Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියද්දී ‘අත් තැබීමක්’ ගැන සඳහන් කළා. ඔහු ඉන් අදහස් කළේ වැඩිමහල්ලන්ව පත් කිරීම ගැනද? නැත්නම් වෙනත් කාරණයක් ගැනද?—හෙබ්‍රෙ. 6:2.

පාවුල් මෙහි දී සඳහන් කරන්නේ දෙවිගේ බලය මගින් ලැබෙන දීමනා තව කෙනෙකුට ලබා දීම සඳහා ඔහු පිට අත් තැබීම ගැන විය හැකියි. කෙසේනමුත් මේ ගැන දැඩි මතයක් දැරීම අවශ්‍ය නැහැ.

දෙවිගෙන් වූ පැවරුමක් කෙනෙකු විසින් තවත් කෙනෙකුට ලබා දෙන විට ඔහු ඒ පුද්ගලයා මත අත් තබන බව බයිබලයේ සඳහන්. මෝසෙස් යොෂුවා පිට “අත් තබමින්” ඔහුව ඊශ්‍රායෙල් ජාතියේ නායකයා හැටියට පත් කිරීම ඊට එක් උදාහරණයක්. (ද්වි. 34:9, නව ලොව පරිවර්තනය, NW) පළමු ශතවර්ෂයේදීද සුදුසුකම් ලත් අවේක්ෂකයන්ව පත් කරද්දී ඔවුන් පිට අත් තැබුවා. (ක්‍රියා 6:6; 1 තිමෝ. 4:14) ඒ වගේම එසේ අන් අය පිට අත් තබන්න ඉක්මන් නොවන්න කියාද පාවුල් තිමෝතිට අනතුරු ඇඟෙව්වා.—1 තිමෝ. 5:22.

හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් ‘ප්‍රාථමික ඉගැන්වීම්’ පසු කර සිටි නිසා පාවුල් ඔවුන්ට උනන්දු කළේ “මේරූභාවය කරා ඉදිරියටම” ගමන් කරන්න කියායි. ඔහු සඳහන් කළ ප්‍රාථමික ඉගැන්වීම් වන්නේ ‘මළ ක්‍රියාවල් ගැන පසුතැවිලි වීම, දෙවි කෙරෙහි ඇදහීම, බව්තීස්මය, අත් තැබීම’ වැනි දේවලුයි. (හෙබ්‍රෙ. 6:1, 2) මෙහි ‘අත් තැබීම’ ඔහු සඳහන් කරන්නේ ප්‍රාථමික ඉගැන්වීමක් හැටියටයි. එසේනම් කෙනෙක් අවේක්ෂකයෙක් හැටියට පත් වීම සැහැල්ලුවට ගත යුතු දෙයක්ද? කොහෙත්ම නැහැ. ඊට හේතුව පත් කරන සියලුම වැඩිමහල්ලන් අද්දැකීම් ලත් අයයි. ඒ වගේම ඔවුන් එම වරප්‍රසාදය අගය කරන අතර එය බැරෑරුම් දෙයක් හැටියටද සලකනවා.—1 තිමෝ. 3:1.

බයිබලයේ තවත් හේතුවක් සඳහා අන් අය පිට අත් තැබීමක් ගැන සඳහන් කරනවා. එය කුමක්ද කියා දැන් අපි සලකා බලමු. දෙවි පළමු සියවසේදී, තම සෙනඟ හැටියට සිටි ඊශ්‍රායෙල්වරුන්ව ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට තම අනුමැතිය ලබා දුන්නා. (මතෙ. 21:43; ක්‍රියා 15:14; ගලා. 6:16) එම තෝරාගැනීම අන් අයට අවබෝධ වුණේ අභිෂේක ලත් අය දෙවිගේ බලය මගින් ආශ්චර්යවත් ක්‍රියා කරනවා දුටු විටයි. ඒ අතරට අන්‍යභාෂාවලින් කථා කිරීමේ හැකියාවද අයත්. (1 කොරි. 12:4-11) පසුව කොර්නේලියස් සහ ඔහුගේ පවුලේ අය ඇදහිලිවන්තයන් වූ විට ඔවුන්ට දෙවිගේ බලය ලැබුණා. ඔවුන් “අන්‍යභාෂාවලින් කතා” කථා කරන්න පටන්ගත් විට ඒ බව පැහැදිලි වුණා.—ක්‍රියා 10:44-46.

සමහර අවස්ථාවලදී, කෙනෙකුට ආශ්චර්යවත් දීමනා ලබා දුන්නේද ඔහු පිට අත් තැබීමෙන් බව බයිබලයේ සඳහන් වෙනවා. ඉන් එක් අවස්ථාවක් සලකා බලමු. ෆිලිප් සමාරියේදී ශුභාරංචිය ප්‍රකාශ කළ නිසා බොහෝදෙනෙක් බව්තීස්ම වුණා. ඒ නිසා පාලක මණ්ඩලය පේතෘස් සහ යොහන්ව එහි යැව්වා. ඔවුන් දෙදෙනා එහි ගොස් මෙම අලුත් ගෝලයන් “පිට අත් තැබූ විට ඔවුන්ට ශුද්ධාත්මය [දෙවිගේ බලය]” ලැබුණා. එසේ අත් තැබීමෙන් අලුත් ගෝලයන්ට දෙවිගේ බලය ලැබුණු බව අන් අය තේරුම් ගත්තා. අත් තැබීමෙන් දෙවිගේ බලය ලැබෙන බව මායා බන්ධන ක්‍රියාවල යෙදුනු සීමොන්ද දැන ගත්තා. ඔහු එම බලයට කෑදරව එය තමන්ටද ලබා ගන්න මුදල් ගෙවන්නත් කැමති වුණා. එම බලය ලැබුණු අයටත් ආශ්චර්යවත් ක්‍රියා කරන්න හැකි වෙන නිසා ඔහු හිතුවේ එම හැකියාව ලබා ගෙන අන් අය මත අත් තැබීමෙන් ඔවුන්ටද එය ලබා දෙන්නයි. (ක්‍රියා 8:5-20) ඒ වගේම එෆීසයේ සිටි පුද්ගලයන් 12 දෙනෙක් බව්තීස්ම වූ අවස්ථාවේදී ‘පාවුල් ඔවුන් පිට අත් තැබූ විට, ශුද්ධාත්මය [දෙවිගේ බලය] ඔවුන් මතට පැමිණියා. පසුව ඔවුන් අන්‍ය භාෂාවලින් කතා කරන්නත් අනාවැකි කියන්නත් පටන්ගත්තා’ කියා බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 19:1-7; 2 තිමෝති 1:6 බලන්න.

ඒ අනුව හෙබ්‍රෙව් 6:2හි සඳහන් අත් තැබීමෙන් අදහස් කරන්නේ අලුතෙන් බව්තීස්ම වු අයට දෙවිගේ බලය මගින් ලැබෙන දීමනා ලබා දීම විය හැකියි.