Skip to content

පටුනට යන්න

සෝදිසියෙන් සිටින්න!

සෝදිසියෙන් සිටින්න!

සෝදිසියෙන් සිටින්න!

‘සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් යාච්ඤා කිරීම සඳහා අවදිව සිටින්න.’—1 පේතෘ. 4:7.

1. යේසුස්ගේ ඉගැන්වීම්වල තේමාව වූයේ කුමක්ද?

යේසුස්ගේ ඉගැන්වීම්වල තේමාව වූයේ දේවරාජ්‍යයයි. සියලු දේ පාලනය කිරීමට යෙහෝවා දෙවිට ඇති අයිතිය තහවුරු කර ඔහුගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කරන්නේ එම රාජ්‍යය මගිනුයි. ඒ නිසා මෙසේ යාච්ඤා කරන්න කියා යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවා. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” (මතෙ. 4:17; 6:9, 10) වැඩි කල් යන්න මත්තෙන් එම රාජ්‍යය මගින් සාතන්ගේ පාලනය යටතේ පවතින සියලු මිනිස් ආණ්ඩු ඇතුළු මුළු දුෂ්ට සමාජයම විනාශ කිරීමට නියමිතයි. ඉන්පසු මුළු පොළොවම පාලනය කරන්නේ දේවරාජ්‍යය මගිනුයි. දානියෙල් පැවසූ ලෙස “එම රාජ්‍යය ඒ [අද පවතින] සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”—දානි. 2:44, නව ලොව පරිවර්තනය, NW.

2. (අ) යේසුස් රාජ්‍යය බලයෙන් යුක්තව පැමිණ ඇති බව ඔහුගේ අනුගාමිකයන් තේරුම්ගත්තේ කෙසේද? (ආ) එමගින් ඔවුන් තේරුම්ගත්තේ වෙන කුමක්ද?

2 දේවරාජ්‍යයේ පැමිණීම ගැන යේසුස්ගේ අනුගාමිකයන් මහත් උනන්දුවකින් පසු වුණා. ඔවුන් යේසුස්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවේ ඒ නිසයි. ‘ඔබේ පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද කියා අපට කියන්න.’ (මතෙ. 24:3) තමා රාජ්‍යය බලයෙන් යුක්තව පැමිණ සිටින විට එය, පොළොවේ සිටින අයට නොපෙනෙන නිසා ඔහු ඔවුන්ට ලකුණක් දුන්නා. එම ලකුණට විවිධ අංගයන් ඇතුළත් වන අතර ඒවා බයිබලයේ සඳහන් වෙනවා. ඒවා ගැන හොඳ සෝදිසියකින් සිටි අය, යේසුස් ස්වර්ගයෙහි පාලනය ආරම්භ කර ඇති බව තේරුම්ගත්තා. එමෙන්ම අද පවතින දුෂ්ට සමාජයේ “අන්තිම දවස්” ආරම්භ වී ඇති බවද ඔවුන් තේරුම්ගත්තා.—2 තිමෝ. 3:1-5, 13; මතෙ. 24:7-14.

අන්තිම දවස්වලදී සෝදිසියෙන් සිටින්න

3. ක්‍රිස්තියානීන් සෝදිසියෙන් සිටීම අවශ්‍ය ඇයි?

3 තමා රාජ්‍යය බලයෙන් යුක්තව පැමිණ සිටින කාලයේදී පොළොවේ සිදු වන බවට යේසුස් පැවසූ සිද්ධීන් ගැන ඔහුගේ අනුගාමිකයන් සෝදිසියෙන් සිටිය යුතු වුණා. එමෙන්ම මෙම දුෂ්ට සමාජයේ අවසානය ළඟා වෙත්ම ඔවුන් ඊටත් වඩා සෝදිසියකින් සිටීම අවශ්‍යයි. පේතෘස් ඒ ගැන උනන්දු කළේ මෙසේයි. “සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින්, හොඳ සිහිකල්පනාවෙන් සිට, යාච්ඤා කිරීම සඳහා අවදිව සිටින්න.” (1 පේතෘ. 4:7) එමෙන්ම යේසුස්ද පැවසුවේ ‘නිවසෙහි ස්වාමියා [සාතන්ගේ පාලනය යටතේ පවතින දුෂ්ට සමාජය මතට විනිශ්චය ගෙන ඒමට] කොයි වේලේ එන්නේද කියා ඔබ නොදන්නා හෙයින් සෝදිසියෙන් සිටින්න’ කියායි.—මාක් 13:35, 36.

