Skip to content

පටුනට යන්න

දෙවි දරුවන්ව මිය යන්න සලස්වා ඔවුන්ව දේවදූතයන් ලෙස ස්වර්ගයට ගන්නවාද?

දෙවි දරුවන්ව මිය යන්න සලස්වා ඔවුන්ව දේවදූතයන් ලෙස ස්වර්ගයට ගන්නවාද?

පාඨකයන් අසයි

දෙවි දරුවන්ව මිය යන්න සලස්වා ඔවුන්ව දේවදූතයන් ලෙස ස්වර්ගයට ගන්නවාද?

දරුවෙකුගේ මරණය නිසා හඬා වැලපෙන දෙමව්පියන්ව සනසවන්න සමහරුන් මෙසේ පැවසීමට ඉඩ තිබෙනවා. “දෙවි ඔයාගේ දරුවාව ගන්න ඇත්තේ දෙවිට තවත් දේවදූතයෙක්ව ඕනෙ වුණ නිසා වෙන්න ඇති.” ඇත්තටම දෙවි දරුවන්ව මිය යන්න සලස්වා ඔවුන්ව දේවදූතයන් ලෙස ස්වර්ගයට ගනියි කියා ඔබ සිතනවාද?

දෙවි එසේ කළොත් ඉන් පෙනී යන්නේ ඔහු හැඟීම් නැති ඉතා කෲර කෙනෙකු බවයි. නමුත් බයිබලයේ සඳහන් වන ආකාරයට දෙවි එවැනි කෙනෙක් නොවෙයි. (යෝබ් 34:10) ප්‍රේමණීය පියෙක් තමන්ගේ පවුලේ සාමාජිකයන් ගණන වැඩි කරගැනීම සඳහා වෙනත් අයගේ දරුවන්ව පැහැරගන්නේ නැහැ. එසේනම් දෙමව්පියන්ට වඩා ප්‍රේමණීය ලෙස ක්‍රියා කරන යෙහෝවා දෙවි කොහොමටවත් එලෙස ක්‍රියා කරයි කියා සිතන්න බැහැ.—1 යොහන් 4:8.

යෙහෝවා දෙවිට ස්වර්ගයේ සිටින දේවදූතයන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ කියා ඔබ සිතනවාද? බයිබලයේ පෙන්නුම් කරන්නේ යෙහෝවා දෙවි කුමක් කළත් එහි කිසිම අඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ කියායි. (ද්විතීය කතාව 32:4) ඒ නිසා ඔහු දේවදූතයන් මිලියන ගණනක් නිර්මාණය කළ විට ඒ සංඛ්‍යාවේ කිසිම අඩුවක් තිබුණේ නැහැ. (දානියෙල් 7:10) කොහොමවුණත් යෙහෝවා දෙවි සීමිත පිරිසක්ව ස්වර්ගයට තෝරාගන්න බව බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් ස්වර්ගයේ සිට පොළොව පාලනය කිරීම සඳහා හවුල් වීමට නියමිතයි. නමුත් ඒ පිරිසට කුඩා දරුවන් ඇතුළත් වෙන්නේ නැහැ.—එළිදරව් 5:9, 10.

දරුවන්ව දේවදූතයන් ලෙස ස්වර්ගයට තෝරාගැනීම යෙහෝවා දෙවිගේ අරමුණට එකඟ නැහැ. මුල් මිනිස් යුවළ වූ ආදම්ව සහ ඒවව නිර්මාණය කළ අවස්ථාවේදී දෙවි ඔවුන්ට පැවසුවේ ‘දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කරවන්න’ කියායි. (උත්පත්ති 1:28, නව ලොව පරිවර්තනය, NW) යෙහෝවා දෙවි අරමුණු කළ ආකාරයට මේ පොළොව පුරාම මිනිසුන් පදිංචි වීමට නම් දරුවන් සිටිය යුතුයි. බයිබලයේ සඳහන් වන්නේ “දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයකි” කියායි. (ගීතාවලිය 127:3NW) යෙහෝවා දෙවි දරුවන්ව උරුමයක් ලෙස දී පසුව නැවත ඒ උරුමය දෙමව්පියන්ගෙන් උදුරාගනියි කියා සිතිය හැකිද? යෙහෝවා දෙවි ඉතා ප්‍රේමණීය දෙවි කෙනෙක් නිසා ඔහු කිසිදාක එවැනි දෙයක් කරන්නේ නැහැ.

දරුවෙක් අකාලේ මිය ගිය විට එය සියලුදෙනා මත ඇති කරන්නේ මහත් වේදනාවක්. මෙවන් අවස්ථාවක වියෝ දුකෙන් පෙළෙන දෙමව්පියන්ට තබාගත හැකි බලාපොරොත්තුව කුමක්ද? යෙහෝවා දෙවි මිය ගොස් ඇති මිලියන ගණන්දෙනාට අනාගතයේදී නැවත ජීවිතය ලබා දී ඔවුන්ට මේ පොළොව මත සතුටින් ජීවත් වීමට අවස්ථාව ලබා දෙන බව බයිබලයේ සඳහන් වෙනවා. එදාට මිය ගොස් ඇති දරුවන්ද නිරෝගි සෞඛ්‍යයකින් නැවත මේ පොළොව මත ජීවත් වීමට නියමිතයි. (යොහන් 5:28, 29) යෙහෝවා දෙවිගේ කැමැත්ත නම් දරුවන් ඔහු පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන සතුටින් ජීවත් වෙනවා දැකීමයි. ඒ කාලයේදී බාල මහලු සියලුදෙනාටම සන්තෝෂයෙන් දෙවිට සේවය කිරීමට අවස්ථාව ලැබෙනවා.