Skip to content

පටුනට යන්න

ඔබේ සෞඛ්‍යය ගැන සමබරව සිතන්න

ඔබේ සෞඛ්‍යය ගැන සමබරව සිතන්න

ඔබේ සෞඛ්‍යය ගැන සමබරව සිතන්න

‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු මනසින්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.’—මාක් 12:30.

1. මිනිසා සම්බන්ධයෙන් දෙවිගේ මුල් අරමුණ කුමක්ද?

මිනිසුන් අසනීප වී මහලු වී මියයෑම දෙවිගේ අරමුණ වුණේ නැහැ. ඔහු ආදම් සහ ඒව යන දෙදෙනාව පාරාදීසයක් බඳු ඒදන් උයනේ තබා එය ‘බලාගැනීමට හා එහි වගා කිරීමට’ ඔවුන්ට පැවරුවා. ඒ අවුරුදු 70කට හෝ 80කට නම් නොව, සදාකාලයටමයි. (උත්. 2:8, 15, නව ලොව පරිවර්තනය, NW; ගීතා. 90:10) ඔවුන් දෙවිගේ අණට කැමැත්තෙන්ම කීකරු වුණා නම් කවදාකවත් අසනීප වී මහලු වී මිය යන්න ඔවුන්ට සිදු වන්නේ නැහැ.

2, 3. (අ) දේශනාකාරයා පොතේ මහලු විය විස්තර කර තිබෙන්නේ කෙසේද? (ආ) ආදම්ගෙන් උරුම වූ මරණයට වග කිව යුත්තේ කවුද? එහි බලපෑම ඉවත් කරනු ලබන්නේ කෙසේද?

2 මිනිසා මහලු වියේදී අද්දකින “දුෂ්කර දවස්” ගැන දේශනාකාරයා 12වන [NW] පරිච්ඡේදයේ විචිත්‍රවත් ආකාරයෙන් දක්වා තිබෙනවා. (දේශනාකාරයා 12:1-7 කියවන්න.) පැසුණු හිසකේ එහි සමාන කර තිබෙන්නේ “ආමන්ඩ් ගසේ” මල්වලටයි. ‘ශක්තිමත් පුරුෂයන්ට’ සමාන කර තිබෙන පාද දුර්වල වන බවත් එහි පවසනවා. එමෙන්ම ජනේලයෙන් එබිකම් කරන කාන්තාවන්ගේ පෙනීම දුර්වල වන බව පැවසීමෙන් මහලු වියේ ඇති වන පෙනීමේ දුර්වලතා මනාව විස්තර කරන අතර දත් වැටී යාම නිසා ඇති වන අපහසුතාව ගැන විස්තර කර තිබෙන්නේ මෙසේයි. “අඹරන ස්ත්‍රීන්ගේ ගණන අඩු වී ඇති නිසා වැඩ නවතිනු ඇත.”

3 දෙපා වාරු නැතිවීම, පෙනීම අඩුවේගන යෑම හා දත් වැටීම වැනි කටුක තත්වයන් මිනිසුන්ට අද්දකින්න සිදුවීම දෙවිගේ අරමුණ වුණේ නැහැ. කෙසේවෙතත් ආදම්ගෙන් උරුම වූ පාපය ‘යක්ෂයාගේ ක්‍රියාවක්.’ ‘දෙවිගේ පුත්‍රයා ප්‍රකාශ වූයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කර’ දේවරාජ්‍යය මගින් නැවතත් මිනිසුන්ව පරිපූර්ණත්වයට ගෙන ඒමටයි.—1 යොහ. 3:8.

සැලකිලිමත් වීම හොඳ දෙයක්

4. දෙවිගේ සේවකයන් තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්නේ ඇයි? නමුත් ඔවුන් තේරුම්ගෙන සිටින්නේ කුමක්ද?

4 වර්තමානයේදී දෙවිගේ සේවකයන් අතර සිටින සමහරුන් අසනීප හා වයසට යෑම නිසා යම් ගැටලු අද්දකිනවා. එවැනි තත්වයන්වලදී අපි කවුරුත් අපගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයක්. ඉන් අත්වන එක් ප්‍රයෝජනයක් වන්නේ යෙහෝවා දෙවිට ‘අපගේ මුළු ශක්තියෙන්’ සේවය කිරීමට ඉන් අපට හැකි වීමයි. (මාක් 12:30) කෙසේනමුත් මෙහිදී අපි තේරුම්ගත යුතු දෙයක්ද තිබෙනවා. එනම් කිසිම අසනීපයකින් තොරව ජීවත් වීමට හා වයසට යෑම නතර කිරීමට අපගෙන් කිසිවෙකුට බැරි බවයි.

5. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් අසනීප සමඟ කටයුතු කර තිබෙන්නේ කෙසේද?

5 දෙවිගේ සේවකයන් බොහෝදෙනෙකුටත් විවිධ අසනීප සමඟ ජීවත් වෙන්න සිදු වුණා. එපෆ්‍රොදිතස් ඒ අයෙගෙන් කෙනෙක්. (ෆිලි. 2:25-27) තිමෝතිටද නිතර නිතර උදරයේ ආබාධයක් ඇති වූ නිසා, ඒ සඳහා “වයින් ටිකක්” බොන්න කියා පාවුල් ඔහුට පැවසුවා. (1 තිමෝ. 5:23) පාවුල්ටද සමහරවිට සුව කළ නොහැකි පෙනීමේ යම් දුර්වලතාවක් හෝ වෙනත් අසනීපයක් තිබුණු බව පැහැදිලියි. තමා තුළ “මාංසයේ කටුවක්” තිබෙන බව ඔහු පැවසුවේ ඒ නිසයි. (2 කොරි. 12:7; ගලා. 4:15; 6:11) එම “මාංසයේ කටුව” ඉවත් කරන්න කියා ඔහු දෙවිගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියා. (2 කොරින්ති 12:8-10 කියවන්න.) එය ආශ්චර්යවත් ආකාරයෙන් සුව කරනවා වෙනුවට එම “මාංසයේ කටුව” සමඟ කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය දෙවි ඔහුට ලබා දුන්නා. ඒ අනුව පාවුල් දුර්වලව සිටි විට දෙවිගේ බලය තමා තුළ ක්‍රියාත්මක වූ ආකාරය ඔහු අද්දැක්කා. ඔහු අපට කදිම ආදර්ශයක්!

ඒ ගැනම සිත සිතා නොසිටින්න

6, 7. අප ශරීර සෞඛ්‍යය ගැන අනවශ්‍ය ලෙස අවධානය නොදිය යුත්තේ ඇයි?

6 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අප අසනීප වූ විට විවිධ වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවා. එමෙන්ම අපගේ පිබිදෙව්! සඟරාවේද ශරීර සෞඛ්‍යය පිළිබඳ බොහෝ ලිපි පළ වෙනවා. නමුත් යම් අසනීපයකට ගත යුතු ප්‍රතිකාර ක්‍රමය කුමක්ද කියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිර්දේශ කරන්නේ නැහැ. කෙසේවෙතත් වෛද්‍ය ක්ෂේත්‍රයේ පුහුණුව ලත් අයගේ සහයෝගය හා උපකාර අපි ඉතා අගය කරනවා. කෙසේනමුත් අපි අපගේ ශරීර සෞඛ්‍යය ගැන අනවශ්‍ය ලෙස අවධානය දෙන්නේ නැහැ. ඊට එක් හේතුවක් වන්නේ කිසිම වෛද්‍ය ප්‍රතිකාරයකින් පරිපූර්ණ සෞඛ්‍යයක් ලබාගත නොහැකි බව අප දන්නා නිසයි. ලෝකයේ බොහෝදෙනා සිටින්නේ අනාගතය ගැන කිසිම ‘බලාපොරොත්තුවක් නැතිවයි.’ ඒ නිසා මේ කෙටි කාලය තුළ ඔවුන්ගේ ජීවිතය රැකගන්න ඔවුන් ඕනෑම ප්‍රතිකාරයක් ලබාගැනීමට සූදානම්. නමුත් අපි ඊට වඩා වෙනස් විය යුතුයි. (එෆී. 2:2, 12) අපගේ ජීවිතය බේරාගැනීම සඳහා දෙවිගේ ප්‍රතිපත්ති අපි කෙදිනකවත් කඩ කරන්නේ නැහැ. අප දෙවිට දිගටම පක්ෂපාතව සිටීමෙන් ඔහු පොරොන්දු වී ඇති පාරාදීස පොළොවේ “සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට” අපට හැකි බව අප දන්නවා.—1 තිමෝ. 6:12, 19; 2 පේතෘ. 3:13.

