Skip to content

පටුනට යන්න

මරියාගෙන් අපට ගත හැකි පාඩම්

මරියාගෙන් අපට ගත හැකි පාඩම්

මරියාගෙන් අපට ගත හැකි පාඩම්

යම් වගකීමක් නිසා හෝ අභියෝගයක් නිසා ඔබට මානසික පීඩනයක් ඇති වී තිබෙනවාද? එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් මුදල් සොයාගැනීමට ඔබ දැඩි වෙහෙසක් දරා තිබෙනවාද? යම් හදිසි තත්වයන් මත ඔබට ඔබේ ගම හෝ රට අතහැර වෙනත් ප්‍රදේශයකට යන්න සිදු වී තිබෙනවාද? ආදරය කළ කෙනෙකුගේ මරණය නිසා ඇති වන වේදනාව ඔබ අද්දැක තිබෙනවාද?

ඉහත සඳහන් සෑම තත්වයකටම යේසුස්ගේ මව වූ මරියා මුහුණ දුන්නා. නමුත් ඇය ඉතා සාර්ථක ලෙස එම අභියෝගවලින් ජය ගත්තා. එමනිසා අපට ඇගෙන් ඉගෙනගත හැකි පාඩම් මොනවාද කියා දැන් අපි සලකා බලමු.

ලොව වටා සිටින බොහෝදෙනා මරියා ගැන දැන සිටිනවා. ඊට හේතුව දෙවිගේ අරමුණ ඉටු කිරීම වෙනුවෙන් ඇය විශාල කාර්යභාරයක් කර තිබීමයි. මිලියන ගණන් ජනයා ඇයට නමස්කාර කිරීමට පෙලඹී තිබෙන්නේ ඒ නිසයි. කතෝලික ආගම තුළ ඇයව මරිය මෑණියන් ලෙස හඳුන්වන අතර ඇදහිල්ලේ, දයාවේ සහ බලාපොරොත්තුවේ පරම ආදර්ශය ලෙසත් ඇයව සලකනවා. බොහෝදෙනා විශ්වාස කරන්නේ මරියා මාර්ගයෙන් දෙවි වෙතට ළඟා විය හැකි බවයි.

ඔබට මරියා ගැන හැඟෙන්නේ කෙසේද? එමෙන්ම දෙවි ඇයව සලකන්නේ කෙසේද?

සුවිශේෂී පැවරුමක්

ඊශ්‍රායෙලයේ යූදා ගෝත්‍රයට අයත් මරියා හේලීගේ දියණියයි. දිනක් දේවදූතයෙක් ඇය වෙත පැමිණ “බොහෝ සෙයින් ප්‍රසාදය ලද තැනැත්තිය, ඔබට සුබ දවසක් වේවා! යෙහෝවා ඔබ සමඟය” කියා පැවසුවා. ඒ අවස්ථාවේදී මරියා ටිකක් කලබල වී දේවදූතයා “තමාට මෙලෙස ආමන්ත්‍රණය කිරීමට හේතුව කුමක්දැයි කල්පනා කළා.” ඉන්පසු දේවදූතයා ඇයට පැවසුවේ දෙවිගේ පුත්‍රයාව මෙලොවට බිහි කිරීමේ භාරදූර කාර්යය සඳහා යෙහෝවා දෙවි ඇයව තෝරාගෙන ඇති බවයි.—ලූක් 1:26-33.

අවිවාහක තරුණියකට එය මොන තරම් විශාල අභියෝගයක්ද! දේවදූතයා තමාට පැවසූ දේවල් අන් අය විශ්වාස කරයිද කියා මරියා කල්පනා කරන්න ඇති. මේ වන විට මරියා යෝසෙප් සමඟ විවාහ ගිවිසගෙන සිටියා. ඒ නිසා ඇය ගැබ්ගෙන ඇති බව යෝසෙප් දැනගත් විට ඔහු තමන්ව අත්හරියිද කියාත් ප්‍රසිද්ධියේම නින්දා විඳින්න සිදු වෙයිද කියාත් ඇය කල්පනා කරන්න ඇති. (ද්විතීය කතාව 22:20-24) මේ කුමන අභියෝගය තිබුණත් මරියාට යෙහෝවා දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුණු නිසා ඇය දෙවිගෙන් ලද එම පැවරුම ප්‍රතික්ෂේප කළේ නැහැ.

