Skip to content

පටුනට යන්න

ත්‍යාගය ලබාගැනීමට අපත් උනන්දු වෙමු

ත්‍යාගය ලබාගැනීමට අපත් උනන්දු වෙමු

ත්‍යාගය ලබාගැනීමට අපත් උනන්දු වෙමු

“තෑග්ග ලබන පිණිස ඉලක්කය ලුහුබඳිමි.”—ෆිලි. 3:14.

1. පාවුල්ට ලැබීමට නියමිතව තිබූ තෑග්ග කුමක්ද?

ටාසස්හි සාවුල් උපත ලැබුවේ උසස් පැළැන්තියකට අයත් පවුලකයි. ඔහු තම ආගම හා එහි නීති පිළිබඳ අධ්‍යාපනය ලැබුවේ ප්‍රසිද්ධ ගුරුවරයෙකු වූ ගමාලියෙල් යටතේයි. (ක්‍රියා 22:3) ඒ නිසා මේ තරුණයාට ලෙහෙසියෙන්ම සමාජයේ ඉහළ තැනකට යන්න අවස්ථාව තිබුණා. නමුත් ඔහු තම ආගම ඇතුළු ඒ සියල්ල අතහැර යේසුස්ගේ අනුගාමිකයෙක් බවට පත් වුණා. එතැන් පටන් ඔහු තමාට නියමිත තෑග්ග ලබාගැනීම සඳහා ඉතා ඕනෑකමින් කටයුතු කළා. එම තෑග්ග නම් අමරණීය ජීවිතයක් ඇතුළු දේවරාජ්‍යයේ රජ කෙනෙකු හා පූජකයෙකු ලෙස සේවය කිරීමේ අගනා වරප්‍රසාදයයි.—මතෙ. 6:10; එළි. 7:4; 20:6.

2, 3. පාවුල්ට ලැබීමට නියමිතව තිබූ තෑග්ග ඔහු සැලකුවේ කෙසේද?

2 එම තෑග්ග ඔහු බොහෝ සේ අගය කළ බව මෙම වචනවලින් පැහැදිලියි. “මට වාසියක්ව තිබුණු දේවල් ක්‍රිස්තුස් උදෙසා අවාසියක්යයි සලකමි. ඇත්තවශයෙන්ම, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ දැනුමෙහි ඇති මහත් වටිනාකම නිසා සියල්ල අවාසියක්යයි සලකමි. ඔහු නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණු ගොඩක්යයි සලකමි.” (ෆිලි. 3:7, 8) අද ලෝකයේ බොහෝදෙනා වැදගත් කියා සලකන්නේ ධනය, බලය, කීර්තිය වැනි දේවලුයි. පාවුල්ටද එවන් දේවල් ලබාගැනීමට හැකියාව තිබුණත් මිනිස්වර්ගයා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ දැනගත් පසු ඔහු ඒ සියල්ල සැලකුවේ කුණු හැටියටයි.

3 එමෙන්ම තම තෑග්ග ලබාගැනීම සඳහා තමා කළ යුත්තේ කුමක්ද කියා ඔහු තේරුම්ගත්තා. ඒ අනුව පහත සඳහන් යේසුස්ගේ වචනවලට එකඟව ඔහු ක්‍රියා කළා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) පාවුල්, දෙවි ගැනත් යේසුස් ගැනත් නිවැරදි දැනුම ලබාගැනීමට උනන්දු වී කටයුතු කළේ සදාකාල ජීවනය ලබාගැනීමට ඔහුට මහත් ආශාවක් තිබූ නිසයි. එය ඔහුගේ මෙම වචනවලින් පැහැදිලියි. “ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවිගේ ස්වර්ගික කැඳවීම නමැති තෑග්ග ලබන පිණිස ඉලක්කය ලුහුබඳිමි.” (ෆිලි. 3:14) ඔව්, ස්වර්ගයෙහි ඔහුට හිමි තෑග්ග ලබාගැනීම සඳහා ඔහු ඒ ගැනම අවධානය යොමු කරමින් කටයුතු කළා.

