Skip to content

පටුනට යන්න

ජීවතුන්ට කරදර කිරීමට මළවුන්ට හැකිද?

ජීවතුන්ට කරදර කිරීමට මළවුන්ට හැකිද?

ජීවතුන්ට කරදර කිරීමට මළවුන්ට හැකිද?

ඔබ මිය ගිය අයට භයද? මිය ගිය අය සිටින්නේ කිසිවක් කළ නොහැකි තත්වයක කියා සමහර අය විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන්ට මිය ගිය අය කෙරෙහි බියක් ඇති වන්නේ නැහැ. නමුත් තවත් මිලියන ගණන්දෙනා විශ්වාස කරන්නේ මිය ගිය අයගේ ආත්ම නොනැසී ජීවත් වෙන බවයි. එවැනි අයට මිය ගිය අය කෙරෙහි යම් බියක් තිබෙනවා.

තමන්ගේම පවුලේ අයව මරා දැමීමට මිය ගිය අයගේ ආත්මවලට හැකියාව තිබෙන බව බටහිර අප්‍රිකාවේ බෙනින් රටේ ජීවත් වන අය විශ්වාස කරනවා. මෙයින් ආරක්ෂා වීමට ඔවුන් කරන්නේ තමන් සතු දේපළ විකුණා හෝ ණය වී මිය ගිය අය වෙනුවෙන් සත්ව පූජා හෝ පුද පූජා පැවැත්වීමයි. තවත් අය මායා බන්ධන ක්‍රියාවල හවුල්වන කෙනෙකු මාර්ගයෙන් මළවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමටත් පෙලඹෙනවා.

බටහිර අප්‍රිකාවේ ජීවත් වන ආග්බූලාගේ අද්දැකීම සලකා බලන්න. ඔහු පැවසුවේ මෙයයි. “අපේ රටේ භූතයන් හා සම්බන්ධ ක්‍රියා බහුලව සිදු වෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් මැරුණම එයාගේ ආත්මය හොඳ තැනකට යවන්න ඕනෙ නිසා මළ මිනිය සබන් ගාලා නාවන එක අපේ රටේ සිරිතක් විදිහට කෙරෙනවා. මම ඒ වගේ සබන් කෑලි හොයාගෙන ඒවාට තවත් කොළ ජාති එකතු කරලා මිශ්‍රණයක් හදාගන්නවා. ඊටපස්සේ ඒ මිශ්‍රණය මගේ තුවක්කුවේ තවරලා මට දඩයම් කරන්න ඕනෙ සතාගේ නම කියලා කෑගහලා දඩයමේ යනවා. ඒ වගේ දේවල් අපේ රටේ බහුලව කෙරෙනවා විතරක් නෙවෙයි ඒවායේ සාර්ථකත්වයකුත් පේන්න තියෙනවා. කොහොමවුණත් භූතයන්ව සම්බන්ධ කරගෙන කරන සමහර දේවල් නම් හරිම භයානකයි.

“මගේ පුතාලා දෙන්නා කිසිම හේතුවක් නැතුව හදිසියේම මැරුණා. කවුරු හරි කෙනෙක් මැරිච්ච අයගේ ආත්ම ලවා මට කරදර කරනවා කියලයි මම හිතුවේ. ඒකේ ඇත්ත නැත්ත දැනගන්න මම කට්ටඩියෙක් ළඟට ගියා. එතකොට එයා කිව්වා මම හිතපු විදිහ හරි කියලා. ඒ වගේම පුත්තු දෙන්නව මරපු කෙනා කවදා හරි දවසක මැරුණම මගේ පුත්තු දෙන්නා එයාගේ දාසයන් වෙනවා කියලත් කිව්වා. ඒ විතරක් නෙවෙයි තව ටික දවසකින් මගේ අනික් පුතාත් මැරෙනවා කියලා කිව්වා. කියපු විදිහටම වැඩි දවසක් යන්න කලින් මගේ අනික් පුතත් මැරුණා.”

