Skip to content

පටුනට යන්න

‘සමාදානයට මඟ පාදන දේවල් ලුහුබඳින්න’

‘සමාදානයට මඟ පාදන දේවල් ලුහුබඳින්න’

‘සමාදානයට මඟ පාදන දේවල් ලුහුබඳින්න’

අලුතින්ම තාර දමා සෑදූ පාරක් ගැන සිතන්න. එය මුලදී හොඳ තත්වයෙන් තිබුණත් කල් යද්දී එහි තැනින් තැන ඉරි තැළීම් හා කුඩා වළවල් සෑදෙන්න පුළුවන්. ඒ නිසා එහි ගමන් කරන අයගේ ආරක්ෂාව වෙනුවෙන් හා පාරේ කල් පැවැත්ම වෙනුවෙන් එය පිළිසකර කිරීම අත්‍යවශ්‍යයි.

ඒ හා සමානව සෙසු ක්‍රිස්තියානීන් සමඟ අපට තිබෙන මිත්‍රත්වයද පලුදු විය හැකි අවස්ථා කලින් කලට මතු විය හැකියි. එවැනි තත්වයක් රෝමයේ සිටි ක්‍රිස්තියානීන් අතර තිබුණු බව පාවුල් දැනගත්තා. “සමාදානයට මඟ පාදන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද ලුහුබඳිමු” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (රෝම 14:13, 19) ‘සමාදානයට මඟ පාදන දේවල් ලුහුබැඳීම’ අත්‍යවශ්‍ය ඇයි? ඒ සඳහා අප කුමක් කළ යුතුද?

සමාදාන වීමට වෑයම් කළ යුතු හේතු

පාරක සෑදී ඇති කුඩා වළවල් ඉක්මනින් වසා දැමුවේ නැත්නම් ඒවා ලොකු වළවල් බවට පත් වී භයානක අනතුරුද සිදු විය හැකියි. එලෙසම අප අතර ඇති වන සුළු සුළු එකඟ නොවීම් ඉක්මනින් විසඳා නොගතහොත් එය අපට අනතුරුදායක විය හැකියි. එහි බරපතළකම ගැන යොහන් මෙසේ පැවසුවා. “යමෙක් ‘මම දෙවිට ප්‍රේම කරමි’ යි කියමින් තමාගේ සහෝදරයාට වෛර කරන්නේ නම්, ඔහු බොරුකාරයෙකි. මන්ද, තමන් දුටු සහෝදරයාට ප්‍රේම නොකරන්නාට, තමන් නුදුටු දෙවිට ප්‍රේම කළ නොහැක.” (1 යොහ. 4:20) ක්‍රිස්තියානීන් දෙදෙනෙක් අතර ඇති වන සුළු එකඟ නොවීමක් ඉක්මනින් විසඳා නොගතහොත් එය වෛර කිරීමක් දක්වා දුර දිග යා හැකියි.

අප යම් අමනාපයක් දිගටම සිතේ තබාගෙන සිටිනවා නම් අපගේ නමස්කාරය දෙවි පිළිනොගන්න බව යේසුස් පැවසූ මේ දෙයින් පැහැදිලියි. “එබැවින්, ඔබේ පඬුර පූජාසනය වෙත ගෙන එන කල, ඔබට විරුද්ධව ඔබේ සහෝදරයාට යම් කාරණාවක් ඇති බව එහිදී ඔබට සිහි වේ නම්, පඬුර පූජාසනය ඉදිරිපිට තබා ගොස් පළමුවෙන් ඔබේ සහෝදරයා හා සමාදාන වන්න. ඉන්පසු ඔබ ඇවිත් පඬුර ඔප්පු කරන්න.” (මතෙ. 5:23, 24) ඔව්, අප එකිනෙකා සමඟ සමාදානයෙන් සිටීමට උත්සාහ කරන ප්‍රධානම හේතුව වන්නේ යෙහෝවා දෙවිව සතුටු කිරීමට අපට අවශ්‍ය නිසයි. *

