Skip to content

පටුනට යන්න

දෙවි වෙතට නැවත එන්න ඔවුන්ට උපකාර කරමු

දෙවි වෙතට නැවත එන්න ඔවුන්ට උපකාර කරමු

දෙවි වෙතට නැවත එන්න ඔවුන්ට උපකාර කරමු

“මා සමඟ ප්‍රීති වන්න. මන්ද, නැති වී සිටි මාගේ බැටළුවා මට සම්බ වුණේය.”—ලූක් 15:6.

1. යේසුස් ප්‍රේමණීය එඬේරෙක් බව ඔප්පු කළේ කෙසේද?

යේසුස්ව බයිබලයේ හඳුන්වන්නේ “බැටළුවන්ගේ උතුම් එඬේරා” ලෙසයි. (හෙබ්‍රෙ. 13:20) ඔහු පොළොවට පැමිණෙන බව ශුද්ධ ලියවිල්ලේ කලින්ම පවසා තිබුණා. ඔහු පැමිණි පසු ඊශ්‍රායෙලයෙහි “නැති වුණු බැටළුවන්” සොයමින් එඬේරෙක් ලෙස සුවිශේෂී කාර්යයක් ඉටු කළා. (මතෙ. 2:1-6; 15:24) එඬේරෙක් තම බැටළුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ ජීවිතය පවා පරදුවට තබන්න පෙලඹිය හැකියි. එලෙසම යේසුස්ද බැටළු ගුණැති මිනිසුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් තම ජීවිතය පූජා කළා.—යොහ. 10:11, 15; 1 යොහ. 2:1, 2.

2. සමහරුන් සභාව සමඟ ඇසුරු කිරීම නතර කර තිබෙන්නේ ඇයි?

2 යේසුස්ගේ ජීවිත පූජාව අගය කරමින් දෙවිට කැප වී සේවය කළ සමහරුන් ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කිරීම ක්‍රමානුකූලව නතර කර තිබීම කනගාටුවට හේතුවක්. යම් අධෛර්යය වීමක්, සෞඛ්‍යය ගැටලුවක් හෝ වෙනත් කාරණයක් ඊට හේතු වූවා විය හැකියි. කෙසේනමුත් දාවිත් 23වන ගීතිකාවේ සඳහන් කළ සාමකාමී හා ප්‍රීතිමත් වාතාවරණය භුක්ති විඳිය හැක්කේ දෙවිගේ රැළට අයත්ව සිටියොත් පමණයි. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය.” (ගීතා. 23:1, නව ලොව පරිවර්තනය, NW) දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳින්න අවශ්‍ය සෑම දෙයක්ම ඔහුගේ සෙනඟට ලැබෙනවා. නමුත් ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කිරීම නතර කර තිබෙන හා අක්‍රියාශීලී අය එවන් තත්වයක් අද්දකින්නේ නැහැ. ඔවුන්ට උපකාර කරන්න පුළුවන් කාටද? එසේ උපකාර කළ හැකි නිශ්චිත ක්‍රම මොනවාද?

ඔවුන්ට උපකාර කළ හැක්කේ කාටද?

3. යේසුස් පැවසූ ලෙස නැති වූ බැටළුවන් වැනි දුර්වල අයව ශක්තිමත් කිරීමට අවශ්‍ය කුමක්ද?

3 දෙවි සමඟ තිබූ මිත්‍රත්වය දුර්වල කරගෙන සිටින නැති වූ බැටළුවන් වැනි අයව ශක්තිමත් කිරීමට දැඩි වෑයමක් අවශ්‍යයි. (ගීතා. 100:3) එය අවධාරණය කිරීමට යේසුස් මෙවැනි උපමාවක් භාවිත කළා. “යම් මිනිසෙකුට බැටළුවන් සියදෙනෙකු සිටිද්දී, උන්ගෙන් එකෙකු නැති වුවහොත් ඔහු අනූනවදෙනාව කඳුවල ඉන්න හැර, නැති වූ බැටළුවා සොයා යන්නේ නැද්ද? ඌව සම්බ වුණොත්, නැති නොවූ අනූනවදෙනා ගැන ප්‍රීති වනවාට වඩා ඔහු ඌ ගැන ප්‍රීති වන්නේයයි මම ඔබට ඒකාන්තයෙන් කියමි. එලෙසම මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වීම ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ට ප්‍රසන්න දෙයක් නොවේ.” (මතෙ. 18:12-14) ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කිරීම නතර කර තිබෙන එවැනි අයට උපකාර කළ හැක්කේ කාටද?