බොහෝදෙනෙකුට හිමි ත්‍යාගය

4, 5. දෙවිගේ කැමැත්ත කරන මිලියන ගණනකට ලැබෙන ත්‍යාගය කුමක්ද?

4 පාවුල් ඇතුළු තවත් පිරිසක් ස්වර්ගයේ ජීවිතයක් ලැබීමට නියමිතයි. ඊට අමතරව දෙවිගේ කැමැත්ත කරන තවත් මිලියන ගණනකට දෙවි පොළොව මත සදාකාල ජීවනය ලබා දෙනවා. (ගීතා. 37:11, 29) එය ස්ථිර කරමින් යේසුස්ද මෙසේ පැවසුවා. “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.” (මතෙ. 5:5) ගීතාවලිය 2:8හි සඳහන් ලෙස මුළු පොළොවේම ප්‍රධාන උරුමක්කරු වන්නේ යේසුස්. එය පාලනය කරන්නේද ඔහු විසිනුයි. ඊට ඔහු සමඟ තවත් 1,44,000දෙනෙකු හවුල් වෙනවා. (දානි. 7:13, 14, 22, 27) එමෙන්ම පොළොවේ ජීවත් වීමට නියමිත ජනයාව එම රාජ්‍යය මගින් පාලනය කරනවා. ඒ අනුව ‘ලෝකය පිහිටුවීමේ සිට සූදානම් කර තිබෙන’ රාජ්‍යයට ඔවුන්ද උරුමකම් කියන බව පැවසිය හැකියි. (මතෙ. 25:34, 46) ඒ සියලු පොරොන්දු අපට දී තිබෙන්නේ “බොරු කීමට නොහැකි” දෙවි වන යෙහෝවා නිසා ඒ ගැන අපට කිසි සැකයක් නැහැ. (තීත. 1:2) යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන යොෂුවාට තිබූ දැඩි විශ්වාසය ඔහු පැවසූ මේ වචනවලින් පැහැදිලියි. “යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් හැම පොරොන්දුවක්ම ඒ විදිහටම ඉටු කළා.” (යොෂු. 23:14, නව ලොව පරිවර්තනය, NW) අපත් එවැනිම විශ්වාසයක් ඇතුව සිටිමු.

5 ඒ කාලයේදී අද මෙන් අපව කලකිරීමට පත් කරවන කිසිම දෙයක් සිදු වන්නේ නැහැ. යුද්ධ, අපරාධ, දිලිඳුකම, අයුක්තිය, අසනීප හා මරණය තවත් නැහැ. එය අදට වඩා මොන තරම් හොඳ කාලයක් වේවිද! එමෙන්ම ඒ කාලයේදී දෙවි මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරන අතර එහි ජීවත් වන සියලුදෙනාම පරිපූර්ණ සෞඛ්‍යක් භුක්ති විඳීමටද නියමිතයි. ඇත්තෙන්ම ඒ ජීවිතය අපට සිතාගන්නවත් බැරි තරම් සතුටින් පිරි එකක් වන බව ස්ථිරයි. එය මොන තරම් අනර්ඝ ත්‍යාගයක්ද!

6, 7. (අ) පාරාදීස පොළොවේ සිදුවීමට නියමිත දේවල් යේසුස් කලින්ම සිදු කර පෙන්නුවේ කෙසේද? (ආ) නැවත නැඟිටින අයට ඇති බලාපොරොත්තුව කුමක්ද?

