Skip to content

පටුනට යන්න

ඔබගේ විවාහය “තුන්පට ලණුවක්” මෙන් ශක්තිමත්ද?

ඔබගේ විවාහය “තුන්පට ලණුවක්” මෙන් ශක්තිමත්ද?

ඔබගේ විවාහය “තුන්පට ලණුවක්” මෙන් ශක්තිමත්ද?

“තුන්පට ලණුවක් පහසුවෙන් දෙකට කැඩිය නොහැක.”—දේශ. 4:12, නව ලොව පරිවර්තනය, NW.

1. පොළොව මත පළමු විවාහය සිදු කළේ කවුද?

යෙහෝවා දෙවි ගස් කොළන් හා සතුන්ව නිර්මාණය කිරීමෙන් පසුව පළමු මිනිසා වූ ආදම්ව නිර්මාණය කළා. ඉන්පසුව දෙවි ඔහුව තද නින්දකට පමුණුවා ඔහුගෙන් ඉළ ඇටයක් ගෙන ඔහුට කදිමට ගැළපෙන පරිපූර්ණ ස්ත්‍රියක්වද නිර්මාණය කළා. ඇයව දුටු විට ආදම් මෙසේ පැවසූවා. “මේ මාගේ ඇටවලින් ඇටය. මාගේ මාංසයෙන් මාංසයය!” (උත්. 1:27; 2:18, 21-23NW) පසුව දෙවි ආදම් හා ඒව යන දෙදෙනාගේ විවාහය, එනම් මිනිස් ඉතිහාසයේ පළමු විවාහය සිදු කළා.—උත්. 1:28; 2:24.

2. ආදම් සහ ඒව අතර තිබූ බැඳීම පලුදු කිරීමට සාතන් කළේ කුමක්ද?

2 නමුත් වැඩි කල් යන්න පෙර දෙවි සිදු කළ එම විවාහයට දැඩි පහරක් එල්ල වුණා. ඒ කෙසේද? ඒදන් උයනේ තිබූ දෙවි තහනම් කළ ගසෙන් කෑමට සාතන් ඒවව පෙලඹවීම නිසයි. පසුව ඇගේ පුරුෂයාද එයින් කෑවා. මෙසේ මේ දෙදෙනාම සියලු දේ පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතියට විරුද්ධව කැරලි ගැසූ අතර ඔහුගේ මඟ පෙන්වීම්ද ප්‍රතික්ෂේප කළා. (උත්. 3:1-7) ඔවුන් කළේ කුමක්ද කියා දෙවි ඔවුන්ගෙන් විමසුවා. ආදම් දුන් පිළිතුරට අනුව ඔවුන් දෙදෙනා අතර තිබූ බැඳීම යම් දුරකට පලුදු වී තිබුණු බවද පැහැදිලි වෙනවා. තම භාර්යාව මත වරද පටවමින් ආදම් පැවසුවේ මෙයයි. “මා සමඟ ජීවත් වීමට ඔබ දුන් ස්ත්‍රිය ගසෙන් ගෙඩියක් මට දුන්නාය. එබැවින් මමත් එය කෑවෙමි.”—උත්. 3:11-13NW.

3. සමහර යුදෙව් ආගමික නායකයන් ඉගැන්වූ වැරදි අදහස කුමක්ද?

3 එදා සිට අද දක්වා විවාහ ජීවිත විනාශ කිරීමට සාතන් විවිධ කූට උපක්‍රම භාවිත කර තිබෙනවා. සමහර අවස්ථාවලදී ඔහු විවාහය සම්බන්ධයෙන් බයිබලයේ දී ඇති ප්‍රතිපත්තිවලට පටහැනි අදහස් පතුරුවන්න ආගමික නායකයන්ව යොදාගෙන තිබෙනවා. උදාහරණයකට එදා සිටි යුදෙව් ආගමික නායකයන් ඉගැන්වූ ලෙස කෑමවලට ලුණු වැඩිවීම වැනි සුළු කාරණයකදී පවා කෙනෙකුට තම භාර්යාව දික්කසාද කිරීමට හැකි වුණා. නමුත් ඊට වෙනස්ව යේසුස් පැවසුවේ “වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්න කවරෙක් නමුත් පරදාර සේවනයේ යෙදෙන්නේය” කියායි.—මතෙ. 19:9.