7 අප ශරීර සෞඛ්‍යය ගැන අනවශ්‍ය ලෙස අවධානය නොදෙන තවත් හේතුවක් වන්නේ ඒ තුළින් අපි අප ගැන පමණක් සිතන්න පෙලඹිය හැකි නිසයි. ඒ ගැන අනතුරු අඟවමින් පාවුල් ෆිලිප්පිවරුන්ට මෙසේ පැවසුවා. “ඔබේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දක්වන්න.” (ෆිලි. 2:4) අපි සෞඛ්‍යය ගැන සාධාරණ මට්ටමකට සැලකිලිමත් විය යුතු බව ඇත්තයි. ඒ වුණත් අපගේ මුළු අවධානයම ඒ සඳහා යොමු කළොත් අපගේ සහෝදරයන් කෙරෙහි සැලකිලිමත් වීමට හා ‘රාජ්‍යයේ ශුභාරංචිය’ ප්‍රකාශ කිරීම අපට අතපසු වේවි.—මතෙ. 24:14.

8. සෞඛ්‍යය ගැන ඕනෑවට වඩා අවධානයක් දීමෙන් කුමක් සිදු විය හැකිද?

8 සෞඛ්‍යය ගැන ඕනෑවට වඩා අවධානයක් දීමෙන් සිදු විය හැකි භයානකම දේ වන්නේ නමස්කාරය හා සම්බන්ධ කටයුතුවලට අපගේ ජීවිතයේ මුල් තැන දිය නොහැකි වීමයි. එමෙන්ම තවත් අන්තරායක් වන්නේ යම් ආහාර පාන හා වෛද්‍ය ප්‍රතිකාර ගැන අප පෞද්ගලිකව දරන මතය අන් අය මතට බලෙන් පැටවීමට උත්සාහ කිරීමයි. නමුත් මෙහිදී අප පාවුල්ගේ මෙම වචනවල අඩංගු ප්‍රතිපත්තිය සිතට ගැනීම වැදගත්. ‘ක්‍රිස්තුස්ගේ දවස දක්වා නිදොස්ව හා අනුන්ව බාධාවට පත් නොකර සිටීමට හැකි වන පිණිස ඔබ වඩා වැදගත් දේවල් සහතික කරගන්න.’—ෆිලි. 1:10.

වඩා වැදගත් දේවල් මොනවාද?

9. අප සහතික කරගත යුතු වැදගත් දේවල්වලින් එකක් කුමක්ද? ඒ ඇයි?

9 අප සහතික කරගත යුතු වඩා වැදගත් දේවල් මොනවාද? දෙවිට පිළිගත හැකි පුද්ගලයන් බවට පත්වීමට මිනිසුන්ට උපකාර කිරීම ඉන් එකක්. ඒ සඳහා ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හා ඉගැන්වීමෙහි අප උද්‍යෝගයෙන් හවුල් වීම අවශ්‍යයි. එය අපගේත් අපගෙන් ඉගෙනගන්නා අයගේත් ප්‍රීතියට හේතුවක්. (හිතෝ. 17:22; 1 තිමෝ. 4:15, 16) බරපතළ ලෙස අසනීප වී සිටියත් වඩා වැදගත් දේවල් අතපසු කර නැති අපගේ සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් මුරටැඹ හා පිබිදෙව්! කලාපවල පළ වෙනවා. ඔවුන්, දෙවි හා ඔහුගේ පොරොන්දු පිළිබඳ දැනගැනීමට අන් අයට උපකාර කිරීම නිසා තම අසනීප තාවකාලිකව හෝ අමතක කර දමන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. *

10. අප ගන්නා ප්‍රතිකාර ක්‍රම තෝරා බේරා ගැනීම වැදගත් ඇයි?