6 පාරාදීස පොළොවේදී යේසුස් පුදුමාකාර දේවල් සිදු කිරීමටද නියමිතයි. ඔහු පොළොව මත සිටියදීත් දෙවිගේ බලයේ උපකාරයෙන් එවැනි දේවල් කළා. උදාහරණයකට අවුරුදු 38ක් පුරා අංශභාග රෝගයෙන් පීඩා විඳි කෙනෙකුව සුව කළා. (යොහන් 5:5-9 කියවන්න.) තවත් අවස්ථාවකදී යේසුස් “උපතින්ම අන්ධව සිටි මිනිසෙකුව” සුව කළා. ඔහුව සුව කළේ කවුරුන්ද කියා ඔහුගෙන් විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. “කිසි කෙනෙකු අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව පුරාණයේ සිට කවදාවත් අසා නැත. මේ මිනිසා දෙවි වෙතින් නොපැමිණියේ නම්, ඔහුට කිසිවක් කළ නොහැක.” (යොහ. 9:1, 6, 7, 32, 33) යේසුස් එවන් බලවත් ක්‍රියා කළේ දෙවිගේ බලයේ උපකාරයෙන් බව ඉන් අපට පැහැදිලියි. යේසුස් ඒ මිනිසාව පමණක් නොව ‘සුවයක් අවශ්‍යව සිටි ඕනෑම කෙනෙකුව සුව කළා.’—ලූක් 9:11.

7 එපමණක් නොව ඔහු මිය ගොස් සිටි අයවද නැවත නැඟිටෙව්වා. අවුරුදු 12ක් වයසැති දැරියක්ව නැවත නැඟිටුවීම ඊට එක් උදාහරණයක්. ඇගේ මරණය ගැන දෙමාපියන් සිටියේ දැඩි ශෝකයකිනුයි. නමුත් යේසුස් ඇගේ අත අල්ලා “දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න” කියා පැවසුවා. එකෙණෙහිම ඇය නැඟිට්ටා! ඒ අවස්ථාවේදී ඇගේ දෙමාපියන් සහ හිතමිතුරන් මොන තරම් ප්‍රීති වන්න ඇද්ද කියා ඔබට සිතා ගන්න පුළුවන්ද? (මාක් 5:38-42 කියවන්න.) පාරාදීස පොළොවේදීත් “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක්” සිදු වීමට නියමිතයි. (ක්‍රියා 24:15; යොහ. 5:28, 29) එහිදී බිලියන ගණනක්දෙනා නැවත නැඟිටින විට ඇතිවන ‘ඉමහත් ප්‍රීතිය’ මොන තරම්ද කියා සිතා බලන්න! එසේ නැවත නැඟිටින අයට සදාකාලයටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව තම ජීවිතය අලුතින්ම පටන්ගන්න අවස්ථාව ලැබෙනවා.

8, 9. (අ) දහස් අවුරුදු පාලනයේදී ආදම්ගෙන් මිනිසුන්ට උරුම වූ පාපයට සිදු වන්නේ කුමක්ද? (ආ) නැවත නැඟිටින අයව විනිශ්චය කරන්නේ කුමක් පදනම් කරගෙනද?

8 නැවත නැඟිටින අය මිය යෑමට පෙර කළ සියලු වැරදිවලින් දෙවි ඔවුන්ව නිදහස් කරනවා. (රෝම 6:7) ඒ නිසා ඔවුන්ට සදාකාල ජීවනය ලැබෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ ඔවුන් නැවත නැඟිටුණු දා සිට කරන දේවල් අනුවයි. යේසුස්ගේ ජීවිත පූජාව නිසා දහස් අවුරුදු පාලන කාලයේදී ජීවත් වන ජනයාව ක්‍රමානුකූලව පරිපූර්ණත්වයට ගෙන එනවා. ඒ නිසා ආදම්ගෙන් උරුම වූ පාපයේ සියලුම ප්‍රතිඵලවලින් නිදහසද ඔවුන්ට ලැබෙනවා. (රෝම 8:21) ඒ කාලයේදී “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස” දමනවා. (යෙසා. 25:8NW) “අකුළන ලද ලියවිලි දිගහරිනු” ලැබීමටද නියමිතයි. ඉන් අදහස් කරන්නේ අලුත් මඟ පෙන්වීම් ඔවුන්ට ලැබෙන බවයි. (එළි. 20:12) පොළොව පාරාදීසයක් බවට පත් වෙද්දී එහි ජනයා ‘ධර්මිෂ්ඨකම කුමක්ද කියා තේරුම්ගැනීමට’ නියමිතයි.—යෙසා. 26:9NW.