4. අද දින විවාහය තර්ජනයට ලක් වී තිබෙන්නේ කෙසේද?

4 සාතන් තවමත් ඔහුගේ ඒ උත්සාහය අත්හැර නැහැ. සමලිංගික විවාහයන්, විවාහ නොවී එකට ජීවත් වීම හා ලෙහෙසියෙන්ම දික්කසාද වීමට හැකිවීම වැනි දේවලින් ඔප්පු වන්නේ ඔහුගේ උපක්‍රම එන්න එන්නම සාර්ථක වන බවයි. ඒ නිසා අද දින විවාහය තර්ජනයට ලක් වී තිබෙනවා. (හෙබ්‍රෙව් 13:4 කියවන්න.) විවාහය සම්බන්ධයෙන් දසත පැතිරී ඇති විකෘති අදහස්වලින් ආරක්ෂා වීමට ක්‍රිස්තියානීන් වන අපට හැක්කේ කෙසේද සහ ප්‍රීතිමත් මෙන්ම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න හැකි ක්‍රම මොනවාද කියා දැන් අපි සලකා බලමු.

ඔබේ විවාහය තුන්පට ලණුවක්ද?

5. “තුන්පට ලණුවක්” යන ප්‍රකාශය විවාහයට සම්බන්ධ වන්නේ කෙසේද?

5 විවාහයක් සාර්ථක වීමට නම් ඊට යෙහෝවා දෙවිවත් සම්බන්ධ කරගැනීම අත්‍යවශ්‍යයි. එහි වැදගත්කම දේවවචනයේ සඳහන් මෙම ප්‍රකාශයෙන් ඔප්පු වෙනවා. “තුන්පට ලණුවක් පහසුවෙන් දෙකට කැඩිය නොහැක.” (දේශ. 4:12NW) මෙහි තුන්පට ලණුව යන ප්‍රකාශය විවාහයට කදිමට ගැළපෙනවා. ස්වාමිපුරුෂයා හා භාර්යාව ලණු දෙපොටකට සමාන කළ හැකියි. අනික් ලණුපට යෙහෝවා දෙවියි. යුවළක් දෙවිවත් සම්බන්ධ කරගනිමින් තම විවාහය ගොඩ නැඟුවොත් එය තුන්පට ලණුවක් මෙන් ශක්තිමත්. එමගින් විවාහය තුළ පැන නඟින ප්‍රශ්න ගැටලු විසඳාගන්න අවශ්‍ය උපකාර දෙවි ලබා දෙනවා. ප්‍රීතිමත් හා සාර්ථක විවාහයකට යතුර එයයි.

6, 7. (අ) තම විවාහය ශක්තිමත් කරගැනීමට යුවළකට කුමක් කළ හැකිද? (ආ) එක් බිරිඳක් තම ස්වාමිපුරුෂයාව අගය කළේ කුමක් සම්බන්ධයෙන්ද?

6 විවාහය තුන්පට ලණුවක් මෙන් ශක්තිමත් කරගැනීමට යුවළකට කුමක් කළ හැකිද? දාවිත්ගේ වචනවලින් අපට එය තේරුම් ගත හැකියි. “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝසේ ආශා වෙමි. ඔබේ නීතිය මාගේ ඇතුළාන්තයේම ලියා ඇත.” (ගීතා. 40:8NW) දෙවිට මුළු හදවතින්ම සේවය කිරීමට යුවළක්ව පොලඹවන්නේ දෙවි කෙරෙහි ඇති ප්‍රේමයයි. එමනිසා විවාහක යුවළක් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගත යුතු අතර ඔහුට සේවය කිරීමෙන් සතුටක් ලැබීමටද වෑයම් කළ යුතුයි. එමෙන්ම යෙහෝවා දෙවි කෙරෙහි ඇති ප්‍රේමය තවත් ශක්තිමත් කරගැනීමට දෙදෙනා එකිනෙකාට උපකාර කිරීමද වැදගත්.—හිතෝ. 27:17.