ෆිලිප්පි සභාවේ සිටි යුවෝදියා සහ සින්ටිකී නමැති සහෝදරියන් දෙදෙනා අතර යම් ගැටලුවක් ඇති වුණා. එය දුරදිග යෑම නිසා සභාවේ සාමයටත් එය තර්ජනයක් වුණා. (ෆිලි. 4:2, 3) එලෙසම සභාවේ දෙදෙනෙක් අතර ඇති වන ගැටලුවක් ඉක්මනින්ම විසඳා නොගතහොත් එය සභාවේ සාමයට බලපෑ හැකියි. ඒ අනුව අප එකිනෙකා සමඟ සමාදානයෙන් සිටීමට අවශ්‍ය තවත් හේතුවක් වන්නේ සභාවේ පවතින ප්‍රේමය හා එක්සත්කම ආරක්ෂා කරගැනීමට අප ආශා කරන නිසයි.

“සාමය ඇති කරන අය සන්තෝෂවත්ය” කියා එක් අවස්ථාවක යේසුස් පැවසුවා. (මතෙ. 5:9) සාමය ඇති කිරීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලය ප්‍රීතිය හා තෘප්තියයි. එමෙන්ම එසේ කිරීමෙන් ‘සන්සුන් මනසක්’ අපට ලැබෙන අතර එය අපගේ ‘ගතට සුවයක්’ ගෙන දෙයි. (හිතෝ. 14:30, නව ලොව පරිවර්තනය, NW) නමුත් අනෙක් අතට අමනාපය පැසවීමට ඉඩ හැරීම අපගේ ශරීර සොඛ්‍යයටද අහිතකර විය හැකියි.

සමාදානයෙන් සිටීම අත්‍යවශ්‍ය බව ඔබ හොඳින් දන්නවා වුණත් යම් එකඟ නොවීමක් නිරාකරණය කරගන්නේ කොහොමද කියා ඔබ කල්පනා කරනවා ඇති. ඒ සඳහා උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති දැන් අපි සලකා බලමු.

සන්සුන්ව කතා කරන්න

සාමාන්‍යයෙන්, කුඩා වළවල් සහිත පාරක් පිළිසකර කරන්නේ ඒ වළවල් මතට තාර දමා ඒවා වසා දැමීමෙනුයි. එලෙසම අපගේ සහෝදරයන් අපට කර තිබෙන වැරදි, ප්‍රේමයෙන් වසා දමන්න අපටත් පුළුවන්ද? එසේ කිරීමෙන් බොහෝ එකඟ නොවීම් නිරාකරණය කර ගත හැකියි. “ප්‍රේමය පව් රාශියක් වසා දමන්නේය” කියා පේතෘස්ද පැවසුවේ ඒ නිසයි.—1 පේතෘ. 4:8.

කෙසේනමුත් දෙදෙනා අතර ඇති වී තිබෙන ගැටලුව බරපතළ එකක් කියා ඔවුන්ගෙන් කෙනෙකුට සිතෙන්න පුළුවන්. එවැනි තත්වයක් ඊශ්‍රායෙල් ගෝත්‍ර අතරත් ඇති වුණා. ඔවුන් පොරොන්දු දේශය උරුම කරගෙන වැඩිකල් යන්න පෙර සිදු වූ දෙය බලන්න. ‘රූබෙන්, ගාද් හා මනස්සේ යන ගෝත්‍රයන්ට අයත්’ ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟෙන් එගොඩ වීමට පෙර ‘විශාල පූජාසනයක් ගොඩනැඟුවා.’ නමුත් එය දැන ගත් අනෙක් ගෝත්‍ර සිතුවේ ඔවුන් බොරු දෙවිවරුන්ට පූජාසනයක් ගොඩනැඟුවා කියායි. ඒ නිසා එය ඉතා බරපතළ ගැටලුවක් සේ සලකා ඔවුන් යුද්ධයට සැරසුණා.—යෝෂු. 22:9-12NW.

