Skip to content

පටුනට යන්න

මේ ලෝකයේ බලපෑමට විරුද්ධ වන්න

මේ ලෝකයේ බලපෑමට විරුද්ධ වන්න

මේ ලෝකයේ බලපෑමට විරුද්ධ වන්න

“අපට ලැබී තිබෙන්නේ ලෝකයේ ආත්මය [ලෝකයේ බලපෑම] නොව, දෙවිගෙන් වූ ආත්මයය [දෙවිගේ බලයයි].”—1 කොරි. 2:12.

1, 2. (අ) අතීතයේදී ගල් අඟුරු පතල්වල කුරුල්ලන්ව තබා ගත්තේ ඇයි? (ආ) ක්‍රිස්තියානීන්ට කටයුතු කරන්න සිදු වී තිබෙන්නේ කුමන තත්වයක් යටතේද?

වර්ෂ 1911දී බ්‍රිතාන්‍ය බලධාරීන්, ගල් අඟුරු පතල්වල සේවකයන්ගේ ආරක්ෂාව සඳහා අලුත් නීතියක් හඳුන්වා දුන්නා. එනම් සෑම පතලකම කුඩා කුරුල්ලන් දෙදෙනෙක්ව තබාගත යුතු බවයි. ඒ ඇයි? පතල තුළ හදිසි ගින්නක් ඇති වූ විට ජීවිතාරක්ෂක භටයන් එම කුරුල්ලන්වත් රැගෙන ඇතුළට යනවා. පතල තුළ කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායුවක් කාන්දු වී ඇත්නම් ඒ බව මේ කුරුල්ලන්ට ඉක්මනින් දැනෙනවා. ඔවුන්ගේ හැසිරීම් රටාවෙන් ඒ බව තේරුම් ගත හැකියි. මෙය අනතුරු ඇඟවීමක් බව ආරක්ෂකයන් තේරුම් ගන්නවා. කාබන් මොනොක්සයිඩ් වායුව අවර්ණ මෙන්ම ගඳ සුවඳකින් තොරයි. කෙනෙකුට එය ශරීර ගත වුණොත් රතු රුධිරාණු මගින් ශරීරය පුරා ඔක්සිජන් රැගෙන යෑම නතර වෙනවා. ඉන් ඔහු ක්ලාන්ත වී වැඩි වේලාවක් යන්න පෙර මිය යන්නත් ඉඩ තිබෙනවා.

2 ක්‍රිස්තියානීන්ද යම් ආකාරයකින් පතල් සේවකයන්ට සමානයි. ඔවුන්ටද යේසුස් දුන් පැවරුම ඉටු කිරීමට සිදු වී තිබෙන්නේ අනතුරුදායක ලෝකයකයි. එහි බලය පවත්වන්නේ සාතන් නමැති යක්ෂයායි. ඒ බව යේසුස්ද දැන සිටියා. (මතෙ. 10:16; 1 යොහ. 5:19) ඔහු තම ගෝලයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් දෙවිගෙන් මෙසේ ඉල්ලුවේ ඒ නිසයි. “මා ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්නා මෙන් නොව, දුෂ්ටයා නිසා ඔවුන්ව ආරක්ෂා කරන මෙන්ය.”—යොහ. 17:15.

3, 4. යේසුස් තම අනුගාමිකයන්ට දුන් උපදෙස කුමක්ද? එය අපට වැදගත් වන්නේ ඇයි?

3 තම අනුගාමිකයන්ට සිදු විය හැකි භයානක දෙයක් ගැන යේසුස් අනතුරු ඇඟෙව්වා. එනම් කෙනෙක් මේ ලෝකයේ බලපෑමට හසු වුණොත් ඇදහිල්ල දුර්වල වී අවසානයේදී ඔහුගේ ජීවිතය පවා අහිමි වීමටද ඉඩ ඇති බවයි. එමනිසා මෙම අන්තිම දවස්වල ජීවත් වන අපට යේසුස් පැවසූ මෙම වචන ඉතා වැදගත්. ‘සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටීමට හැකියාව ලැබෙන පිණිසද දිගටම අවදිව සිටින්න.’ (ලූක් 21:34-36) එම උපදෙස ක්‍රියාත්මක කිරීමට හැකි වන ලෙස දෙවි තම බලයේ උපකාරය ඔවුන්ට දෙන බවත් යේසුස් පොරොන්දු වුණා. ඒ තුළින් දෙවිගේ ආඥා මතක් කරගැනීමටත් අවදිව සිටීමටත් ඔවුන්ට හැකි වුණා.—යොහ. 14:26.

