Skip to content

පටුනට යන්න

තෙසලෝනික හා තිමෝති පොත්වලින් විශේෂාංග

තෙසලෝනික හා තිමෝති පොත්වලින් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

තෙසලෝනික හා තිමෝති පොත්වලින් විශේෂාංග

පාවුල් තෙසලෝනිකයට ගොස් එහි සභාවක් පිහිටුවන්න උපකාර කළා. එය ආරම්භ වූ දා සිට බොහෝ පීඩා අද්දැක තිබුණා. විසිවන වියේ පසු වූ තිමෝති තෙසලෝනික සභාව පිළිබඳ හොඳ වාර්තාවක් ඇතුව පාවුල්ව හමුවීමට පැමිණෙනවා. ඔවුන්ට ප්‍රශංසා කර දිරිමත් කිරීමට පාවුල් ලිපියක් ලියනවා. ක්‍රිස්තු වර්ෂ 55දී පමණ ඔහු තෙසලෝනිකවරුන්ට තම පළමු ලිපිය ලියූ අතර එය බයිබලයේ ඇති ඔහු ලියූ ලිපි අතරින්ද පළමු වැන්නයි. ඊට ටික කලකට පසු ඔහු ඔවුන්ට තම දෙවන ලිපිය ලියුවා. මෙම ලිපිය ඔහු ලියුවේ ඒ සභාවේ සිටි සමහරුන්ව නිවැරදි කිරීමට හා ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමටයි.

එතැන් සිට වසර දහයකට පමණ පසු පාවුල් මැසිඩෝනියාවේ සිටි අතර එෆීස සභාවේ සිටි තිමෝතිට ලිපියක් ලියුවා. ඉන් ඔහු තිමෝතිව දිරිගැන්නුවේ සභාව තුළ සිටින බොරු ගුරුවරුන්ට විරුද්ධව සිටීමටත් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කරන්න කියායි. ක්‍රි.ව. 64දී රෝමය ගිනිබත් වූ කාලයේදී ක්‍රිස්තියානීන්ට පීඩා රැල්ලකට මුහුණ දීමට සිදු වුණා. පාවුල් තිමෝතිට තම දෙවන ලිපිය ලියුවේත් ඒ කාලයේදීමයි. එමෙන්ම බයිබලයේ ඇති ඔහු ලියූ ලිපි අතරින් අවසන් එකද එයයි. මෙම ලිපි හතර අධ්‍යයනය කිරීමෙන් පාවුල් දුන් උපදෙස් හා දිරිගැන්වීම්වලින් බොහෝ ප්‍රයෝජන ලබන්න අපටත් හැකියි.—හෙබ්‍රෙ. 4:12.

‘අවදිව සිටින්න’

(1 තෙස. 1:1–5:28)

තෙසලෝනික සභාවේ ක්‍රිස්තියානීන් ‘ඇදහිලිවන්තව කරන සේවය, ප්‍රේමය නිසා ඔවුන් ගත් වෙහෙසද, විඳදරාගැනීමද පාවුල් ප්‍රශංසාවට ලක් කළා. ඔවුන් සියල්ලන් ඔහුගේ “බලාපොරොත්තුවත්, ප්‍රීතියත්, ප්‍රමෝදයේ ඔටුන්නත්” බව පාවුල් පැවසුවා.—1 තෙස. 1:3; 2:19.

තෙසලෝනිකවරුන්ව දිරිගැන්වූ පාවුල් නැවත නැගිටීම ගැන බලාපොරොත්තුවෙන් එකිනෙකාව සනසන්න කියා පැවසූ අතර “රාත්‍රියේ පැමිණෙන සොරෙකු මෙන් යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන බව” මතක් කළා. ඒ නිසා “අවදිව” සිහි කල්පනාව ඇතිව සිටින්න කියාද ඔහු උපදෙස් දුන්නා.—1 තෙස. 4:16-18; 5:2, 6.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