4. යේසුස්ගේ අනුගාමිකයන් හා එසේ නොවන අය අතර ඇති වෙනස කුමක්ද? (කොටුවද බලන්න.)

4 සාතන්ගේ පාලනය යටතේ පවතින සමාජයේ සිටින අය ලෝකයේ සිදු වන දේවල් ගැන සෝදිසියෙන් නොසිටින බව පැහැදිලියි. ඒ නිසා යේසුස් තම පාලනය ස්වර්ගයෙහි ආරම්භ කර ඇති බව තේරුම්ගන්න ඔවුන්ට හැකි වී නැහැ. නමුත් ඔවුන්ට වෙනස්ව යේසුස්ගේ අනුගාමිකයන් සෝදිසියෙන් සිටි නිසා, පළමු ලෝක මහා යුද්ධය සහ ඉන්පසු ඇති වූ සිද්ධීන්වලට හේතුව ඔවුන් අවබෝධ කරගත්තා. ඒ නිසා යේසුස් 1914දී ස්වර්ගයේ තම පාලනය ආරම්භ කළ බව 1925 වන විට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතා පැහැදිලිව තේරුම්ගත්තා. එමෙන්ම සාතන්ගේ දුෂ්ට සමාජයේ අවසාන දවස් ආරම්භ වී ඇති බවත් ඔවුන්ට වැටහුණා. යේසුස් පැවසූ ලෙස අද දින මෙතරම් භයානක දේවල් සිදු වන්නේ ඇයි කියා සමහරුන් නොදන්නා බව ඇත්තයි. නමුත් ඔවුන්ට යම් දෙයක් අවබෝධ වී තිබෙනවා. එනම් පළමුවන ලෝක මහා යුද්ධයට පෙර සිදු වූ සිද්ධීන් හා ඉන්පසුව සිදු වෙමින් පවතින දේවල් අතර විශාල වෙනසක් තිබෙන බවයි.—“කැලඹිලි සහිත යුගයක ආරම්භය” යන කොටුව බලන්න.

5. ක්‍රිස්තියානීන් නොකඩවාම සෝදිසියෙන් සිටිය යුත්තේ ඇයි?

5 වර්ෂ 1914 සිට මේ දක්වා ගත වී ඇති සියවසකට ආසන්න කාලයක් තුළ සිදු වෙමින් පවතින දරුණු දේවලින් ඔප්පු වන්නේ අප ජීවත් වන්නේ අවසාන දවස්වල බවයි. තම දේවදූත සමූහය සමඟ ගොස් සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ කරන්න කියා දෙවි තම පුත්‍රයාට අණ දීමට ඇත්තේද ඉතා කෙටි කාලයයි. (එළි. 19:11-21) එමනිසා ක්‍රිස්තියානීන් වන අපි අවසානය පැමිණෙන තෙක් හොඳ සෝදිසියකින් සිටීම අත්‍යවශ්‍යයි. (මතෙ. 24:42) ඒ අතරතුර අපි, යේසුස්ගේ මඟ පෙන්වීම්වලට අනුව ලෝක ව්‍යාප්තව සිදු කෙරෙන විශේෂ කාර්යයකද හවුල් විය යුතුයි.

ලොව පුරාම සිදු කරන කාර්යයක්

6, 7. මෙම අන්තිම දවස්වලදී රාජ්‍යය පණිවිඩය ප්‍රකාශ කිරීම වර්ධනය වී ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?

6 ලොව පුරා සිදු කරන එම විශේෂ කාර්යයද අවසාන කාලය පිළිබඳ යේසුස් දුන් ලකුණේ එක් අංගයක්. අවසාන කාලයේ සිදු වන විවිධ සිද්ධීන් ගැන විස්තර කරද්දී ලොව පුරා සිදු කරන එම කාර්යය ගැනද යේසුස් අනාවැකියකින් මෙසේ පැවසුවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.”—මතෙ. 24:14.