4 අප ගැන කුමක් කිව හැකිද? දෙවිගේ බලය මගින් උපකාර ලැබීමට අපටත් හැකිද? ඒ සඳහා අප කුමක් කළ යුතුද? මේ ලෝකයේ ආත්මය හෙවත් බලපෑම කුමක්ද? එමෙන්ම එය ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඊට එරෙහි වීමට අපට හැක්කේ කෙසේද? දැන් අපි මේවාට පිළිතුරු සාකාච්ඡා කරමු.—1 කොරින්ති 2:12 කියවන්න.

දෙවිගේ බලයද නැත්නම් මේ ලෝකයේ බලපෑමද?

5, 6. දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන විට සිදු වන්නේ කුමක්ද? එමෙන්ම එය ලැබීමට අප කුමක් කළ යුතුද?

5 යේසුස්ගේ මුල් ගෝලයන්ට මෙන් අපටත් දෙවිගේ බලයේ උපකාර ලබන්න පුළුවන්. එම බලය අප තුළ ක්‍රියාත්මක වන විට දෙවි ඉදිරියේ හරි දේ කිරීමටත් ඔහුට උද්‍යෝගයෙන් සේවය කිරීමටත් හැකියාව ලැබෙනවා. (රෝම 12:11; ෆිලි. 4:13) එමෙන්ම ප්‍රේමය, කරුණාවන්තකම සහ යහපත්කම වැනි කදිම ක්‍රිස්තියානි ගුණාංගද අප තුළ වැඩි වර්ධනය වෙනවා. (ගලා. 5:22, 23) කෙසේනමුත් තම බලයේ උපකාර ප්‍රතික්ෂේප කරන අයට ඔහු එය ලබා දෙන්නේ නැහැ.

6 එමනිසා ‘දෙවිගේ බලයේ උපකාර ලබන්න නම්, මම කරන්න අවශ්‍ය මොනවාද’ කියා කල්පනා කිරීම වැදගත්. ඒ සඳහා අප කළ යුතු දේවල් කිහිපයක්ම බයිබලයේ සඳහන් වෙනවා. ඉන් එකක් වන්නේ එය ලබා දෙන මෙන් දෙවිගෙන් ඉල්ලීමයි. (ලූක් 11:13 කියවන්න.) තවත් පියවරක් නම් ඔහුගේ බලයේ මඟ පෙන්වීම යටතේ ලියැවුණු බයිබලය අධ්‍යයනය කර එහි උපදෙස් ක්‍රියාත්මක කිරීමයි. (2 තිමෝ. 3:16) නමුත් බයිබලය නිකම්ම උඩින් පල්ලෙන් කියවන හැමදෙනාටම එම බලය ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට කෙනෙක් බයිබලය හොඳින් අධ්‍යයනය කරද්දී එහි නියම හරය වටහාගන්න ඔහුට හැකියි. දෙවිගේ බලයේ උපකාර ලැබීමට තවත් දෙයක් අවශ්‍යයි. එනම් තම නියෝජිතයා ලෙස දෙවි පත් කර ඇත්තේ යේසුස්ව බවත් ඔහු තම බලය අපට ලබා දෙන්නේ යේසුස් තුළින් බවත් අප පිළිගත යුතුයි. (කොලො. 2:6) එමෙන්ම ඔහුගේ ඉගැන්වීම්වලට එකඟව ජීවත් විය යුතුයි. (1 පේතෘ. 2:21) මෙලෙස අපි යේසුස්ව අනුගමනය කරන තරමටම දෙවිගේ බලයේ උපකාරයත් අපට ලැබෙයි.

7. මේ ලෝකයේ බලපෑම කෙනෙකු තුළ ක්‍රියාත්මක වන විට සිදු වන්නේ කුමක්ද?