4:15-17—‘ස්වාමීන්ව අහසේදී හමු වන පිණිස, වලාකුළුවලින් ඔසවාගනු’ ලබන්නේ කාවද? එය සිදු වන්නේ කෙසේද? මේ අය නම් ක්‍රිස්තුස් රාජ්‍ය බලයෙන් යුක්තව පැමිණ සිටීමේදී ජීවතුන් අතර සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. ඔවුන් ස්වාමීන් වන යේසුස්ව ස්වර්ගයේදී ‘හමු වෙනවා.’ නමුත් එසේවීමට නම් ඔවුන් මියගොස් ස්වර්ගයේ ජීවත් වීමට සුදුසු ආකාරයෙන් නැවත නැගිටීමට අවශ්‍යයි. (රෝම 6:3-5; 1 කොරි. 15:35, 44) ක්‍රිස්තුස් දැනටමත් පැමිණ සිටින නිසා වර්තමානයේ මිය යන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට මරණ නින්දේ පසු වන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඔවුන්ව ක්ෂණයකින් “ඔසවාගනු” ලබනවා හෙවත් නැවත නැඟිටුවනවා.—1 කොරි. 15:51, 52.

5:23—සහෝදරයන්ගේ ආකල්පයද පැවැත්මද සහෝදර සමාගමද ආරක්ෂා වන ලෙස පාවුල් යාච්ඤා කළ විට ඔහු කතා කරමින් සිටියේ කුමක් ගැනද? ඔහු කතා කරමින් සිටියේ තෙසලෝනික සභාවේ සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඇතුළුව සමස්ත ක්‍රිස්තියානි සභාව ගැනයි. ඔහු යාච්ඤා කළේ සියලුම සාමාජිකයන් තුළ හොඳ ආකල්පයක් පවතින්න කියායි. ඒ වගේම එය දිගටම පවතින්න කියාද යාච්ඤා කළා. ක්‍රිස්තුස්ගේ ශරීරය වූ එම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සමාගමේ සමඟිය වෙනුවෙන්ද ඔහු යාච්ඤා කළා. (1 කොරි. 12:12, 13) මින් පැහැදිලි වන්නේ පාවුල් සභාව ගැන කොතරම් ගැඹුරු සැලකිල්ලක් දැක්වූවාද යන්න ගැනයි.

අපට ගත හැකි පාඩම්:

1:3, 7; 2:13; 4:1-12; 5:15. කෙනෙකුට යම් දෙයක් ගැන මඟ පෙන්වීම් ලබා දෙන විට ඔහුට ප්‍රශංසා කර දිරිගන්වනවා නම් ඔහු එම මඟ පෙන්වීම් පිළිගන්නත් එය වඩා හොඳින් ක්‍රියාත්මක කරන්නත් පෙලඹෙනවා.

4:1,9, 10. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කර ගන්න දෙවිගේ සේවකයන් නොකඩවා වෑයම් කළ යුතුයි.

5:1-3, 8, 20, 21. යෙහෝවා දෙවිගේ දවස පැමිණෙනවාත් සමඟ අප “සිහිකල්පනාව ඇතිව සිටිමු. ඇදහිල්ල සහ ප්‍රේමය නමැති ළයවැස්මද, ගැලවීමේ බලාපොරොත්තුව නමැති ආරක්ෂක හිස්වැස්මද පැළඳ සිටිමු.” ඊට අමතරව බයිබල් අනාවැකි ඉටු වන ආකාරය ගැන අපි දැඩි අවධානයකින් සිටිය යුතුයි.

ස්ථිරව සිටින්න’

(2 තෙස. 1:1–3:18)

පාවුල් තම පළමු ලිපියේ සඳහන් කළ යමක් සභාවේ සිටි සමහරුන් විකෘති කර දැක්වූ බවක් පෙනෙන්න තිබෙනවා. එනම් ඔවුන් පැවසුවේ ‘ස්වාමීන්ගේ පැමිණ සිටීම’ ඉතා ආසන්න බවයි. නමුත් එය නිවැරදි කරමින් ඊට ‘කලින් සිදුවීමට’ නියමිත කුමක්ද කියා පාවුල් පැහැදිලි කරනවා.—2 තෙස. 2:1-3

‘ස්ථිරව සිට ඔබ ඉගෙනගත් සම්ප්‍රදායන්වලට ඇලී සිටින්න’ කියා උනන්දු කළ පාවුල් පසුව ඔවුන්ට මෙසේ අණ කරනවා. ‘නොහික්මුණු ලෙස හැසිරෙන සෑම සහෝදරයෙකුගෙන්ම ඔබ වෙන්ව සිටින්න.’—2 තෙස. 2:15; 3:6.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

