Skip to content

පටුනට යන්න

යේසුස් මෙන් දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කරමු

යේසුස් මෙන් දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කරමු

යේසුස් මෙන් දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කරමු

‘සියලු ජාතීන්ටද ගෝත්‍රවලටද ජනයාටද භාෂාවන්ටද’ අයත් අයට දෙවි ආරාධනා කරන්නේ තමන්ට නමස්කාර කරන්න කියායි. (එළි. 7:9, 10; 15:3, 4) එම ආරාධනාව පිළිගන්න අයට ‘යෙහෝවා දෙවිගේ යහපත අද්දකින්න’ හැකියි. (ගීතා. 27:4; 90:17, නව ලොව පරිවර්තනය, NW.) ගීතිකාකරු මෙන් මොවුන්ද පවසන්නේ “අපි වැඳ වැටී නමස්කාර කරමු. අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවි ඉදිරියේ දණ නමමු” කියායි.—ගීතා. 95:6NW.

දෙවිට පිළිගත හැකි නමස්කාරය

දෙවිගේම පුත්‍රයා හැටියට යේසුස්ට, තම පියා ක්‍රියා කරන ආකාරය හා ඔහුගේ ප්‍රමිති ගැන ඉගෙනගන්න ඕනෑ තරම් අවස්ථා තිබුණා. ඒ නිසා දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කරන්නේ කෙසේද කියා පවසන්න ඔහුට හැකියි. “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත” කියා පවසන්න ඔහුට හැකි වුණේ ඒ නිසයි.—යොහ. 1:14; 14:6.

දෙවිට පරිපූර්ණව යටත්කම පෙන්වීමේ හොඳම ආදර්ශය යේසුස්. ඒ ගැන ඔහු පැවසුවේ “මා මාගේම අදහසකට අනුව කිසිවක් නොකර, පියාණන් මට ඉගැන්වූ ලෙසම මා මේ දේවල් කියන” බවයි. තවදුරටත් “මා සැමවිටම ඔහුට ප්‍රසන්න දේවල්” කරන බවත් ඔහු පැවසුවා. (යොහ. 8:28, 29) යේසුස් ඔහුගේ පියාව සතුටට පත් කළේ කෙසේද කියා අපි දැන් සලකා බලමු.

ඔහු තම මුළු ජීවිතයම කැප කළේ දෙවිට ගෞරවය ගෙන දෙන ආකාරයෙන් ජීවත් වීමටයි. දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කරනවා කියන්නේ එයටයි. යේසුස්ට දෙවි සමඟ කිට්ටු බැඳීමක් තිබුණා. ඒ නිසා ඔහු දෙවිට කීකරුව දැඩි පීඩා පරීක්ෂා යටතේ පවා ඔහුගේ කැමැත්ත කළා. (ෆිලි. 2:7, 8) යේසුස්, දෙවිට පිළිගත හැකි ලෙස නමස්කාර කළ එක් ක්‍රමයක් නම් ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා දෙවිට නමස්කාර කිරීමට අන් අයට ඉගැන්වීමයි. ඔහු එය උද්‍යෝගයෙන් කළ නිසා ඔහුගේ විරුද්ධකාරයන් මෙන්ම එදා සිටි සියලුදෙනාම ඔහුව ගුරුතුමනි කියා හැඳින්වූවා. (මතෙ. 22:23, 24; යොහ. 3:2) ඔහු අන් අයට සේවය කරන්න වැඩි කාලයක් යෙදෙවූ නිසා ඔහුට ඔහු වෙනුවෙන් ඉතිරි වුණේ සුළු කාලයක්. ඒ වුණත් අන් අයට සේවය කිරීමෙන් ඔහු ලැබුවේ විශාල සතුටක්. (මතෙ. 14:13, 14; 20:28) ඒ වගේම ඔහු කොතරම් කාර්ය බහුලව සිටියත් දෙවිට යාච්ඤා කරන්න කාලය සොයාගත්තා. (ලූක් 6:12) ඒ නිසා යේසුස් කළ සේවය ගැන දෙවි කොතරම් සතුටු වන්න ඇද්ද!

දෙවිව සතුටු කරන්න නම් . . .