9 දහස් අවුරුදු පාලන කාලය අතරතුරදී නැවත නැඟිටින අයව විනිශ්චය කරන්නේ ඔවුන් ඒ කාලය තුළ ක්‍රියා කරන ආකාරය අනුවයි. ඒ ගැන එළිදරව් 20:12හි පවසන්නේ මෙයයි. “ඒ ලියවිලිවල ලියා තිබුණු දේවල්වලට අනුව, මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවෝය.” දෙවි ඔවුන්ව විනිශ්චය කරන්නේ ඔවුන් මිය යෑමට පෙර කළ දේවල් පදනම් කරගෙන නොවෙයි. ඉන් පැහැදිලි වන්නේ දෙවි මොන තරම් යුක්තිසහගත, දයානුකම්පිත හා ප්‍රේමයෙන් පිරි කෙනෙක්ද කියායි. තවදුරටත් ඔවුන් අද දින මුහුණපාන වේදනාකාරී සිදුවීම් ‘නැවත කිසි දිනෙක ඔවුන්ගේ මතකයට නැඟෙන්නේ නැහැ.’ (යෙසා. 65:17NW) ඒ වෙනුවට පාරාදීස පොළොවේදී දෙවි ඔවුන්ට ලබා දෙන බහුල සැපයුම්වලින් හා මඟ පෙන්වීම්වලින් විශාල තෘප්තියක් ලබන්න ඔවුන්ට හැකියි. (එළි. 21:4) එමෙන්ම අර්මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වන “මහත් සමූහය” අද්දකින තත්වයද ඒ හා සමානයි.—එළි. 7:9, 10, 14.

10. (අ) පාරාදීස පොළොවේ ජීවිතය කුමනාකාර එකක් වේවිද? (ආ) ත්‍යාගය කෙරෙහි ඔබගේ අවධානය යොමු කර තබාගන්න ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?

10 පාරාදීස පොළොවේ ජීවත් වන අය කෙදිනකවත් අසනීප හෝ මරණයට මුහුණ දෙන්නේ නැහැ. “ඔවුන්ගෙන් කිසිවෙක්, ‘මා ලෙඩින්’ කියා පවසන්නේ” නැහැ. (යෙසා. 33:24NW) ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය දිනෙන් දින අලුත් වන නිසා සෑම දවසකම ඔවුන් අවදි වන්නේ ඉමහත් ප්‍රබෝධයකින් යුතුවයි. එමෙන්ම ඔවුන්ට තෘප්තිය ගෙන දෙන වැඩ ඕනෑ තරම් තිබෙන අතර ඔවුන්ට සෑමවිටම ඇසුරු කරන්න ලැබෙන්නේ අන් අයගේ යහපත ගැන සලකිලිමත් වන අය සමඟයි. ඇත්තෙන්ම අපිට ලැබෙන ත්‍යාගය මොන තරම් වටිනා එකක්ද! යෙසායා 33:24 සහ 35:5-7හි සඳහන් දෙවි ලබා දෙන ආශීර්වාද ඔබත් භුක්ති විඳින ආකාරය ගැන සිතින් මවාගන්න. ඒ තුළින් ඔබගේ ත්‍යාගය කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කර තබාගන්න ඔබට හැකියි.

එය අහිමි කර නොගන්න

11. සලමොන් රජ බවට පත් වූ විට ක්‍රියා කළේ කෙසේද?