7 දෙවි දී ඇති ප්‍රතිපත්ති යුවළකගේ ඇතුළාන්තයේම ලියා තිබෙනවා නම් ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන ගුණාංග ඔවුන් තුළින් දැකගත හැකියි. ඔවුන්ගේ විවාහ බැඳීම ශක්තිමත් කරගැනීමට එය දායක වෙයි. (1 කොරි. 13:13) විවාහ වී වසර 50කට පසු සැන්ඩ්‍රා නම් ක්‍රිස්තියානි භාර්යාව මෙසේ පවසනවා. “මගේ ස්වාමිපුරුෂයා මට ප්‍රේම කරනවාට වඩා යෙහෝවා දෙවිට ප්‍රේම කරනවා. මම ඒක ගොඩාක් අගය කරනවා. ඒ විතරක් නෙවෙයි එයා බයිබලයෙන් මට දෙන උපදෙස්, මඟ පෙන්වීම්වලින් මම ගොඩාක් දිරිගැන්වෙනවා.” ස්වාමිපුරුෂයෙනි, ඔබ ගැන කුමක් කිව හැකිද?

8. විවාහයේ “හොඳ ප්‍රතිඵල” ලැබීමට අවශ්‍ය කුමක්ද?

8 යුවළක් හැටියට ඔබ, දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට හා ඔහුට කරන නමස්කාරයට මුල් තැන දෙනවාද? දෙවිට සේවය කිරීමේදී ඔබගේ පුරුෂයාව නැත්නම් භාර්යාවව ඔබගේ සහයකයා ලෙස ඔබ ඇත්තටම සලකනවාද? (උත්. 2:24) එහි ඇති ප්‍රයෝජනය ගැන සලමොන් පැවසුවේ “එක්කෙනෙකුට වඩා දෙදෙනකු හොඳය. මන්ද ඔවුන් වෙහෙස මහන්සියෙන් කරන වැඩවලින් ඔවුන්ට හොඳ ප්‍රතිඵල ලැබේ” කියායි. (දේශ. 4:9NW) මෙසේ යුවළක් තමන් කරන වැඩවලින් “හොඳ ප්‍රතිඵල” ලැබීමට නම් එකමුතුව හා ප්‍රේමයෙන් බැඳී වෙහෙසී වැඩ කළ යුතුයි. එවැනි යුවළකට දෙවිගේ ආශීර්වාද ලැබෙනවා.

9. (අ) ස්වාමිපුරුෂයන්ට දෙවි දී ඇති වගකීම කුමක්ද? (ආ) කොලොස්සි 3:19ට අනුව ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට සැලකිය යුත්තේ කෙසේද?

9 දෙවි විවාහක යුවළකගෙන් බලාපොරොත්තු වන දේවල් කිරීමට ඔවුන් උත්සාහ කරනවා නම් ඉන් පැහැදිලි වන්නේ ඔවුන් තම විවාහයට දෙවිවද සම්බන්ධ කරගෙන ඇති බවයි. දෙවි ස්වාමිපුරුෂයන්ගෙන් බලාපොරොත්තු වන දේ දැන් අපි සලකා බලමු. තම පවුලේ අවශ්‍යතා ලබා දීම හා දෙවි සමඟ ඔවුන්ට ඇති මිත්‍රත්වය වර්ධනය කරගැනීමට උපකාර කිරීම ඉන් එකක්. (1 තිමෝ. 5:8) එමෙන්ම ඔහු තම භාර්යාවගේ හැඟීම් ගැන සැලකිල්ල දැක්වීමද අවශ්‍යයි. කොලොස්සි 3:19හි ඔවුන්ට මෙසේද උනන්දු කර තිබෙනවා. “ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන් කෙරෙහි අධික ලෙස කෝප නොවී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න.” එහි සඳහන් ‘අධික ලෙස කෝපවීම’ යන ප්‍රකාශය ගැන බයිබල් විශාරදයෙක් පැවසුවේ, “පරුෂ වචනවලින් බැණවැදීම, ඔවුන්ගේ හැඟීම් ගැන සැලකිල්ල නොදැක්වීම හා ඇයට රැකවරණය හා සහයෝගය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම” ඊට ඇතුළත් බවයි. එවන් හැසිරීමක් ක්‍රිස්තියානි නිවෙසක් තුළ කොහෙත්ම නොතිබිය යුතුයි. ඊට වෙනස්ව ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවට ප්‍රේමණීය සැලකිල්ල දක්වමින් තම මූලිකත්වය ක්‍රියාත්මක කරද්දී ඔහුට කැමැත්තෙන්ම යටත් වීමට ඇය පෙලඹෙයි.

