Skip to content

පටුනට යන්න

ධර්මිෂ්ඨයන් සදාකල්ම දෙවිට ප්‍රශංසා කරයි

ධර්මිෂ්ඨයන් සදාකල්ම දෙවිට ප්‍රශංසා කරයි

ධර්මිෂ්ඨයන් සදාකල්ම දෙවිට ප්‍රශංසා කරයි

‘ධර්මිෂ්ඨ තැනැත්තාව සැමදා මතකයේ රැඳෙන්නේය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේය.’—ගීතා. 112:6, 9, නව ලොව පරිවර්තනය, NW.

1. (අ) ධර්මිෂ්ඨ අයට තිබෙන ප්‍රීතිමත් අනාගතය කුමක්ද? (ආ) අප සලකා බැලීමට නියමිත ප්‍රශ්නය කුමක්ද?

යෙහෝවා දෙවි, ධර්මිෂ්ඨයන් වෙනුවෙන් සූදානම් කර තිබෙන්නේ මොන තරම් මවිතකර අනාගතයක්ද! ඒ කාලයේදී ඔවුන්ට දෙවිගේ අනර්ඝ ගුණාංග ගැන සදාකාලයටම ඉගෙනගැනීමට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම දෙවිගේ පුදුමාකාර නිර්මාණයන් ගැන දැනුම ලබාගැනීමටද ඔවුන්ට ඕනෑ තරම් කාලය තිබෙනවා. ඒ සියලු ආශීර්වාද භුක්ති විඳීමට නම් ඔවුන් දෙවි ඉදිරියෙහි “ධර්මිෂ්ඨ” ලෙස ජීවත් විය යුතුයි. දැන් අප සලකා බැලීමට නියමිත ගීතා. 112වන ගීතිකාවේ අවධාරණය කරන්නේද එයයි. නමුත් අපි පව්කාර මිනිසුන් නිසා ධර්මිෂ්ඨ ලෙස ජීවත් වීමට කොතරම් උත්සාහ කළත් අප අතින් බොහෝ වැරදි සිදු වෙනවා. සමහරවිට බරපතළ පාප පවා සිදු වෙනවා. එසේනම් ශුද්ධ මෙන්ම ධර්මිෂ්ඨ දෙවි යෙහෝවා, අපව ධර්මිෂ්ඨයන් ලෙස සලකන්නේ කෙසේද?—රෝම 3:23; යාකො. 3:2

2. යෙහෝවා දෙවි කළ ආශ්චර්යයන් දෙක කුමක්ද?

2 අපව ධර්මිෂ්ඨ තත්වයකට ගෙන ඒම සඳහා යෙහෝවා දෙවි කදිම සැපයුමක් ලබා දුන්නා. එය නම් යේසුස්ගේ ජීවිත පූජාවයි. ඒ සඳහා දෙවි, යේසුස්ගේ ජීවිතය ආශ්චර්යවත් ලෙස මරියාගේ ගර්භාෂයට මාරු කළා. ඒ තුළින් ඔහු පරිපූර්ණ මිනිසෙකු ලෙස උපත ලැබුවා. (ලූක් 1:30-35) පසුව සතුරන් විසින් ඔහුව මරණයට පත් කළ අවස්ථාවේදී දෙවි තවත් ආශ්චර්යයක් සිදු කරමින් ඔහුව ස්වර්ගයෙහි තේජවත් ජීවිතයකට නැවත නැඟිටෙව්වා.—1 පේතෘ. 3:18.

3. යේසුස්ට අමරණීයභාවය ලබා දෙන්න දෙවි සතුටු වුණේ ඇයි?