11 එම ත්‍යාගය ගැන දැන ගත් දා සිට එය ලබාගැනීම සඳහා අප උනන්දුවෙන් ක්‍රියා කළ යුතුයි. එසේ නොකළොත් එය අපට අහිමි විය හැකියි. සලමොන් රජට එය සිදු වූ ආකාරය සලකා බලන්න. ඔහු රජ වූ විට තම සෙනඟව නිවැරදි ලෙස විනිශ්චය කරන්න අවශ්‍ය ප්‍රඥාව ලබා දෙන්න කියා ඔහු ඉතා යටහත්පහත්ව දෙවිගෙන් ඉල්ලුවා. (1 රාජාවලිය 3:6-12 කියවන්න.) ඊට පිළිතුරු දෙමින් “දෙවි සලමොන්ට ප්‍රඥාවත් තේරුම්ගැනීමේ හැකියාවත් නොඅඩුව” ලබා දුන්නා. “සලමොන්ට තිබුණු ප්‍රඥාව, පෙරදිග රටවල විසූ සියලු වැසියන්ගේ හා ඊජිප්තුවේ විසූ සියලු වැසියන්ගේ ප්‍රඥාව අභිභවා” ගියා.—1 රාජා. 4:29-32NW.

12. ඊශ්‍රායෙලයේ රජ බවට පත්වන අයට දෙවි දී තිබූ අනතුරු ඇඟවීම කුමක්ද?

12 ඊශ්‍රායෙලයේ රජ බවට පත්වන ඕනෑම කෙනෙකුට යෙහෝවා දෙවි දී තිබූ අනතුරු ඇඟවීම මෙයයි. ඔහු “බොහෝ අශ්වයන් එකතු කර නොගැනීමට වගබලා ගත යුතුයි.” එමෙන්ම ඔහු “බොහෝ භාර්යාවන්ව විවාහ කර නොගත යුතුයි. එසේ කළොත් ඔහුගේ සිත දෙවිගෙන් දුරස් වී ඔහු මුළාවීමට ඉඩ තිබෙනවා.” (ද්වි. 17:14-17NW) ඔහු අශ්වයන් වැඩිකර ගතහොත් ඉන් පෙන්වන්නේ ජයග්‍රහනය සඳහා යෙහෝවා දෙවි මත රාඳා සිටිනවා වෙනුවට තම හමුදාව මත රඳා සිටින බවයි. එමෙන්ම බොහෝ භාර්යාවන් පාවා ගැනීමේ ඇති භයානකකම කුමක්ද? ඔවුන්ගෙන් සමහරුන් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන අය විය හැකි නිසා රජුගේ සිත සැබෑ නමස්කාරයෙන් ඉවතට හැරවීමට ඔවුන් ක්‍රියා කළ හැකියි.

13. සලමොන්ට දෙවි ලබා දුන් දේවල් ඔහු අහිමි කරගත්තේ කෙසේද?

13 සලමොන් කළේ යෙහෝවා දෙවි කරන්න එපා කියූ දෙයමයි. ඔහු බොහෝ අශ්වයන් සහ අසරුවන් රැස් කළා. (1 රාජා. 4:26) එමෙන්ම ඔහුට භාර්යාවන් 700ක් හා උපභාර්යාවන් 300ක් සිටියා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් දෙවිගේ නමස්කාරකයන් නොවෙයි. සලමොන් රජ මේ අයගේ ‘බලපෑම්වලට යටත් වෙමින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත් නිසා ඔහු මුළු හදින්ම දෙවිට විශ්වාසවන්තව සිටියේ නැහැ.’ ඒ නිසා යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘මම අනිවාර්යයෙන්ම රාජ්‍යය ඔබේ අතින් උදුරාගන්නෙමි.’—1 රාජා. 11:1-6, 11NW.

14. සලමොන්ගේ හා ඊශ්‍රායෙල්වරුන්ගේ අවිශ්වාසවන්තකම නිසා සිදු වුණේ කුමක්ද?

