Skip to content

පටුනට යන්න

සාධාරණ විනිශ්චයකරුවෙක්

සාධාරණ විනිශ්චයකරුවෙක්

දෙවිට ළං වෙන්න

සාධාරණ විනිශ්චයකරුවෙක්

උත්පත්ති 18:22-32

සාධාරණව ක්‍රියා කරන කෙනෙක් වෙතට අප නිතැතින්ම ඇදී යනවා. මිනිසුන් ලෙස අපි සෑම කෙනෙක්ම කැමති වන්නේ අන් අය අපට සාධාරණ ලෙස සලකනවාටයි. නමුත් කනගාටුවට කරුණක් වන්නේ අද ලෝකය පුරාම අසාධාරණය පැතිරී තිබීමයි. කෙසේවෙතත් සෑමවිටම සාධාරණ ලෙස කටයුතු කරන විනිශ්චයකරුවෙක් සිටිනවා. ඒ යෙහෝවා දෙවියි. ඔහු ඉතා සාධාරණ ලෙස තම සේවකයෙකු වූ ආබ්‍රහම් සමඟ කටයුතු කළ අවස්ථාවක් ගැන අපි දැන් සලකා බලමු.—උත්පත්ති 18:22-32. *

යෙහෝවා දෙවි සොදොම් සහ ගොමෝරා යන නගර දෙක විනාශ කිරීමට යන බව ආබ්‍රහම්ට පැවසුවා. එය ඇසීමෙන් එහි සිටි තමන්ගේ ඥාතියෙක් වූ ලොත් ගැන ඔහු භය වුණා. ඒ වගේම එහි තවත් යහපත් අය සිටියොත් ඔවුන්ට සිදු වන්නේ කුමක්ද කියාත් ඔහු කල්පනා කළා. ඒ නිසා ‘ඔබ ඇත්තටම දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්වත් නැති කර දමනවාද? ඒ නුවර තුළ ධර්මිෂ්ඨ මිනිසුන් පනස්දෙනෙක් ඉන්නවා නම් ඔබ ඔවුන් වෙනුවෙන්වත් ඒ නුවරට සමාව දෙන්නේ නැද්ද’ කියා ආබ්‍රහම් යෙහෝවා දෙවිගෙන් ඇසුවා. (උත්පත්ති 18:23, 24, නව ලොව පරිවර්තනය, NW) එවිට ඒ නගර දෙකේ ධර්මිෂ්ඨ මිනිසුන් 50දෙනෙක් සිටියොත් එම නගර විනාශ නොකරන බව දෙවි ඔහුට පැවසුවා. ආබ්‍රහම් පස් වතාවක් දෙවිට කන්නලව් කරමින් එම සංඛ්‍යාව දහය දක්වා අඩු කළා. ඒ සෑම අවස්ථාවකදීම යෙහෝවා දෙවි පැවසුවේ ආබ්‍රහම් පවසන තරම් ධර්මිෂ්ඨ මිනිසුන් සංඛ්‍යාවක් එහි සිටියොත් එම නගර විනාශ නොකරන බවයි.

ඒ අවස්ථාවේදී ආබ්‍රහම් දෙවි සමඟ වාද කළාද? නැහැ. ඔහු කතා කළේ ඉතා බැගෑපත් ලෙසයි. ඒ නිසා ඔහු තමන්ව ‘දූවිලි සහ අළුවලට’ සමාන කළා. යෙහෝවා දෙවි සාධාරණ ලෙස කටයුතු කරන බව ආබ්‍රහම් හොඳින්ම දැන සිටියා. දෙවි දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්ව විනාශ කරයි කියා තමන්ට ‘හිතන්නවත් බැරි’ බව ඔහු දෙවතාවක්ම පැවසුවේ ඒ නිසයි.—උත්පත්ති 18:25NW.

මේ අවස්ථාවේදී ආබ්‍රහම් පැවසූ සෑම දෙයක්ම නිවැරදි වුණාද? නැහැ. සොදොම් සහ ගොමෝරා යන නගර දෙකේ ධර්මිෂ්ඨ මිනිසුන් දසදෙනෙක්වත් සිටියි කියා ආබ්‍රහම් සිතුවත් එය නිවැරදි වුණේ නැහැ. නමුත් දෙවි ‘දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්ව’ විනාශ කරන්නේ නැහැ කියා ඔහු පැවසූ දෙය නම් නිවැරදි වුණා. ඊට හේතුව දෙවි එම නගර දෙක විනාශ කරන විට එහි සිටි ධර්මිෂ්ඨ ලොත්ව සහ ඔහුගේ දියණියන් දෙදෙනාව දේවදූතයන් මාර්ගයෙන් බේරාගනු ලැබීමයි.—2 පේතෘස් 2:7-9.

මෙම සිදුවීමෙන් අපට යෙහෝවා දෙවි ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද? සොදොම් සහ ගොමෝරා යන නගර දෙක විනාශ කිරීමට පෙර දෙවි ඒ ගැන ආබ්‍රහම්ට පැවසුවා. එසේ කිරීමෙන් ආබ්‍රහම්ට ඒ ගැන හැඟෙන ආකාරය පැවසීමට දෙවි අවස්ථාව දුන්නා. ඉන්පසු ඔහු පැවසූ දේවලට යෙහෝවා දෙවි හොඳින් සවන් දුන්නා. (යෙසායා 41:8) මින් පෙනී යන්නේ යෙහෝවා දෙවි කොතරම් නිහතමානී කෙනෙක්ද යන්නයි. එමෙන්ම ඔහු තම සේවකයන්ව වටිනා අය ලෙස සලකන බවත් මින් පැහැදිලි වෙනවා. මේ තරම් සාධාරණ ලෙස ක්‍රියා කරන යෙහෝවා දෙවි කෙරෙහි අපේ සම්පූර්ණ විශ්වාසය තැබීමට අපි පෙලඹිය යුතු නැද්ද!

[පාදසටහන]

^ 1 ඡේ. යෙහෝවා දෙවි ආබ්‍රහම්ට කතා කළේ දේවදූතයෙක් මාර්ගයෙනුයි. තවත් උදාහරණයක් සඳහා උත්පත්ති 16:7-11, 13 බලන්න.

[24වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම් සොදොම් සහ ගොමෝරා නගර දෙක ගැන දෙවිගෙන් විමසුවේ ඉතා බැගෑපත් ලෙසයි