10 තමන් ලබාගන්නා ප්‍රතිකාරය සම්බන්ධයෙන් ක්‍රිස්තියානියෙකු තම “වගකීම් නමැති බර” ඉසිලිය යුතුයි. එනම් එය ඔහු ගත යුතු පෞද්ගලික තීරණයක්. (ගලා. 6:5) ඒ වුණත් මෙහිදී අප මතක තබාගත යුතු දෙයක් වන්නේ එම ප්‍රතිකාර ක්‍රමය දෙවි හා අප අතර තිබෙන මිත්‍රත්වයට බලපාන බවයි. උදාහරණයකට අප බයිබල් ප්‍රතිපත්තිවලට ගරු කරන නිසා ‘ලෙයින් වැළකී සිටිනවා.’ එපමණක් නොව දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වයට හානි කළ හැකි ඕනෑම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් අපි ප්‍රතික්ෂේප කරනවා. (ක්‍රියා 15:20) සමහර ප්‍රතිකාර ක්‍රමවලට භූතයන් සම්බන්ධ කරගෙන කරන ක්‍රියාද ඇතුළත් වෙනවා. යෙහෝවා දෙවි ඒවා සලකන්නේ ඉතාමත් පිළිකුල් දේවල් හැටියටයි. සැබෑ නමස්කාරය අතහැර ගිය ඊශ්‍රායෙල්වරුන්ට ඔහු පැවසු මේ දෙයින් එය පැහැදිලියි. “ඔබ මා ඉදිරියට තවත් ධාන්‍ය පූජා රැගෙන නොඑන්න. ඒවායින් මට කිසි පලක් නැත. මා ඉදිරියේ ඔප්පු කරන සුවඳ දුම්ද මට පිළිකුලක්ය. ඔබ නව සඳ පායන දවස්, සබත් දවස් හා විශේෂ රැස්වීම් පැවැත්වුවද ඔබේ මන්තර ගුරුකම්වලින් ඒ රැස්වීම් දූෂ්‍ය කර තිබේ. ඒ නිසා මම ඒ සියල්ල හෙළා දකින්නෙමි.” (යෙසා. 1:13NW) අප අසනීප වී සිටින අවස්ථාවලදී දෙවිගේ උපකාර විශේෂයෙන්ම අපට අවශ්‍යයි. නමුත් අසනීපයට තෝරාගන්නා ප්‍රතිකාර නිසා අපගේ යාච්ඤා දෙවි ප්‍රතික්ෂේප කරන තත්වයකට හා දෙවිගේ අනුග්‍රහය අපට නොලැබෙන තත්වයට පත්වීම කොතරම් අඥාන දෙයක්ද!—විලා. 3:44.

“හොඳ සිහිකල්පනාව” අත්‍යවශ්‍යයි

11, 12. සුදුසු ප්‍රතිකාරයක් තෝරාගැනීමේදී “හොඳ සිහිකල්පනාව” භාවිත කළ හැක්කේ කෙසේද?

11 අපගේ අසනීප දෙවි ආශ්චර්යවත් ලෙස සුව කරයි කියා බලාපොරොත්තු විය නොහැකි වුවත් නිවැරදි ප්‍රතිකාර ක්‍රමය තෝරාගැනීම සඳහා ප්‍රඥාව ඉල්ලා ඔහුට යාච්ඤා කළ හැකියි. නිවැරදි ප්‍රතිකාර ක්‍රමය තෝරාගැනීම සඳහා බයිබල් ප්‍රතිපත්ති පිළිබඳ නිවැරදි අවබෝධයත් හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කිරීමත් අවශ්‍යයි. ඒ වගේම හිතෝපදේශ 15:22හි [NW] සඳහන් මෙම උපදෙස අදාළ කරගැනීමද ඥානවන්තයි. “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වන්නේය. නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් ස්ථිර වෙයි.” ඒ අනුව හැකිනම් අපගේ අසනීපය පිළිබඳව විශේෂඥයන් කිහිපදෙනෙකුගෙන් උපදෙස් පැතීම ප්‍රයෝජනවත් විය හැකියි. එමෙන්ම පාවුල් දුන් මෙම උපදෙසද අපට වැදගත්. “දැන් පවතින සමාජ ක්‍රමය තුළ හොඳ සිහිකල්පනාවෙන්ද ධර්මිෂ්ඨකමින්ද දේවභක්තියෙන්ද යුක්තව ජීවත් වන්න.” (තීත. 2:12) ඔව් සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් තෝරාගැනීමේදී අපට හොඳ සිහිකල්පනාව අත්‍යවශ්‍යයි.