3 යේසුස් ස්වර්ගයට ගිය පසු යෙහෝවා දෙවි ඔහුට මින් පෙර නොතිබූ අනර්ඝ යමක් ලබා දුන්නා. එය නම් අමරණීයභාවයයි. (හෙබ්‍රෙ. 7:15-17, 28) යේසුස් දරණු පරීක්ෂා හමුවේ පවා දෙවිට විශ්වාසවන්තව සිටියා. එමගින් ඔහු, සාතන් ගෙනා චෝදනාව එනම් මිනිසුන් දෙවිට සේවය කරන්නේ ඔහුට ඇති ප්‍රේමය නිසා නොව වාසි ප්‍රයෝජන නිසා යන චෝදනාව බොරු බව ඔප්පු කළා. ඒ සියල්ල නිසා ඔහුට අමරණීයභාවය ලබා දෙන්න දෙවි ඉතා සතුටු වුණා.—හිතෝ. 27:11.

4. (අ) ස්වර්ගයට නැවත ගිය පසු යේසුස් අප වෙනුවෙන් කළේ කුමක්ද? ඊට යෙහෝවා දෙවි ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) දෙවි සහ යේසුස් ඔබ වෙනුවෙන් කර ඇති දේවල් ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

4 යේසුස් ස්වර්ගයට ගිය පසු ‘තමාගේ ලේවල’ වටිනාකම දෙවිට ඔප්පු කළා. ඔහු එය කළේ “අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී” සිටීම මගිනුයි. ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි යේසුස්ගේ වටිනා ජීවිත පූජාව ‘අපේ පාප උදෙසා සමඟි කිරීමේ පූජාවක්’ ලෙස පිළිගත්තා. එමනිසා දැන් අපට ‘පවිත්‍ර හෘදය සාක්ෂික්’ ඇතුව “ජීවමාන දෙවි වෙනුවෙන් පරිශුද්ධ සේවයක්” පිරිනමන්න අවස්ථාව උදා වී තිබෙනවා. ඇත්තෙන්ම ගීතා. 112වන ගීතිකාවේ ආරම්භක වදන්වලට එකඟව “ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න” කියා පැවසීමට අපට මොන තරම් හේතු තිබෙනවාද!—හෙබ්‍රෙ. 9:12-14, 24; 1 යොහ. 2:2.

5. (අ) යෙහෝවා දෙවි විසින් අපව ධර්මිෂ්ඨ අය ලෙස ගණන්ගැනීමට නම් අප කුමක් කළ යුතුද? (ආ) බයිබලයේ සඳහන් ගීතා. 111 සහ 112වන ගීතිකා රචනා කර ඇති අනුපිළිවෙළ කුමක්ද?

5 යෙහෝවා දෙවි විසින් අපව ධර්මිෂ්ඨයන් ලෙස සැලකීමට නම් අපි යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීම අත්‍යවශ්‍යයි. එමෙන්ම අපට මෙතරම් ප්‍රේම කළ දෙවිට ස්තුති කරන්නේ නැතුව අප එක දිනක්වත් ගත නොකළ යුතුයි. (යොහ. 3:16) අපි දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමත් එහි ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට දැඩි වෑයමක් දැරීමත් අවශ්‍යයි. ඒ සඳහා කදිම උපදෙස් ගීතා. 112වන ගීතිකාවේ සොයා ගත හැකියි. මෙම ගීතිකාව හා ගීතා. 111වන ගීතිකාව අතර කිට්ටු සම්බන්ධයක් තිබෙනවා. මෙම ගීතිකා දෙකම ආරම්භ වන්නේ “ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න” යන ආරාධනය සමගිනුයි. එමෙන්ම මෙම ගීතිකා දෙකෙහිම පේළි 22ක බැගින් තිබෙන අතර එහි සෑම පේළියක්ම ආරම්භ වන්නේ හෙබ්‍රෙව් හෝඩියේ අකුරු 22හි අනුපිළිවෙළටයි. *

ඔහුට ප්‍රීතිය අත් වෙයි

6. දේවගරුබිය ඇති “තැනැත්තා” ලබන ආශීර්වාද ගැන ගීතා. 112වන ගීතිකාවේ සඳහන් වන්නේ මොනවාද?