7 ඊට වෙනස්ව මේ ලෝකයේ බලපෑම මගින් ජනයාව පොලඹවන්නේ එහි පාලකයා වන සාතන්ගේ ගතිගුණ විදහා පෙන්වීමටයි. (එෆීස 2:1-3 කියවන්න.) ඒ බව අප අවට ලෝකයෙන් දැක ගත හැකියි. බොහෝදෙනා දෙවිගේ ප්‍රමිතිවලට විරුද්ධව කටයුතු කරන්නේ එම බලපෑම නිසයි. එමෙන්ම ඒ තුළින් “මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීම” වැනි ක්‍රියාවලටද දිරි දෙනවා. (1 යොහ. 2:16) එපමණක් නොව වේශ්‍යාකම, රූප වන්දනාව, භූතවාදයේ නියැලීම, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, බේබදුකම වැනි ක්‍රියාවලටද එය මිනිසුන්ව පොලඹවනවා. (ගලා. 5:19-21) සැබෑ නමස්කාරය දූෂ්‍ය කරන කතාද එම බලපෑමේ ප්‍රතිඵලයක්. (2 තිමෝ. 2:14-18) මෙසේ පුද්ගලයෙක් ලෝකයේ බලපෑම තමන් තුළ ක්‍රියාත්මක වීමට ඉඩහරින තරමටම ඔහු අනුකරණය කරන්නේ සාතන්වයි.

8. අප සැමදෙනාම ගත යුතු වැදගත් තීරණය කුමක්ද?

8 අපට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ සාතන්ගේ බලපෑමට හසු වූ මිනිසුන් අතරයි. ඒ නිසා සෑම ක්‍රිස්තියානියෙක්ම වැදගත් තීරණයක් ගත යුතුයි. එනම් තමන් තුළ ක්‍රියාත්මක වීමට ඉඩහරින්නේ මේ ලෝකයේ බලපෑමද නැත්නම් දෙවිගේ බලයද යන්නයි. දැනටමත් මේ ලෝකයේ බලපෑමට හසු වී සිටින අයට පවා ඉන් නිදහස් වී දෙවිගේ බලය තමන් තුළ ක්‍රියාත්මක වීමට ඉඩහරින්න පුළුවන්. ඒ වගේම දෙවිගේ බලය තමන් තුළ ක්‍රියාත්මක වීමට ඉඩහරින අයද මේ ලෝකයේ බලපෑමට හසු විය හැකි බව අප අමතක නොකළ යුතුයි. (ෆිලි. 3:18, 19) මේ ලෝකයේ බලපෑමට විරුද්ධ වන්න අපට හැක්කේ කෙසේද කියා දැන් අපි සලකා බලමු.

අනතුරු ඇඟවීම් හඳුනාගන්න

9-11. අප මේ ලෝකයේ බලපෑමට හසුවීමට පටන්ගෙන ඇති බව හඳුනාගත හැක්කේ කෙසේද?

9 අප මුලදී සලකා බැලූ ලෙස පතල් සේවකයන් කුඩා කුරුල්ලන් දෙදෙනෙකුව රැගෙන යන්නේ විෂ වායුවක් කාන්දු වී ඇත්නම් ඒ බව කලින්ම හඳුනාගැනීමටයි. එම කුරුල්ලන් අඩපණ වෙන බව දුටුවොත් තමන් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඔවුන් තේරුම් ගත්තා. එලෙසම ක්‍රිස්තියානීන් වන අපත් මේ ලෝකයේ බලපෑමට හසුවෙන්න පටන්ගෙන තිබෙනවාද කියා කලින්ම හඳුනා ගත හැකියි. ඒ කෙසේද කියා අපි බලමු.

10 අප මුලින්ම බයිබල් සත්‍යය දැනගත් විට අපගේ ජීවිත දෙවිට කැප කරන්න උද්‍යෝගයෙන් ක්‍රියා කළා. එමෙන්ම ඒ කාලයේදී බයිබලය උනන්දුවෙන් කියවීම, දෙවිට ඉතා ඕනෑ කමින් යාච්ඤා කිරීමද අප අතපසු කළේ නැහැ. ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමෙන් හා සහෝදර සහෝදරියන්ව ඇසුරු කිරීමෙන් අප මොන තරම් ප්‍රීතියක් හා සහනයක් ලැබුවාද! මේ ලෝකයේ බලපෑමෙන් නිදහස් වීමට අපට හැකි වුණේ ඒ නිසයි.