යෙහෝවා දෙවි කිසිසේත් තමන්ව අත් නොහරින බව මරියා දැන සිටියා. “බලන්න! යෙහෝවාගේ දාසිය! ඔබ පැවසූ දෙයට අනුව මට සිදු වේවා” කියා ඇය පැවසුවේ ඒ නිසයි. දෙවිගෙන් ලැබුණු පැවරුම භාරගැනීමෙන් දෙවිව ගෞරවයට පත් කළ හැකි බව මරියා තේරුම්ගත් නිසා ඕනෑම දුෂ්කර තත්වයකට මුහුණ දෙන්න ඇය කැමති වුණා.—ලූක් 1:38.

තමන් ගැබ්ගෙන ඇති බව මරියා යෝසෙප්ට පැවසූ විට ඔහු ඇයව අත්හැරීමට උත්සාහ කළා. ඒ කාලය අතරතුර ඔවුන් දෙදෙනාට මොන තරම් මානසික පීඩනයක් දැනෙන්න ඇද්ද! මේ දුෂ්කර තත්වය කොතරම් කාලයක් පැවතුණාද කියා බයිබලයේ වාර්තා කර නැහැ. නමුත් මරියා ගැබ්ගෙන තිබෙන්නේ අයථා සම්බන්ධයක් නිසා නොවෙයි කියා දේවදූතයා යෝසෙප්ට පැහැදිලි කර ඇයව තම භාර්යාව හැටියට නිවසට රැගෙන යන්න කියා ඔහුට පැවසුවා.—මතෙව් 1:19-24.

දුෂ්කර කාලයක්

සාමාන්‍යයෙන් ඕනෑම මවක් දරුවෙකුව බිහි කිරීමට පෙර දරුවාට අවශ්‍ය සියල්ල සූදානම් කර ඒ දවස පැමිණෙන තුරු ඉතා ආශාවෙන් බලා සිටිනවා. මරියාත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන්න ඇති. නමුත් නොසිතූ ලෙස ඇගේ සැලසුම් වෙනස් වුණා. ඊට හේතුව සියලුදෙනාටම තම උපන් ගමට ගොස් ලියාපදිංචි වෙන්න කියා රෝම පාලක සීසර් ඔගස්ටස් නියෝගයක් නිකුත් කිරීමයි. මේ නිසා මරියාව බූරුවෙක් පිට නංවාගෙන කිලෝමීටර් 150ක් දුරින් පිහිටි බෙත්ලෙහෙම වෙත යන්න යෝසෙප්ට සිදු වුණා. මේ වන විට මරියා ගැබ්ගෙන මාස නවයක් ගත වී තිබුණා. ඔවුන් එහි යන විටත් බෙත්ලෙහෙම් නගරයට විශාල ජනකායක් පැමිණ සිටි නිසා ඔවුන් දෙදෙනාට නවාතැන් ගැනීමට සිදු වුණේ ගවමඩුවකයි. මෙවැනි ස්ථානයක දරුවෙකු බිහි කිරීම මරියාට මොන තරම් දුෂ්කර කාර්යයක් වන්න ඇද්ද! ඒ නිසා මරියා යෙහෝවා දෙවිට යාච්ඤා කර තමන්වත් දරුවාවත් ආරක්ෂා කරන්න කියා අයදින්න ඇති.

දරුවා බිහි වී ටික වේලාවකට පසු දරුවාව බැලීමට එඬේරුන් පැමිණියා. ඔවුන් කියා සිටියේ ඉපදුණු දරුවා “ගැලවුම්කරු” බවත් “ඔහු ස්වාමීන් වන ක්‍රිස්තුස්” බවත් දේවදූතයෙක් ඔවුන්ට ප්‍රකාශ කළ බවයි. ඒ අවස්ථාවේදී “මරියා මේ වදන් සියල්ල සිතෙහි සුරකිමින් මේ දේවල අර්ථය ගැන කල්පනා කළා” කියා බයිබලයේ සඳහන් වෙනවා. ඉන් පෙනී යන්නේ එඬේරුන් පැවසූ දේවල් ගැන ඇය ගැඹුරින් කල්පනා කර එයින් ශක්තිය හා දිරිගැන්වීම් ලැබූ බවයි.—ලූක් 2:11, 16-19.