10. ක්‍රිස්තියානි භාර්යාවන්ට තිබිය යුතු ආකල්පය කුමක්ද?

10 විවාහය සාර්ථක කරගැනීම සඳහා ක්‍රිස්තියානි භාර්යාවන් කළ යුතු දේවල්ද දෙවි පවසා තිබෙනවා. ඉන් එකක් වන්නේ ‘භාර්යාවෙනි, ස්වාමීන්ට මෙන් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ හිස වන්නේය. ක්‍රිස්තුස් සභාව වන ශරීරයේ හිස වන්නාක් මෙන් ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ හිස වන්නේය’ යන ආඥාවයි. (එෆී. 5:22, 23) නමුත් කල් පවතින සන්තෝෂය ලැබීම සඳහා දෙවිට යටත් වෙන්න අවශ්‍ය නැති බව පවසමින් සාතන් ඒවව මුළා කළා. අද දිනත් බොහෝ විවාහයන් තුළ මෙම ආකල්පය දකින්න ලැබෙනවා. නමුත් ක්‍රිස්තියානි භාර්යාවන් මූලිකත්වයට යටත් වීම බරක් ලෙස සලකන්නේ නැහැ. ඊට හේතුව දෙවි, ආදම්ට විවාහ කර දුන් ස්ත්‍රියට විවාහය තුළ ගෞරවනීය තැනක් ලබා දුන් බව ක්‍රිස්තියානි භාර්යාවන් දන්නා නිසයි. (උත්. 2:18) එමෙන්ම තම ස්වාමිපුරුෂයා සමඟ සහයෝගයෙන් කටයුතු කරන භාර්යාවක් ඇගේ පුරුෂයාට අලංකාර ‘ඔටුන්නක්’ හා සමානයි.—හිතෝ. 12:4NW.

11. එක් ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙකුගේ විවාහය සාර්ථක වීමට හේතු වුණේ කුමක්ද?

11 තම විවාහයට දෙවිව සම්බන්ධ කර ගත හැකි තවත් ආකාරයක් වන්නේ දෙදෙනා එක්ව දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමයි. වසර 55ක් පුරා ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන ජෙරල්ඩ් නමැති ස්වාමිපුරුෂයා පවසන්නේ මෙසේයි. “අපගේ විවාහය සාර්ථක කරගැනීමට ප්‍රධානතම සාධකය වුණේ දෙදෙනා එක්ව බයිබලය කියවීම සහ අධ්‍යයනය කිරීමයි. ඒ වගේම අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන දේවල් එකට කිරීම නිසා අපි දෙන්නා තව තවත් කිට්ටු වූ අතර යෙහෝවා දෙවිට වඩා ළංවීමටද හැකි වුණා.” බයිබලය එකට අධ්‍යයනය කිරීම, දෙවිගේ ප්‍රතිපත්ති නිතරම සිහියේ තබා ගන්නත් ඔහු සමඟ ඇති මිත්‍රත්වය ශක්තිමත් කරගෙන දිගටම පවත්වාගෙන යන්නත් උපකාරවත් වෙනවා.

12, 13. (අ) යුවළක් එක්ව යාච්ඤා කිරීම එතරම්ම වැදගත් ඇයි? (ආ) විවාහය ශක්තිමත් කරගැනීමට දායක වන අනෙකුත් දේවල් මොනවාද?