11 නමුත් දැන් අපගේ තත්වය කුමක්ද? අප එදා මෙන් බයිබලය දිනපතාම කියවනවාද? (ගීතා. 1:2) නිතරම උනන්දුවෙන් දෙවිට යාච්ඤා කරනවාද? සෑම රැස්වීමකටම සහභාගි වීමට අපට තිබූ ආශාව තවමත් තිබෙනවාද? (ගීතා. 84:10) නැත්නම් එවන් සමහර යහපත් පුරුදු අපෙන් ගිලිහී ගොසින්ද? අපට බොහෝ වගකීම් තිබෙන නිසා ඇදහිල්ල ශක්තිමත් කරන දේවල්වලට මුල් තැන දීම අභියෝගයක් විය හැකියි. කෙසේනමුත් එවන් යහපත් පුරුදු ටිකෙන් ටික අපෙන් ගිලිහී යමින් තිබෙනවා නම් තත්වය කුමක්ද? මේ ලෝකයේ බලපෑම අප තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගෙන තිබෙනවා කියා ඉන් අදහස් විය නොහැකිද? එසේ නම් නැවතත් එවන් පුරුදු ක්‍රියාත්මක කිරීමට අපට කුමක් කළ හැකිද?

‘ඔබේ සිත් කෙදිනකවත් බර කර නොගන්න’

12. යේසුස් “හොඳ අවධානයකින්” සිටින්න කියා පැවසුවේ කව්රුන් ගැනද? ඒ ඇයි?

12 මේ ලෝකයේ බලපෑමට විරුද්ධ වන්න අප තව කුමක් කළ යුතුද? ඒ ගැන යේසුස් තම අනුගාමිකයන්ට පැවසූ දේ බලන්න. “අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. නැතහොත් ඔබ නොදැනුවත්වම ඒ දවස ඔබ පිටට ක්ෂණිකව, උගුලක් මෙන් පැමිණෙන්නේය.” ඒ නිසා ඔවුන් ‘දිගටම අවදිව සිටිය’ යුතු බවට ඔහු උපදෙස් දුන්නා.—ලූක් 21:34-36.

13, 14. අප කන බොන ආකාරය සම්බන්ධයෙන් අසාගත යුතු වැදගත් ප්‍රශ්න මොනවාද?

13 යේසුස්ගේ එම වචනවලින් අදහස් කළේ කා බී ප්‍රීතිවීම වැරදි බවද? නැහැ. සලමොන්ද මෙසේ පැවසූ බව යේසුස් දැන සිටියා. “තම ජීවිත කාලය තුළ සතුටු වී යහපත භුක්ති විඳීමට වඩා අන් කිසිවක් මිනිසෙකුට බලාපොරොත්තු විය නොහැකි බව මම තේරුම්ගත්තෙමි. තවද වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසෙක් කා බී හොඳ ප්‍රතිඵල ලැබිය යුතුය. එය දෙවිගෙන් ලැබෙන දීමනාවකි.” (දේශ. 3:12, 13, නව ලොව පරිවර්තනය, NW.) ඒ වුණත් යේසුස් එවන් දෙයක් පැවසුවේ මේ ලෝකයේ බලපෑම මගින් මිනිසුන්ව කෑදර පුද්ගලයන් වන්න සලස්වන බව ඔහු දැන සිටි නිසයි.

14 කෑදරකම හෝ බේබදුකම යන ලෝකයේ බලපෑමට අප හසු වී ඇද්ද කියා දැනගත හැක්කේ කෙසේද? ඒ සඳහා අපව අවංකව සෝදිසි කිරීමට මෙම ප්‍රශ්න අපෙන්ම අසා ගනිමු. ‘කෑදරකම ගැන බයිබලයේ හෝ බයිබල් ප්‍රකාශනයක දී ඇති උපදෙස්වලට මම දක්වන ප්‍රතිචාරය කුමක්ද? ඒ උපදෙස මට අදාළ නැහැ කියා එය නොසලකා හරින්න හෝ එය තද වැඩියි කියා සිතන්න මම පෙලඹෙනවාද? නැත්නම් ඊට නිදහසට කරුණු ඉදිරිපත් කරනවාද? * මත්පැන් භාවිතය, ඉන් සම්පූර්ණයෙන්ම වැළකීම, පමණ දැන භාවිත කිරීම හා ‘බේබදුකමින්’ සම්පූර්ණයෙන්ම වැළකී සිටීම ගැන බයිබලයේ දී ඇති උපදෙස් සම්බන්ධයෙන් මගේ ආකාල්පය කුමක්ද? ඒ උපදෙස් මට අදාළ නැහැ කියා සිතමින් ඒවා සුළුවෙන් සලකනවාද? මම මත්පැන් භාවිත කරන ආකාරය ගැන අන් අය යම් මඟ පෙන්වීමක් දෙන විට මම ඊට නිදහසට කරුණු කියනවාද? නැත්නම් ඒ ගැන අමනාප වෙනවාද? ඒ සම්බන්ධයෙන් ඇති බයිබල් උපදෙස් එතරම් බැරෑරුම්ව සැලකිය යුතු නැහැයි කියා මම අන් අයට පවසනවාද?’ මේ සම්බන්ධයෙන් අප දරන ආකල්ප තුළින් අප මේ ලෝකයේ බලපෑමට හසුවෙන්න පටන්ගෙන තිබෙනවාද කියා තේරුම් ගත හැකියි.—රෝම 13:11-14 බලන්න.