6 “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තාගේ ජීවිතය සතුටින් පිරී ඇත. ඔහු දෙවිගේ ආඥා පිළිපැදීමෙන් මහත් ප්‍රීතියක් ලබයි. ඔහුගෙන් පැවතෙන්නෝ පොළොවෙහි බලවත් වන්නෝය. අවංක අයගෙන් පැවතෙන්නන්ට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.” (ගීතා. 112:1, 2NW) ඉහත සඳහන් ලෙස ගීතිකාකරු මුලින්ම “තැනැත්තා” යන ඒක වචනය සඳහන් කරමින් එක් පුද්ගලයෙකු ගැන කතා කළත් පසුව ඔහු දෙවන වගන්තියේ අවසානයෙහි “අවංක අය” යන බහු වචනය යොදා ගෙන තිබෙනවා. ඒ අනුව ගීතා. 112වන ගීතිකාවේ තොරතුරු එක් පුද්ගලයෙකුට පමණක් නොව කණ්ඩායමකටද අදාළ බව පැහැදිලියි. එමෙන්ම උනන්දුවට හේතු වන තවත් කරුණක් වන්නේ පාවුල් ගීතාවලිය 112:9හි සඳහන් දෙය පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට අදාළ කිරීමයි. (2 කොරින්ති 9:8, 9 කියවන්න.) එමෙන්ම අපත් ප්‍රීතිය අත් කරගැනීමට නම් කළ යුතු දේ මෙම ගීතිකාවේහි කදිමට පෙන්වා දෙනවා.

7. දෙවිගේ සේවකයන් දෙවි කෙරෙහි ගරුබියක් ඇතුව සිටීම අවශ්‍ය ඇයි? එමෙන්ම දෙවිගේ ආඥා ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

7 ගීතාවලිය 112:1හි සඳහන් ලෙස ක්‍රිස්තියානීන් “යෙහෝවා දෙවිට ගරුබිය” ඇතුව ජීවත් වන විට ඔවුන් මහත් ප්‍රීතියක් ලබනවා. එමෙන්ම දෙවිව අසතුටු කිරීමට ඔවුන් තුළ තිබෙන ගරුබිය, දුෂ්ට සමාජයෙන් පැමිණෙන බලපෑම්වලට එරෙහිව සිටීමටද ඔවුන්ට උපකාරයක්. බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා දෙවිගේ ආඥාවලට අනුව ජීවත් වීමෙන්ද ඔවුන් “මහත් ප්‍රීතියක්” ලබනවා. එම ආඥාවලට අයත් වන්නේ කුමක්ද? දේවරාජ්‍යයේ පණිවිඩය ප්‍රකාශ කිරීම, දෙවිගේ නමස්කාරකයන් වීමට ජනයාට උපකාර කිරීම හා මෙම දුෂ්ට සමාජයට පැමිණෙන දෙවිගේ විනිශ්චයන් ගැන අනතුරු ඇඟවීමයි.—එස. 3:17, 18; මතෙ. 28:19, 20.

8. (අ) දෙවිගේ සේවකයන් ඔහුගේ අණට කීකරු වීමේ ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද? (ආ) පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ලැබෙන තවත් ආශීර්වාද මොනවාද?