මරියාට මෙන් අපිටත් අනපේක්ෂිත ලෙස දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය හැකියි. බයිබලයේ පවා සඳහන් වී තිබෙන්නේ “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ සිදු වීම්” සියල්ලන්ට සිදු වන බවයි. (දේශනාකාරයා 9:11, නව ලොව පරිවර්තනය, ) එවැනි අවස්ථාවලදී අපි දෙවිට දොස් තබනවාද? නැතිනම් මරියා මෙන් ශුද්ධ ලියවිල්ලේ ඇති දේවල් ගැඹුරින් කල්පනා කරමින් දෙවිට ළං වීමට උත්සාහ කරනවාද? මරියා මෙන් අපත් කටයුතු කළොත් දුෂ්කරතා දරාගැනීමට අපටත් හැකි වෙනවා.

අග හිඟකම් මැද

දිලිඳුකම අද දසත පැතිර ඇති විශාල ගැටලුවක්. “ලොව ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් දිනකට උපයන්නේ රුපියල් 200කටත් වඩා අඩු මුදලක්” බව එක් සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා. එමෙන්ම දියුණු රටවල පවා ජීවත් වන මිලියන ගණනක් මිනිසුන්ද තම අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා මහත් වෙහෙසක් දරනවා. ඔබේ තත්වය කුමක්ද? පවුලේ අයට අවශ්‍ය ආහාර, ඇඳුම් පැළඳුම් හා නිවාස පහසුකම් සැපයීම සඳහා ඔබටත් මහත් වෙහෙසක් දරන්න සිදු වී තිබෙනවාද?

යෝසෙප් හා මරියා දිලිඳු අය බව බයිබලයේ පෙන්නුම් කරනවා. යේසුස්ගේ උපතින් දින 40කට පසු ඔවුන් දෙදෙනා දේවමාලිගාවට ගොස් “කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු” * පූජා කළා. (ලූක් 2:22-24) සාමාන්‍යයෙන් එවැනි පක්ෂීන්ව පූජා කිරීමට අවසර තිබුණේ බැටළු පැටියෙකුව පූජා කිරීමට තරම් වත්කමක් නොතිබූ අයට පමණයි. මරියා සහ යෝසෙප් පක්ෂීන් දෙදෙනෙකුව පූජා කිරීමෙන් ඔප්පු වන්නේ ඔවුන් දිලිඳු අය වූ බවයි. ඔවුන් දිලිඳු වුණත් දෙවිට කරන නමස්කාරයට මුල් තැන දුන් නිසා ඔවුන්ට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීමට හැකි වුණා.—ද්විතීය කතාව 6:6, 7.

යේසුස් ඉපදී වැඩි දවසක් ගත වීමට පෙර මරියාට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදු වුණා. ඊට හේතුව දේවදූතයෙක් පැමිණ දරුවාවත් රැගෙන වහාම ඊජිප්තුවට යන්න කියා යෝසෙප්ට දැනුම් දීමයි. (මතෙව් 2:13-15) මරියාට හුරුපුරුදු පරිසරය අතහැර නුහුරු පරිසරයකට යෑමට සිදු වූ දෙවෙනි අවස්ථාව මෙයයි. නමුත් මේ වතාවේදී ඇයට යන්න සිදු වුණේ විදේශ රටකටයි. යුදෙව්වන් බොහෝදෙනෙක් ඊජිප්තුවේ ජීවත් වූ නිසා තමන්ගේම ජාතියේ අය සමඟ ජීවත් වෙන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්න ඇති. ඒ වුණත් විදේශ රටක ජීවත් වීම එතරම් පහසු කාර්යයක් නොවෙයි. ඔබේ පවුලේ අයගේ ආරක්ෂාව පතා ඔබටත් වෙනත් රටකට යන්න සිදු වී තිබෙනවාද? එසේනම් මරියාට ඊජිප්තුවේදී කුමනාකාරයේ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුණාද කියා ඔබට තේරුම්ගත හැකි වෙයි.

බිරිඳක් සහ මවක් ලෙස

යේසුස්ගේ උපතට හා බිලිඳු අවදියට අදාළ සිදුවීම් ගැන කතා කරන විට මරියා ගැන සඳහන් වී තිබුණත් ඉන් එහාට ඇය සම්බන්ධයෙන් එතරම් විස්තරයක් බයිබලයේ සඳහන් වී නැහැ. කෙසේවෙතත් යෝසෙප්ට සහ මරියාට තවත් දරුවන් හයදෙනෙක්වත් සිටි බව බයිබලයේ පෙන්නුම් කරනවා. සමහරවිට මේ අදහස ගැන ඔබ පුදුම වෙයි. නමුත් බයිබලයේ ඒ ගැන සඳහන් වෙන්නේ කුමක්ද කියා සලකා බලන්න.