කනස්සල්ලෙන් යට නොවන්න

15. මිනිසුන්ට තිබෙන නැඹුරුවාවක් ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

15 මේ ලෝකයේ බලපෑමට විරුද්ධ වීමට නම් කනස්සල්ලට යට නොවී සිටීමද අවශ්‍යයි. අසම්පූර්ණ මිනිස්සුන් වන අප ජීවිතයේ අවශ්‍යතාවන් ගැන කනස්සලු වන බව යේසුස් දැන සිටියා. ඒ නිසා “කනස්සලු වීම නතර කරන්න” කියා ඔහු තම අනුගාමිකයන්ට පැවසුවා. (මතෙ. 6:25) කෙසේනමුත් දෙවිව සතුටු කරන ආකාරයෙන් ජීවත් වීමට, ක්‍රිස්තියානි වගකීම් ඉටු කිරීමට හා පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා සැපයීමට අප උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. (1 කොරි. 7:32-34) එසේනම් කනස්සලු නොවන්න කියා යේසුස් පැවසුවේ කුමන දේවල් ගැනද?

16. මේ ලෝකයේ බලපෑම නිසා සමහරුන් පෙලඹෙන්නේ කුමක් කිරීමටද?

16 තමන් සතු දේපළ වස්තුව ප්‍රදර්ශනය කිරීමට මේ ලෝකයේ බලපෑම නිසා බොහෝදෙනා පෙලඹී තිබෙනවා. එම ආකල්පය තවත් බොහෝදෙනෙකුට බලපා ඇති අතර ඒ නිසා ඔවුන් අනවශ්‍ය ලෙස කනස්සල්ලෙන් පසු වෙනවා. මුදල් තමන්ට විශාල ආරක්ෂාවක් බවත් කෙනෙකුගේ සාර්ථකත්වය මනින්නේ ඔහු සතු ක්‍රිස්තියානි ගුණාංග මගින් නොව ඔහුගේ වත්පොහොසත්කම අනුව හා සමාජ තත්වය අනුව බව මේ ලෝකයේ බලපෑම මගින් අපට කාවද්දන්න උත්සාහ කරනවා. එවැනි අදහස්වලින් නොමඟ යන කෙනෙක් නිතරම ධනවත් වීමට උත්සාහ කරන අතර අලුත්ම මාදිලියේ බඩු භාණ්ඩ මිල දී ගන්නේ කෙසේද කියා කනස්සල්ලෙන් පසු වෙනවා. (හිතෝ. 18:11) එවන් වැරදි ආකල්ප නිසා කෙනෙකු කනස්සල්ලෙන් යටපත් වන අතර සත්‍යය තුළ ලබන ප්‍රගතියද නතර වෙයි.—මතෙව් 13:18, 22, කියවන්න.

17. කනස්සල්ලෙන් යට නොවීමට අප කුමක් කළ යුතුද?

17 “පළමුකොට රාජ්‍යයද ඔහුගේ [දෙවිගේ] ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න” යන යේසුස්ගේ ආඥාවට කීකරු වුණොත් එම කනගාටු දායක තත්වයෙන් වළකින්න අපට හැකියි. අප එසේ කළොත් ජීවිතයේ අපට අත්‍යවශ්‍ය දේවල් අනිවාර්යයෙන්ම ලැබෙන බව ඔහු පැවසුවා. (මතෙ. 6:33) දෙවිගේ ධර්මිෂ්ඨකම සෙවිය හැකි එක් ක්‍රමයක් නම් මුදල් ගනුදෙනුවලදී දෙවිගේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමයි. උදාහරණයකට, අපි බදු ගෙවන විට අවංක වෙනවා. ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ සුළු කාරණයකදීවත් බොරු කියන්නේ නැහැ. එමෙන්ම අප ණයක් ගෙන තිබෙනවා නම් පොරොන්දු වූ ලෙස ඒවා ගෙවන්නේ එසේය නම් එසේය” යන ප්‍රතිපත්තියට එකඟවයි. (මතෙ. 5:37; ගීතා. 37:21) මෙසේ කටයුතු කිරීමෙන් අප යේසුස්ගේ එම පොරොන්දුව විශ්වාස කරන බව පෙන්වන්න පුළුවන්. අවංක වීමෙන් අප පොහොසත් නොවුණත් යෙහෝවා දෙවිගේ අනුමැතිය හා නිදොස් හෘදයසාක්ෂියක් අපට තිබෙන අතර කනස්සල්ල බොහෝසෙයින් අඩු කරගැනීමටද ඉන් හැකිකම ලැබෙනවා.