14 ඊශ්‍රායෙල් ජාතියේ රජ හැටියට සැබෑ දෙවිව නියෝජනය කිරීමට සලමොන්ට තිබූ වරප්‍රසාදය ඔහු අගය කළේ නැහැ. ඔහු බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. කාලයක් ගත වෙද්දී මුළු ඊශ්‍රායෙල් ජාතියම දෙවිට විරුද්ධව කැරලි ගැසුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තු පූර්ව 607දී ඔවුන් විනාශ වුණා. සමහරුන්ව වහල්භාවයට ගෙන ගියා. පසුව නිදහස්ව පැමිණි යුදෙව්වන් සැබෑ නමස්කාරය යළි පිහිටෙව්වත් ඔවුන්ගේ අවිශ්වාසවන්තකම නිසා දෙවිව නියෝජනය කිරීමට තිබූ වරප්‍රසාදය ඔවුන් අහිමි කරගත්තා. ඒ ගැන යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන, එම රාජ්‍යයෙහි පල උපදවන ජාතියකට දෙනු” ලබනවා. ඔහු තවදුරටත් මෙසේද පැවසුවා. “බලන්න! ඔබේ ගෘහය ඔබට අත්හරිනු ලැබේ.” (මතෙ. 21:43; 23:37, 38) ඒ අනුව යේසුස් කී දේ සැබෑ කරමින් ක්‍රිස්තු වර්ෂ 70දී රෝම හමුදාව යෙරුසලම හා එහි තිබූ දේවමාලිගාව විනාශ කළ අතර යුදෙව්වන් බොහෝදෙනෙකුව වහලුන් හැටියට ගෙන ගියා.

15. මුළු අවධානයම ත්‍යාගය වෙත යොමු කර තබා නොගත් අය ගැන උදාහරණ දෙන්න.

15 තමන්ට ලැබී තිබූ ත්‍යාගය කෙරෙහි මුළු අවධානයම යොමුකර තබා නොගත් තවත් කෙනෙක් වන්නේ යූදස් ඉස්කාරියොත්. දෙවිගේ බලයෙන් යේසුස් සිදු කළ බලවත් ක්‍රියා ඔහු දැක තිබුණා. එමෙන්ම ඔහු යේසුස්ගේ ඉගැන්වීම් හොඳින් දැන සිටියා. යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන්ට අයත්ව තිබූ මුදල් පෙට්ටිය භාරව සිටියේ ඔහුයි. නමුත් ‘ඔහු සොරෙකු නිසා එහි දමන ලද මුදල් ගන්න පුරුදුව සිටියා.’ (යොහ. 12:6) මුදල්වලට ඔහු කොතරම් කෑදර පුද්ගලයෙක්ද කියනවා නම් යේසුස්ව රිදී කාසි 30කට නායක පූජකයන්ට පාවා දෙන්නත් ඔහු කැමති වුණා. එයින් පැහැදිලි වන්නේ ඔහු මුළු අවධානය ත්‍යාගය වෙත යොමුකර තබා නොගත් බවයි. (මතෙ. 26:14-16) දැන් අපි තවත් උදාහරණයක් සලකා බලමු. ඒ පාවුල් සමඟ සේවය කළ කෙනෙකු වූ දේමස්. ඔහු ‘පවතින සමාජ ක්‍රමයට ප්‍රේම කළ හෙයින් මා අත්හැර’ ගියා කියා පාවුල් පැවසුවා. ඔහුද ඔහුගේ මුළු අවධානයම ත්‍යාගය වෙත යොමු කර තබා නොගත් බව පැහැදිලියි.—2 තිමෝ. 4:10; හිතෝපදේශ 4:23 කියවන්න.

අපට ඉගෙනගත හැකි පාඩම්

16, 17. (අ) අපගේ විශ්වාසවන්තකම බිඳ හෙළීමට සාතන් වෑයම් කරන්නේ කෙසේද? (ආ) ඒවාට මුහුණ දීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

16 අද සිටින යෙහෝවා දෙවිගේ සියලුම සේවකයන් බයිබලයේ සඳහන් පුද්ගලයන් ගැන බැරෑරුම්ව කල්පනා කර බැලිය යුතුයි. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ඔවුන්ට සිදු වූ මේ දේවල් අපට ආදර්ශයකි. ඒවා ලියනු ලැබුවේ සමාජ ක්‍රමවල අවසානයට පැමිණි අපට අනතුරු ඇඟවීමක් වන පිණිසය.” (1 කොරි. 10:11) අද අප ජීවත් වන්නේ මේ දුෂ්ට සමාජයේ අවසාන දවස්වලයි. ඒ නිසා අප ජීවත් වන ආකාරය ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි.—2 තිමෝ. 3:1, 13.