කෙසේනමුත් ඔවුන් මුලදී ඒ ගැන කලබල වුණත් මෙම ගෝත්‍ර තුන සමඟ සාකච්ඡා කිරීමට නියෝජිතයන් කිහිපදෙනෙකුව යැව්වා. ඔවුන් ගොස් මෙසේ ඇසුවා. “ඔබ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවිට විරුද්ධව මේ වගේ මහත් පාපයක් කළේ ඇයි?” නමුත් ඔවුන් සිතූ දේ සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම ගෝත්‍ර තුන පූජාසනය ගොඩනඟා තිබුණේ බොරු දෙවිවරුන්ට නොව යෙහෝවා දෙවිට නමස්කාර කිරීමටයි. කෙසේනමුත් තම සෙසු සහෝදරයන් කළ බොරු චෝදනාවට ඔවුන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔවුන්ගේ ඇඟට කඩා පනිමින් ඔවුන්ට බැණවැදුණාද? නැත්නම් ඔවුන් සමඟ කතා නොකර සිටියාද? නැහැ. ඒ වෙනුවට ඔවුන් ඉතා සන්සුන්ව හා පැහැදිලිව පැවසුවේ තමන් එසේ කළේ යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට තිබෙන ආශාව නිසා කියායි. ඔවුන් එසේ ප්‍රතිචාරය දැක්වූ නිසා දෙවි සමඟ තිබූ ඔවුන්ගේ මිත්‍රත්වයත් බොහෝ ජීවිතත් ආරක්ෂා වුණා. සන්සුන්ව සාකච්ඡා කිරීම තුළින් ගැටලු විසඳාගෙන සාමයෙන් සිටිය හැකි බව ඉන් පැහැදිලියි.—යෝෂු. 22:13-34NW.

කලබල වී දැඩි තීරණයක් ගන්නවා වෙනුවට අනෙක් ඊශ්‍රයෙල් ගෝත්‍ර මෙම ගෝත්‍ර තුන සමඟ ගැටලුව විවෘතව කතා කිරීම මොන තරම් ඥානවන්තද! නමුත් කෙනෙක් එසේ නොකරනවා නම් බයිබලයේ ඒ ගැන පවසන්නේ “කෙනෙකු සමඟ අමනාප වීමට ඉක්මන් නොවන්න. මන්ද සිත තුළ අමනාපයක් ඇති කරගන්නේ මෝඩයන්ය” කියායි. (දේශ. 7:9NW) බයිබල් ප්‍රතිපත්තිවලට අනුව යම් එකඟ නොවීමක් විසඳාගැනීමට නම් සන්සුන්ව හා විවෘතව ඒ ගැන කතා කිරීම අවශ්‍යයි. නමුත් ඒ වෙනුවට ඒ තැනැත්තා සමඟ ඒ ගැන කතා නොකර අමනාපය සිතේ තබාගෙන සිටින කෙනෙකුට දෙවිගේ ආශීර්වාද ලබන්න පුළුවන් කියා ඔබ සිතනවාද?