18. යේසුස් අපට තබන ආදර්ශය කුමක්ද? ඉන් ප්‍රයෝජන ලබන්න අපට හැක්කේ කෙසේද?

18 මුලින්ම දෙවිගේ රාජ්‍ය සොයන්න නම් අප ජීවිතයේ මුලින් තැබිය යුතු දේවල් හඳුනාගත යුතුයි. ඒ ගැන යේසුස් තැබූ ආදර්ශය බලන්න. එක් අවස්ථාවක ඔහු ඉතා මිල අධික ඇඳුමක් ඇඳ සිටියා. (යොහ. 19:23) එමෙන්ම හොඳ මිත්‍රත්වයක් භුක්ති විඳීමෙන් හා කෑම බීමවලින් ප්‍රීතියක් ලැබුවා.(මතෙ. 11:18, 19) ඒ වුණත් ඔහු ඒවාට වැඩි අවධානයක් නොදුන් අතර ඔහුගේ ජීවිතයේ ප්‍රධානම දෙය වුණේ දෙවිගේ කැමැත්ත කිරීමයි. එය ඔහු සැලකුවේ ඔහුගේ කෑම හැටියටයි. (යොහ. 4:34-36) අපත් ඔහුව අනුකරණය කරනවා නම් අපට ලැබෙන ආශිර්වාද මොනතරම්ද කියා සිතා බලන්න. තැලී පොඩි වී සිටින මිනිසුන්ට අනාගත බලාපොරොත්තුව ගැන පැවසීමෙන් ඔවුන්ට හා අපට විශාල ප්‍රීතියක් ලබන්න පුළුවන්. එමෙන්ම ක්‍රිස්තියානි සභාව මගින් අපට ප්‍රේමණීය උපකාර ලබන්න පුළුවන්. එමෙන්ම දෙවිගේ සිත සතුටු කරන්නත් අපට හැකියි. යේසුස් මෙන් ජීවිතයේ මුල් තැන දිය යුතු දේවලට අපත් මුල් තැන දෙනවා නම් ධන සම්පත් හා විනෝදය අපේ ජීවිතයේ ප්‍රධාන දෙය වන්නේ නැහැ. ඒ වෙනුවට අප දෙවිට කරන සේවයට ප්‍රයෝජනවත් අයුරින් ඒවා යොදාගන්න හැකි වෙනවා. මෙසේ අපි වැඩි වැඩියෙන් දෙවිට සේවය කරද්දී මේ ලෝකයේ දූෂිත බලපෑම්වලින් ආරක්ෂා වීම පහසුයි.

දෙවිට ප්‍රිය වූ දේවලට මනස යොමු කරන්න

19-21. දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීම සඳහා අප කළ යුත්තේ කුමක්ද? ඉන් අත්වන ප්‍රයෝජනය කුමක්ද?

19 බොහෝවිට කෙනෙකුගේ ක්‍රියාවලට මුල් වන්නේ ඔහුගේ සිතුවිලියි. එතරම් සිතන්නේ බලන්නේ නැතුව යමක් කළා කියා සමහරුන් පැවසුවත් බොහෝවිට එම ක්‍රියාවට මුල් වන්නේ එම තැනැත්තාගේ වැරදි සිතුවිලියි. අපගේ සිතුවිලි ආරක්ෂා කරගැනීමේ වැදගත්කම ගැන පාවුල් මතක් කළේ ඒ නිසයි. “මාංසික අය [තම පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන අය] මාංසික දේ කෙරෙහිද [පව්කාර දේවල් කෙරෙහිද] ආත්මික අය [දෙවිගේ බලයේ උපකාරයෙන් ක්‍රියා කරන අය] ආත්මික දේ කෙරෙහිද [දෙවිට ප්‍රිය දේවල් කෙරෙහිද] මනස යොමු කරති.”—රෝම 8:5.