12 දෙදෙනා එකමුතුව යාච්ඤා කිරීමද සන්තෝෂවත් විවාහයකට දායක වෙනවා. තමන් මුහුණ දෙන අභියෝගයක් ගැන ස්වාමිපුරුෂයෙකු තම භාර්යාව සමඟ එකතු වී “හදවතේ ඇති සියල්ල” දෙවිට යාච්ඤාවෙන් පවසන විට ඔවුන්ගේ විවාහ බැඳීම ශක්තිමත් වන බව නම් නිසැකයි. (ගීතා. 62:8NW) උදාහණයකට, දෙදෙනා අතර ඇති වූ යම් එකඟ නොවීමක් ගැන එක්ව දෙවිට යාච්ඤා කර මඟ පෙන්වීම් ඉල්ලීමෙන් පසු එය විසඳාගැනීම හෝ අමතක කරදැමීම කොතරම් පහසුද! (මතෙ. 6:14, 15) එමෙන්ම යාච්ඤාවෙන් ඉල්ලූ ලෙස “එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා” කිරීම මොන තරම් සුදුසුද! (කොලො. 3:13) එසේ යුවළක් දෙවිට යාච්ඤා කිරීමෙන් පෙන්වන්නේ ඔවුන්ට දෙවිගේ උපකාර අවශ්‍ය බවයි. “සියල්ලෝම ඔබ දෙස බලාපොරොත්තුවෙන් බලා සිටිති” කියා දාවිත් රජද පැවසුවා. (ගීතා. 145:15NW) දෙවි ‘අප ගැන සලකන’ බව අප දන්නා නිසා යාච්ඤාවෙන් ඔහුගේ උපකාර පතන විට ගැටලු අඩු කර ගන්න අපට හැකියි.—1 පේතෘ. 5:7.

13 සාර්ථක විවාහයකට දායක වන තවත් දෙයක් නම් දෙදෙනා එකට රැස්වීම්වලට හා දේවසේවයේ සහභාගි වීමයි. විවාහයන් දෙකඩ කරන සාතන්ගේ කපටි උපායන්වලට විරුද්ධවන්නේ කෙසේද කියා ක්‍රිස්තියානි රැස්වීම්වලදී ඉගෙනගත හැකියි. (එෆී. 6:11) එමෙන්ම දෙදෙනා එක්ව නිතිපතා දේවසේවයේ හවුල් වීම ඇදහිල්ලේ ‘ස්ථිරව, නොසැලී සිටීමට’ උපකාරවත් වෙනවා. —1 කොරි. 15:58.

දුෂ්කරතා පැනනඟින විට

14. දෙවිගේ සේවකයන්ගේ විවාහයන් පවා තර්ජනයට ලක්වීමට හේතු මොනවාද?

14 මෙතෙක් අප සලකා බැලූ යෝජනා ඔබ කලින් දැන සිටියා විය හැකියි. ඒ වුණත් ඔබගේ සහකරු සමඟ ඒවා ගැන විවෘතව සාකච්ඡා කරන්න. යම් පැතිවලින් දියුණු වීමට අවශ්‍යය නම් ඒ සඳහා පියවර ගන්න. තම විවාහයට දෙවිව සම්බන්ධ කර ගෙන ඇති යුවළකට වුණත් ‘මාංසයෙහි දුක් ඇති වන’ බව බයිබලයේ පවසා තිබෙනවා. (1 කොරි. 7:28) උරුම කරගත් පාපය, පිරිහුණු ලෝකය මගින් එල්ල වන දූෂිත බලපෑම් හා සාතන්ගේ උගුල් නිසා දෙවිගේ සේවකයන්ගේ විවාහයන් පවා තර්ජනයට ලක් වෙන්න පුළුවන්. (2 කොරි. 2:11) නමුත් ඒ ඕනෑම තත්වයකට සාර්ථකව මුහුණ දීම සඳහා අපට උපකාර කරන්න යෙහෝවා දෙවිට හැකියි. එය මොන තරම් සත්‍යයක්ද කියා විශ්වාසවන්ත යෝබ්ගේ සිද්ධිය අපට පැහැදිලි කරනවා. ඔහුට තිබූ සියල්ල එනම් එළු බැටළු රැළවල්, සේවකයන් විතරක් නොවෙයි සියලුම දූ දරුවන්ද ඔහුට අහිමි වුණා. ඔහු ඒ කුමන දුඛ්කිත තත්වයට මුහුණ දුන්නත් බයිබලයේ පවසන්නේ “මේ සියල්ලේදී යෝබ් වචනකින්වත් පව් කළේ නැත. දෙවිට දොස් පැවරුවේද නැත” කියායි.—යෝබ් 1:13-22NW.