4, 5. දෙවිගේ සෙනඟ සම්බන්ධයෙන් වැඩිමහල්ලන්ට තිබිය යුතු ආකල්පය කුමක්ද?

4 ඇදහිල්ල දුර්වල වී තිබෙන අයට උපකාර කිරීමේදී වැඩිමහල්ලන් වැදගත් දෙයක් මතක තබා ගත යුතුයි. එනම් ක්‍රිස්තියානි සභාව සෑදී තිබෙන්නේ දෙවිට කැප වූ සේවකයන්ගෙන් බව හා දෙවිට ඔවුන් ඉතා අනර්ඝ බවයි. ඔවුන්ව ‘දෙවිගේ තණබිමේ බැටළු රැළ’ කියා හඳුන්වා ඇත්තේද ඒ නිසයි. (ගීතා. 79:13NW) ඔවුන්ට මුදු මොළොක් සැලකිල්ල අවශ්‍ය නිසා ප්‍රේමණීය වැඩිමහල්ලන් ඔවුන් ගැන විශේෂ උනන්දුවක් දැක්වීම අවශ්‍යයි. ඔවුන්ව හමුවීමට ගොස් කරන මිත්‍රශීලී කතාබහක් ඔවුන්ට විශාල දිරිගැන්වීමක්. වැඩිමහල්ලන් ප්‍රේමණීයව ලබා දෙන එවන් දිරිගැන්වීම් මගින් දෙවි සමඟ යළිත් කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන නැවතත් ක්‍රියාශීලීව සේවය කිරීමට ඔවුන් පෙලඹෙයි.—1 කොරි. 8:1.

5 නැති වූ බැටළුවන් වැනි අයව සොයා ගොස් ඔවුන්ට අවශ්‍ය උපකාර ලබා දීම වැඩිමහල්ලන් සතු වගකීමක්. එය මතක් කර දෙමින් එෆීස සභාවේ වැඩිමහල්ලන්ට පාවුල් පැවසුවේ මෙසේයි. “තමන් ගැනත් මුළු රැළ ගැනත් අවධානයෙන් සිටින්න. ශුද්ධාත්මය [දෙවිගේ බලය] විසින් ඔබව ඔවුන් අතරේ අවේක්ෂකයන් ලෙස පත් කර තිබෙන්නේ, දෙවි තමාගේම පුත්‍රයාගේ ලෙයින් මිලට ගත් තමාගේ සභාව එඬේරෙකු මෙන් රැකබලා ගැනීමටය.” (ක්‍රියා 20:28) ඒ හා සමාන උපදෙසක් පේතෘස්ද අභිෂේක ලත් වැඩිමහල්ලන්ට දුන්නා. “ඔබට භාර දෙන ලද දෙවිගේ රැළ රැකබලා ගන්න. කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද, වංක ලෙස ලාභ ලැබීමට ඇති ආශාව නිසා නොව උනන්දුවෙන්ද, දෙවිගේ උරුමය වී සිටින්නන් කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වා, රැළට ආදර්ශයක් වෙමින් එසේ කරන්න.”—1 පේතෘ. 5:1-3.

6. දෙවිගේ බැටළුවන්ට අද දින එඬේරුන්ගේ රැකවරණය අවශ්‍ය වන්නේ ඇයි?

