Skip to content

පටුනට යන්න

මිනිසුන්ට බිය නොවිය යුත්තේ ඇයි?

මිනිසුන්ට බිය නොවිය යුත්තේ ඇයි?

මිනිසුන්ට බිය නොවිය යුත්තේ ඇයි?

දිනක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් තරුණයෙකුගේ නිවසට ගොඩවැදුණා. ඔවුන් දෙදෙනා බයිබලය යොදාගෙන දුක් වේදනාවලට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි කියා ඒ තරුණයාට පැහැදිලි කළා. ඔහු වසර ගණනාවක් පුරා එම ප්‍රශ්නයට පිළිතුර සොයමින් සිටි නිසා ඒ සාකච්ඡාව ඔහුට බෙහෙවින් ප්‍රයෝජනදායක වුණා. ඒ වන තෙක් බයිබලයේ ඉතා වටිනා තොරතුරු සඳහන් වී තිබෙන බව ඔහු දැන සිටියේ නැහැ.

සාක්ෂිකරුවන් දෙදෙනා පිට වී ගිය පසු නිවසේ අයිතිකාරිය කේන්තියෙන් පැමිණ තරුණයාගෙන් මෙසේ ඇසුවා. “කවුද ඒ ඇවිත් ගියේ?”

බිය වූ ඒ තරුණයා කිසිම පිළිතුරක් දුන්නේ නැහැ.

එවිට ඒ කාන්තාව මෙසේ පැවසුවා. “ඒ අය කවුද කියලා මම දන්නවා. ආයෙත් එහෙම ඒ අයව මේ ගෙදරට ගෙන්නගෙන තිබුණොත් ඔයාට වෙන ගෙයක් හොයාගෙන යන්න වෙයි.”

පසුව ඇය කේන්තියෙන්ම දොර වසා යන්න ගියා.

යේසුස්ගේ අනුගාමිකයන්ට පීඩා පැමිණේ

එම තරුණයා මුහුණ දුන් තත්වය ගැන අපි පුදුම විය යුතු නැහැ. ඊට හේතුව ‘ක්‍රිස්තුස් යේසුස් තුළ දේවභක්තික ජීවිතයක් ගත කරන්න කැමති සියල්ලෝ පීඩා විඳින්නෝය’ කියා බයිබලයේ සඳහන් වී තිබීමයි. (2 තිමෝති 3:12) අතීතයේ සිට මේ දක්වා දෙවිගේ සේවකයන්ට සමාජයෙන් බොහෝ පීඩා පැමිණ තිබෙනවා. බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට ඊට හේතුව “මුළු ලෝකයම දුෂ්ටයාගේ,” එනම් යක්ෂයාගේ බලයට යටත්ව තිබීමයි. එමෙන්ම “යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිල දමන්න සොයමින් ඔබ මොබ ඇවිදින්නේය” කියාත් බයිබලයෙහි සඳහන් වෙනවා. (1 යොහන් 5:19; 1 පේතෘස් 5:8) යක්ෂයා උත්සාහ කරන්නේ මිනිසුන්ව යොදාගෙන දෙවිගේ සේවකයන්ව බියගන්වා ඔවුන්ව අධෛර්යයට පත් කරන්නයි. මෙය ඔහු යොදාගන්නා ඉතා සාර්ථක උපක්‍රමයක්.

යේසුස් කිසිම පාපයක් නොකළ මිනිසෙක් වුණත් ඔහුටත් සමාජයෙන් බොහෝ පීඩා පැමිණියා. ඔහු ඒ ගැන පැවසුවේ මෙසේයි. “ඔවුහු කිසි හේතුවක් නැතුව මට වෛර කළෝය.” (යොහන් 15:25) යේසුස් මිය යෑමට පෙර රාත්‍රියේදී තම අනුගාමිකයන්ට මෙවැනි දෙයක් පැවසුවා. ‘ලෝකය ඔබට වෛර කරනවා නම්, ඔබට වෛර කරන්න කලින් එය මට වෛර කළ බව ඔබ දන්නහුය. දාසයෙකු තම ස්වාමියාට වඩා උතුම් නොවේයයි මා ඔබට පැවසූ වචනය මතක තබාගන්න. ඔවුන් මට පීඩා කළා නම්, ඔවුහු ඔබටත් පීඩා කරන්නෝය.’—යොහන් 15:18, 20.