2:3, 8—“නීතිය නොතකන මනුෂ්‍යයා” කව්ද? එමෙන්ම ඔහු විනාශ වන්නේ කෙසේද? මෙම “මනුෂ්‍යයා” වන්නේ ක්‍රිස්තියානියයි කියා ගන්නා වූ පල්ලිවල පූජකයනුයි. ඔවුන්ට එරෙහිව දෙවිගේ විනිශ්චය ප්‍රකාශ කරන්නත් ඔවුන්ව විනාශ කිරීමට අණ දෙන්නත් බලය තිබෙන තැනැත්තා වන්නේ දෙවිගේ “වචනය” සහ ඔහුගේ නියෝජිත වන යේසුස් ක්‍රිස්තුස්. (යොහ. 1:1) ඒ අනුව යේසුස් මෙම නීතිය නොතකන මනුෂ්‍යයාව තම “මුඛයේ හුස්මෙන්” විනාශ කර දමන බව පැවසිය හැකියි.

2:13, 14—‘ගැලවීම සඳහා’ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ‘මුල සිටම තෝරාගෙන’ තිබෙන්නේ කෙසේද? අභිෂේක ලත් කණ්ඩායමක් සිටින බව දෙවි කලින්ම නියම කළා. ඔහු එසේ කළේ ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් සාතන්ගේ හිස පොඩි කිරීමට අරමුණු කළ ඒ මුල් අවස්ථාවේදීමයි. (උත්. 3:15) ඔවුන්ට තිබිය යුතු සුදුසුකම් ගැනත් ඔවුන්ගේ කාර්යභාරය ගැනත් ඔවුන්ට විඳීමට සිදු වන පරීක්ෂා ගැනත් යෙහෝවා දෙවි දැනුම් දුන්නා. දෙවි ඔවුන්ව තෝරා ගත්තේ ‘මේ සඳහායි.’

අපට ගත හැකි පාඩම්:

1:6-9. දෙවි ගෙනෙන විනාශය තෝරා බේරා කරන එකක්.

3:8-12. යෙහෝවා දෙවිගේ දවස ළඟයි යන කාරණය නිදහසට හේතුවක් කර ගනිමින් අපි අත පය වෙහෙසා වැඩ කිරීමෙන් වැළකී සිටීම සුදුසු නැහැ. ඒ වෙනුවට දේවසේවය සඳහා මෙන්ම අපගේ අවශ්‍යතා පිරිමසාගැනීමට මහන්සි වී වැඩ කළ යුතුයි. එසේ නොකළොත් අපි කම්මැළි පුද්ගලයන් වන අතර “අනුන්ගේ කාරණා අනිසි ලෙස හසුරුවන්නෙකු” බවටද පත් විය හැකියි.—1 පේතෘ. 4:15.

“ඔබට භාර දුන් දෙය ආරක්ෂා කරන්න.”

(1 තිමෝ. 1:1- 6:21)

‘යහපත් යුද්ධය කරගෙන යන්න. එමෙන්ම ඇදහිල්ලද යහපත් හෘදය සාක්ෂියක්ද ඇතිව සිටින්න’ කියා පාවුල් තිමෝතිට උපදෙස් දුන්නා. අවේක්ෂකයෙක් වීම සඳහා තිබිය යුතු සුදුසුකම්ද පාවුල් සඳහන් කළා. ඔහු තවදුරටත් තිමෝතිට උනන්දු කළේ ‘ශුද්ධ දේ දූෂ්‍ය කරන්නාවූ අසත්‍ය කතා ප්‍රතික්ෂේප කරන්න’ කියායි.—1 තිමෝ. 1:18, 19; 3:1-10, 12, 13; 4:7.

“වැඩිහිටි පුරුෂයෙකුව දැඩි ලෙස විවේචනය නොකරන්න” කියා පැවසූ පාවුල් තවදුරටත් තිමෝතිගෙන් ඉල්ලා සිටියේ මෙයයි. “ඔබට භාර දුන් දෙය ආරක්ෂා කරන්න. ශුද්ධ දේ දූෂ්‍ය කරන හිස් වූ කතාවලින්ද, පරස්පර විරෝධී මත ඇතුළත් බොරු ‘දැනුමෙන්ද’ අහක්ව සිටින්න.”—1 තිමෝ. 5:1; 6:20.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:18; 4:14—පාවුල් තිමෝති ගැන පැවසූ “අනාවැකි” මොනවාද? තම දෙවන මිෂනාරි ගමනේදී පාවුල් ලිස්ත්‍රාවට පැමිණියා. එහිදී ක්‍රිස්තියානි සභාව තුළ තිමෝති ඉදිරියට කරන්න යන සේවය පිළිබඳ තොරතුරු දෙවිගේ බලයේ උපකාර ඇතිව පාවුල් පැවසුවා විය හැකියි. (ක්‍රියා 16:1, 2) පාවුල් පැවසූ එම “අනාවැකි” පදනම් කරගෙන එහි සිටි වැඩිමහල්ලන් ඔහු මත “අත් තැබීමෙන්” යම් නිශ්චිත කාර්යයක් සඳහා ඔහුව සුදානම් කළා.