6 වැඩිමහල්ලන් ඒ සම්බන්ධයෙන් “උතුම් එඬේරා” වන යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීම සුදුසුයි. (යොහ. 10:11) ඔහු දෙවිගේ සේවකයන් ගැන ගැඹුරු සැලකිල්ලක් දැක්වූවා. ‘තමාගේ කුඩා බැටළුවන්ව රැකබලා ගන්න’ කියා ඔහු පේතෘස්ට පැවසීමෙන් එහි වැදගත්කම කාවැද්දුවා. (යොහන් 21:15-17 කියවන්න.) එය මේ කාලයේදී වඩා වැදගත් වන්නේ, දෙවිගේ සියලුම සේවකයන් දෙවිට දක්වන පක්ෂපාතකම බිඳ දමන්න සාතන් තම වෑයම වැඩි කර තිබෙන නිසයි. ඔවුන්ගේම දුර්වලකම් ප්‍රයෝජනයට ගනිමින් හා මේ ලෝකයේ තිබෙන මුළාකරවන දේවල් තුළින් පව්කාර ක්‍රියාවලට ඔවුන්ව පොලඹවන්න ඔහු උත්සාහ කරනවා. (1 යොහ. 2:15-17; 5:19) ඒ අය අතරින් වඩාත් අනතුරුදායක තත්වයක සිටින්නේ ඇදහිල්ලෙන් දුර්වල වී සිටින නැති වූ බැටළුවන් වැනි අයයි. (ගලා. 5:16-21, 25) එමනිසා එවැනි අයට උපකාර කිරීමේදී සැමවිටම දෙවිගේ උපකාර ඉල්ලීම, දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වීම හා දේවවචනය දක්ෂ ලෙස භාවිත කිරීම අවශ්‍යයි.—හිතෝ. 3:5, 6; ලූක් 11:13; හෙබ්‍රෙ. 4:12.

7. දෙවිගේ සේවකයන්ව රැකබලා ගැනීම වැඩිමහල්ලන් වැදගත් දෙයක් ලෙස සලකන බව පෙන්වන්නේ කෙසේද?

7 ඊශ්‍රායෙලයෙහි සිටි එඬේරුන් බැටළුවන්ට මඟ පෙන්වන්න දිග සැරයටියක් භාවිත කළා. බැටළුවන් ගාලට ඇතුළු වන විට හා ඉන් පිට වන විට එඬේරා එහි දොරටුව ළඟ සිටගෙන තම සැරයටිය ඔවුන්ට ඉහළින් අල්ලාගෙන සිටිනවා. බැටළුවන් ඒ යටින් යද්දී එඬේරා උන් එකිනෙකාට හොඳ අවධානයක් දී උන්ව ගණන් කරනවා. (ලෙවී. 27:32; මීකා 2:12; 7:14) ඒ හා සමානව වැඩිමහල්ලන්ද දෙවිගේ සියලු සේවකයන් ගැන හොඳ අවධානයකින් හා අවබෝධයකින් සිටීම අවශ්‍යයි. (හිතෝපදේශ 27:23 බලන්න.) එමනිසා වැඩිමහල්ලන් මණ්ඩලයක් ලෙස රැස් වන අවස්ථාවලදී, සභාවෙන් යම් දුරකට ඈත් වී සිටින අයට උපකාර කළ හැකි ආකාර ගැනද සාකච්ඡා කරනවා. ඊට හේතුව එය ඉතා වැදගත් දෙයක් නිසයි. යෙහෝවා දෙවිම පවසා ඇත්තේ බැටළුවන් වැනි තම සේවකයන්ව සොයා ඔවුන්ට අවශ්‍ය රැකවරණය සලසන බවයි. (එස. 34:11) වැඩිමහල්ලන්ද එවැනි අයට උපකාර කරන්න පියවර ගනිද්දී දෙවි ඒ ගැන සතුටු වෙනවා.

8. ඇදහිල්ලෙන් දුර්වල වී සිටින කෙනෙකුට උපකාර කිරීම සඳහා වැඩිමහල්ලන්ට කුමක් කළ හැකිද?