7 එම අනාවැකිය ඉටු වෙමින් තිබෙන ආකාරය ගැන කල්පනා කර බලන්න. වර්ෂ 1914දී අවසාන දවස් ආරම්භ වූ අතර එවකට රාජ්‍ය ප්‍රචාරකයන් සිටියේ ස්වල්ප දෙනෙක් පමණයි. නමුත් මේ වන විට එම සංඛ්‍යාව විශාල ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා. ලොව පුරා සභා 1,00,000කට වැඩි ප්‍රමාණයක ප්‍රචාරකයන් 70,00,000කට වැඩි දෙනෙක් එම කාර්යයේ හවුල් වෙනවා. ඊට අමතරව තවත් මිලියන දහයක පමණ සංඛ්‍යාවක් 2008 පැවති යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණියා. එය පසුගිය වසරේ පැමිණි සංඛ්‍යාවට වඩා විශාල වැඩි වීමක්.

8. දේවරාජ්‍යය පණිවිඩය ප්‍රකාශ කිරීම නතර කරන්න කිසිවෙකුට නොහැකි වී තිබෙන්නේ ඇයි?

8 අවසානය පැමිණීමට පෙර දේවරාජ්‍යය පිළිබඳව දෙවිගේ සේවකයන් දී තිබෙන්නේ මොන තරම් ප්‍රබල සාක්ෂියක්ද! ඔවුන් එය කර තිබෙන්නේ “මේ සමාජ ක්‍රමයේ දෙවි” ලෙස හඳුන් වන සාතන්ගේ පාලනය පවතින ලෝකයකයි. (2 කොරි. 4:4) එහි තිබෙන සියලුම දේශපාලන, ආගමික හා ව්‍යාපාර ක්‍රම මෙන්ම ප්‍රචාරණ මාධ්‍යයන්ද පවතින්නේ ඔහුගේ බලපෑම යටතේයි. එවන් තත්වයක් යටතේදී පවා දෙවිගේ සෙනඟට එතරම් සාක්ෂියක් දීමට හැකි වී තිබෙන්නේ කෙසේද? ඊට දෙවිගේ උපකාරය ලැබී තිබෙන නිසයි. එම පණිවිඩය ප්‍රකාශ කිරීම නතර කරන්න සාතන් හා ඔහුගේ පැත්තේ සිටින අය කොතරම් උත්සාහ කළත් ඔවුන් අසාර්ථක වී තිබෙනවා.

9. දෙවිගේ සෙනඟ මෙතරම් වර්ධනයක් ලබා තිබීමට හේතුව කුමක්ද?

9 දේවරාජ්‍යය පණිවිඩය ව්‍යාප්ත වෙමින් තිබෙන ආකාරය, දෙවිගේ සෙනඟ ගණනින් වැඩි වෙමින් තිබෙන ආකාරය හා දෙවිගේ අරමුණු පිළිබඳ ඔවුන්ට ඇති අවබෝධය වැඩි වෙමින් තිබෙන ආකාරයත් ඇත්තෙන්ම පුදුමසහගතයි! නමුත් ඔවුන්ට දෙවිගේ මඟ පෙන්වීම හා රැකවරණය නොලැබුණා නම් එවන් වර්ධනයක් අද්දැකිය නොහැකියි. (මතෙව් 19:26 කියවන්න.) දේවරාජ්‍ය පණිවිඩය ප්‍රකාශ කිරීමට කැමැත්තෙන් සිටින අයව දෙවි තම බලය මාර්ගයෙන් ඒ සඳහා පොලඹවනවා. ඒ නිසා ලෝක ව්‍යාප්තව ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය නියමිත කාලයේදී සාර්ථක ලෙස අවසන් වන බව අපට ස්ථිරයි. ‘අවසානය පැමිණෙන්නේ එවිටයි.’ ඒ කාලය ඉතා වේගයෙන් ළඟා වෙමින් තිබෙනවා.

“මහත් පීඩාව”

10. පැමිණීමට නියමිත මහත් පීඩාව යේසුස් විස්තර කළේ කෙසේද?