8 ශුභාරංචිය ප්‍රකාශ කිරීමට වූ දෙවිගේ අණට කීකරුවීම නිසා මේ වන විට ඔහුගේ සෙනඟ මිලියන හතක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ ඔවුන් “පොළොවෙහි බලවත්” වී ඇති බවයි. (යොහ. 10:16; එළි. 7:9, 14) එමෙන්ම දෙවි ඔහුගේ අරමුණු ඉටු කරන විට ඔවුන් මොන තරම් “ආශීර්වාද” ලත් සෙනඟක් බවට පත් වෙයිද! පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තු වන අයට “මහත් පීඩාවෙන්” බේරී “ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ” අලුත් පොළොවක ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. එමෙන්ම ඔවුන් තවත් “බොහෝ ආශීර්වාද” ලැබිමටද නියමිතයි. අර්මගෙදොන් යුද්ධයෙන් පසු නැවත නැඟිටින අයව පිළිගැනීමේ අවස්ථාවද ඔවුන්ට ලැබෙනවා. එය මොන තරම් හද දනවන අවස්ථාවක් වේවිද! ඒ කාලයේදී දෙවිගේ ආඥා ඉගෙනගැනීමෙන් “මහත් ප්‍රීතියක්” ලබන අය පරිපූර්ණත්වය කරා ක්‍රමානුකූලව ළඟා වන අතර පසුව “දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස” සදහටම භුක්ති විඳීමට ලැබෙනවා.—2 පේතෘ. 3:13; රෝම 8:21.

ඔහු ධන සම්පත් නැණවත්ව භාවිත කරයි

9, 10. ක්‍රිස්තියානීන් තමන් සතු දැනුම හා ප්‍රඥාව යොදාගෙන තිබෙන්නේ කෙසේද? එමෙන්ම ඔවුන්ගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේ කෙසේද?

9 “වටිනා දේවල්ද වස්තු සම්පත්ද ඔහුගේ නිවසේ තිබෙන්නේය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේය. ඔහු අවංක අය සඳහා අන්ධකාරයේ ආලෝකයක් මෙන් බැබළෙන්නේය. ඔහු කරුණාවන්තය. දයාන්විතය. ධර්මිෂ්ඨය.” (ගීතා. 112:3, 4NW) පුරාණයේ සිටි දෙවිගේ සමහර සේවකයන් බොහෝ ධන සම්පත්වලින් පොහොසත්ව සිටි බව අප දන්නවා. නමුත් අද දින දෙවිගේ සේවකයන්ගෙන් බොහෝදෙනෙක් යේසුස්ගේ කාලයේ සිටි සමහර අය මෙන් දිලිඳු මෙන්ම සමාජය විසින් එතරම් වැදගත් කොට සලකන අය නොවෙයි. (ලූක් 4:18; 7:22; යොහ. 7:49) ධන සම්පත් තිබුණත් නැතත් දෙවිගේ අනුමැතිය තිබෙන අයට යම් ආකාරයකින් පොහොසත් විය හැකියි. එනම් ඔවුන්ට දෙවිගේ ප්‍රඥාවෙන් හා ඔහු පිළිබඳ දැනුමෙන් පොහොසත් විය හැකියි.—මතෙ. 6:20; 1 තිමෝ. 6:18, 19; යාකොබ් 2:5 කියවන්න.

10 අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා වෙනත් බැටළුවන් ඒ ආකාරයෙන් පොහොසත්. නමුත් ඔවුන් එම පොහොසත්කම තමන්ටම තබානොගෙන මේ අඳුරු ලෝකයේ සිටින “අවංක අය සඳහා” ‘ආලෝකයක් මෙන් බැබළීමට’ එය යොදාගන්නවා. ඒ කෙසේද? දෙවිගේ ප්‍රඥාවෙන් හා ඔහු පිළිබඳ දැනුමෙන් ප්‍රයෝජන ලබන්න අන් අයට උපකාර කිරීමෙනුයි. ඒ සඳහා ඔවුන් දේවරාජ්‍යයේ පණිවිඩය ප්‍රකාශ කිරීමෙහි උද්‍යෝගයෙන් හවුල් වෙනවා. එම කාර්යය අඩපණ කිරීමට සතුරන් උත්සාහ කළත් ඒවා අසාර්ථක වී තිබෙනවා. නමුත් විඳදරාගැනීමෙන් යුතුව ඔවුන් කරන එම ධර්මිෂ්ඨ ක්‍රියාවල ප්‍රතිඵල ‘සදහටම පවතිනවා.’ එමෙන්ම ඔවුන් නොකඩවා එසේ කරනවා නම් සදාකල් ජීවත් වීමේ ඔවුන්ගේ අපේක්ෂාවද ‘සදහටම පවතිනවා.’