දෙවිගේ පුත්‍රයාව මෙලොවට බිහි කිරීම සඳහා මරියාට ලැබුණු වරප්‍රසාදය ගැන යෝසෙප්ටත් මහත් අගයක් තිබුණා. ඒ නිසා යේසුස් ඉපදෙන තුරු ඔවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස එක් වුණේ නැහැ. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඇය පුතෙකු බිහි කරන තුරු ඔහු ඇය සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූයේ නැත.” (මතෙව් 1:25) “පුතෙකු බිහි කරන තුරු” යෝසෙප් මරියා සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූයේ නැහැ කියා සඳහන් වීමෙන් අදහස් කරන්නේ යේසුස් බිහි වූ පසු ඔවුන් ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බවයි. බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට ඔවුන් දෙදෙනාට යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් කියා පුතුන් සිව්දෙනෙක්ද දූවරුන්ද සිටියා. *මතෙව් 13:55, 56.

මරියාට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබුණා. ඒ නිසා සෑම වසරකම පාස්කු මංගල්‍ය සැමරීමට ඇය යෝසෙප් සමඟ කිලෝමීටර් 300ක් පමණ දුරින් පිහිටි යෙරුසලමට ගමන් කළා. (ලූක් 2:41) මෙම මංගල්‍යයට ස්ත්‍රීන් පැමිණිය යුතුයි කියා නීතියේ සඳහන් වී තිබුණේ නැහැ. නමුත් පවුලක් ලෙස මෙවැනි ගමනක නිරත වීමෙන් ඔවුන් මහත් සතුටක් ලබන්න ඇති.

මරියාගේ ආදර්ශය අනුගමනය කරන බොහෝ භාර්යාවන් අද දිනත් සිටිනවා. බයිබලයේ ඇති උපදෙස්වලට එකඟව කටයුතු කිරීමට උත්සාහ දැරීමේදී එවැනි භාර්යාවන්ට ඉවසීම, විඳදරාගැනීම සහ නිහතමානිකම වැනි ගුණාංග විදහාපෑමට සිදු වී තිබෙනවා. දෙවිට කරන නමස්කාරයට මුල් තැන දී කටයුතු කරන්න ඔවුන්ට හැකි වී තිබෙන්නේ ඔවුන් මරියාගේ ආදර්ශය අනුගමනය කරන නිසයි. පවුලක් ලෙස දෙවිට නමස්කාර කිරීමෙන් පවුලේ තිබෙන බැඳීම තව තවත් ශක්තිමත් වන බව මරියා මෙන් ඔවුන්ද වටහාගෙන තිබෙනවා.

එක් අවස්ථාවක මරියා සහ යෝසෙප් පාස්කු මංගල්‍යයට සහභාගී වී නැවත නිවස බලා පැමිණෙන විට 12-හැවිරිදි යේසුස් ඔවුන් සමඟ නැති බව මරියා දැනගත්තා. සමහරවිට ඒ අවස්ථාවේ යේසුස්ගේ අනික් සහෝදර සහෝදරියන්ද සෙනඟ අතර සිටින්න ඇති. නමුත් යේසුස් ඔවුන් අතර නැති නිසා මරියා සහ යෝසෙප් කලබල වී දින තුනක් තිස්සේ ඔහුව සෙව්වා. ඒ අවස්ථාවේදී ඔවුන්ට මොන තරම් මානසික පීඩනයක් දැනුණාද කියා ඔබට සිතාගත හැකිද? අවසානයේදී ඔවුන්ට යේසුස්ව සොයාගත හැකි වුණේ දේවමාලිගාවේදීයි. ඔහුව සොයමින් පැමිණි දෙමාපියන්ට යේසුස් මෙසේ පැවසුවා. “මගේ පියාණන්ගේ ගෘහයේ මා සිටිය යුතුයි කියා ඔබ දැනගෙන සිටියේ නැද්ද?” මේ වතාවේදීත් මරියා ඒ “සියලු වදන් ඇගේ සිතෙහි රඳවා තබාගත්” බව බයිබලයේ සඳහන් වෙනවා. යේසුස්ගේ ජීවිතය හා සම්බන්ධ සෑම සිදුවීමක් ගැනම මරියා ගැඹුරින් කල්පනා කළා. පසු කාලයකදී යේසුස්ගේ ජීවිත කතාව ලියූ බයිබල් ලේඛකයන්ට අවශ්‍ය තොරතුරු සපයන්න ඇයට හැකි වුණේ ඒ නිසයි.—ලූක් 2:41-52.