2:15—‘දරුවන් බිහි කිරීම තුළින්’ ස්ත්‍රියකට ‘ආරක්ෂාව’ ලැබිය හැක්කේ කෙසේද? නිකරුණේ කාලය ගත කරන ස්ත්‍රියක් ‘ඕපාදූප කියන්නත් අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගැසීමටත්’ පෙළඹිය හැකියි. නමුත් දරුවන්ව රැකබලා ගැනීමෙන් හා ගෙදර දොරේ වැඩ කටයුතුවල නියැලීමෙන් ස්ත්‍රියකට එවැනි නිෂ්ඵල දේවලින් ‘ආරක්ෂාවක්’ ලබන්න පුළුවන්.—1 තිමෝ. 5:11-15.

3:16—දේවභක්තියේ පරිශුද්ධ රහස කුමක්ද? දෙවිට පූර්ණ ලෙස කීකරු වීමට මිනිසුන්ට හැකිද යන ප්‍රශ්නය අවුරුදු ගණනාවක් යන තුරුම රහසක්ව එනම් පිළිතුරක් නැති ප්‍රශ්නයක්ව පැවතුණා. නමුත් පසුව යේසුස් මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් ඊට පිළිතුරු දුන්නා.

6:15, 16—මෙහි සඳහන් වන්නේ යෙහෝවා දෙවි ගැනද යේසුස් ගැනද? එහි සඳහන් විස්තරයට අනුව ප්‍රකාශ වන තැනැත්තා ලෙස හඳුන්වා තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වයි. (1 තිමෝ. 6:14) රජවරුන් හා ස්වාමිවරුන් ලෙස සේවය කර ඇති මිනිසුන් සමඟ සසඳන විට ‘බලවත් වූ එකම තැනැත්තා’ මෙන්ම අමරණීයත්වය හිමි එකම තැනැත්තාද වන්නේ යේසුස්. (දානි. 7:14; රෝම 6:9) ඔහු ස්වර්ගයට ගිය දා සිට කිසි මිනිසෙකුට ඔහුව දැකිය නොහැකියි.

අපට ගත හැකි පාඩම්:

4:15. අප ක්‍රිස්තියානියෙක් බවට පත් වුණේ බොහෝ කලකට පෙර වුවත් මෑතකදී වුවත් දෙවි සමඟ ඇති අපේ මිත්‍රත්වය ශක්තිමත් කරගනිමින් සත්‍යය තුළ ප්‍රගතියක් ලබන්න දිගටම වෑයම් කළ යුතුයි.

6:2. අප සේවය කරන්නේ සෙසු ඇදහිලිවන්තයෙක් යටතේ නම් ඔහුගෙන් යම් වාසි ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා වෙනුවට, ක්‍රිස්තියානියෙක් නොවන ස්වාමියෙකුට සේවය කරනවාට වඩා වැඩි ඕනෑකමකින් සේවය කළ යුතුයි.

‘වචනය දේශනා කරන්න. හදිසිතාවේ හැඟීමකින් යුක්තව එහි යෙදී සිටින්න’

(2 තිමෝ. 1:1- 4:22)

ඉදිරියේ ඇති දුෂ්කර තත්වයන්ට මුහුණ දීමට තිමෝතිව සූදානම් කරමින් පාවුල් ඔහුට කිව්වේ ‘දෙවි අපව බියගුල්ලන් කරනවා වෙනුවට අප බලයෙන් හා ප්‍රේමයෙන් හා හොඳ සිහි කල්පනාවෙන් ශක්තිමත් කළ බවයි.’ ඔහු තිමෝතිට මෙසේද උපදෙස් දුන්නා. “ස්වාමීන්ගේ දාසයෙකුට දබර කිරීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීම අවශ්‍යය. එමෙන්ම, ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇතිව සිටින්නත්” අවශ්‍යයි කියාද ඔහු පැවසුවා.—2 තිමෝ. 1:7; 2:24.