8 කෙනෙක් අසනීප වී සිටින විට වැඩිමහල්ලෙක් ඔහුව බලන්න යෑම ඔහුට මහත් ප්‍රීතියක් හා දිරිගැන්වීමක්. එලෙසම ඇදහිල්ලෙන් දුර්වල වී සිටින කෙනෙක් වැඩිමහල්ලෙකුගේ පැමිණීමෙන් දිරිගැන්වීමක් ලබනවා. ඔහුව හමු වී ශුද්ධ ලියවිලි පදයක් සාකච්ඡා කරන්න, සඟරාවක පළ වූ ලිපියක තොරතුරු හෝ රැස්වීමකදී ඉගෙනගත් තොරතුරු ඔහු සමඟ සාකච්ඡා කරන්න පුළුවන්. එමෙන්ම ඔහු සමඟ කරන කෙටි යාච්ඤාවක්ද ඔහුට දිරිගැන්වීමක් වේවි. ඒ වගේම ඔහුව දැකගන්න සභාවේ සහෝදර සහෝදරියන් ඉතා සතුටින් සිටින බව ඔහුට පවසන්නත් පුළුවන්. (2 කොරි. 1:3-7; යාකො. 5:13-15) ඊට අමතරව දුරකථන ඇමතුමක් හෝ ලිපියක් වැනි කුඩා දෙයකින් පවා ඔවුන්ට මහත් දිරිගැන්වීමක් ලබා දිය හැකියි. ඇදහිල්ලෙන් දුර්වල වී සිටින කෙනෙකුට උපකාර කිරීම මගින් කරුණාවන්ත වැඩිමහල්ලන්ටත් ඔවුන්ගේ ප්‍රීතිය වැඩි කරගත හැකියි.

ඔබගේ සහයෝගයත් ලබා දෙන්න

9, 10. නැති වූ බැටළුවන්ට උපකාර කරන්න අන් අයටත් හැක්කේ කෙසේද?

9 අප ජීවත් වන්නේ ඉතා කාර්යබහුල හා දුෂ්කර කාලයක නිසා ක්‍රිස්තියානියෙක් සභාවෙන් ඈත් වන ආකාරය අපට නොතේරෙන්න පුළුවන්. (හෙබ්‍රෙ. 2:1) නමුත් ශරීරයක සෑම අවයවයක්ම වටිනවා හා සමානව ඔහුද අපට ඉතා වටිනවා. අප කාටත් වඩා යෙහෝවා දෙවිට ඔහු ඉතා අනර්ඝයි. එමනිසා අපත් අපගේ සෙසු ඇදහිලිවන්තයන් ගැන අවංකව සැලකිලිමත් වෙමින් ඔවුන්ට උපකාර කරමු. (1 කොරි. 12:25) එසේ කිරීමට ඔබත් සූදානම්ද?

10 ඇදහිල්ල දුර්වල වී සිටින අය ගැන සොයා බලන්න හා අවශ්‍ය උපකාර ලබා දීමට මූලිකත්වය ගන්නේ වැඩිමහල්ලන් වුණත් ඒ සඳහා ඔවුන්ට සහය වීමට අප සියලුදෙනාටම හැකියි. එවැනි අයට නැවතත් දෙවි වෙතට හැරී ඒම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් හා ශක්තිය අප ලබා දිය යුතුයි. අපට එය කළ හැකි ක්‍රම මොනවාද?

11, 12. නැති වූ බැටළුවන් වැනි අයට උපකාර කිරීමට ඔබට මොන වගේ අවස්ථාවක් උදාවිය හැකිද?

11 නැවතත් දෙවි වෙතට හැරී එන්න කැමති අය සමඟ බයිබල් පාඩමක් පවත්වන්න කියා වැඩිමහල්ලන් සුදුසුකම් ලත් ප්‍රචාරකයන්ට ආරාධනා කළ හැකියි. එසේ කිරීමේ අරමුණ වන්නේ ‘ඔවුන් තුළ මුලින් තිබූ ප්‍රේමය’ නැවත වර්ධනය කිරීමයි. (එළි. 2:1, 4) ඔවුන් රැස්වීම්වලට නොපැමිණි කාලය තුළ ඉදිරිපත් කළ තොරතුරු ඔවුන් සමඟ බෙදාගැනීමටත් එයින් ඔවුන්ගේ ඇදහිල් ශක්තිමත් කිරීමටත් මෙම ප්‍රචාරකයන්ට හැකියි.