තනිකමට මුහුණ දෙමින්

යේසුස්ව රැකබලා ගත් පියා වූ යෝසෙප් ගැන අවසන් වතාවට බයිබලයේ සඳහන් වෙන්නේ යේසුස්ව දේවමාලිගාවෙන් සොයාගත් අවස්ථාවේදීයි. මේ නිසා යේසුස් ඔහුගේ දේශනා සේවය ආරම්භ කිරීමට පෙර යෝසෙප් මිය යන්න ඇති කියා බොහෝදෙනා සිතනවා. * බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට යේසුස් මිය යෑමට පෙර තම මවව බලාගැනීමේ වගකීම පැවරුවේ යොහන්ටයි. (යොහන් 19:26, 27) ඒ වන විට යෝසෙප් ජීවතුන් අතර සිටියා නම් යේසුස් එම වගකීම යොහන්ට පවරයි කියා සිතිය හැකිද?

යෝසෙප් සහ මරියා ජීවිතයේ බොහෝ දේවලට එකට මුහුණ දුන්නා. දේවදූතයන් ඔවුන්ව බැහැදැකීමට පැමිණියා, නුහුරු ප්‍රදේශවලට යන්න සිදු වුණා, ආරක්ෂාව පතා පලා ගියා, එමෙන්ම ලොකු පවුලක්ද හදා වඩා ගත්තා. මරියා සහ යෝසෙප් විවේක සුවයෙන් සිටි අවස්ථාවලදී යේසුස් ගැන කොතරම් දේවල් කතා කරන්න ඇද්ද! යේසුස්ට අනාගතයේදී මොන වගේ දේවලට මුහුණ දෙන්න සිදු වෙයිද කියාත් දෙවිගේ කැමැත්තට අනුව ඔහුව පුහුණු කරන්නේ කෙසේද කියාත් ඔවුන් කතා කරන්න ඇති. නමුත් යෝසෙප් මිය ගිය පසු මරියාට ඒ දේවල් කතා කරන්න කෙනෙක් සිටියේ නැහැ. ඇයට කොතරම් තනිකමක් දැනෙන්න ඇද්ද?

ඔබේ සහකරු හෝ සහකාරිය මිය ගොස් තිබෙනවා නම් ඒ අවස්ථාවේදී ඇති වුණ වේදනාව හා තනිකම ඔබට තවමත් දැනෙනවා ඇති. යෝසෙප්ගේ මරණය දරාගැනීමට මරියාට ශක්තිය ලැබුණේ මිය ගිය අයට නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් තිබෙන බව ඇය දැන සිටි නිසයි. * (යොහන් 5:28, 29) එම බලාපොරොත්තුව තිබුණත් ස්වාමිපුරුෂයෙක් නැතුව දරුවන් හදා වඩා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ඇයට සිදු වුණා.

යෝසෙප් මිය ගිය පසු පවුල නඩත්තු කිරීමේ වගකීම යේසුස් ඉටු කළා කියා සිතිය හැකියි. යේසුස්ගේ සහෝදරයන්ද වැඩිහිටියන් බවට පත් වෙනවාත් සමඟම ඔවුනුත් පවුලේ වගකීම් දරන්න ඇති. කොහොමවුණත් යේසුස්ට “වයස අවුරුදු තිහක් පමණ” වන විට ඔහු නිවසින් පිට වී දේශනා සේවය පටන්ගත්තා. (ලූක් 3:23) සාමාන්‍යයෙන් දරුවෙක් නිවසින් පිට වී යෑම දෙමාපියන්ට මහත් දුකක්. මන්ද දරුවෙකු වෙනුවෙන් දෙමාපියන් විශාල කාලයක් වැය කරමින් දැඩි වෙහෙසක් දරා තිබීමයි. ඔබේ දුව හෝ පුතා යම් වැදගත් කාර්යයක් වෙනුවෙන් නිවසෙන් පිට වී යන විට ඔබට දැනුණේ කෙසේද? ඔවුන් ඔබ ළඟම සිටියා නම් හොඳයි කියා ඔබට සිතුණාද? යේසුස් නිවසින් පිට වී යන විට මරියාටත් එසේම හැඟෙන්න ඇති.

