Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඊශ්‍රායෙල්වරුන් ජ්‍යෝතිශාස්ත්‍රයේ නියැලීම ගැන යෙහෝවා දෙවිට හැඟුණේ කෙසේද?

එක් ශබ්දකෝෂයකට අනුව ජ්‍යෝතිශාස්ත්‍රය යනු “ඉර, හඳ, තරු ඇතුළු ග්‍රහයන්වල චලනයන් නිරීක්ෂණය කර ඒවා මිනිස් ජීවිතවලට බලපාන ආකාරය ගැන අධ්‍යයනය කිරීමයි.” පෘථිවියේ සිටින අයට තාරකා මණ්ඩලවල පිහිටීම කාලයෙන් කාලයට වෙනස් වන බව පෙනෙන්නේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරන නිසයි. පුරාණයේ සිටම මිනිසුන් මෙම වෙනස්කම් ගැන නිරීක්ෂණය කළ අතර ඒවාට විශාල අර්ථයක් තිබෙනවා කියා විශ්වාස කළා.

බොහෝවිට ජ්‍යෝතිශාස්ත්‍රය ඇරඹෙන්න ඇත්තේ පුරාණ බැබිලෝනි නගරයෙන් විය හැකියි. එහි වැසියන් තාරකාවලට හා ග්‍රහවස්තූන්වලට නමස්කාර කළා. පසු කාලයකදී ඊශ්‍රායෙල්වරුන්ද දෙවිට නමස්කාර කරනවා වෙනුවට තාරකාවලට හා ග්‍රහවස්තූන්වලට නමස්කාර කරන්න පටන්ගත්තා. යොෂියා රජ යූදා දේශය පාලනය කළ කාලයේදී ජ්‍යෝතිශාස්ත්‍රය ඒ දේශය පුරාම පැතිරී තිබුණා. නමුත් යෙහෝවා දෙවි තම සෙනඟට ලබා දුන් නීතියේ සඳහන් වූ ආකාරයට ජ්‍යෝතිශාස්ත්‍රයේ නියැලෙන අයව මරා දැමිය යුතු වුණා. ඉන් පැහැදිලි වන්නේ දෙවි එය හෙළාදුටු බවයි.—ද්විතීය කතාව 17:2-5.

යුදයේ පැවති වැරදි ආගමික වත්පිළිවෙත් වන ‘හිරු සහ සඳුට, රාශි චක්‍රයට හා ග්‍රහ තාරකාවලට සුවඳ දුම් ඔප්පු කිරීම’නවතා දැමීමට යොෂියා රජ පියවර ගත්තා. ඔහු එවැනි ක්‍රියා මාර්ගයක් ගත්තේ “මුළු හදවතින්ම දෙවිගේ ආඥා” පිළිපදින්න දැඩි වුවමනාවක් තිබූ නිසයි. (2 රාජාවලිය 23:3-5) අද දිනත්, දෙවිගේ මඟපෙන්වීම් ලබාගෙන ඊට එකඟව දෙවිට නමස්කාර කිරීමට කැමති අය යොෂියා රජුගේ ආදර්ශය අනුගමනය කිරීම වටිනවා.—යොහන් 4:24.

ක්‍රියා 28:11හි සඳහන් කර ඇති “සියුස්ගේ පුත්‍රයෝ” කවුද?

පාවුල් රෝමයට යෑම සඳහා මෝල්ටාවේ සිට පුටෙයෝලිය දක්වා ගමන්ගත් නැවකින් ගිය බව ක්‍රියා පොතේ සඳහන් වෙනවා. ඒ නැවේ “සියුස්ගේ පුත්‍රයෝ” යන නම දරන ලාංඡනය කැටයම් කර තිබුණා. (ක්‍රියා 28:11) අතීතයේ සිටි නාවිකයන් අතර එම ලාංඡනය සුලබව භාවිත වුණා.

ග්‍රීක ප්‍රබන්ධ කථාවල පෙන්නුම් කරන ආකාරයට සියුස් නමැති ග්‍රීක දෙවියාට ලීඩ නමැති දේවතාවිය මාර්ගයෙන් නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබුණා. ඔවුන් දෙදෙනාව කැස්ටර් සහ පොලොක්ස් ලෙස නම් කළා. සියුස්ගේ මේ දරුවන් දෙදෙනාට සුළං සහ මුහුදු රළ පාලනය කිරීමට බලය තිබෙන බව නාවිකයන් විශ්වාස කළා. ඒ නිසා නාවිකයන් ඔවුන්ව දෙවිවරුන් ලෙස සලකා නමස්කාර කළ අතර නැව් ගමන්වලදී ආරක්ෂාව පතා ඔවුන්ට පුද පූජාද පැවැත්වූවා. සාමාන්‍යයෙන් මුහුදේ කුණාටු ඇති වූ විට නැව්වල ඇති කුඹගස් මත කලාතුරකින් යම් විද්‍යුත් ආලෝක ධාරා දකින්න ලැබෙනවා. එය ස්වභාවිකව සිදු වන දෙයක්. එවැනි අවස්ථාවලදී නාවිකයන් සිතුවේ සියුස්ගේ දරුවන් දෙදෙනාගෙන් තමන්ට ආරක්ෂාව ලැබෙන බවට මෙය සාක්ෂියක් කියායි.

ග්‍රීකවරුන් සහ රෝමවරුන් කැස්ටර් සහ පොලොක්ස්ට මහත් භක්තියක් පෙන්නුවා. එක් පැරණි ලියවිල්ලක පෙන්නුම් කරන ආකාරයට උතුරු අප්‍රිකාවේ සයිරීනි දිස්ත්‍රික්කයේ සිටි අයත් මේ දෙදෙනාට නමස්කාර කර තිබෙනවා. සියුස්ගේ පුතුන් දෙදෙනාගේ ලාංඡනය තිබූ පාවුල් ගමන්ගත් නැව පැමිණ තිබුණෙත් සයිරීනියට යාබදව තිබූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටයි.

[9වන පිටුවේ පින්තූරය]

බැබිලෝනිය රජෙක් වන නාසිමාරූටාෂ් තාරකා මණ්ඩල සමඟ සිටින ආකාරය

[9වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු පූර්ව 114-113 අතර කාලයට අයත් ‘සියුස්ගේ පුත්‍රයන්’ දෙදෙනාව පෙන්නුම් කරන කාසියක්

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Stela: Réunion des Musées Nationaux/Art Resource, NY; coin: Courtesy Classical Numismatic Group, Inc./cngcoins.com