12 අද සිටින බොහෝ ක්‍රිස්තියානීන්ගේ අද්දැකීමත් යේසුස්ගේ කාලයේ සිටි එක්තරා ස්ත්‍රියකගේ අද්දැකීමට සමානයි. ඇය ගැන මාක් 5:25, 26හි පවසන්නේ මෙසේයි. “අවුරුදු දොළහක් පුරා ලේ ගැලීමක් නිසා රෝගී වූ ස්ත්‍රියක් සිටියාය. ඇය බොහෝ වෛද්‍යවරුන් නිසා අපමණ වේදනා විඳ, තමා සතු සියල්ල වියදම් කර තිබුණ නමුත්, ඇගේ තත්වය වඩා උග්‍ර වූවා මිස, ඇය කිසි ගුණයක් ලබා සිටියේ නැත.” නමුත් යේසුස් කරුණාවෙන් පෙලඹී ඇයව සුව කළා. (මාක් 5:27-34) තවත් සමහර ක්‍රිස්තියානීන් තම අසනීප සුව කරගැනීම සඳහා සියල්ල කළ පසු සුවයක් නොලැබුණු විට බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි ප්‍රතිකාර ක්‍රම ලබාගැනීමේ උගුලට හසු වී තිබෙනවා.

13, 14. (අ) සමහර ප්‍රතිකාර ක්‍රම මගින් අප දෙවිට දක්වන විශ්වාසවන්තකම බිඳින්න සාතන් උත්සාහ කරන්නේ කෙසේද? (ආ) භූතයන්ට සම්බන්ධ සෑම දෙයකින්ම අප ඉවත් වී සිටිය යුත්තේ ඇයි?

13 අප දෙවිට කරන නමස්කාරය වැළැක්වීමට ඕනෑම දෙයක් යොදා ගන්න සාතන්ට පුළුවන්. ඒ සඳහා ඔහු දුරාචාරය හා ධන සම්පත් යොදාගන්න බව අප දන්නවා. එලෙසම භූතයන්ට කෙළින්ම හෝ යම් ආකාරවලින් සම්බන්ධ ප්‍රතිකාර ක්‍රම ලබාගැනීමට සැලැස්වීමෙන්ද අප දෙවිට දක්වන විශ්වාසවන්තකම බිඳ දමන්න ඔහු උත්සාහ කරනවා. අපට ඉන් වළකින්න පුළුවන් කොහොමද? “දුෂ්ටයාගෙන්” හා “සියලු ආකාර අධර්මිෂ්ඨකමින්” අපව ගලවාගන්න කියා අප දෙවිට කරන යාච්ඤාවට එකඟව ජීවත් වීමෙනුයි. ඒ සඳහා භූතයන්ට සම්බන්ධ ඕනෑම ප්‍රතිකාර ක්‍රමයකින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමද අවශ්‍යයි.—මතෙ. 6:13; තීත. 2:14.

14 පේන කීම, මන්තර ගුරුකම් හා මායා බලයෙන් කරන දේවල් දෙවි එදා ඊශ්‍රායෙල්වරුන්ට තහනම් කළා. (ද්වි. 18:10-12) ‘භූතවාදය’ පාවුල් සඳහන් කර තිබෙන්නේ ‘මාංසයේ ක්‍රියාවක්’ හැටියටයි. (ගලා. 5:19, 20) එමෙන්ම “භූතවාදයේ නියැලී සිටින්නන්ට” පාරාදීස පොළොව තුළ කිසි උරුමයක් ලැබෙන්නේ නැහැ. (එළි. 21:8) ඒ අනුව භූතවාදයට සම්බන්ධ ඕනෑම දෙයක් යෙහෝවා දෙවිට ඉතාමත් පිළිකුල්.

“ඔබේ සාධාරණකම සියලුදෙනාටම දැනගන්න ලැබේවා”

15, 16. නිවැරදි ප්‍රතිකාර ක්‍රමයක් තෝරාගැනීමේදී අප කළ යුත්තේ කුමක්ද? එමෙන්ම මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට පාලක මණ්ඩලය දුන් ඥානවන්ත උපදෙස කුමක්ද?