15. යුවළක් දුෂ්කරතාවන්ට මුහුණ දීම නිසා ඔවුන්ගෙන් කෙනෙක් කෙසේ ක්‍රියා කළ හැකිද? එවිට අනෙක් තැනැත්තාට කළ හැකි හොඳම දෙය කුමක්ද?

15 නමුත් යෝබ්ට වෙනස්ව ඔහුගේ භාර්යාව පැවසුවේ “ඔබ ඇයි තවමත් දෙවිට විශ්වාසවන්තව සිටින්නේ? දෙවිට ශාප කර මිය ගියා නම් මීට වඩා හොඳයි” කියායි. (යෝබ් 2:9NW) ඉන් පැහැදිලි වන්නේ යමෙක් දැඩි දුෂ්කරතාවක් අද්දකින විට ඔහුගේ මනස අවුල් වීම හේතුවෙන් කලබල වී යමක් පැවසීමට ඉඩ ඇති බවයි. “පීඩා නිසා ප්‍රඥාවන්තයාගේ අතින් පවා මෝඩ දේවල් සිදු විය හැක” කියා සලමොන් රජ පැවසුවේත් ඒ නිසයි. (දේශ. 7:7NW) යම් ‘පීඩාවක්’ හෝ අසීරුතාවකට මුහුණ දීම නිසා ඔබගේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා කෝපයෙන් යමක් පවසයි නම් හොඳම දෙය වන්නේ සන්සුන්ව සිටීමයි. නමුත් එකට එක කිරීමෙන් සිදු වන්නේ තත්වය තවත් නරක අතට හැරීමයි. (ගීතාවලිය 37:8 කියවන්න.) එමනිසා ඔබව කලකිරීමට හෝ කණගාටුවට පත් කළ හැකි, අනෙක් තැනැත්තා ඉක්මන් වී පවසන “අනුවණ” කතා අමතක කර දමන්න.—ගීතා. 106:33NW.

16. (අ) මතෙව් 7:1-5හි ඇති යේසුස්ගේ උපදෙස යුවළකට අදාළ කරගත හැක්කේ කේසේද? (ආ) දෙදෙනාම සාධාරණව සිතන අය විය යුත්තේ ඇයි?