අනෙක් අතට ඔබ අතින් වරදක් සිදු වී ඇති බව සෙසු ක්‍රිස්තියානියෙක් ඔබට පැවසුවොත් නැතිනම් ඔබට බොරු චෝදනාවක් එල්ල කළොත් තත්වය කුමක්ද? බයිබලය පවසන්නේ “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි” කියායි. (හිතෝ. 15:1NW) බොරු චෝදනා එල්ල වූ ඊශ්‍රයෙල් ගෝත්‍ර තුන ඊට ප්‍රතිචාරය දැක්වූ ආකාරය අපට ආදර්ශයක්. ඔවුන් කලබල නොවී ඉතා සන්සුන්ව හා පැහැදිලිව ඔවුන් කළ දේ පැවසුවා. අනෙක් ගෝත්‍ර කාරණා නිවැරදිව සොයා නොබලා ආවේගයෙන් යුතුව කළ චෝදනාව බොරු බව ඔප්පු කිරීමට එමගින් ඔවුන්ට හැකි වුණා. ඔබ සමඟ ඇති වූ ගැටලුවක් විසඳාගැනීමට සහෝදරයෙක් ඔබ ළඟට පැමිණියා හෝ වේවා ඒ සඳහා ඔබ ඔහුව හමුවීමට ගියා හෝ වේවා මේ ගැන සිතා බැලීම වැදගත්. ‘අප දෙදෙනා අතර සාමය ඇති කරගන්න පුළුවන් මම කොහොම කතා කළොත් හා මගේ මුහුණේ ඉරියව් හා කටහඬ කොහොම තිබුණොත්ද?’

දිව ඥානවන්තව භාවිත කරන්න

අපගේ හිතට වද දෙන දෙයක් තවත් කෙනෙකු සමඟ බෙදා ගන්න අපි කැමතියි. ඒ නිසා සෙසු ක්‍රිස්තියානියෙකු සමඟ අපට ඇති වූ ගැටලුවක් ඉක්මනින් විසඳා නොගතහොත් එය අදාළ නොවන කෙනෙකුට පවසන්න අපි පෙලඹිය හැකියි. ඒ වගේම අප සමඟ ගැටලුව ඇති තැනැත්තාව විවේචනය කිරීමට පවා අප පෙලඹිය හැකියි. එවැනි කතා මගින් සිදු වන දේ ගැන හිතෝපදේශ 11:11හි [NW] පවසන්නේ මෙසේයි. “දුෂ්ටයන්ගේ මුවින් පිට වන වචන නිසා එය [නුවරක්] බිඳ වැටෙයි.” එලෙසම කෙනෙක් සෙසු ක්‍රිස්තියානියෙකු ගැන කිසිම ඉවක් බවක් නැතුව පවසන වචන නිසා නුවරක් වැනි අපගේ මුළු සභාවේම සාමයට එය බාධාවක් විය හැකියි.

ඒ වුණත් අපගේ සහෝදර සහෝදරියන් ගැන අන් අයත් සමඟ කිසිම දෙයක් කතා නොකළ යුතුයි කියා ඉන් අදහස් කරන්නේ නැහැ. පාවුල් දුන් මෙම උපදෙසින් ඒ බව පැහැදිලියි. ‘කිසි දූෂිත වචනයක් ඔබේ මුවින් පිටවීමට ඉඩ නෑර අසන්නන්ට ප්‍රයෝජනවත් වූ යමක් ලැබෙන පිණිස, ගොඩනැංවීම සඳහා උචිත යහපත් දේ කතා කරන්න එකිනෙකාට කරුණාවද ගැඹුරු දයානුකම්පාවද පෙන්වන්න. ඔබත් එකිනෙකාට මුළු හදවතින්ම කමා කරන්න.’ (එෆී. 4:29-32) ඔබ කළ කී දෙයක් නිසා අමනාපයට පත් සහෝදරයෙක්, ඒ ගැන ඔබට කතා කරන්න පැමිණියා කියා සිතන්න. ඔහු කවදාවත් ඔබගේ වැරදි අන් අය සමඟ කතා කර නැහැ. ඒ නිසා එවැනි කෙනෙකුගෙන් සමාව ඉල්ලා ඔහු සමඟ සමාදාන වීම ඔබට වඩාත් පහසු දෙයක් වෙයි. එලෙසම ඔබත් සෙසු ක්‍රිස්තියානීන් ගැන කතා කරද්දී ඔවුන්ගේ යහපත් ගුණාංග ගැන පමණක් කතා කරනවා නම් යම් ගැටලුවක් මතු වූ විට එය විසඳාගෙන සමාදාන වීමට පහසුයි.—ලූක් 6:31.