12 එවැනි කෙනෙකු සමඟ බයිබල් පාඩමක් පවත්වන්න කියා වැඩිමහල්ලන් ඔබෙන් ඉල්ලා සිටියොත් කුමක් කළ හැකිද? මුලින්ම ඔබේ වෑයමට උපකාර හා ආශීර්වාද පතා යාච්ඤා කරන්න. ඔව්, “ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔබ සැලසුම් කරන දේ සාර්ථකව ඉටු කරගත හැකි වෙයි.” (හිතෝ. 16:3NW) නැති වූ බැටළුවන් වැනි අයව දිරිගැන්වීම සඳහා ඔවුන් සමඟ සාකච්ඡා කළ හැකි බයිබල් පද හා වෙනත් තොරතුරු ගැන සිතා බලන්න. ඒ සම්බන්ධයෙන් පාවුල්ව ආදර්ශයට ගන්න ඔබට පුළුවන්. (රෝම 1:11, 12 කියවන්න.) රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ව හමු වී දෙවි සමඟ තිබෙන ඔවුන්ගේ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට මහත් ආශාවක් පාවුල්ට තිබුණා. ඒ තුළින් තමාගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමටද පාවුල්ට අවශ්‍ය වුණා. අපත් නැති වූ බැටළුවන් වැනි අයව දිරිගැන්වීමට යන විට තබාගත යුත්තේ එවැනිම ආකල්පයක් නොවෙයිද?

13. ඇදහිල්ල දුර්වල වී සිටින කෙනෙකු සමඟ ඔබට සාකච්ඡා කළ හැක්කේ කුමන දේවල් ගැනද?

13 ඔබ එවැනි කෙනෙකු සමඟ සාකච්ඡා කරනවා නම් ඔහුගෙන් මෙසේ අසන්නත් පුළුවන්. “ඔයා සත්‍යයට ආවේ කොහොමද?” එමෙන්ම ඔහු උද්‍යෝගයෙන් සේවය කළ කාලයේදී රැස්වීම්වලින්, දේවසේවයෙන් හා සමුළුවලින් අද්දුටු ප්‍රීතිය ගැන යළි සිහිපත් කරවන ප්‍රශ්න අසන්නත් හැකියි. ඒ වගේම ඔබ දෙදෙනා එක්ව එවන් ක්‍රියාකාරකම්වල යෙදී තිබුණා නම් ඉන් ලැබූ ප්‍රීතිමත් අද්දැකීම් සිහිපත් කරන්න ඔබට පුළුවන්. ඔබ දෙවිට ළං වීමෙන් පෞද්ගලිකව ලබන ප්‍රීතිය ගැනද ඔහුට පවසන්න. (යාකො. 4:8) එමෙන්ම දුෂ්කර කාලවලදී දෙවි තම සෙනඟට අවශ්‍ය සහනය හා බලාපොරොත්තුව සපයමින් ඔවුන්ව රැකබලා ගන්නා ආකාරය ඔබ කොතරම් අගය කරනවාද කියාත් පවසන්න.—රෝම 15:4; 2 කොරි. 1:3, 4.

14, 15. අක්‍රියාශීලී අයව දිරිගැන්වීම සඳහා ඔවුන් කලින් භුක්ති විඳි කුමන දේවල් ඔවුන්ට මතක් කර දිය හැකිද?