10 අද පවතින දුෂ්ට සමාජය අවසන් වන්නේ ‘මහත් පීඩාවේදීයි.’ (එළි. 7:14) මහත් පීඩාව කොතරම් කාලයක් පවතිනවාද කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් එහි ඇති භයානකකම යේසුස් මෙසේ විස්තර කළා. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාවක් එවිට වන්නේය.” (මතෙ. 24:21) මෑත කාලවලදීද මිනිසුන් බොහෝ පීඩා අද්දැක තිබෙනවා. උදාහරණයකට දෙවන මහා ලෝක යුද්ධයේදී මිලියන 50ත් 60ත් අතර සංඛ්‍යාවකගේ ජීවිත විනාශ වුණා. නමුත් පැමිණීමට නියමිත මහත් පීඩාව ඊටත් වඩා භයානක එකක්. එය අවසන් වන්නේ අර්මගෙදොන් නමැති යුද්ධයේ ආරම්භයත් සමඟයි. එහිදී යෙහෝවා දෙවි තම දේවදූත සේනාව යොදාගනිමින් මේ පොළොවේ තිබෙන සාතන්ට අයත් සෑම අංශු මාත්‍රයක්ම විනාශ කිරීමට නියමිතයි.—එළි. 16:14, 16.

11, 12. මහත් පීඩාව ආරම්භ වන්නේ කුමන සිද්ධිය සමඟින්ද?

11 මහත් පීඩාව ආරම්භ වන දිනය බයිබලයේ සඳහන් වී නැති වුණත් එහි ආරම්භය හඳුනාගැනීමට උපකාරවත් වන සිද්ධියක් බයිබලයේ සඳහන් වෙනවා. එය නම් දේශපාලන ආණ්ඩු විසින් අසත්‍ය උගන්වන සියලුම ආගම් විනාශ කිරීමට පටන්ගැනීමයි. බයිබලයේ එළිදරව් 17 හා 18වන පරිච්ඡේදවල සඳහන් අනාවැකිවල අසත්‍ය උගන්වන සියලුම ආගම් සමාන කර තිබෙන්නේ ගණිකාවකටයි. ඊට හේතුව ඇය දේශපාලන ආණ්ඩු සමඟ වේශ්‍යාකම් කරන නිසයි. පසුව දේශපාලන ආණ්ඩු “ගණිකාවට වෛර වී, ඇයව පාළු කර, නිර්වස්ත්‍ර කර, ඇගේ මාංසමය කොටස් කා දමා, ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන්” දැවීමට නියමිත බව එළිදරව් 17:16හි සඳහන් වෙනවා.

12 නියමිත කාලය පැමිණෙන විට අසත්‍ය උගන්වන සියලුම ආගම් විනාශ කිරීමට වූ ‘තම අදහස ඉටු කරන පිණිස දෙවි එය ඔවුන්ගේ [පාලකයන්ගේ] සිත් තුළට’ දමනවා. (එළි. 17:17) එමනිසා එය දෙවිම ගෙනෙන විනාශයක් බව පැවසිය හැකියි. ඇයට එවැනි විනාශයක් අත් වීමට හේතුව කුමක්ද? එම ආගම් බොහෝ කාලයක් පුරා දෙවිගේ කැමැත්තට පටහැනි දේවල් මිනිසුන්ට උගන්වා තිබීම හා දෙවිගේ සේවකයන්ට බොහෝ පීඩා කර තිබීමයි. ආගම්වලට එවන් විනාශයක් අත් වීම මේ ලෝකයේ බොහෝදෙනා කොහෙත්ම බලාපොරොත්තු නොවන දෙයක්. නමුත් දෙවිගේ සේවකයන්ට නම් එය පුදුමයට හේතුවක් නොවෙයි. ඔවුන් එය කල්තියාම දැන සිටින අතර අන් අයටද ඒ ගැන දැනුම් දෙනවා.

13. අසත්‍ය උගන්වන ආගම්වල විනාශය ආරම්භ වී ඉක්මනින් අවසන් වන බව බයිබලයේ සඳහන් වන්නේ කෙසේද?

13 ඇත්තෙන්ම අසත්‍ය උගන්වන ආගම්වල විනාශය බොහෝදෙනාට පුදුමයක් වේවි. බයිබලයේ පවසන්නේ ඒ අවස්ථාවේදී “පොළොවේ රජවරු” ඇගේ විනාශය දැක ‘අහෝ, අහෝ, ඔබේ විනිශ්චය එක පැයකින් පැමිණියේය’ කියා ඇය ගැන වැලපෙන බවයි. (එළි. 18:9, 10, 16, 19) එහි සඳහන් “එක පැයකින්” කීමෙන් අදහස් කරන්නේ එම විනාශය ආරම්භ වී ඉක්මනින් අවසන් වන බවයි.