“එක්සත්කමින්” දෙවිට සේවය කරන්න

අප බොහෝවිට නැඹුරු වන්නේ අපව අමනාපයට පත් කර ඇති අයව නිතරම මඟ හැරීමට හා ඔවුන්ගෙන් වෙන් වී සිටීමටයි. නමුත් එය ඥානවන්ත දෙයක් නම් නොවෙයි. (හිතෝ. 18:1) ඒ නිසා දෙවිගේ නාමය දරන සෙනඟක් හැටියට එකිනෙකා සමඟ ‘එක්සත්කමින් ඔහුට සේවය කිරීම’ අපගේ අධිෂ්ඨානය කර ගනිමු.—ශෙප. 3:9NW.

කෙනෙක් කළ කී දෙයක් නිසා අප දෙවිට උද්‍යෝගයෙන් කරන සේවය අඩාල කිරීමට කෙදිනකවත් ඉඩ නොදිය යුතුයි. ඒ සම්බන්ධයෙන් මේ සිද්ධිය සලකා බලන්න. යේසුස්ගේ ජීවිත පූජාව මගින් දේවමාලිගාවේ සිදු කළ සියලු පූජා අහෝසි වීමට නියමිතව තිබුණේ තව දින කිහිපයයි. ඉන් එක් දවසක දේවමාලිගාවට පැමිණි යේසුස්, ලියන්නන්ව දැඩි සේ විවේචනය කළා. නමුත් ඒ අතරතුරේදී වැන්දඹු ස්ත්‍රියක් “ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ල” දේවමාලිගාවට පරිත්‍යාග කරනවා යේසුස් දුටුවා. නමුත් යේසුස් ඇයව නතර කළාද? නැහැ. ඒ වෙනුවට ඇය දෙවිගේ නමස්කාරය වෙනුවෙන් කළ දේ ඔහු අගය කළා. (ලූක් 21:1-4) ඉන් පැහැදිලි වන්නේ කුමක්ද? දෙවිගේ නමස්කාරයට අත හිත දීමෙන් වැළකී සිටීමට, අන් අයගේ වැරදි ක්‍රියා මේ වැන්දඹු ස්ත්‍රිය හේතුවක් කරගත්තේ නැති බවයි.

සෙසු ක්‍රිස්තියානියෙක් නුසුදුසු දෙයක් කර ඇති බව හෝ අපට යම් අයුක්තියක් කර ඇති බව දැනුණොත් අපි ඊට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? අපගේ මුළු හදවතින්ම දෙවිට කරන සේවයට අපි එය බාධාවක් කරගන්නවාද? නැත්නම් ඒ වෙනුවට සභාවේ සමාදානය රැකගැනීම සඳහා සිදු වූ ගැටලුව විසඳාගැනීමට නොපමාව පියවර ගන්නවාද?

“පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න” කියා බයිබලයේ දෙන උපදෙස පිළිපැදීමට අපි දැඩි වෑයමක් දරමු. (රෝම 12:18) ඒ තුළින් ජීවනයට යන මාර්ගයේ දිගටම රැඳී සිටීමට අපිට හැකියි.

[පාදසටහන]

^ 6 ඡේ. මතෙව් 18:15-17හි සඳහන් යේසුස් දුන් උපදෙස් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 1999 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ 17-22 දක්වා පිටු බලන්න.

[17වන පිටුවේ පින්තූරය]

යුවෝදියා හා සින්ටිකී යන දෙදෙනා අතර තිබූ ගැටලුව විසඳාගෙන සමාදානය ඇති කරගැනීමට ඔවුන්ට සිදු වුණා

[18වන පිටුවේ පින්තූරය]

දෙදෙනෙකු අතර සාමය ඇති කරගන්න පුළුවන් කොහොම කතා කළොත්ද? මුහුණේ ඉරියව් හා කටහඬ කොහොම තිබුණොත්ද?