14 අක්‍රියාශීලී තැනැත්තා සභාව සමඟ ක්‍රියාශීලීව ඇසුරු කළ කාලයේදී ලැබූ ආශීර්වාද ගැන සිහිපත් කිරීමද ප්‍රයෝජනවත්. උදාහරණයකට ඒ කාලයේදී දෙවි හා ඔහුගේ අරමුණු ගැන ඔහුට තිබූ දැනුම තව තවත් වැඩි කරගන්න හැකි වුණා. (හිතෝ. 4:18) එමෙන්ම දෙවිගේ බලයේ මඟ පෙන්වීමට අනුව ජීවත් වූ කාලයේදී වැරදි ආශාවන්ට එරෙහි වන්නත් ඔහුට පහසු වූ බව නිසැකයි. (ගලා. 5:22-26) එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට දෙවි ඉදිරියෙහි පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතිව යාච්ඤා කිරීමටද හැකි වුණා. ඒ වගේම ‘සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ඔහුගේ සිත හා මනස ආරක්ෂා කළ’ නිසා ඔහුට මහත් ප්‍රීතියක් ගෙන දුන්නා. (ෆිලි. 4:6, 7) එවන් තොරතුරු සාකච්ඡා කිරීමෙන් හා සැබෑ උනන්දුවක් පෙන්වීමෙන් ඔහුව දිරිගැන්වීමට අපට හැකි සියල්ල කරමු. මෙසේ අපගේ ප්‍රේමණීය සහෝදරයාට හෝ සහෝදරියට නැවතත් අප සමඟ එක්වීමට උපකාර කරමු.—ෆිලිප්පි 2:4 කියවන්න.

15 ඔබ, අක්‍රියාශීලී යුවළක් දිරිගැන්වීමට යන වැඩිමහල්ලෙක් නම් ඔවුන් සත්‍යය ඉගෙනගත් මුල් කාලය ගැන කල්පනා කර බලන්න ඔවුන්ට උනන්දු කළ හැකියි. එවිට, සත්‍යය ඔවුන්ට කොතරම් ප්‍රීතියක් හා තෘප්තියක් ගෙන දුන්නාද කියාත් බොරු දේවලින් ඔවුන් නිදහස් වූ ආකාරයත් ඔවුන් ඔබට පැවසිය හැකියි. (යොහ. 8:32) එමෙන්ම යෙහෝවා දෙවි හා ඔහුගේ ප්‍රේමය, ඔහුගේ අරමුණු ගැන දැනගැනීමෙන් ලැබූ ප්‍රීතියද සමහරවිට ඔවුන් ඔබට පැවසිය හැකියි. (ලූක් 24:32 බලන්න.) දෙවිට කැප වූ කෙනෙක් ඊට එකඟව ජීවත් වෙද්දී ඔහුට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගත හැකි අතර ඕනෑම අවස්ථාවකදී දෙවිට යාච්ඤා කිරීමේ වරප්‍රසාදය ඇති බවද මතක් කරන්න. එමනිසා ඔවුන් මුලින් ඉගෙනගත් ‘සන්තෝෂවත් දෙවිගේ තේජාන්විත ශුභාරංචියට’ එකඟව නැවතත් කටයුතු කරන්න ඔවුන්ව දිරිගන්වන්න.—1 තිමෝ. 1:11.

ඔබේ ප්‍රේමය දිගටම පෙන්වන්න

16. අක්‍රියාශීලී කෙනෙකුට උපකාර කිරීම නිසා ලැබූ ප්‍රයෝජන පිළිබඳ අද්දැකීමක් විස්තර කරන්න.

16 ඉහත යෝජනා ඇත්තටම ප්‍රයෝජනවත්ද? ඔව්. ඒ ගැන මේ උදාහරණය බලන්න. වයස අවුරුදු 12දී ප්‍රචාරකයෙක් බවට පත් වූ යෞවනයෙක් වයස අවුරුදු 15 වන විට අක්‍රියාශීලී වුණා. නමුත් පසුව ඔහු නැවතත් ක්‍රියාශීලීව සේවය කරන්න පටන්ගත්තා. ඔහු දැන් අවුරුදු 30ක් පුරා පූර්ණ කාලීන සේවයේ නිරත වෙනවා. එසේවීමට ඔහුට බොහෝදුරට බලපෑවේ වැඩිමහල්ලෙකුගෙන් ලැබුණු උපකාරයයි. ඒ ගැන ඔහු මොන තරම් ස්තුතිවන්ත වෙන්න ඇද්ද!