පීඩාවලට මුහුණ දීමට තිබූ බිය නිසා යේසුස්ගේ කාලයේ සිටි සමහර අය යෙහෝවා දෙවිට සේවය කිරීමට පසුබට වුණා. යේසුස් කෙරෙහි විශ්වාසය තබන අයව යුදෙව් ආගමෙන් කපාහරිනවා කියා පවසමින් ආගමික නායකයන් මිනිසුන්ව බියගැන්වූ නිසා ‘බොහෝ අය යේසුස් ගැන ප්‍රසිද්ධියේ කතා කළේ’ නැහැ. (යොහන් 7:13; 12:42) එසේ බියෙන් යටපත් වූ සෙනඟට යේසුස්ගේ අනුගාමිකයන් වීමට අවස්ථාව ලැබුණේ නැහැ.—ක්‍රියා 5:13.

මුල් සියවසේ යෙරුසලමේ තිබූ ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ට මහත් පීඩාවලට මුහුණ දෙන්න සිදු වූ බව බයිබලයේ පෙන්නුම් කරනවා. (ක්‍රියා 8:1) රෝම පාලනය යටතේ ජීවත් වූ බොහෝ ක්‍රිස්තියානීන් විරුද්ධවාදිකම් රාශියකට මුහුණ දුන් අතර සමාජය ඔවුන්ව සැලකුවේ කිසිම වැදගැම්මකට නැති සෙනඟක් ලෙසයි. ඒ නිසයි රෝම ප්‍රධානීන් කිහිපදෙනෙක් එවකට සිටි ක්‍රිස්තියානියෙක් වූ පාවුල්ට මෙසේ පැවසුවේ. “මේ නිකාය ගැන සැම තැනම විරුද්ධව කතා කරන බව නම් අපි දනිමු.”—ක්‍රියා 28:22.

දෙවිගේ සේවකයන් වීමට ආශාවෙන් සිටින අයව මිනිසුන් ලවා බියගැන්වීමට සාතන් අද දිනත් උත්සාහ කරනවා. ඔවුන්ට පාසැලෙන්, රැකියා ස්ථානයෙන්, අසල්වාසීන්ගෙන් විරුද්ධවාදිකම් සහ අපහාස විඳීමට සිදු විය හැකියි. සමහරවිට තමන්ගේ මිතුරන්ව නැති වෙයි කියා හෝ අන් අයගෙන් ලැබෙන උපකාර නැති වෙයි කියා හෝ ඔවුන් බිය විය හැකියි. ඇතැම් ගම්බද පැතිවල සිටින අය බයිබලය අධ්‍යයනය කිරීමට පසුබට වෙන්නේ තම අස්වැන්න නෙළීමට හෝ සතුන්ව බලාගැනීමට අසල්වාසීන්ගෙන් උපකාර නොලැබෙයි කියා ඔවුන් සිතන නිසයි. මෙවැනි තත්වයන් යටතේ පවා මිලියන ගණන්දෙනා දෙවි කෙරෙහි තම විශ්වාසය තබා ඔහුට සේවය කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේ කිරීම නිසා යෙහෝවා දෙවි ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කර තිබෙනවා.

දෙවිට පමණක් ගරුබිය දැක්විය යුත්තේ ඇයි?

යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න කියා බයිබලයේ සඳහන් වෙනවා. එහි සඳහන් වන ආකාරයට “ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය.” (ගීතාවලිය 111:10, නව ලොව පරිවර්තනය, NW) දේවගරුබිය යනු දෙවිව අසතුටු කිරීමට තිබෙන දැඩි අකමැත්තයි. ඉන් දෙවි කෙරෙහි අනවශ්‍ය බියක් ඇති කරගත යුතු බව අදහස් වෙන්නේ නැහැ. යෙහෝවා දෙවි කෙරෙහි මහත් ප්‍රේමයක් ඇති කරගැනීමටත් දේවගරුබිය උපකාරවත් වෙනවා. අපි යෙහෝවා දෙවිට පමණක් ගරුබිය දැක්විය යුත්තේ ඇයි? ඒ සඳහා හේතු පහක් දැන් අපි සලකා බලමු.