දරුවන් නිසා සිත්තැවුලෙන්

යේසුස් ප්‍රකාශ කළ ශුභාරංචියට සවන් දුන් බොහෝදෙනෙක් ඔහුගේ අනුගාමිකයන් බවට පත් වුණා. නමුත් යේසුස්ගේම ‘සහෝදරයෝ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වමින් සිටියේ නැහැ’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 7:5) මරියාට මේ ගැන කෙසේ හැඟෙන්න ඇද්ද? යේසුස් “දෙවිගේ පුත්‍රයා” බව දේවදූතයෙක් තමාට පැවසුවා කියා මරියා තම දරුවන්ට පැවසූ බවට කිසිම සැකයක් නැහැ. (ලූක් 1:35) නමුත් යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් යේසුස්ව සැලකුවේ තමන්ගේ වැඩිමල් සහෝදරයා ලෙස පමණයි. එකිනෙකට වෙනස් මත දැරූ පවුලක ජීවත් වීම මරියාට පහසු කාර්යයක් වුණේ නැහැ.

නමුත් මරියා කලකිරීමට පත් වී ඇගේ උත්සාහය අත්හැරියේ නැහැ. එක් අවස්ථාවකදී යේසුස් ගලීල නගරයේ දේශනා කිරීමෙන් පසු ආහාර ගැනීම සඳහා නිවසකට ඇතුල් වුණා. විශාල සෙනඟක් ඒ අවස්ථාවේදී ඔහුට සවන් දීමට එහි පැමිණ සිටියා. මෙයින් ප්‍රයෝජන ගත් මරියා ඇගේ දරුවන්වත් රැගෙන යේසුස්ව හමු වීමට එම ස්ථානයට ගියා. ඇය මෙවැනි දෙයක් කරන්න ඇත්තේ දරුවන් යේසුස් ගැන දැරූ ආකල්පය වෙනස් කරගනියි යන අදහසින් විය හැකියි.—මතෙව් 12:46, 47.

ඔබත් මරියා මුහුණ දුන්නා හා සමාන තත්වයකට මුහුණ දෙනවාද? ඔබ යේසුස්ව ආදර්ශයට ගන්න උත්සාහ කළත් පවුලේ අනික් අය එසේ කරන්නේ නැත්නම් ඔබ අධෛර්යය වෙන්න එපා. ඔබත් මරියා මෙන් පවුලේ අයට ඉවසිලිවන්තව උපකාර කළොත් යම් දිනක ඔවුන්ද නිවැරදි මාර්ගයට පැමිණෙන්න ඉඩ තිබෙනවා. ඔබ ඉවසීමෙන් යුතුව කටයුතු කරන විට ඊට මිනිසුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණත් යෙහෝවා දෙවි ඔබේ උත්සාහය බෙහෙවින් අගය කරනවා.—1 පේතෘස් 3:1, 2.

දැරිය නොහැකි වේදනාවක්

බයිබලයේ සඳහන් වන ආකාරයට මරියා මුහුණ දුන් අවසාන පීඩාව ඇයට විශාල වේදනාවක් ඇති කළ බවට කිසිම සැකයක් නැහැ. එය නම් ඇගේ ආදරණීය පුත්‍රයාව තමාගේම ජාතියේ අය විසින් මරණයට පත් කිරීමයි. සාමාන්‍යයෙන් දරුවෙක් බාල වයසේදී මිය ගියත් වැඩිහිටි වියේදී මිය ගියත් එයින් මවකට ඇති වන වේදනාවේ වෙනසක් නැහැ. යේසුස්ගේ මරණයට දශක කිහිපයකට පෙර පවසා තිබූ ආකාරයට ඒ වේදනාව මරියාට දැනුණේ දිග කඩුවක් ඇයව පසාරු කරගෙන යනවා හා සමානවයි.—ලූක් 2:34, 35.