15 අප සලකා බැලූ ලෙස යම් ප්‍රතිකාර ක්‍රමයක් භූතවාදයට සම්බන්ධයි කියා අපට යම් සැකයක් තියෙනවා නම් ඥානවන්තම දේ වන්නේ එය ප්‍රතික්ෂේප කිරීමයි. කෙසේනමුත් යම් ප්‍රතිකාර ක්‍රමයක් ගැන අපට පැහැදිලි අවබෝධයක් නැති පමණින් එය භූතවාදයට සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමයක් කියා සැමවිටම අදහස් කරන්නේ නැහැ. නිවැරදි ප්‍රතිකාර ක්‍රමයක් තෝරාගැනීමට නම් අපට බයිබල් ප්‍රතිපත්ති පිළිබඳ නිවැරදි අවබෝධයත් නිවැරදි තීරණයක් ගැනීමේ හැකියාවත් තිබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් බයිබලයේ මෙසේ පවසයි. ‘ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ ගන්නා සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත. ප්‍රඥාවද ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න. එමගින් ඔබට ජීවනයද අත් වන්නේය.’—හිතෝ. 3:5, 6, 21, 22NW.

16 සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට වෑයම් කිරීම යහපත් දෙයක්. ඒ වුණත් වයසට යෑම හා අසනීප සම්බන්ධයෙන් අප කටයුතු කරන ආකාරය නිසා දෙවිගේ අනුමැතිය අහිමි කර නොගැනීමට අප වගබලා ගත යුතුයි. වෙනත් කාරණාවලදී මෙන්ම අපගේ සෞඛ්‍යය සම්බන්ධ කාරණාවලදීද අප බයිබල් ප්‍රමිතිවලට අනුව ජීවත් වීමෙන් ‘අපේ සාධාරණකම සියලුදෙනාටම දැනගන්න’ සැලැස්විය යුතුයි. (ෆිලි. 4:5) මුල් සියවසේ පාලක මණ්ඩලය විසින් ක්‍රිස්තියානීන්ට ඉතා වැදගත් ලිපියක් ලියූ අතර එහි සඳහන් වුණේ දේවතා රූපවලින්, ලෙයින් හා වේශ්‍යාකමින් ඔවුන් වැළකිය යුතු බවයි. එමෙන්ම එම ලිපියේ අවසානයේ මෙසේද සඳහන් වී තිබුණා. “ඔබ මේ දේවලින් පරෙස්සමින් වැළකී සිටින්නේ නම්, ඔබ සපල වන්නහුය.” (ක්‍රියා 15:28, 29) අපත් එසේ කරනවා නම් අපටත් සපල විය හැකියි. ඒ කෙසේද කියා දැන් අපි සලකා බලමු.

දැන් සහ අනාගතය

17. බයිබල් ප්‍රමිතිවලට අප කීකරු වන නිසා අප ප්‍රයෝජන ලබා ඇත්තේ කෙසේද?

17 රුධිරය හා වේශ්‍යාකම පිළිබඳ දී ඇති බයිබල් ප්‍රතිපත්තිවලට ඇලී සිටීමෙන් මා පෞද්ගලිකව ප්‍රයෝජන ලබා තිබෙන බව මට වැටහෙනවාද? “මාංසය [ශරීරය] සහ ආත්මය [මනස] දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම අපි අපව පවිත්‍ර” කරගැනීමට වෑයම් කිරීම නිසා අප ලබා ඇති ප්‍රයෝජන ගැනත් සිතා බලන්න අපට පුළුවන්. (2 කොරි. 7:1) සනීපාරක්ෂාව ගැන බයිබලයේ දී ඇති ප්‍රමිති ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ රෝගවලින් වැළකී සිටින්න අපට හැකි වී තිබෙනවා. එමෙන්ම අපගේ ශරීරය හා දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වය විනාශ කරන දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමත් අපට ප්‍රයෝජන ගෙන දී තිබෙනවා. අපි ආහාර පාන ගැනීම සම්බන්ධයෙන් පමණ දැන ක්‍රියාකරන නිසා යහපත් සෞඛ්‍යයක් පවත්වාගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා. (හිතෝපදේශ 23:20; තීතස් 2:2, 3 කියවන්න.) එමෙන්ම ව්‍යායාම හා ප්‍රමාණවත් විවේකයක් ගැනීමත් යහපත් සෞඛ්‍යකට හේතු වෙනවා. ඒ වුණත් ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අප බයිබල් ප්‍රමිතිවලට කීකරුව ජීවත් වීමයි. එසේ කීකරු වීම නිසා දෙවි සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කරගැනීමටද අපට හැකි වී තිබෙනවා.