කාලයක් යන විට ආග්බූලාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන ජෝන්ව මුණගැසුණා. මළ අයගේ තත්වය ගැන ඔහු බයිබලයෙන් ඉතා නිවැරදිව ආග්බූලාට පැහැදිලි කළා. එදා සිට ආග්බූලා සිතන විදිහ වෙනස් වුණා.

මළවුන්ගේ තත්වය කුමක්ද?

මළවුන්ගේ තත්වය ගැන නිවැරදිව පැවසිය හැක්කේ කාටද? කිසිම මිනිසෙකුට ඒ ගැන නිවැරදිව පවසන්න බැහැ. නමුත් “ස්වර්ගයෙහි හා පොළොවෙහි දෘශ්‍යමාන මෙන්ම අදෘශ්‍යමාන සියල්ල” නිර්මාණය කළ යෙහෝවා දෙවිට නම් මළවුන්ගේ තත්වය ගැන නිවැරදිව පැවසිය හැකියි. (කොලොස්සි 1:16) යෙහෝවා දෙවි ස්වර්ගයේ ජීවත් වීමට දේවදූතයන්වත් පොළොවේ ජීවත් වීමට මිනිසුන්ව සහ සතුන්වත් නිර්මාණය කළා. (ගීතාවලිය 104:4, 23, 24) ඒ නිසා මේ සියලුදෙනාගේ ජීවිත රඳා පවතින්නේ යෙහෝවා දෙවි මතයි. (එළිදරව් 4:11) එසේනම් මළවුන්ගේ තත්වය ගැන යෙහෝවා දෙවි පවසන්නේ කුමක්ද කියා බයිබලයෙන් සලකා බලමු.

මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒවට දෙවි පැවසුවේ ඔවුන් අකීකරු වුණොත් ඔවුන්ට මරණය අද්දකින්න සිදු වන බවයි. (උත්පත්ති 2:17) මිය ගිය පසු ඔවුන් “දූවිල්ලටම හැරී යන්නෙහිය” කියාත් දෙවි පැවසුවා. (උත්පත්ති 3:19, නව ලොව පරිවර්තනය, NW) ඒ අනුව කෙනෙක් මිය ගිය පසු ඔහු දූවිල්ලට හැරී යන අතර නොනැසී පවතින ආත්මයක් කියා දෙයක් ඉතිරි වන්නේ නැහැ.

ආදම් සහ ඒව හිතා මතාම දෙවිට අකීකරු වූ නිසා ඔවුන්ට මරණ දණ්ඩනය හිමි වුණා. නමුත් මුලින්ම මිය ගියේ ඔවුන් දෙදෙනා නොවෙයි. ඔවුන්ගේ පුත්‍රයෙකු වූ ආබෙල් ඔවුන් දෙදෙනාට පෙර මිය ගියා. ඔහු මිය ගියේ ඔහුගේ වැඩිමල් සහෝදරයා වූ කායින් ඔහුව ඝාතනය කළ නිසයි. (උත්පත්ති 4:8) මේ සිදුවීමෙන් පසු මිය ගිය ආබෙල් නැවත පැමිණ තමාගෙන් පළි ගනියි කියා කායින් භය වුණාද? නැහැ. ඒ වෙනුවට ඔහු භය වුණේ ජීවතුන් අතර සිටින කෙනෙක් තමාට දඬුවම් කරයිද කියායි.—උත්පත්ති 4:10-16.

එම සිදුවීමෙන් සියවස් ගණනාවකට පසුව ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ යෙරුසලමේ උපත ලැබූ යේසුස්ව දැක බලා ගැනීමට පැමිණියා. ඔවුන් හෙරෝද් රජ වෙතට ගොස් “යුදෙව්වරුන්ගේ රජ” උපත ලබා තිබෙන්නේ කොතැනකද කියා ඔහුගෙන් විමසුවා. වෙනත් රජෙකු උපත ලබා ඇති බව ඇසීමෙන් කුපිත වූ හෙරෝද් රජ බෙත්ලෙහෙමේ සිටි අවුරුදු දෙකට අඩු සෑම පිරිමි දරුවෙකුවම ඝාතනය කිරීමට නියෝග කළා. මේ අවස්ථාවේදී දේවදූතයෙක් පැමිණ යෝසෙප්ට පැවසුවේ මරියාව සහ දරුවාව රැගෙන ‘ඊජිප්තුවට පලා යන්න’ කියායි.—මතෙව් 2:1-16.