යේසුස් දෙවිට විශ්වාසවන්තව සිටි නිසා දෙවි ඔහුට තම අනුමැතිය ලබා දුන්නා. (මතෙ. 17:5) පොළොව මත සිටි කිසි මිනිසෙක් යේසුස් මෙන් දෙවිට පූර්ණ කීකරුකමක් දක්වා නැහැ. ඒ බව සාතන්ද දැන සිටි නිසා යේසුස් ඔහුගේ ඉලක්කය බවට පත් වුණා. ඒ අනුව සාතන්ට අවශ්‍ය වුණේ යෙහෝවා දෙවි පමණක් ලබන්න වටින ඒ නමස්කාරය ලබා දීමෙන් යේසුස්ව වළක්වන්නයි.—එළි. 4:11.

යේසුස් දෙවිට දෙන පූර්ණ නමස්කාරය දූෂ්‍ය කරන්න සාතන් යේසුස්ව පරීක්ෂාවට ලක් කළා. ඔහු යේසුස්ව “ඉතා උස් කන්දකට ගෙන ගොස්, ඔහුට ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද පෙන්වා, ‘ඔබ වැඳ වැටී මට වරක් නමස්කාර කළොත්, මම මේ සියල්ල ඔබට දෙන්නෙමි’” කියා පැවසුවා. යේසුස් ඊට ප්‍රතිචාරය දැක්වූයේ “සාතන්, අහක්ව යව! මන්ද, ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වූ යෙහෝවාටය. පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණය’” කියා පවසමිනුයි. (මතෙ. 4:8-10) තමන්ට මොන තරම් වටිනා දේවල් ලැබුණත් සාතන් ඉල්ලූ දෙය නමස්කාරයට සම්බන්ධ ක්‍රියාවක් බව යේසුස් හොඳින් තේරුම් ගෙන එය ප්‍රතික්ෂේප කළා. යෙහෝවා දෙවිට හැර වෙන කෙනෙකුට කුමනාකාරයෙන් හෝ නමස්කාර කිරීමට යේසුස් කැමති වුණේ නැහැ.

අපගේ නමස්කාරය ලබාගන්න සාතන් මේ ලෝකයේ ඇති සියලුම රාජ්‍යයන් හා එහි තේජස අපට ඉදිරිපත් නොකරනවා වෙන්න පුළුවන්. නමුත් දෙවිට කරන නමස්කාරයෙන් අපව වළක්වන්න සාතන් ඔහුට හැකි සෑම දෙයක්ම කරනවා. ඔහුට අවශ්‍ය අප දෙවිට හැර වෙනත් ඕනෑම දෙයකට හෝ කෙනෙකුට නමස්කාර කරනවා දකින්නයි.—2 කොරි. 4:4.

මෙහිදී අප මතක තබා ගත යුතු වැදගත් දේ වන්නේ යේසුස් අවසානය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටි බවයි. එම විශ්වාසවන්තකම නිසා වෙන කිසි මිනිසෙක් නොකළ ආකාරයට දෙවිව ගෞරවයට පත් කරන්න ඔහුට හැකි වුණා. අපත් යේසුස්ව අනුකරණය කිරීම මගින් අපගේ මැවුම්කරුට නමස්කාර කිරීම ජීවිතයේ මූලික දේ කරගනිමු. ඇත්තෙන්ම අපට ඇති වටිනාම දේ වන්නේ දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයයි.

දෙවිට පිළිගත හැකි නමස්කාරයෙන් ලැබෙන ආශීර්වාද

දෙවි කැමති තමන්ට ‘පිරිසිදු, දූෂ්‍ය නොවූ ලෙස නමස්කාර’ කරන අයටයි. ඒ වගේම ඔහු එවැනි අයට ආශීර්වාද කරනවා. (යාකො. 1:27) අප ජීවත් වන්නේ බොහෝදෙනා “තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන” සහ “යහපතට ප්‍රේම නොකරන” සමාජයකයි. (2 තිමෝ. 3:1-5) නමුත් දෙවිගේ සෙනඟ අතර සිටින යහපත්, පිරිසිදු ජීවිත ගත කරන හා දෙවිගේ ප්‍රමිති රකින්න වෑයම් කරන අයව ආශ්‍රය කරන්න ලැබීම අපට මොන තරම් වරප්‍රසාදයක්ද! එය අප සැමට සහනයක් නොවෙයිද?