මේ සිදුවීමෙන් පසුව මරියා කලකිරීමට පත් වී යෙහෝවා දෙවිව අත්හැරියාද? නැහැ. බයිබලයේ මරියා ගැන කතා කරන ඊළඟ අවස්ථාවේදී ඇය යේසුස්ගේ ගෝලයන් සමඟ “එක්සිත්ව නොකඩවා යාච්ඤා කරමින් සිටියා” කියා සඳහන් වෙනවා. මේ වන විට ඇගේ අනික් දරුවන්ද යේසුස්ව පිළිගෙන තිබුණ නිසා ඔවුන්ද මේ අවස්ථාවට හවුල් වුණා. *ක්‍රියා 1:14.

මරියා භාර්යාවක් ලෙසත් මවක් ලෙසත් ඇගේ ජීවිත කාලය පුරාම දෙවිට විශ්වාසවන්තව සිටියා. ඒ කාලය තුළ ඇයට බොහෝ දේවල් ගැන ඉගෙනගැනීමටත් හැකි වුණා. අපිත් අනපේක්ෂිත තත්වයන්ට මුහුණ දෙන විට හෝ පවුලේ යම් කාරණා ගැන සිත්තැවුලට පත් වන විට නොසැලී සිටීම සම්බන්ධයෙන් මරියාගේ ආදර්ශය අනුගමනය කිරීම කොතරම් වටිනා දෙයක්ද!—හෙබ්‍රෙව් 10:36.

නමුත් මරියාට නමස්කාර කිරීම සම්බන්ධයෙන් පැවසිය හැක්කේ කුමක්ද? මරියාට දෙවිගෙන් විශේෂ පැවරුමක් ලැබුණු නිසා ඇයට නමස්කාර කළ යුතු බව ඉන් අදහස් වෙනවාද?

[පාදසටහන්වල]

^ 17 ඡේ. මින් එක් පක්ෂියෙකුව පාප පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවා. (ලෙවී කතාව 12:6, 8) එම පූජාව ඔප්පු කිරීමෙන් පළමු මිනිසා වූ ආදම් නිසා උරුම වූ පාපය අන් සියලුදෙනාටම මෙන් තමන්ටත් උරුම වී ඇති බව මරියා පෙන්නුම් කළා.—රෝම 5:12.

^ 26 ඡේ. යේසුස්ගේ මව ගැනත් ඔහුගේ සහෝදර සහෝදරියන් ගැනත් බයිබලයේ සඳහන් වී තිබුණද යේසුස්ගේ පියා ගැන සඳහන් නොවීම ඔහු මිය ගොස් සිටි බවට සාක්ෂියක්. කානා නුවර පැවැත්වූ විවාහ මංගල්‍යයකදී මරියා ගැන සඳහන් වී තිබුණත් යෝසෙප් ගැන කිසිවක් සඳහන් වී නැහැ. (යොහන් 2:1-11) තවත් අවස්ථාවක යේසුස්ගේම ගමේ අය ඔහුව ආමන්ත්‍රණය කළේ යෝසෙප්ගේ පුත්‍රයා ලෙස නොව “මරියාගේ පුත්‍රයා” ලෙසයි.—මාක් 6:3.

^ 28 ඡේ. නැවත නැඟිටීම ගැන බයිබලයේ ඇති පොරොන්දුව ගැන දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 7වන පරිච්ඡේදය කියවන්න.

^ 36 ඡේ.  “ඇය අවශ්‍ය වෙනස්කම් කළා” යන මාතෘකාවෙන් යුත් 7වන පිටුවේ ඇති කොටුව බලන්න.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

 යේසුස්ට සහෝදර සහෝදරියන් සිටියාද?

යේසුස්ට සහෝදර සහෝදරියන් සිටි බව බයිබලයේ පෙන්නුම් කර තිබුණත් සමහර අය එම කාරණය පිළිගන්නේ නැහැ. (මතෙව් 12:46, 47; 13:54-56; මාක් 6:3) බයිබල් විශාරදයන් පවසන ආකාරයට මරියාට වෙනත් දරුවන් සිටියේ නැහැ කියා බොහෝදෙනා පිළිගන්නේ ඇය ජීවිත කාලය පුරාම කන්‍යාවක්ව සිටියා කියා කතෝලික පල්ලිය උගන්වා තිබෙන නිසයි. නමුත් බයිබල් විශාරදයන් පවසන්නේ යේසුස්ට සහෝදර සහෝදරියන් නොසිටි බවට ඇති අදහසට කිසිම පදනමක් නැති බවයි.