හෙරෝද් රජගේ මරණින් පසුව දේවදූතයා නැවතත් යෝසෙප් වෙත පැමිණියා. ඔහු යෝසෙප්ට පැවසුවේ ‘කුඩා දරුවාගේ ජීවිතය නසන්න සෙවූ අය මිය ගොස්’ ඇති නිසා නැවත දරුවාවත් රැගෙන ඊශ්‍රායෙලයට යන්න කියායි. (මතෙව් 2:19, 20) හෙරෝද් රජ මිය ගොස් සිටි නිසා ඔහුට නැවතත් යේසුස්ට හිරිහැර කිරීමට නොහැකි බව දේවදූතයා මෙන්ම යෝසෙප්ද හොඳින් දැන සිටියා. නමුත් හෙරෝද් රජගේ පුත්‍රයා වූ ආකෙලාවුස් ජීවත්ව සිටි නිසා ඔහු යම් කරදරයක් කරයි කියා සිතූ යෝසෙප් ආකෙලාවුස්ගේ පාලන ප්‍රදේශයට නොගොස් ගලීලයේ පදිංචි වුණා.—මතෙව් 2:22.

අපි මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් පැහැදිලි වන්නේ මිය ගිය අයට බිය වීමට කිසිම හේතුවක් නැති බවයි. එසේනම් ආග්බූලා සහ අනිකුත් අය අද්දුටු දේවලින් ඔප්පු වන්නේ කුමක්ද?

“භූතයෝ”

යේසුස් පොළොවේ සිටි කාලයේදී ඔහුට භූතයන්ව මුණගැසුණා. ඔවුන් යේසුස්ව හැඳින්වූයේ “දෙවිගේ පුත්‍රයා” ලෙසයි. මෙම භූතයන් මිය ගිය අයගේ ආත්ම නොවන බව යේසුස් හොඳින් දැන සිටියා.—මතෙව් 8:29-31; 10:8; මාක් 5:8.

දෙවිට කීකරු වූ සහ අකීකරු වූ දේවදූතයන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ අවස්ථාවේදී දෙවි ඔවුන්ව ඒදන් උයනෙන් පිටමං කළා. ඉන්පසු නැවතත් ඔවුන්ට ඒදන් උයනට ඇතුල් වීමට නොහැකි වන ලෙස උයනට ඇතුල් වන ස්ථානයේ දේවදූතයන් දෙදෙනෙකුව තැබුවා. (උත්පත්ති 3:24) පෙනෙන ආකාරයට දේවදූතයන්ව මිනිසුන්ගේ නෙත ගැටුණු මුල්ම අවස්ථාව මෙයයි.

කාලයත් සමඟම දේවදූතයන් මිනිස් වෙස් ගෙන පොළොවට පැමිණියා. නමුත් ඔවුන් එසේ පැමිණියේ යෙහෝවා දෙවිගේ අනුමැතිය ඇතුව නොවෙයි. ඒ වෙනුවට ඔවුන් ස්වර්ගයේ “තමන්ගේ නියමිත වාසස්ථානය” අතහැර පොළොවට පැමිණියේ පොළොවේ ජීවත් වූ රූමත් කාන්තාවන්ව විවාහ කරගෙන තමන්ගේ ආශාවන් සන්සිඳුවා ගැනීමටයි. (යූද් 6) මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට දාව උපන් දරුවන් දරුණු යෝධයන් වූ අතර ඔවුන්ව හැඳින්වූයේ නෙෆිලිම්වරුන් ලෙසයි. මේ යෝධයන් සහ මිනිස් වෙස් ගෙන පැමිණි දේවදූතයන් නිසා පොළොව ප්‍රචණ්ඩත්වයෙන් සහ අනාචාරයෙන් පිරුණා. (උත්පත්ති 6:1-5) නමුත් යෙහෝවා දෙවි මේ තත්වයට නිමාවක් ගෙන ඒම සඳහා ජලගැල්මක් ඇති වීමට සැලැස්සුවා. ජලගැල්මෙන් පොළොවේ සිටි සියලුම දුෂ්ට මිනිසුන් සහ යෝධයන් මිය ගියා. නමුත් මිනිස් වෙස් ගෙන පැමිණි දේවදූතයන්ට සිදු වූයේ කුමක්ද?