අප ලෝකයෙන් කිලිටි නොවී සිටීමෙන් පිරිසිදු හෘද සාක්ෂියක් ලැබෙනවා. එමෙන්ම එය දිගටම පවත්වාගන්න අවශ්‍ය නම් දෙවිගේ ප්‍රමිතිවලට දිගටම යටත්ව සිටිය යුතුයි. ඒ වගේම දෙවිගේ නීති නොකැඩෙන තාක්කල් ආණ්ඩුවේ නීතිවලටද යටත් විය යුතුයි.—මාක් 12:17; ක්‍රියා 5:27-29.

දෙවිට පමණක් නමස්කාර කිරීමෙන් අපට තවත් ආශිර්වාද ලැබෙනවා. ඒ මොනවාද? අපි දෙවිගේ කැමැත්ත කරන විට අපගේ ජීවිතවලට අරමුණක් තිබෙන අතර එය තෘප්තියෙන් ගත කරන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම පරාදීස පොළොවක සදාකාල ජීවිතය නමැති බලාපොරොත්තුව තිබෙන නිසා “හෙට අපි මැරෙන බැවින් කමු, බොමු” යන ආකල්පය අපට නැහැ.—1 කොරි. 15:32.

දෙවිට පිළිගත හැකි ලෙස නමස්කාර කරන අය “මහත් පීඩාවෙන්” බේරෙන බව එළිදරව් පොතේ සඳහන් වෙනවා. ඒ වගේම “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා තම කූඩාරම ඔවුන්ට ඉහළින්” විහිදන බවද එහි සඳහන්. (එළි. 7:13-15) සිංහාසනය මත ඉඳගෙන සිටින්නේ මුළු විශ්වයේම උසස්ම තැනැත්තා වන යෙහෝවා දෙවියි. ඔබව ඔහුගේ කූඩාරමට පිළිගන්නා විට ඔබට ඇතිවන ප්‍රීතිය ගැන සිතා බලන්න! ඔබට කිසි හානියක් නොවන ආකාරයෙන් ඔහු ඔබව ආරක්ෂා කරනවා. එමෙන්ම දැන් පවා ඔබට ඔහුගේ ආරක්ෂාව යම් ආකාරවලින් ලැබිය හැකියි.

දෙවිට පිළිගත හැකි ආකාරයට නමස්කාර කරන අයව ඔහු දැන් පවා “ජීවන වතුර ඇති උල්පත්වලට” මඟ පෙන්වනවා. එම ජීවන දිය උල්පත්වලින් අදහස් කරන්නේ අපට සදාකාල ජීවනය ලබාගැනීම සඳහා දෙවි සපයා ඇති සියලුම සැපයුම්. නුදුරු අනාගතයේදී ‘දෙවි ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේ’ ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව නිසයි. (එළි. 7:17) එමෙන්ම සදාකාල ජීවිතයට ආශා කරන සෑම කෙනෙකුටම ජීවිතය සතුටින් ගත කිරීම සඳහා ඔවුන්ව පරිපූර්ණත්වයට ගෙන එනවා. දෙවිගේ එම සියලු සැපයුම් සඳහා ඔවුන් තම ප්‍රීතිය හා අගය ප්‍රකාශ කරනවා. එමෙන්ම ඔවුන් ස්වර්ගයේ සිටින මහත් සේනාව සමඟ එකතු වී මෙසේ ගායනා කිරීමේ හවුල් වෙනවා. “සර්වපරාක්‍රම තැනැත්තා වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා මහත්ය, විස්මයජනකය. සදාකාල රජුනි, ඔබේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. යෙහෝවා, ඔබ පමණක් පක්ෂපාතී තැනැත්තා වන හෙයින් සැබවින්ම ඔබ කෙරෙහි භය ඇතිව නොසිටින්නෙත්, ඔබේ නාමය මහිමයට පත් නොකරන්නෙත් කවුද? ඔබේ ධර්මිෂ්ඨ නියෝග ප්‍රකාශ වී තිබෙන නිසා, සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනවා ඇත.”—එළි. 15:3, 4.

[27වන පිටුවේ පින්තූරය]

අපගේ නමස්කාරය ලබාගන්න සාතන් අපට ඉදිරිපත් කරන්නේ මොනවාද?