Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

දෙවි සෑම යාච්ඤාවකටම පිළිතුරු දෙනවාද?

දෙවි සෑම යාච්ඤාවකටම පිළිතුරු දෙනවාද?

ප්‍රේමණීය පියෙක් තම දරුවන් පවසන දේවලට උනන්දුවෙන් සවන් දුන්නත් හොඳ හේතු මත ඔවුන් ඉල්ලන සෑම දෙයක්ම ඔහු ලබා දෙන්නේ නැහැ. ඒ හා සමානව යෙහෝවා දෙවිත් අපේ යාච්ඤාවලට කැමැත්තෙන් සවන් දුන්නත් හොඳ හේතු මත අපේ සෑම ඉල්ලීමක්ම ඉටු කරන්නේ නැහැ. දැන් අපි එම හේතු මොනවාද කියා සලකා බලමු.

යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට සවන් දීමට නම් අපි අදාළ කරගත යුතු මූලික ප්‍රතිපත්තියක් බයිබලයේ මෙසේ සඳහන් කර තිබෙනවා. “ඔහු කෙරෙහි අපට තිබෙන විශ්වාසය නම් ඔහුගේ කැමැත්තට අනුව අප ඉල්ලන ඕනෑම දෙයකට ඔහු සවන් දෙන බවයි.” (1 යොහන් 5:14) මින් පැහැදිලි වන්නේ දෙවි අපේ යාච්ඤාවලට සවන් දීමට නම් අපි ඔහුගේ කැමැත්තට එකඟව යාච්ඤා කළ යුතු බවයි. නමුත් ඇතැම් අය ලොතරැයියකින් හෝ ඔට්ටුවකින් දිනුම ලබාගැනීමට දෙවිට යාච්ඤා කරනවා. එවැනි ඉල්ලීම් දෙවිගේ කැමැත්තට එකඟ නැති නිසා දෙවි ඒවාට පිළිතුරු දෙයි කියා සිතන්න බැහැ. බයිබලයේ මෙසේ සඳහන් වෙන්නේ ඒ නිසයි. “ඔබ ඉල්ලන නමුත් ඔබ වැරදි අරමුණු උදෙසා, එනම් ඉඳුරන් පිනවීමට ඇති ඔබේ දැඩි ආශාවන් උදෙසා වැය කිරීමට ඉල්ලන හෙයින් ඔබට ලැබෙන්නේ නැත.”—යාකොබ් 4:3.

තරඟ වදින ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ජයග්‍රහණය පතා යාච්ඤා කළායැයි සිතන්න. එසේත් නැත්නම් යුද්ධයෙන් ජය ලබා දෙන්න කියා සටන් වදින කණ්ඩායම් දෙකක් යාච්ඤා කළායැයි සිතන්න. දෙවි එවැනි යාච්ඤාවලට සවන් දී එක් කණ්ඩායමකට ජය ලබා දෙමින් අනික් කණ්ඩායම පරාජයට පත් කරයි කියා අපට සිතිය හැකිද?

දෙවිගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට යාච්ඤා කළ අයට ඔහු මෙසේ පැවසුවා. “ඔබ මොන තරම් යාච්ඤා කළත් මම සවන් නොදෙන්නෙමි. මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.” (යෙසායා 1:15, නව ලොව පරිවර්තනය, NW) ඒ අනුව දෙවිගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කරන අයගේ යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙන්නේ නැහැ. “නීතියට සවන් නොදෙන අයගේ යාච්ඤාව පවා දෙවිට පිළිකුලක්” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 28:9NW.

කෙසේවෙතත් යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන අයගේ යාච්ඤාවලට දෙවි සෑමවිටම සවන් දෙනවා. ඉන් අදහස් කරන්නේ ඔහු ඒ සෑම යාච්ඤාවකටම පිළිතුරු දෙන බවද? නැහැ. එය තේරුම්ගැනීමට බයිබලයේ සඳහන් සිදුවීම් කිහිපයක් සලකා බලමු.

පුරාණයේ සිටි මෝසෙස්ට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබුණා. ඒ වුණත් ඔහු යාච්ඤා කළ යුතු වුණේ “[දෙවිගේ] කැමැත්තට” එකඟවයි. ඔහු අතින් සිදු වූ වරදක් නිසා ඔහුට පොරොන්දු දේශයට ඇතුල් වීමට ලැබෙන්නේ නැති බව දෙවි පැවසුවා. නමුත් ‘යොර්දාන් ගඟෙන් එගොඩ තිබෙන ඒ සරුසාර දේශයට යන්න මටත් අවස්ථාවක් දෙන්න’ කියා ඔහු යාච්ඤා කළා. ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි ඔහුට පැවසුවේ මෙයයි. “මා සමඟ මේ කාරණය ගැන නැවත කතා නොකරන්න. මගේ තීරණය වෙනස් වෙන්නේ නැත.”—ද්විතීය කතාව 3:25, 26; 32:51NW.

පුරාණයේ විසූ පාවුල්ද ඔහුට පීඩාවක් වූ “මාංසයේ කටුව” ඉවත් කරන්න කියා දෙවිට යාච්ඤා කළා. (2 කොරින්ති 12:7) ඔහු සඳහන් කළ මාංසයේ “කටුව” ඔහුගේ ඇසේ තිබුණු සුව කළ නොහැකි රෝගයක් හෝ ඔහුට පීඩා කළ “බොරු සහෝදරයන්” විය හැකියි. (2 කොරින්ති 11:26; ගලාති 4:14, 15) පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. “එය මා කෙරෙන් ඉවත් වන ලෙස තුන් වතාවක් මම ඒ ගැන ස්වාමීන්ගෙන් බැගෑපත්ව ඉල්ලුවෙමි.” නමුත් දෙවි ඔහුගේ එම ඉල්ලීම ඉටු කළේ නැහැ. එසේ කිරීමෙන් පීඩා හමුවේ පවා දෙවිට සේවය කිරීමට හැකි වන්නේ දෙවිගේ උපකාරයෙන් බව පාවුල්ට දැනෙන්න සැලැස්වුවා. “දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේය” කියා දෙවි ඔහුට පැවසුවේ ඒ නිසයි.—2 කොරින්ති 12:8, 9.

අපට අවශ්‍ය මොනවාද කියා හොඳින්ම දන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා ඔහු නිතරම කටයුතු කරන්නේ අපේ යහපත වෙනුවෙනුයි. නමුත් යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට පිළිතුරු දෙන්න නම් ඒවා ඔහුගේ කැමැත්තට එකඟ විය යුතුයි.