16 යුවළක් එකිනෙකාගෙන් බලාපොරොත්තු වන දේවල් ගැන සාධාරණ වීමද වැදගත්. උදාහරණයකට තම සහකරුවා අතින් නිතර සිදු වන යම් අඩු පාඩුවක් දකින විට ‘එයාව වෙනස් කරන්න මට පුළුවන්’ කියා ඔබට සිතිය හැකියි. ඔව්, ඔබ ඉවසීමෙන් හා ප්‍රේමණීයව උපකාර කළොත් සමහරවිට ඉන් ගොඩ එන්න ඔහුට හෝ ඇයට හැකි වෙයි. මෙහිදී අප මතක තබාගත යුතු වැදගත් දෙයක් තිබෙනවා. එනම් තමාගේ ඇසේ “පරාලයක්” තිබෙන බව අමතක කර අනෙක් තැනැත්තාගේ ඇසේ තිබෙන “රොඩ්ඩ” ඉවත් කරන්න උත්සාහ කරන පුද්ගලයෙක් ගැන යේසුස් පැවසූ දෙයයි. එමෙන්ම අන් අයව “විනිශ්චය කිරීම නතර කරන්න. එවිට ඔබවද විනිශ්චය කරනු නොලබන්නේය” කියා යේසුස් අපට දුන් අවවාදය මතක තබාගැනීමද වැදගත්. (මතෙව් 7:1-5 කියවන්න.) අනෙක් අතට තමාගේ සහකරු අතින් සිදු වන බරපතළ වැරදි ගණනකට නොගත යුතු බව මින් අදහස් කරන්නේ නැහැ. මෙහිදී සාධාරණව කටයුතු කිරීම වැදගත්. වසර 40ක් පුරා විවාහ වී සිටින රොබට්, ඒ සම්බන්ධයෙන් පවසන දේ බලන්න. “දෙදෙනාම එකිනෙකාට අවංක වීමත් විවෘතව අදහස් ප්‍රකාශ කිරීමත් ඉතා වැදගත්. ඒ වගේම අනෙක් තැනැත්තා තමන්ගේ යම් දුර්වලකමක් පෙන්වා දෙන විට එය පිළිගෙන නිවැරදි කරගැනීමත් අවශ්‍යයි.” ඔබ සහකරුගෙන් බලාපොරොත්තු වන ගුණාංග ඔහු හෝ ඇය සතුව නොතිබිය හැකියි. ඒ ගැන කනගාටු වෙනවා වෙනුවට දැන් ඔබේ සහකරුට තිබෙන ගුණාංග අගය කරන්න.—දේශ. 9:9.

17, 18. බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන විට උපකාර ලැබිය හැක්කේ කාගෙන්ද?

17 යුවළක් ජීවිතයේ විවිධ තත්වයන්ට මුහුණ දෙන විට ඊට ආවේණික වූ අභියෝගවලටත් මුහුණ දීමට සිදු වෙනවා. උදාහරණයකට දරුවෙක් ලැබෙන විට, තම සහකරුවා හෝ දරුවා බරපතළ ලෙස අසනීප වන විට, මහලු දෙමාපියන්ව රැකබලා ගන්න සිදු වන විට හෝ වැඩිහිටි දරුවන් දුර ඈත ප්‍රදේශයක පදිංචියට යන විට එවන් තත්වයක් මතු විය හැකියි. එමෙන්ම සභාවේ අමතර වගකීම් දැරීමට සිදු වන විටද එවන් අභියෝගවලට මුහුණ දෙන්න සිදු විය හැකියි. මෙවන් තත්වයන් නිසා දෙදෙනාගේ බැඳීමට යම් පීඩනයක් එල්ල විය හැකියි.

18 කෙසේනමුත් ඔබේ විවාහය දෙකඩ වන තත්වයට පත් වී ඇති බව හැඟේ නම් කුමක් කළ හැකිද? (හිතෝ. 24:10) ඔබේ විවාහය ආරක්ෂා කරගැනීමට ඔබ දරන උත්සාහය අත්හරින්න එපා! මේ දෙයත් මතකයේ තබා ගන්න. එනම් සාතන් සතුටු වන්නේ ඔබ දෙවිට කරන නමස්කාරය නතර කරනවාටයි. ඔබ දෙදෙනාම එසේ කළොත් ඔහු ඊටත් වඩා සතුටු වෙයි. ඒ නිසා ඔබගේ විවාහය තුන්පට ලණුවක් මෙන් ශක්තිමත් කරගැනීමට කළ හැකි සියල්ල කරන්න. දැඩි පරීක්ෂා හමුවේ පවා දෙවිට විශ්වාසවන්තව සිටි අයගේ ආදර්ශ බොහොමයක් බයිබලයේ සඳහන් වෙනවා. ඉන් ඔබට ප්‍රයෝජන ගත හැකි ආකාරය බලන්න. උදාහරණයකට දාවිත් ගැන සිතන්න. ‘අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මන්ද මිනිසා නොනවත්වා මට පීඩා කරන්නේය’ කියමින් ඔහු දෙවිගෙන් උපකාර පැතුවා. (ගීතා. 56:1NW) ඔබත් ඔහු මෙන් යම් පීඩාවකට මුහුණ දෙමින් සිටිනවා විය හැකියි. එම පීඩාව ඔබට සමීප කෙනෙකුගෙන් පැමිණියත් එසේ නොවන කෙනෙකුගෙන් පැමිණියත් දාවිත් මෙන් ඒ සියල්ල දරාගන්න ශක්තිය දෙවිගෙන් ලැබිය හැකියි. ඔහු මෙන් මෙසේ පවසන්න ඔබටත් හැකි වෙයි. “මම යෙහෝවා දෙවිගෙන් විසඳුමක් බලාපොරොත්තු වුණෙමි. ඔහු මට සවන් දී සෑම බියකින්ම මා මුදවාගත්තේය.”—ගීතා. 34:4NW.