“ඔබ විසින් ඉගෙනගත්තාවූද, විශ්වාස කිරීමට ඔබව පෙලඹෙව්වාවූද දේවල්වල පවතින්න” කියා පාවුල් තිමෝතිව දිරිගැන්නුවා. සැබෑ නමස්කාරයට පටහැනි ඉගැන්වීම් පැතිරෙමින් තිබූ නිසා යෞවන අවේක්ෂකයෙක් වූ තිමෝතිට ඔහු උපදෙස් දුන්නේ මෙසේයි. ‘හදිසිතාවේ හැඟීමකින් වචනය දේශනා කරන්න. අවවාද කරන්න, තරවටු කරන්න, උනන්දු කරන්න.”—2 තිමෝ. 3:14; 4:2.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:13—“සුවදායී වචනවල ආදර්ශය” කුමක්ද? “සුවදායී වචන” කියන්නේ “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ” ඉගැන්වීම්. (1 තිමෝ. 6:3) ඔහු කළ හා ඉගැන්වූ දේවල් බයිබලයට එකඟයි. ඒනිසා “සුවදායී වචන” යන ප්‍රකාශයට බයිබලයේ ඇති සියලුම ඉගැන්වීම්ද අයත්. මෙම සියලුම ඉගැන්වීම් මගින් දෙවි අපගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා තේරුම්ගැනීමට අපට හැකියි. බයිබලයේ ඇති ඉගැන්වීම්වලට එකඟව ජීවත් වීමෙන් එම වචනවල ආදර්ශය අනුකරණය කරන්න අපටත් හැකියි.

4:13—මෙහි සඳහන් “සම්” ලියවිලි ගැන අප දන්නේ කුමක්ද? පුරාණ කාලවලදී විවිධ තොරතුරු වාර්තා කිරීම සඳහා සත්ව හම් භාවිත කරනු ලැබුවා. මෙහිදී රෝමයේ සිරගත වී සිටි පාවුල් තම අධ්‍යයන කටයුතු සඳහා හෙබ්‍රෙව් ලියවිලිවලින් කොටස් කිහිපයක් තමාට එවන මෙන් ඉල්ලා සිටියා. මෙම ලියවිලිවලින් සමහරක් පැපිරස් කඩදාසි මතද තවත් සමහරක් ලිවීම සඳහා සකසන ලද තුනී, සත්ව සම් මතද ලියා තිබෙන්න ඇති.

අපට ගත හැකි පාඩම්:

1:5; 3:15. යේසුස් කෙරෙහි විශාල ඇදහිල්ලක් ඇති කරගැනීමට තිමෝතිට බලපෑ ප්‍රධාන කරුණ වූයේ කුඩා කළ පටන් තම නිවස තුළ ශුද්ධ ලියවිලිවලින් ඔහුට ඉගැන්වූ දෙයයි. එමනිසා දෙවි ඉදිරියේ හා තම දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට තිබෙන වගකීම ගැන ඔවුන් බැරෑරුම්ව සිතා බැලිය යුතුයි.

1:16-18. අපගේ සෙසු ඇදහිලිවන්තයන් පරීක්ෂාවලට හා පීඩාවලට මුහුණ දෙන විට සහ සිරගතව සිටින විට අප ඔවුන් වෙනුවෙන් යාච්ඤා කර අපට හැකි කුමන හෝ උපකාරයක් කරමු.—හිතෝ. 3:27; 1 තෙස. 5:25.

2:22. ක්‍රිස්තියානීන්, විශේෂයෙන්ම යෞවන අය කාය වර්ධන, ක්‍රීඩා, සංගීතය, විනෝදාස්වාදය, විනෝදාංශ, විනෝද ගමන් යෑම, තේරුමක් නැති කතා බහා වැනි දේවල්වලට බොහෝ කාලයක් ගත කළොත් දෙවිට කරන නමස්කාරය හා සම්බන්ධ කාරණාවලට කාලය නැති විය හැකියි.

[31වන පිටුවේ පින්තූරය]

බයිබලයේ ඇති පාවුල් විසින් ලියූ අවසන් පොත කුමක්ද?