18. දැන් අප විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ කුමක් ගැනද? එමෙන්ම අනාගතයේදී ඉටු වීමට නියමිත අනාවැකිය කුමක්ද?

18 අප සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම යහපත් දෙයක්. නමුත් වර්තමානයේදී අප විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ ‘දැන් තිබෙන ජීවිතය හා මතු පැමිණෙන ජීවිතයේ’ ආරම්භකයා වන යෙහෝවා දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමටයි. (1 තිමෝ. 4:8; ගීතා. 36:9) එසේ කරන අය පාරාදීස පොළොව තුළ පරිපූර්ණ සෞඛ්‍යයක් මෙන්ම දෙවි සමඟ පෙර නොවූ ආකාරයේ මිත්‍රත්වයක් භුක්ති විඳීමට නියමිතයි. එය අපට ලැබෙන්නේ අප යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබන නිසාත් අපගේ පව්වලට ඒ තුළින් සමාව ලබාගැනීමට හැකි වන නිසයි. දෙවිගේ බැටළු පැටවා ලෙස හඳුන්වන යේසුස්, ඔවුන්ව “ජීවන වතුර ඇති උල්පත්වලට” මඟ පෙන්වන අතර දුකට හේතු වන සෑම දෙයක්ම ඉවත් කිරීමටද නියමිතයි. (එළි. 7:14-17; 22:1, 2) එවිට “ඔවුන්ගෙන් කිසිවෙක් ‘මා ලෙඩින්’ කියා පවසන්නේ නැත” යන අනාවැකිය ඉටු වන ආකාරයද අපට දැක ගත හැකියි.—යෙසා. 33:24.

19. අපට අනාගතයේදී කුමක් බලාපොරොත්තු විය හැකිද?

19 අප මුහුණ දෙන සියලු ලෙඩ රෝග ඇතුළු මරණයෙන් නිදහස් වන කාලය ඉතා ළඟ බව අපට ස්ථිරයි. ඒ කාලය දෙස අප බලා සිටින්නේ ඉමහත් උනන්දුවකිනුයි. ඒ වන තෙක් අපට මුහුණ දීමට සිදු වන වේදනා කැක්කුම් දුක් කරදර විඳදරාගන්න අවශ්‍ය ශක්තිය ප්‍රේමණීය දෙවි අපට ලබා දෙනවා. ඒ ‘ඔහු අප ගැන සලකන’ නිසයි. (1 පේතෘ. 5:7) එමනිසා අපි අපගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙද්දී ඒ සඳහා ගන්නා ප්‍රතිකාර ඇතුළු සෑම කාරණයකදීම දෙවි දී ඇති මඟ පෙන්වීම්වලට අනුවම කටයුතු කරමු.

[පාදසටහන]

^ 9 ඡේ. එවැනි ලිපි පිළිබඳ ලැයිස්තුවක් 2003 සැප්තැම්බර් 1 මුරටැඹ කලාපයේ 17වන පිටුවේ ඇති කොටුවේ සඳහන් වී තිබෙනවා.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• මිනිසුන් අසනීපවලට ගොදුරු වීම ගැන වග කිව යුත්තේ කවුද? එමෙන්ම පාපයේ සියලු බලපෑම්වලින් අපව නිදහස් කරන්නේ කවුද?

• අපගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයක් වුණත් අප වැළකිය යුත්තේ කුමකින්ද?

• අප ලබා ගන්නා ප්‍රතිකාර, දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයට බලපාන්නේ කෙසේද?

• අපගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් බයිබලයේ දී ඇති ප්‍රමිති අනුගමනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

දෙවි මිනිසාව නිර්මාණය කළේ අසනීප වී මහලු වීමට නොවෙයි

[25වන පිටුවේ පින්තූරය]

අසනීප තත්වයන් අද්දැක්කත් අන් අයට ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් දෙවිගේ සෙනඟ ප්‍රීතිය අද්දකිනවා