11, 12. දෙවිගේ සෙනඟ තමන් සතු මිල මුදල් යොදාගන්නා ආකාර මොනවාද?

11 අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා ‘මහත් සමූහයට’ අයත් අය තමන් සතු මිල මුදල්වලින්ද අවශ්‍යතා ඇති අයට උපකාර කර තිබෙනවා. ගීතාවලිය 112:9හි [NW] එවැනි අය ගැන පවසන්නේ මෙලෙසයි.“ඔහු ත්‍යාගශීලීව බෙදා දුන්නේය. ඔහු දිලිඳුන්ට දුන්නේය.” දෙවිගේ සැබෑ නමස්කාරකයන් උපකාර අවශ්‍යව සිටින සෙසු ඇදහිලිවන්තයන්ට මෙන්ම ඔවුන්ගේ අසල්වාසීන්ටද උපකාර කර තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන් එසේ කරන්නේ යම් විපත්වලට මුහුණපාන අයට සහනාධාර ලබා දීමෙනුයි. යේසුස් පැවසූ ලෙස ඔවුන් සතු දීමේ ස්වාභාවය ඔවුන්ට ඉමහත් ප්‍රීතියක් ගෙන දී තිබෙනවා.ක්‍රියා 20:35; 2 කොරින්ති 9:7 කියවන්න.

12 ඊට අමතරව අප අතැති මෙම සඟරාව භාෂා 172කින් පළ කිරීම සඳහා ඔවුන් කොතරම් මුදලක් වැය කර තිබෙනවාද කියා කල්පනා කර බලන්න. එම භාෂා කතා කරන අයගෙන් බහුතරයක් දිලිඳු අයයි. එමෙන්ම මෙම සඟරාවම අන්ධ අයට බ්‍රේල් ක්‍රමයටත් බිහිරි අයට සංඥා භාෂාවෙනුත් ලබා දී තිබෙනවා.

ඔහු කරුණාවන්ත මෙන්ම යුක්තිසහගතයි

13. දීමේ ස්වාභාවය පෙන්වීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තබන්නේ කවුද? එමෙන්ම ඔවුන්ව අනුකරණය කරන්න අපට හැක්කේ කෙසේද?

13 “කරුණාවන්ත තැනැත්තා යහපත්ය. දුප්පතාට ණයට දෙන්නාද යහපත්ය.” (ගීතා. 112:5NW) නැති බැරි අයට උපකාර කරන අයව ඔබ දැක ඇති. නමුත් ඒ සියලුදෙනාම කරුණාවන්ත අය කියා පැවසිය නොහැකියි. සමහරුන් අන් අයට යම් දේවල් ලබා දෙන්නේ තමන්ගේ තත්වය පෙන්වීමටයි. එමෙන්ම අකමැත්තෙන් දෙන අයද සිටිනවා. නමුත් අපව සුළුකොට, වදයක් ලෙස සලකා යමක් දෙනවාට අපි කවුරුත් කැමති නැහැ. යම් කෙනෙක් කරුණාවන්තකමින් පෙලඹී අපට උපකාර කරද්දී එය අපට මොන තරම් සහනයක්ද! යෙහෝවා දෙවි ඒ සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තබන අතර අපට යහපත් දේවල් ලබා දීමෙන් ඔහු සතුටක් ලබනවා. (1 තිමෝ. 1:11; යාකො. 1:5, 17) යේසුස්ද, යෙහෝවා දෙවිගේ කරුණාවන්තකම ඒ ආකාරයටම නිරූපණය කළා. (මාක් 1:40-42) එමනිසා අපත් දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ පුද්ගලයන් වීමට නම් සතුටින් හා කරුණාවන්තකමින් පෙලඹී අන් අයට උපකාර කළ යුතුයි. එය කළ හැකි එක් ආකාරයක් නම් දෙවි පිළිබඳ නිවැරැදි දැනුම අන් අයට ලබා දීමයි.