1 යෙහෝවා දෙවි සියලු බලය හිමි තැනැත්තායි. යෙහෝවා දෙවි ඉදිරියේ “සියලු ජාතීන් කලයකින් වැටෙන දිය බිඳක්” හා සමානයි කියා බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 40:15NW) එයින් පෙනී යන්නේ යෙහෝවා දෙවි මිනිසුන්ට වඩා ඉතා බලවත් බවයි. ඒ නිසා ඔහුගේ සෙනඟට විරුද්ධව නැඟී සිට ජය ලැබීමට කිසිම කෙනෙකුට බැහැ. දෙවිගේ සේවකයන්ට “විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (යෙසායා 54:17NW) අපට සදාකාල ජීවනය ලබා දීමට හැකියාව තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණක් නිසා ඔහු ගැන ඉගෙනගැනීමෙන් අපව වැළැක්වීමට අපි කිසිම දෙයකට ඉඩ නොදෙමු.—එළිදරව් 14:6, 7.

2 යෙහෝවා දෙවි අපව ආරක්ෂා කරනවා. “මනුෂ්‍යයන්ට භය වීම උගුලකි. නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරන්නාව ආරක්ෂා කරනු ලැබේ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 29:25NW) මිනිසුන් කරන කියන දේවලට බිය වුණොත් දෙවිට සේවය කිරීමට අපිට නොහැකි වන නිසා එය උගුලක්. නමුත් අපි මිනිසුන්ට බිය විය යුතු නැහැ. මන්ද දෙවිට අපව ආරක්ෂා කළ හැකි බව බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි.”—යෙසායා 41:10NW.

3 දෙවි තම සේවකයන්ට බොහෝ සෙයින් ප්‍රේම කරනවා. “මරණයටවත්, ජීවනයටවත් දේවදූතයන්ටවත්, ආණ්ඩුවලටවත්, දැන් තිබෙන දේවල්වලටවත්, පැමිණෙන්න තිබෙන දේවල්වලටවත්, බලයන්ටවත්, උසටවත්, ගැඹුරටවත්, වෙන කිසි මැවිල්ලකටවත්, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් තුළ තිබෙන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි බව” බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 8:37-39) අපි යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා ඔහුට කීකරු වුණොත් අපට ඔහු සමඟ නොබිඳෙන ප්‍රේමණීය බැඳීමක් ඇති කරගත හැකියි. විශ්වයේ උසස්ම තැනැත්තා සමඟ එවන් කිට්ටු බැඳීමක් ඇති කරගන්න ලැබීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!

4 යෙහෝවා දෙවි අප වෙනුවෙන් කර තිබෙන දේවල් අපි අගය කරනවා. අපට ජීවිතය ලබා දුන්නේ යෙහෝවා දෙවියි. ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය දේවල් සපයනවාට අමතරව ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය සියලුම දේවල්ද ඔහු සපයා තිබෙනවා. අපට සෑම යහපත් දීමනාවක්ම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙනුයි. (යාකොබ් 1:17) යෙහෝවා දෙවිගේ යහපත් ක්‍රියා අගය කළ ඔහුගේ සේවකයෙක් වූ දාවිත් මෙසේ පැවසුවා. ‘යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය. ඔබ බොහෝ දේවල් අප වෙනුවෙන් සැලසුම් කළෙහිය. ඔබ කළ දේවල් ගැන මම කතා කරන්න උත්සාහ කළෙමි. එහෙත් ඒවා ගණන් කිරීමට බැරි තරම් බොහෝය.’—ගීතාවලිය 40:5NW.

5 අපට පීඩා කරන අය පසු කාලයකදී වෙනස් වීමට ඉඩ තිබෙනවා. අන් අය අපට පීඩා කරන විට අධෛර්යයට පත් නොවී සිටීමට අප උත්සාහ කළ යුතුයි. පීඩා මැද පවා අපි දෙවිට ගරුබිය දක්වමින් ක්‍රියා කරනවා දැකීමෙන් අපට පීඩා කරන අය පසු කාලයකදී දෙවිගේ සේවකයන් වීමට ඉඩ තිබෙනවා. උදාහරණයකට යේසුස්ගේ නෑදෑයන් ගැන සලකා බලන්න. මුලදී ඔවුන්ට යේසුස් ගැන පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් යේසුස්ව සැලකුවේ සිහිවිකල් වූ කෙනෙක් ලෙසයි. (මාක් 3:21; යොහන් 7:5) නමුත් යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීමෙන් පසුව ඔවුන්ගෙන් බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවා. යේසුස්ගේ සහෝදරයන් දෙදෙනෙක් වූ යාකොබ් සහ යූද් බයිබල් ලේඛකයන් ලෙසත් කටයුතු කළා. එමෙන්ම ක්‍රිස්තියානීන්ට බොහෝ පීඩා ඇති කළ සාවුල්ද පසු කාලයකදී දෙවිගේ සේවකයෙක් බවට පත් වුණා.—1 තිමෝති 1:13.