20 මේ ලෝකයේ බලපෑමෙන් අපගේ සිතුවිලි හා ක්‍රියාවන් ආරක්ෂා කරගත හැක්කේ කෙසේද? ඒ සඳහා අප කල්පනා කරන දේවල් සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. එමෙන්ම මේ දූෂිත ලෝකයේ නොමඟ යවන තොරතුරු අපගේ මනසට ගැනීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි. උදාහරණයකට, විනෝදාස්වාදය සඳහා කරන තේරීම්වලදී දුරාචාරයට හෝ සැහැසියාවට දිරිදෙන ඕනෑම දෙයක් සම්පූර්ණයෙන්ම අප ප්‍රතික්ෂේප කළ යුතුයි. දෙවිගේ පරිශුද්ධ බලය දූෂ්‍ය වූ සිතුවිලි ඇති අයට දෙවි ලබා නොදෙන බව අප අමතක නොකළ යුතුයි. (ගීතා. 11:5; 2 කොරි. 6:15-18) ඊට වෙනස්ව දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමට නම් දිනපතා බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීමත් යාච්ඤා කිරීම හා රැස්වීම්වලට නිතිපතා සහභාගි වීමත් අවශ්‍යයි. එමෙන්ම අප නිතිපතා දේවසේවයේ යෙදෙන විටත් ඔහුගේ බලය අප තුළ ක්‍රියාත්මක වෙනවා.

21 ඒ අනුව අප සියලුදෙනාම සාතන්ගේ පාලනය යටතේ පවතින මේ ලෝකයේ දූෂිත බලපෑමට හා එමගින් ඇති කරන ආකල්පවලට දැඩි සේ විරුද්ධ විය යුතුයි. එය අභියෝගයක් වුණත් ඒ සඳහා දරන වෑයම වටිනවා. ඊට හේතුව පාවුල් විස්තර කරන්නේ මෙසේයි.“මාංසයේ දේවල්වලට [පව්කාර ආශාවන්වලට] මනස යොමු කිරීම, මරණයට මඟ පාදන්නේය. නමුත් ආත්මයේ දේවල්වලට [දෙවිට ප්‍රිය දේවලට] මනස යොමු කිරීම, ජීවනයටත් සමාදානයටත් මඟ පාදන්නේය.”—රෝම 8:6.

[පාදසටහන]

^ 14 ඡේ. කෙනෙක් කෑදරද නැද්ද කියා තීරණය වන්නේ ඔහුගේ ශරීර ප්‍රමාණය අනුව නොවෙයි. සාමාන්‍ය ශරීරයක් හෝ කෙට්ටු ශරීරයක් තිබෙන කෙනෙක් පවා කෑදර පුද්ගලයෙක් විය හැකියි. නමුත් සෑම තරබාරු කෙනෙක්ම කෑදර පුද්ගලයන් නොවෙයි. තරබාරු වීමට හේතුව අසනීපයක් හෝ පරම්පරාවෙන් එන ගති ලක්ෂණ විය හැකියි. මෙහි ඇති වැදගත් කරුණ වන්නේ කෙනෙක් කෙට්ටු වුණත් මහත වුණත් ඔහු කෑදර පුද්ගලයෙක්ද නැද්ද කියා තීරණය වන්නේ ඔහු කෑමට දක්වන ලොල්කම අනුවයි.—වර්ෂ 2004 නොවැම්බර්, 1 මුරටැඹ කලාපයේ පළ වූ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යන ලිපිය බලන්න.

ඔබට මතකද?

• දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමට නම් අප කුමක් කළ යුතුද?

• මේ ලෝකයේ බලපෑමට අප හසු විය හැකි ආකාර මොනවාද?

• මේ ලෝකයේ බලපෑමට විරුද්ධ වීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

රැකියාවට හෝ පාසැල් යන්න පෙර දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා යාච්ඤා කරන්න

[23වන පිටුවේ පින්තූර]

අපගේ මනස් පිරිසිදුව තබාගැනීමත් ව්‍යාපාර කටයුතුවලදී අවංක වීමත් එමෙන්න යහපත් ගතිපැවතුම් ඇතුව සිටීමත් අවශ්‍යයි