Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

බයිබලයේ කුෂ්ඨ රෝගය ගැන සඳහන් කරන විට එය යොමු දක්වන්නේ මිනිසුන්ට වැලඳෙන ලාදුරු රෝගයට පමණක්ද?

“ලාදුරු” රෝගය වැලඳෙන්නේ බැක්ටීරියා ආසාදනයක් නිසයි. එම බැක්ටීරියාව (Mycobacterium leprae) මුලින්ම හඳුනාගත්තේ වර්ෂ 1873දී වෛද්‍ය ගේහාඩ් හැන්සෙන් විසිනුයි. ශරීරයෙන් බැහැර කරන සොටු දියරවල පවා මෙම බැක්ටීරියාවට දින නවයක් පුරා ජීවත් විය හැකි බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. එමෙන්ම ලාදුරු රෝගීන්ව ළඟින් ඇසුරු කරන අයට ඉක්මනින්ම එය වැලඳිය හැකි බවත් ඇඳුම්වලින් මෙම බැක්ටීරියාව පැතිරිය හැකි බවත් සොයාගෙන තිබෙනවා. වර්ෂ 2007දී ලාදුරු රෝගීන් 2,20,000කටත් වඩා සිටි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා.

අතීතයේ මැද පෙරදිග අයටත් ලාදුරු රෝගය වැලඳුණු බව බයිබලයේ වාර්තා වෙනවා. එවැනි රෝගීන්ව වෙන් කර තබන්න කියා දෙවි විසින් උපදෙස් දී තිබුණා. (ලෙවී කතාව 13:4, 5) සිංහල භාෂාවට පරිවර්තනය වී තිබෙන ‘ලාදුරු’ සහ ‘කුෂ්ඨ’ යන යෙදුම්වල හෙබ්‍රෙව් වචනය වන්නේ සාරත්. එම වචනය සමේ වැලඳෙන රෝගයකට පමණක් සීමා වන්නේ නැහැ. ලාදුරු රෝගය පතුරුවන රෝගකාරකය ගෙයක බිත්ති මත හෝ ඇඳුම් මත පවා තිබිය හැකියි. එවැනි තත්වයන් විස්තර කිරීමේදීත් හෙබ්‍රෙව් භාෂාවෙන් යොදාගෙන තිබෙන්නේ සාරත් යන වචනයයි. මෙම රෝගකාරකය රෙදිවල හෝ සම්වලින් සෑදූ දේවල පැතිරුණොත් ඒවායේ “කොළ පාටට නැත්නම් රතු පාටට හුරු පැල්ලම්” දැකිය හැකි වුණා. සේදීමෙන් පසුවත් එම පැල්ලම් එලෙසම පැවතුණොත් ඒවා පුලුස්සා විනාශ කරන්න කියා දෙවි පැවසුවා. (ලෙවී කතාව 13:47-52) එමෙන්ම නිවසක බිත්ති මත මෙම රෝගකාරකය පැතිරුණොත් “කොළ හෝ රතු පැහැයට හුරු පැල්ලම්” එවැනි ස්ථානවල ඇති වුණා. එවිට එම පැල්ලම් තිබුණු කොටස කඩා නගරයෙන් පිටතට දැමිය යුතු වූ අතර නැවතත් එම පැල්ලම් බිත්තියේ ඇති වුණොත් මුළු නිවසම කඩා දමා ඒ සියල්ල නගරයෙන් පිටතට දැමිය යුතු වුණා. (ලෙවී කතාව 14:33-45) නිවෙස්වල සහ ඇඳුම් මත ඇති වුණ එම රෝගය බොහෝවිට අද අපි හඳුන්වන පිටි පුස් රෝගය විය හැකි බව ඇතැමුන් සිතනවා. නමුත් ඒ ගැන නිශ්චිතවම යමක් පවසන්න බැහැ.

පාවුල් එෆීස නගරයේ දේශනා කරමින් සිටින විට රිදීකරුවන් මහත් කෝලාහලයක් ඇති කළේ ඇයි?

එෆීසයේ සිටි රිදීකරුවන් “ආටෙමිස්ගේ දේවාලය හා සමාන කුඩා රිදී රූප” සෑදීමෙන් විශාල ලාභයක් උපයාගත්තා. ආටෙමිස් දේවතාවියව සලකනු ලැබුවේ දඩයමට, සමෘද්‍රියට හා දරු ප්‍රසූතියට උපකාර කරන දේවතාවියක් ලෙසයි. (ක්‍රියා 19:24) අතීතයේ සිටි අය ඇගේ ප්‍රතිමාව “අහසින් වැටුණු” එකක් ලෙස සැලකූ නිසා එය ආටෙමිස් දේවාලයේ තැබුවා. (ක්‍රියා 19:35) ආටෙමිස් දේවාලය පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙසත් සැලකෙනවා. වාර්ෂිකව මාර්තු සහ අප්‍රියෙල් මාසවල ආටෙමිස් වෙනුවෙන් පැවැත්වූ මංගල්‍යවලට විශාල ජනකායක් පැමිණි අතර විවිධ ප්‍රතිමා අළෙවි කිරීමට මෙය කදිම අවස්ථාවක් වුණා. සිහිවටන ලෙස හෝ ආරක්ෂාවට හෝ නමස්කාරය සඳහා මෙවන් ප්‍රතිමා මිල දී ගැනීමට මිනිසුන් පෙලඹුණා. එෆීසයෙන් සොයාගන්නා ලද පැරණි ලේඛනවල පෙන්නුම් කරන්නේ රන්වලින් හා රිදීවලින් නිමවූ ආටෙමිස් දේවතාවියගේ රූප එම නගරයේ නිෂ්පාදනය වූ බවයි. එමෙන්ම ඒ නගරයේ රිදී කර්මාන්ත පවා තිබූ බව වෙනත් ලේඛනවල පෙන්නුම් කරනවා.

“අතින් සාදන ලද දෙවිවරු” සැබෑ දෙවිවරු නොවන බව පාවුල් එෆීස නගරයේදී පැවසුවා. (ක්‍රියා 19:26) එය ඇසීමෙන් පසු රිදීකරුවන් මහත් කෝලාහලයක් ඇති කළේ එමගින් තම ජීවනෝපායට තර්ජනයක් ඇති වෙයි කියා ඔවුන් බිය වූ නිසයි. එක් රිදීකරුවෙක් වූ දෙමේත්‍රියස් ඒ අවස්ථාවේදී පැවසූ දේ බයිබලයේ වාර්තා වී තිබෙන්නේ මෙසේයි. “එමගින් අපේ මේ වෘත්තිය අපකීර්තියට පත් වීමට පමණක් නොව, උතුම් දේවතාවිය වූ ආටෙමිස්ගේ දේවස්ථානයත් කිසි වැදගැම්මකට නැති යමක් ලෙස සැලකීමටත් ඉඩ ඇත. එපමණක්ද නොව, මුළු ආසියා ප්‍රදේශයත් මුළු ලෝකයත් නමස්කාර කරන ඇගේ මහිමය නැති වී යෑමටද ඉඩ තිබේ.”—ක්‍රියා 19:27.