අප්‍රිකාවේ ජීවත් වන ඇබෙරැෂ් නම් කාන්තාවගේ අද්දැකීම සලකා බලන්න. ඇය දෙවි පිළිබඳ සත්‍යය දැනගැනීමට උපකාර ඉල්ලා යාච්ඤා කර තිබුණා. පසුව ඇබෙරැෂ් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත් නිසා පවුලේ අයගෙන් සහ ආගමික නායකයන්ගෙන් ඇය බොහෝ පීඩා අද්දැක්කා. ඇගේ ඥාතීන් කිහිපදෙනෙකුත් සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගෙන තිබුණත් පීඩා පැමිණි නිසා ඔවුන් එය නවතා දැමුවා. නමුත් ඇබෙරැෂ් දෙවිගේ උපකාරය ඇතුව දිගටම සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කළා. වැඩි කල් නොගොස් ඇය බව්තීස්ම වුණා. ඇබෙරැෂ් එලෙස ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇගේ ඥාතීන් අටදෙනෙක් නැවතත් බයිබලය පාඩම් කිරීමට පෙලඹුණා.

මිනිසුන්ට භය වෙන්න එපා

මිනිසුන් ගෙනෙන පීඩාවලට භය නොවී සිටීම සඳහා දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීම වැදගත්. ඒ නිසා බයිබලය ගැඹුරින් අධ්‍යයනය කිරීම අතපසු කරන්න එපා. එමෙන්ම හෙබ්‍රෙව් 13:6හි සඳහන් “යෙහෝවා මාගේ උපකාරකයාය. මම භය නොවෙමි. මිනිසාට මට කළ හැක්කේ කුමක්ද” වැනි බයිබල් පද ගැන කල්පනා කිරීමටද කාලය ගන්න. අපි යෙහෝවා දෙවිට පමණක් ගරුබිය දැක්විය යුතු හේතුව සහ එසේ කිරීමේ ඇති වැදගත්කම ගැන අමතක කරන්න එපා.

එමෙන්ම බයිබලයේ ඇති ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගැනීමේ ඇති ප්‍රයෝජන ගැනත් සලකා බලන්න. එමගින් වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට ඔබට හැකි වෙනවා. එමෙන්ම ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දීමටත් අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව සිටීමටත් හැකි වෙනවා. එපමණක්ද නොව විශ්වයේ සිටින බලවත්ම පුද්ගලයා සමඟ ඕනෑම අවස්ථාවක කතා කිරීමටද ඔබට හැකි වෙනවා.

“ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 2:17) දෙවිගේ කැමැත්ත නොකරන අය අනාගතයේදී විනාශ වන නිසා අපි දෙවි කෙරෙහි ගරුබිය ඇතුව කටයුතු කළ යුතුයි. මිනිසුන් ගෙනෙන පීඩාවලට භය නොවී යෙහෝවා දෙවි අපෙන් ඉල්ලා සිටින මේ දේ කිරීමට උත්සාහ කරමු. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.” (හිතෝපදේශ 27:11NW) දෙවිගේ සිත ප්‍රීති කරන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද!

යෙහෝවා දෙවිට ගරුබිය දක්වන අයට ඔහු ලබා දෙන ආශීර්වාද ලබා දීමට වෙන කිසිවෙකුට හැකියාවක් නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව යටහත්පහත්ව සිටීමෙන් වස්තුවද ගෞරවයද ජීවනයද ලැබේ” කියායි.—හිතෝපදේශ 22:4NW.

[14වන පිටුවේ පින්තූරය]

ඇබෙරැෂ් මිනිසුන්ගේ පීඩාවලට බිය නොවූ නිසා ඇගේ ඥාතීන් අටදෙනෙක් නැවතත් බයිබලය පාඩම් කිරීමට පෙලඹුණා