14. සතුරන් තම සේවකයන්ට පහර දෙන්න සූදානම් වන විට දෙවි ක්‍රියාත්මක වන්නේ කෙසේද?

14 දේශපාලනය විසින් අසත්‍ය උගන්වන සියලු ආගම් විනාශ කළායින් පසු සිදු වන්නේ කුමක්ද? ඔවුන්, දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කරමින් සිටින ඔහුගේ සේවකයන්ව විනාශ කිරීමට පැමිණෙනවා. (එස. 38:14-16) ඒ ගැන දෙවිට හැඟෙන ආකාරය ඔහුම මෙසේ පවසා තිබෙනවා. “යමෙක් ඔබට [දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට] හිරිහැර කළොත් එය මා සලකන්නේ මාගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නාක් මෙනි.” (සෙක. 2:8NW) එමෙන්ම ‘මම දැවෙන කෝපයකින් යුතුව කතා කරන්නෙමි. මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත’ කියාද දෙවි පවසා තිබෙනවා. (එසකියෙල් 38:18-23 කියවන්න.) අවසානයේදී පොළොව පුරා සිටින දෙවිගේ සෙනඟට පහර දීමට සතුරන් සූදානම් වන විට දෙවි ඔවුන්ට විරුද්ධව පියවර ගන්නවා. එය මහත් පීඩාවේ අවසාන අදියර වන අර්මගෙදොන් යුද්ධයට මඟ පාදනවා. එහිදී යේසුස්ගේ නායකත්වය යටතේ පැමිණෙන දේවදූත හමුදා විසින් මේ පොළොවේ පවතින සාතන්ට අයත් සියලුම දේවල් විනාශ කිරීමට නියමිතයි.

එය අපට බලපාන අයුරු

15. අවසානය ළඟා වී ඇති බව අපට පැහැදිලි නිසා අප කටයුතු කළ යුත්තේ කෙසේද?

15 මෙම දුෂ්ට සමාජයේ අවසානය වේගයෙන් ළඟා වී තිබෙන බව අපට ඉතා පැහැදිලි නිසා අප කටයුතු කළ යුත්තේ කෙසේද? ඒ ගැන පේතෘස් පවසන්නේ “මේ සියල්ල මෙසේ නැති වී යෑමට තිබෙන හෙයින්, ඔබ කෙබඳු අය විය යුතුදැයි සිතා බලන්න. ශුද්ධ වූ හැසිරීමෙහි නිරත වෙමින්ද දේවභක්තික ක්‍රියා කරමින්ද” සිටින්න කියායි. (2 පේතෘ. 3:11) ඔහු පැවසූ දේට අනුව අපගේ හැසිරීම දෙවි අපගෙන් බලාපොරොත්තු වන ආකාරයට තිබෙනවාද කියා අප කල්පනා කර බැලිය යුතුයි. එමෙන්ම අපි දෙවිට ප්‍රේම කරන, දේවභක්තික ක්‍රියා කරන අයද කියාත් සිතා බැලිය යුතුයි. දේවරාජ්‍ය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කිරීමෙහි අපට හැකි උපරිමයෙන් හවුල් වීමද එවන් ක්‍රියාවලට අයත්. අප කළ යුතු තවත් දෙයක් ගැන පේතෘස් පවසන්නේ මෙසේයි. ‘සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් යාච්ඤා කිරීම සඳහා අවදිව සිටින්න.’ (1 පේතෘ. 4:7) අපි නොකඩවා යාච්ඤා කර ඔහුගේ බලයේ මඟ පෙන්වීම ඉල්ලනවා නම් හා සංවිධානයේ මඟ පෙන්වීම් ලබාගන්නවා නම් ඔහුට තව තවත් ළං වන්න අපට හැකියි.

16. අප දේවවචනයේ සඳහන් උපදෙස්වලට අනුවම කටයුතු කළ යුත්තේ ඇයි?