17, 18. නැති වූ බැටළුවෙක් වැනි කෙනෙකුට උපකාර කිරීමේදී ඔබට උදව් වන ගුණාංග මොනවාද?

17 නැති වූ බැටළුවෙක් වැනි කෙනෙකුට උපකාර කිරීමට අපව පොලඹවන්නේ ප්‍රේමයයි. යේසුස් තම අනුගාමිකයන් ගැන පැවසූ මේ දෙයින් ඒ බව පැහැදිලියි. “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහ. 13:34, 35) ප්‍රේමය, සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ලකුණයි. එසේනම් ඇදහිල්ල දුර්වල වී සිටින අයටත් අප ප්‍රේමය පෙන්විය යුතු නොවේද? ඇත්තෙන්ම අප එසේ කළ යුතුයි!

18 ඒ වගේම අපට කරුණාවන්තකම, මෘදුකම හා බොහෝ ඉවසිලිවන්තකමත් අවශ්‍යයි. එමෙන්ම සමහරවිට ඔවුන්ට සමාව දීමටද අපට සිදු විය හැකියි. ඒ බව පාවුල් පැවසූ මේ දෙයින්ද පැහැදිලියි. “දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න. යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න. යෙහෝවා මුළු හදවතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න. නමුත් මේ සියල්ලට අමතරව, ප්‍රේමය පැළඳගන්න. මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.”—කොලො. 3:12-14.

19. නැති වූ බැටළුවෙක් වැනි කෙනෙකුට උපකාර කිරීම වටිනා දෙයක් වන්නේ ඇයි?

19 අපි ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරන්නේ සමහරුන් ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කිරීම ක්‍රමානුකූලව නතර කර තිබීමට හේතු මොනවාද සහ ඔවුන් නැවත පැමිණෙද්දී ඔවුන්ව පිළිගන්න අපට හැක්කේ කෙසේද යන්නයි. එමෙන්ම අප දැන් සලකා බැලූ තොරතුරු හා ඊළඟ ලිපියේ තොරතුරුවලින් අපට වැටහෙන්නේ කුමක්ද? අක්‍රියාශීලී කෙනෙකුට නැවතත් දෙවිට ළං වීම සඳහා උපකාර කරන්න අප ගන්නා සෑම උත්සාහයක්ම ඉතා වටිනා බවයි. මේ ලෝකයේ වැඩි දෙනෙක් වෑයම් කරන්නේ වස්තුව රැස් කරගැනීමටයි. නමුත් විනාශ වීමට යන ජීවිතයක් බේරාගැනීම මේ ලෝකයේ ඇති සියලුම වස්තුවට වඩා වටිනවා. යේසුස්ද ඒ බව නැති වූ බැටළුවා පිළිබඳ උපමාවෙන් පැහැදිලි කළා. (මතෙ. 18:12-14) ඇදහිල්ලෙන් දුර්වල වී සිටින අයට උපකාර කරද්දී අපත් ඒ ගැන මතකයේ තබාගනිමු. එමෙන්ම හදිසිතාවයෙන් යුතුව හා දැඩි උත්සාහයක් දරමින් අපගේ ප්‍රේමණීය සෙසු ඇදහිලිවන්තයන්ට දෙවි වෙතට නැවත එන්න උපකාර කරමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• නැති වූ බැටළුවන් වැනි අය සම්බන්ධයෙන් වැඩිමහල්ලන්ට තිබෙන වගකීම කුමක්ද?

• ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කිරීම නතර කර තිබෙන අයට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද?

• ඇදහිල්ල දුර්වල වී තිබෙන අයට උපකාර කිරීමේදී ඔබට තිබිය යුතු ගුණාංග මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

නැති වූ බැටළුවන් වැනි අයට නැවතත් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට වැඩිමහල්ලන් ප්‍රේමණීයව උපකාර කරනවා