උදාහරණයකට යේසුස්ට සිටි සහෝදරයන් යෝසෙප්ගේ කලින් විවාහයේ දරුවන් බව සමහරුන් පවසනවා. නමුත් එම අදහසටත් කිසිම පදනමක් නැහැ. ඊට හේතුව එය සත්‍යයක් වුණා නම් කුලුඳුලා ලෙස දාවිත්ගේ රාජ්‍යයට උරුමකම් කියන්න යේසුස්ට ඇති අයිතිය නැති වීමයි.—2 සාමුවෙල් 7:12, 13.

තවත් අදහසක් නම් යේසුස්ට සිටි සහෝදරයන් ඔහුගේම සහෝදරයන් නොව නමුත් ඥාති සහෝදරයන් බව පෙන්නුම් කිරීමයි. ඒ අදහසටත් පදනමක් නැහැ. මන්ද ග්‍රීක ශුද්ධ ලියවිලිවල යේසුස්ගේ සහෝදරයන්ව විස්තර කිරීමට යොදාගෙන ඇති වචන යොමු දක්වන්නේ ඥාතීන්ට නොව එක කුසේ උපන් සහෝදරයන්ටයි. විශාරදයෙක් වන ෆ්‍රෑන්ක් ඊ. ගේබලයින් මෙසේ පැවසුවා. “යේසුස්ට සිටි සහෝදරයන් මරියාට සහ යෝසෙප්ට දාව උපන් දරුවනුයි. වෙනත් විදිහකින් කියනවා නම් ඔවුන් යේසුස්ගේම සහෝදරයන්.”

[7වන පිටුවේ කොටුව]

 ඇය අවශ්‍ය වෙනස්කම් කළා

මරියා ඉපදුණේ යුදෙව් පවුලක නිසා ඇය කුඩා කාලයේ පටන් යුදෙව් ආගමට අයත්ව සිටියා. යුදෙව් ආගමික චාරිත්‍රවලට අනුව ඇගේ නමස්කාර කටයුතු සඳහා ඇය සිනගෝගයටත් යෙරුසලමේ තිබුණු දේවමාලිගාවටත් ගියා. නමුත් මරියාට යෙහෝවා දෙවිගේ අරමුණු ගැන තිබූ අවබෝධය ක්‍රමානුකූලව වැඩි වන විට ඇයට උපතින් උරුම වූ යුදෙව් ආගමට දෙවිගේ අනුමැතිය තවදුරටත් නොලැබෙන බව ඇයට වැටහුණා. ඊට හේතුව යුදෙව් ආගමික නායකයන් ගැලවුම්කරුව ඝාතනය කිරීමයි. මිය යෑමට පෙර ගැලවුම්කරු වූ යේසුස් යුදෙව්වන්ට මෙසේ පැවසුවා. “බලන්න! ඔබේ ගෘහය ඔබට අත්හරිනු ලැබේ.” (මතෙව් 23:38) ඉන් අදහස් කළේ යුදෙව් ආගමට තවදුරටත් දෙවිගේ අනුමැතිය නොලැබෙන බවයි.—ගලාති 2:15, 16.

ක්‍රිස්තියානි සභාව පිහිටෙවූ කාලයේ මරියා 50වන වියේ පසු වන්න ඇති. නමුත් තමන් යුදෙව්වෙක් නිසා මිය යන තුරුම පරම්පරාවෙන් පැමිණි ආගමේ සිටිනවා කියා ඇය සිතුවාද? එසේ නැත්නම් ආගම වෙනස් කිරීමට තමන් මහලු වැඩියි කියා ඇය සිතුවාද? නැහැ. යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සහ අනුමැතිය ලැබී තිබෙන්නේ ක්‍රිස්තියානි සභාවට බව ඇය තේරුම්ගත් විට ඇගේ පැරණි ආගම අතහැර ක්‍රිස්තියානි ආගම පිළිගත්තා. මින් පැහැදිලි වෙන්නේ මරියා ආගම සම්බන්ධයෙන් අවශ්‍ය වෙනස්කම් කිරීමට පසුබට නොවූ බවයි.

[5වන පිටුවේ පින්තූරය]

ආරක්ෂාව පතා ඊජිප්තුවට යමින්

[8වන පිටුවේ පින්තූරය]

මවකට දැරිය නොහැකිම වේදනාව