17 “මේ සමාජ ක්‍රමයේ දෙවි” වන සාතන් නමැති යක්ෂයා “තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව” දන්නවා. (2 කොරි. 4:4; එළි. 12:12) ඒ නිසා අපි දෙවිට දක්වන විශ්වාසවන්තකම බිඳ හෙළීමට සාතන් නොගන්නා උත්සාහයක් නැහැ. ඒ සඳහා ඔහු අපට විරුද්ධව බොරු ප්‍රචාරය කිරීමට ඔහුගේ බලය යටතේ පවතින ජන මාධ්‍යය යොදාගන්නවා. නමුත් එයට මුහුණ දීම සඳහා ඊටත් වඩා ප්‍රබල දෙයක් දෙවි අපට සපයනවා. එය නම් දෙවි ලබා දෙන ‘සාමාන්‍යය ඉක්මවූ බලයයි.’ (2 කොරි. 4:7) මේ බලය නිසා සාතන් අපට ගෙනෙන කුමන පීඩාවකට වුවත් මුහුණ දීමට අපට ශක්තිය ලැබෙනවා. දෙවි ‘තමන්ගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය [දෙවිගේ බලය]’ දෙන නිසා අපි එය නොකඩවා ඉල්ලිය යුතුයි.—ලූක් 11:13.

18. මේ ලෝකය ගැන අප දැරිය යුතු ආකල්පය කුමක්ද?

18 සාතන් සහ ඔහුගේ පැත්තේ සිටින සියලුදෙනා ඉතා ඉක්මනින් විනාශ වීමට නියමිතයි. ඒ වගේම අපට ගැලවීම අත්වන බවත් ස්ථිරයි. එය දැන සිටීම අපට විශාල දිරිගැන්වීමක්. ඒ ගැන බයිබලයේ දෙන සහතිකය මෙයයි. “ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” (1 යොහ. 2:17) ඒ නිසා දෙවි සමග තිබෙන අපගේ මිත්‍රත්වයට වඩා, පහව යෑමට නියමිත මේ ලෝකයේ දේවල් වටිනවා කියා සිතන්න පෙලඹීම මොන තරම් මෝඩකමක්ද! සාතන්ගේ පාලනය යටතේ පවතින මේ මුළු දුෂ්ට සමාජයම ගිලෙමින් පවතින නැවකට සමානයි. ඉන් ආරක්ෂා වීම සඳහා යෙහෝවා දෙවි අපට ආරක්ෂිත බෝට්ටුවක් බඳු ක්‍රිස්තියානි සභාව ලබා දී තිබෙනවා. අප එම සභාව සමඟ කිට්ටුවෙන් ඇසුරු කරමින් දෙවිට සේවය කරනවා නම් මෙම පොරොන්දුව කෙරෙහි අපට විශ්වාසය තබන්න පුළුවන්. දෙවි “දුෂ්ටයන්ව විනාශ කර දමන්නේය. එහෙත් යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෝ පොළොව උරුම කරගන්නෝය.” (ගීතා. 37:9NW) එමනිසා අප සියලුදෙනාම එම අනර්ඝ ත්‍යාගය කෙරෙහි අපගේ සම්පූර්ණ අවධානය යොමු කරමු!

ඔබට මතකද?

• තමාට ලැබීමට නියමිත ත්‍යාගය පාවුල් සැලකුවේ කෙසේද?

• සදාකල් ජීවත් වීමට නියමිත අයව විනිශ්චය කරන්නේ කුමක් පදනම් කරගෙනද?

• ඔබ දැන් කළ යුතු ඥානවන්තම දෙය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12, 13වන පිටුවේ පින්තූරය]

බයිබලයේ සඳහන් අනර්ඝ පොරොන්දු කියවද්දී ඔබට ත්‍යාගය ලැබී ඇති ආකාරය සිතින් මවාගත හැකිද?