16 අප ජීවත් වන්නේ ඉතා භයානක කාලයක නිසා දේව වචනයේ සඳහන් මේ උපදෙසට එකඟව කටයුතු කිරීම ඉතා වැදගත්. “ඔබ අඥානයන් මෙන් නොව, ප්‍රඥාවන්තයන් මෙන් ගමන් කිරීමට ඉතා සැලකිලිමත් වන්න. දවස් නපුරු බැවින්, ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.” (එෆී. 5:15, 16) ඔව්, අද දින වෙන කවරදාකටත් වඩා දුෂ්ටකම් වැඩි වී තිබෙනවා. ඒ වගේම දෙවිගේ සේවකයන් දෙවිට කරන සේවයට බාධා කිරීමට හෝ ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට සාතන් බොහෝ දේවල් නිර්මාණය කර තිබෙනවා. නමුත් සාතන් ඇතුළු මෙම දුෂ්ට සමාජයට සිදු වීමට නියමිත දේ අප හොඳින් දන්නවා. ඒ නිසා අපි අපේ දෙවිට දක්වන විශ්වාසවන්තකම දුර්වල කිරීමට කිසි දෙයකට ඉඩ නොදී ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසය තබමු.—1 යොහන් 2:15-17 කියවන්න.

17. නැවත නැඟිටින අයට තම ප්‍රේමණීය අයව හමු වන විට ඇති වන තත්වය කුමක්ද?

17 අර්මගෙදොන්හි දුෂ්ටයන්ගේ විනාශයෙන් පසු “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන්න යන” බව දෙවි පොරොන්දු කර තිබෙනවා. (ක්‍රියා 24:15) ඔව්, යෙහෝවා දෙවිගේ පොරොන්දුවට අනුව ‘නැවත නැඟිටීමක් තිබෙනවා!’ ඒ ගැන කිසිම සැකයක් නැහැ. එමෙන්ම දෙවි, යෙසායා 26:19හි [NW] මෙසේ පවසා තිබෙනවා. ‘මරණ නින්දෙහි සැතපී සිටින ඔබේ සෙනඟ යළි නැඟිටින්නෝය. දූවිල්ලෙහි සැතපී සිටින ජනයෙනි අවදි වී ප්‍රීති ඝෝෂා නඟන්න! දරුවන් බිහි කරන්නාක් මෙන් පොළොව එහි මළවුන්ව පිටතට දමනු ඇත.’ එම අනාවැකියේ පළමු ඉටුවීම සිදු වුණේ දෙවිගේ සෙනඟ බැබිලෝනියේ වහල්භාවයෙන් මිදී තම මව් බිමට නැවත පැමිණි අවස්ථාවේදීයි. නමුත් පාරාදීස පොළොවෙහිදී යෙසායාගේ වචනවල අර්ථයට එකඟවම මිය ගිය අය නැවත නැඟිටින බව අපට ස්ථිරයි. ඔව්, මිය ගිය අය නැවත නැඟිට ඔවුන් ආදරය කළ අය සමඟ එක් වන විට එය මොන තරම් ප්‍රීතිමත් අවස්ථාවක් වේවිද! එම පොරොන්දුවල ඉටුවීම ඇතුළු සාතන්ගේ පාලනය යටතේ පවතින දුෂ්ට සමාජයේ අවසානයට ඇත්තේ තව කෙටි කාලයයි. එමනිසා අප සියලුදෙනාම හොඳ සෝදිසියකින් සිටීම මොන තරම් වැදගත්ද!

ඔබට මතකද?

• යේසුස්ගේ ඉගැන්වීම්වල තේමාව වූයේ කුමක්ද?

• දේවරාජ්‍යය පණිවිඩය ප්‍රකාශ කිරීමේ වර්ධනය පෙනෙන්නේ කුමකින්ද?

• අප මේ කාලයේදී හොඳ සෝදිසියකින් සිටිය යුත්තේ ඇයි?

ක්‍රියා 24:15හි සඳහන් පොරොන්දුව ඔබට ශක්තියක් වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ කොටුව/පින්තූරය]

කැලඹිලි සහිත යුගයක ආරම්භය

වර්ෂ 1914 සිට මේ ලෝකය මොන තරම් වෙනස් වී ඇද්ද කියා ඇමරිකානු ජාතික ඇලන් ග්‍රීන්ස්පෑන් ලියූ පොතක ඔහු මෙසේ සඳහන් කළා. ඇමරිකාවේ ඇති සියලුම බැංකු කටයුතු අධීක්ෂණය කිරීමේ සමාගමේ සභාපති හැටියට ඔහු අවුරුදු 20කට ආසන්න කාලයක් සේවය කළා.