තවත් ආශීර්වාද!

19. සාතන්ට විරුද්ධ වීමට අපට හැක්කේ කෙසේද?

19 මේ අවසාන කාලයේදී විවාහක සහකරුවන් ‘දිගටම එකිනෙකාව සනසවමින් හා ගොඩනංවමින් සිටීම’ අත්‍යවශ්‍ය දෙයක්. (1 තෙස. 5:11) දෙවිගේ සේවකයන් ඔහුට සේවය කරන්නේ වාසි ප්‍රයෝජන නිසා කියා සාතන් කළ චෝදනාව අමතක කරන්න එපා. ඊට හේතුව අප දෙවිට දක්වන පක්ෂපාතකම විනාශ කිරීමට සාතන්ට හැකි සියල්ල ඔහු කරමින් සිටින නිසයි. ඊට එරෙහි වීමට නම් අපට දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබිය යුතුයි. (හිතෝ. 3:5, 6) එසේ කළොත් පාවුල් මෙන් “මට බලය දෙන තැනැත්තාගෙන් සියලු දේ සඳහා මට ශක්තිය ලැබේ” කියා පවසන්න අපටත් හැකියි.—ෆිලි. 4:13.

20. විවාහයට දෙවිව සම්බන්ධ කරගැනීමේ ආශීර්වාද මොනවාද?

20 තම විවාහයට දෙවිව සම්බන්ධ කරගන්නා යුවළක් අද්දකින ආශීර්වාද බොහෝයි. වසර 51ක් පුරා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ජොඑල් සහ ඔහුගේ භාර්යාවගේ අද්දැකීමෙන් ඒ බව පැහැදිලියි. “අපි දෙන්නා ගත කරන ප්‍රීතිමත් ජීවිතයට හා බැඳීමට මම යෙහෝවා දෙවිට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එයා නම් මටම ගැළපෙන බිරිඳක්.” ඔවුන්ගේ ප්‍රීතියේ රහස කුමක්ද? “අපි දෙන්නා නිතරම වගේ එකිනෙකාට කරුණාවන්තව, ඉවසිලිවන්තව හා ප්‍රේමයෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා” කියා ඔහු තව දුරටත් පවසනවා. අප කාටවත් එම ගුණාංග පරිපූර්ණ ලෙස පෙන්වන්න බැරි බව ඇත්තයි. ඒ වුණත් බයිබල් ප්‍රතිපත්ති අපගේ උපරිමයෙන් ක්‍රියාත්මක කරමින් යෙහෝවා දෙවිව අපගේ විවාහයට සම්බන්ධ කරගනිමු. අප එසේ කරනවා නම් ‘පහසුවෙන් දෙකට කැඩිය නොහැකි තුන්පට ලණුවක් මෙන්’ අපගේ විවාහයද ශක්තිමත් වෙනවා ස්ථිරයි!—දේශ. 4:12NW.

ඔබට මතකද?

• විවාහයට යෙහෝවා දෙවිව සම්බන්ධ කරගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

• දුෂ්කරතා පැන නඟින විට විවාහක යුවළක් කළ යුත්තේ කුමක්ද?

• විවාහයට යෙහෝවා දෙවි සම්බන්ධ වී ඇති බව පෙනෙන්නේ කුමකින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූර]

අභියෝගාත්මක තත්වයන්ට සාර්ථකව මුහුණ දෙන්න දෙදෙනා එක්ව කරන යාච්ඤාව මහඟු උපකාරයක්