Skip to content

පටුනට යන්න

පෘථිවිය බේරාගත හැක්කේ කාටද?

පෘථිවිය බේරාගත හැක්කේ කාටද?

පෘථිවිය බේරාගත හැක්කේ කාටද?

ගගනගාමී එඩ්ගර් මිචෙල් අභ්‍යවකාශයේ සිට පෘථිවිය දුටුවේ “සුදු වෛරම් වැටී ඇති දිදුලන නිල් මැණිකක්” ලෙසයි.

අපේ පෘථිවිය දෙස බැලූ විට යෙහෝවා දෙවි කොතරම් සැලකිලිමත් ලෙස එය නිර්මාණය කර තිබෙනවාද කියා අපට පැහැදිලි වෙනවා. යෙහෝවා දෙවි පෘථිවිය නිර්මාණය කළ අවස්ථාවේදී එය දුටු දේවදූතයන් පවා සතුටින් දෙවිට ප්‍රශංසා කළා. (යෝබ් 38:7) පෘථිවියේ තිබෙන පුදුමාකාර නිර්මාණයන් දැකීමෙන් දෙවිට ප්‍රශංසා කිරීමට ඔබත් නිතැතින්ම පෙලඹෙන්නේ නැද්ද! ජීවීන්ගේ පැවැත්ම උදෙසා පෘථිවියෙන් ඉටු වන මෙහෙවර කියා නිම කළ නොහැකියි. ජීවිතයට අත්‍යවශ්‍ය ඔක්සිජන් වායුව නිෂ්පාදනය වන ආකාරය ගැන මදකට සිතන්න. අවට පරිසරයේ තිබෙන ගස් කොළන් සූර්යාලෝකය, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය උරාගෙන ආහාර නිෂ්පාදනය කරන අතර ඔක්සිජන් වායුවද පරිසරයට මුදාහරිනවා.

පොළොව රැකබලා ගැනීමේ වගකීම යෙහෝවා දෙවි විශ්වාසවන්තව භාර දුන්නේ මිනිසුන්ටයි. (උත්පත්ති 1:28; 2:15) එම පැවරුම හොඳින් ඉටු කිරීමට නම් මිනිසුන්ට පොළොව කෙරෙහි අගයක් මෙන්ම එය රැකබලා ගැනීම සඳහා ආශාවක්ද තිබිය යුතු වුණා. නමුත් මිනිසුන්ට නිදහසේ තීරණ ගැනීමට හැකියාව තිබෙන නිසා ඔවුන් ක්‍රියා කර තිබෙන්නේ නොසැලකිලිමත් හා කෑදර ලෙසයි. එහි ප්‍රතිඵලයක් ලෙස අද මුළු පොළොවම දූෂණය වී තිබෙනවා.

පොළොවට තර්ජනයක් වී ඇති කරුණු කිහිපයක් සලකා බලමු. (1) වනාන්තර එළි පෙහෙළි කිරීම නිසා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ පෘථිවියේ කාලගුණික තත්වයන් වෙනස් වීමයි. (2) අධික ලෙස පළිබෝධනාශක භාවිත කිරීම නිසා ශාකවල ආහාර නිෂ්පාදනයට දායක වන කෘමීන් විනාශ වී යනවා. (3) සීමාව ඉක්මවා මසුන් මැරීම නිසාත් සාගර හා ඇළ දොළ දූෂණය වීම නිසාත් මත්ස්‍ය සම්පත අඩු වී යනවා. (4) මතු පරම්පරාව ගැනවත් නොසිතා පොළොවේ සම්පත් අයුතු ලෙස පරිහරණය කිරීම ගෝලීය උණුසුම ඉහළ යෑමට බලපා තිබෙනවා. පරිසරවේදීන් පවසන ආකාරයට ආක්ටික් හා ඇන්ටාක්ටික් ප්‍රදේශවල අයිස් දිය වීමට හේතුව මෙම ගෝලීය උණුසුමයි.

මිනිසුන් පොළොව විනාශ කිරීම නිසා ස්වභාවික විපත් සිදු වීමේ අවධානම තවත් වැඩි වී තිබෙන බව සමහරුන් පවසනවා. අලංකාරවත් නිවහනක් බඳු මේ පොළොව දෙවි මිනිසුන්ට ලබා දුන්නේ ත්‍යාගයක් ලෙසයි. (උත්පත්ති 1:26-29) නමුත් මිනිසුන් පොළොවට කර තිබෙන දේවලින් පෙනී යන්නේ ඔවුන් ඒ ත්‍යාගය අගය නොකරන බවයි. ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරන මිනිසුන් “පොළොව විනාශ කරන” බව බයිබලයේ පවා සඳහන් වී තිබෙනවා.—එළිදරව් 11:18.

පොළොවත් එහි ඇති සියල්ලත් නිර්මාණය කළ යෙහෝවා දෙවි පොළොව විනාශ කරන අයව නැති කර දමන බව බයිබලයේ පෙන්නුම් කර තිබෙනවා. (ශෙපනියා 1:14; එළිදරව් 19:11-15) මිනිසුන් අතින් මේ පොළොව සම්පූර්ණයෙන් විනාශ වී යෑමට දෙවි කිසිදාක ඉඩ තබන්නේ නැහැ. ඔහු ළඟදීම ඒ වෙනුවෙන් පියවර ගන්නවා. * (මතෙව් 24:44) අපේ පෘථිවිය බේරාගත හැකි එකම තැනැත්තා යෙහෝවා දෙවි පමණයි.

[පාදසටහන]

^ 7 ඡේ. අපි ජීවත් වන්නේ අන්තිම දවස්වල බව තහවුරු කරගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සෝදිසියෙන් සිටින්න! නමැති ප්‍රකාශනය බලන්න.