ජලගැල්ම නිසා මිනිස් වෙස් අතහැර නැවතත් ස්වර්ගයට යෑමට මෙම දේවදූතයන්ට සිදු වුණා. නමුත් යෙහෝවා දෙවි ඔවුන්ට මුලින් පවරා තිබූ සේවා ප්‍රස්තාව නැවත ලබා දුන්නේ නැහැ. (යූද් 6) ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ “පව් කළ දේවදූතයන්ට දඬුවම් කිරීමෙන් දෙවි නොවැළකී, ඔවුන්ව ටාටරස්හි හෙළා, විනිශ්චය පිණිස වෙන් කර තැබීමට ඝන අන්ධකාර වළවල්වලට භාර දුන්නේය” කියායි.—2 පේතෘස් 2:4.

ටාටරස් යනු සැබෑ ස්ථානයක් නොවේ. ඊට තිබෙන්නේ සංකේතාත්මක අර්ථයක්. ඉන් අදහස් වන්නේ කලින් දේවදූතයන්ව සිටි එම භූතයන්ට දැඩි සීමා තහංචි පනවා තිබීමයි. ඒ නිසා දැන් මෙම භූතයන්ට මිනිස් වෙස් ගැනීමට හැකියාවක් නැහැ. නමුත් ඔවුන්ට තවමත් විශාල බලයක් තිබෙන නිසා මිනිසුන්ට හා සතුන්ට බලපෑම් කිරීමට ඔවුන්ට හැකියි. (මතෙව් 12:43-45; ලූක් 8:27-33) එමෙන්ම ඔවුන් මිය ගිය අයගේ ආත්ම ලෙස පැමිණ මිනිසුන්ව රවටනවා. ඔවුන් එසේ කරන්නේ ඇයි? ඔවුන්ට අවශ්‍ය වන්නේ මිය ගිය අයගේ සැබෑ තත්වය මිනිසුන්ගෙන් සඟවා ඔවුන්ව යෙහෝවා දෙවිගෙන් ඈත් කරන්නයි.

බියෙන් ගොඩ ඒම

කලින් අදහස් දැක්වූ ආග්බූලා මළවුන්ගේ සැබෑ තත්වය සහ භූතයන් ගැන බයිබලයේ සඳහන් දෙය හොඳින් තේරුම්ගෙන තිබෙනවා. ඒ නිසා ඔහු බයිබලය සහ ඒ ආශ්‍රිත පොත් පත් තව තවත් කියවීමට පෙලඹුණා. ආග්බූලාගේ මිය ගිය පුතුන් මිනීමරුවෙකුගේ දාසයන් ලෙස කටයුතු නොකරන බව දැනගැනීම ඔහුට මොන තරම් සහනයක් වන්න ඇද්ද!—යොහන් 11:11-13.

භූතයන් හා සම්බන්ධ ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බව ආග්බූලාට වැටහුණා. ඒ නිසා ඔහු සතුව තිබූ ඒ හා සම්බන්ධ සෑම දෙයක්ම ඔහු විනාශ කළා. (ක්‍රියා 19:19) එසේ කිරීම නිසා මිය ගිය අයගේ ආත්ම ඔහුට හිරිහැර කරයි කියා සමහරුන් ඔහුව භය කළත් ආග්බූලා භය වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු බයිබලයේ සඳහන් මෙම උපදෙස පිළිපැද්දා. ‘දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න. මන්ද, අපට තිබෙන පොරබැදීම දුෂ්ට ආත්ම සමූහයන්ට [එනම් සාතන් ඇතුළු භූතයන්ට] විරුද්ධවයි.’ (එෆීස 6:11, 12) මෙම යුද්ධායුධ කට්ටලයට ඇතුළත් වන්නේ මොනවාද? ඊට අයත් වන්නේ සත්‍යය, ධර්මිෂ්ඨකම, සමාදානයේ ශුභාරංචිය, ඇදහිල්ල සහ දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව වන දේවවචනයයි. මෙම යුද්ධායුධ කට්ටලය ලැබෙන්නේ දෙවිගෙන් නිසා එය ඉතාමත් බලවත්.

