නේ ඇයි? ඊට බලපෑ ප්‍රධාන හේතු දෙකක් සලකා බලන්න.

පළමුවන හේතුව, මීට අවුරුදු 2,000කට පමණ පෙර යුදෙව් සමාජය තුළ දෙවිගේ නාමය භාවිත නොකළ යුතු බවට තිබූ මතයයි. ඒ නිසා කෙනෙක් ශුද්ධ ලියවිලි කියවන විට දෙවිගේ නාමය සඳහන් වී තිබූ ස්ථානවලදී “ස්වාමීන්” ලෙස කියවිය යුතු වුණා. මේ ආකාරයට කාලය ගෙවී යෑමත් සමඟ දෙවිගේ නාමය උච්චාරණය කරන ආකාරය අමතක වී ගියා.

දෙවන හේතුව, හෙබ්‍රෙව් භාෂාවේ ප්‍රාණාක්ෂර නොතිබීමයි. ඒ නිසා හෙබ්‍රෙව් භාෂාවෙන් කියවන විට වචන උච්චාරණය කිරීම සඳහා අදාළ ප්‍රාණාක්ෂර යොදාගෙන කියවිය යුතු වුණා. නමුත් හෙබ්‍රෙව් වචන උච්චාරණය කරන ආකාරය අමතක වී යෑමට ඉඩ තිබූ නිසා වචන උච්චාරණය කිරීමට ප්‍රාණාක්ෂර යෙදිය යුතු ස්ථානවලට කුඩා සලකුණු යෙදුවා. මෙම සලකුණු නිසා වචන උච්චාරණය කරන්නේ කෙසේද කියා හඳුනාගත හැකි වුණා. මෙම සංකේත හෙබ්‍රෙව් බයිබලයටද ඇතුළත් කළා. දෙවිගේ නාමය සඳහන් ස්ථානවලට ඔවුන් යොදා තිබුණේ “ස්වාමීන්” යන වචනය උච්චාරණය කිරීමට යොදාගත් කුඩා සංකේතයි. එමෙන්ම දෙවිගේ නාමය සඳහන් වී තිබූ ස්ථානවලට එය උච්චාරණය කරන ආකාරය පෙන්වීමට සංකේත යොදා තිබුණේ නැහැ.

හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවිගේ නාමය ලිවීම සඳහා අක්ෂර සතරක් යොදාගැනුණා. එම අක්ෂර සතර ටෙට්‍රග්‍රැමටනය ලෙස හඳුන්වන අතර එය ඉංග්‍රීසි භාෂාවෙන් උච්චාරණය කරන්නේ JHVH ලෙසයි. එයට ප්‍රාණාක්ෂර යෙදූ විට උච්චාරණය වෙන්නේ “ජෙහෝවා” ලෙසයි. එම නාමය සිංහල භාෂාවෙන් “යෙහෝවා” ලෙස උච්චාරණය කරනවා.

සමහර බයිබල් විශාරදයන් පවසන්නේ දෙවිගේ නාමය “යාවේ” ලෙස උච්චාරණය කිරීම වඩාත් සුදුසු බවයි. නමුත් අතීතයේදී දෙවිගේ නාමය උච්චාරණය කළේ එලෙසද කියා අප දන්නේ නැහැ. කෙසේවෙතත් බයිබලයේ සඳහන් නාමයන් අතීතයේදී උච්චාරණය කළ ආකාරයත් අද ඒවා උච්චාරණය කරන ආකාරයත් අතර ලොකු වෙනසක් තිබෙන බව අප මතක තබාගත යුතුයි. නමුත් අද බොහෝදෙනා ඒ නාමයන් හොඳින් හඳුනන නිසාත් ඒවාට හුරු වී තිබෙන නිසාත් ඒවා උච්චාරණය කරන ආකාරය ප්‍රශ්නයක් කරගෙන නැහැ. එය දෙවිගේ නාමයටත් අදාළයි.

පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ව හැඳින්වූයේ දෙවිගේ නාමය වෙනුවෙන් තෝරාගත් සෙනඟක් ලෙසයි. ඔවුන් දෙවිගේ නාමය ගැන අන් අයට පැවසූ අතර ඒ නමින් දෙවිව ඇමතීමටත් අන් අයව දිරිගැන්වූවා. (ක්‍රියා 2:21; 15:14; රෝම 10:13-15) අපි කුමන භාෂාවක් කතා කළත් දෙවිගේ නාමය භාවිත කිරීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ඒ නාමයෙන් අදහස් වන දෙය අපි නිවැරදිව අවබෝධ කරගන්නවා දැකීමටත් දෙවි කැමතියි.

[31වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවිගේ නාමය ශුද්ධ බයිබලයේ 7,000 වාරයක් පමණ සඳහන් වෙනවා