‘වර්ෂ 1914ට පෙර පැවති යුගය යහපත් මිනිස් සමාජයක ලකුණු පහළ වෙමින් තිබුණා. ඒ කාලයේ සෑම මිනිසෙක්ම වාගේ එකිනෙකාට ගෞරවයෙන් සැලකීමට පුරුදුව සිටියා. මිනිසුන්ව වෙළඳ භාණ්ඩ මෙන් සලකමින් වහල් සේවයට විකුණූ යුගය නිමාවට පත් වී තිබුණා. එමෙන්ම අපරාධ හා සැහැසියාව අඩුවෙමින් පවතින බවක් දැකගන්න තිබුණා. දුම්රිය ගමනාගමනය, දුරකථන පහසුකම්, විදුලි බලය හා මෝටර් රථ වැනි අලුත් සොයාගැනීම්ද ආරම්භ වුණා. තවදුරටත් පානීය ජලය, පෝෂ්‍යදායි ආහාර ලබාගැනීමට හැකි වීම හා සනීපාරක්ෂක ක්‍රම දියුණු මට්ටමක පැවතීම නිසා පෙරට වඩා වැඩි කලක් ජීවත් වෙන්න මිනිසුන්ට අවස්ථාව ලැබුණා. එදා සිටි බොහෝදෙනා සිතුවේ ඉදිරියේදී ජීවිතය වඩාත් යහපත් එකක් වේවි කියායි.’

නමුත් ඔවුන් බලාපොරොත්තු නොවූ ලෙස ඒ කාලයේදී පළමු ලෝක මහා යුද්ධය ආරම්භ වුණා. ඒ ගැන ඇලන් ග්‍රීන්ස්පෑන් පවසන්නේ මෙයයි. “පළමුවන ලෝක මහා යුද්ධය, සියල්ල උඩු යටිකුරු කළා. මේ යුද්ධයට පෙර මිනිසුන්ගේ අනාගතය යහපත් එකක් වන බව පෙනෙන ලකුණු තිබුණා. නමුත් ඒ යුද්ධය, වඩා හොඳ ලෝකයක් ගැන මිනිසුන්ට තිබූ බලපොරොත්තු සියල්ල විනාශ කළා. වර්තමානයේ අපට දකින්න තිබෙන්නේත් එවැනිම තත්වයක්. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වැනි තත්වයන් නිසා අනාගතය ගැන බොහෝදෙනෙක් පසුවන්නේ ඉමහත් බියකිනුයි.”

ග්‍රීන්ස්පෑන්, උසස් අධ්‍යාපනය හදාරන කාලයේ සිටි ආර්ථික විශේෂඥයෙක් වූ බෙන්ජමින් එම්. ඇන්ඩස්න්ගේ ප්‍රකාශයක් මෙසේ සිහිපත් කළා. (1886-1949) “පළමුවන ලෝක මහා යුද්ධයට පෙර ජීවත් වූ අයට ඒ කාලය පිළිබඳ බොහෝ ප්‍රීතිමත් මතක සටහන් තිබෙනවා. ඔවුන්ට ඒ කාලයේ විශාල සුරක්ෂිතභාවයක් දැනුණත් එම යුද්ධයේ ආරම්භයත් සමඟම එය ඔවුන්ගෙන් ගිලිහී ගියා.”—Economics and the Public Welfare.

වර්ෂ 2006දී ප්‍රකාශයට පත් කළ ජී.ජේ. මෙයර් විසින් රචිත එක් පොතක ඒ හා සමාන අදහසක් පළ වුණා. “ඉතිහාසයේ සිදුවීම්වලින් දේවල් ‘සම්පූර්ණයෙන්ම වෙනස්’ කර තිබෙනවා. පළමු ලෝක මහා යුද්ධයෙන්ද [1914-1918] සිදු වූයේ එවැනිම දෙයක්. එම යුද්ධය මගින් ඇත්තටම සියලුම දේ වෙනස් කළා. ඒ මගින් දේශ සීමා, ආණ්ඩු, ජාතීන්ගේ අනාගතය පමණක් නොව මිනිසුන්ගේ ආකල්ප හා බලාපොරොත්තු යන මේ සියලු දේත් වෙනස් කළා.”

[18වන පිටුවේ පින්තූරය]

අර්මගෙදොන් යුද්ධයේදී යෙහෝවා දෙවි තම ස්වර්ගික සේනාවන් පිටත් කර යවයි