ආග්බූලා ගත් ක්‍රියාමාර්ගය නිසා ඔහුගේ ඥාතීන් සහ හිතමිතුරන් ඔහුව කොන් කළා. නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔහුව ආදරයෙන් පිළිගත්තා. ඒ නිසා දැන් ඔහුට හොඳ මිතුරන් බොහෝදෙනෙක් සිටිනවා.

යෙහෝවා දෙවි ළඟදීම දුෂ්ටකම නැති කර භූතයන්ව විනාශ කර දමන බව ආග්බූලා තේරුම්ගෙන තිබෙනවා. (එළිදරව් 20:1, 2, 10) එමෙන්ම “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට” දෙවි නැවතත් ජීවිතය ලබා දීමට නියමිතයි. (යොහන් 5:28, 29) ඒ අය අතර ආබෙල්, හෙරෝද් රජ විසින් නිරපරාදේ ඝාතනය කළ දරුවන් සහ තවත් මිලියන ගණනක් සිටිනවා. ඔවුන් අතර තම පුතුන් තිදෙනාවත් දැකගැනීමට ආග්බූලා සිටින්නේ ඉතාමත් ආශාවෙන්. සමහරවිට ඔබ ප්‍රේම කළ මිය ගිය අයත් ඒ අතර සිටීවි. මිය ගොස් සිටි කාලයේදී ඔවුන්ට කිසිම දෙයක් නොදැනුණු බව ඔවුන් ඔබට පවසයි.

මේ අනුව මළවුන් කෙරෙහි බියක් ඇති කරගැනීමට කිසිම හේතුවක් නැහැ. ඒ වෙනුවට ඔවුන්ව අනාගතයේදී දැක බලා ගැනීමේ ප්‍රීතිමත් බලාපොරොත්තුව ඇතුව සිටින්න ඔබටත් හැකියි. ඒ සඳහා බයිබලය අධ්‍යයනය කරමින් යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම ඉතාමත් වැදගත්. ඔබ මේ වන විටත් මායා බන්ධන ක්‍රියාවල සුළු වශයෙන් හෝ නිරත වෙනවා නම් ඒවා සම්පූර්ණයෙන්ම අතහැර දමන්න. ඉන්පසු “දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම” පැළඳගෙන භූතයන්ගෙන් ආරක්ෂා වීමට පියවර ගන්න. (එෆීස 6:11) ඒ සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා. ඔවුන් තම ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත ඔබ සමඟ සාකච්ඡා කරයි.

ජීවත්ව සිටින අයට කරදර කරන්න මළවුන්ට නොහැකි බව තේරුම්ගෙන සිටින ආග්බූලා දැන් භූතයන්ගේ බලපෑම්වලින් මිදී කටයුතු කරනවා. ඒ ගැන ඔහු පවසන දේ බලන්න. “මගේ පුත්තු තුන්දෙනාගේ මරණයට වග කියන්න ඕනෙ කවුද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම යෙහෝවා දෙවිට සේවය කරන්න පටන්ගත්ත දවසේ ඉඳලා මගේ අනික් දරුවන් හත්දෙනාට කරදර කරන්න භූතයන්ට හැකි වෙලා නැහැ.”

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ජීවත්ව සිටින අයට කරදර කරන්න මළවුන්ට නොහැකි බව තේරුම්ගෙන සිටින ආග්බූලා දැන් භූතයන්ගේ බලපෑම්වලින් මිදී කටයුතු කරනවා

[12වන පිටුවේ පින්තූරය]

මිය ගිය ආබෙල් නැවත ඇවිත් තමාගෙන් පළි ගනියි කියා කායින් භය වුණේ නැහැ