14. ‘යුක්තිසහගත ලෙස’ කටයුතු කරන්න අපට හැකි ක්‍රම මොනවාද?

14 “ඔහුගේ සෑම ක්‍රියාවක්ම යුක්තිසහගතය.” (ගීතා. 112:5NW) යේසුස් පැවසූ ලෙස විශ්වාස නුවණ ඇති දාස පන්තියද තම ස්වාමියා සන්තක දේවල් රැකබලා ගැනීමේදී යෙහෝවා දෙවිගේ යුක්තිය විදහා පෙන්වනවා. (ලූක් 12:42-44 කියවන්න.) සමහර අවස්ථාවලදී සභාවේ සාමාජිකයෙක් කර ඇති බරපතළ පාපයක් පිළිබඳ කාරණා හසුරුවන්න වැඩිමහල්ලන්ට සිදුවෙනවා. එවන් අවස්ථාවලදී ඔවුන් දෙවිගේ යුක්තියට අනුව කටයුතු කළ යුතුයි. ඒ සඳහා දාස පන්තිය ශුද්ධ ලියවිලි මත පදනම් මඟ පෙන්වීම් ඔවුන්ට ලබා දී තිබෙනවා. එමෙන්ම සියලු සභාවන් තුළ, මිෂනාරි නිවෙස් හා බෙතෙල් ගෘහයන් තුළ කටයුතු සිදු විය යුතු නිසි පිළිවෙළ ගැන බයිබලය මත පදනම් මඟ පෙන්වීම්ද දාස පන්තිය ලබා දෙනවා. දෙවිගේ යුක්තිය ක්‍රියාත්මක කළ යුත්තේ වැඩිමහල්ලන් පමණක් නොවේ. සභාවේ සියලුම සාමාජිකයන් එකිනෙකා සමඟ කටයුතු කරන විටත් අන් අය සමඟ කටයුතු කරන විටත් ව්‍යාපාර කටයුතුවලදීත් යුක්තිසහගතව ක්‍රියා කළ යුතුයි.මීකා 6:8, 11 කියවන්න.

ධර්මිෂ්ඨයාට ලැබෙන ආශීර්වාද

15, 16. (අ) අද දින අසන්නට ලැබෙන නරක ප්‍රවෘත්තිවලින් ධර්මිෂ්ඨයන්ට ඇති වන බලපෑම කුමක්ද? (ආ) දෙවිගේ සේවකයන් අධිෂ්ඨාන කරගෙන සිටින්නේ කුමක් කරන්නද?

15 “ඔහු කිසිදාක නොසෙල්වෙන්නේය. ධර්මිෂ්ඨ තැනැත්තාව සැමදා මතකයේ රැඳෙන්නේය. ඔහු නරක ආරංචියකට බිය නොවන්නේය. ඔහුගේ සිත ස්ථිරය. ඔහු මුළු සිතින්ම යෙහෝවා දෙවි මත රඳා සිටින්නේය. ඔහුගේ සිත සැලෙන්නේ නැත. ඔහු කිසි දෙයකට භය නොවන්නේය. අවසානයේදී, ඔහුගේ සතුරන් වැටී යන හැටි ඔහුට දකින්න ලැබෙන්නේය.” (ගීතා. 112:6-8NW) වර්තමානයේ අප අසන දකින යුද්ධ, ත්‍රස්තවාදී ක්‍රියා, අලුතින් වැලඳෙන ලෙඩ රෝග, යළි හිස ඔසවන වසංගත, අපරාධ, දිලිඳුකම, දරුණු ලෙස සිදු වන පරිසර දූෂණය පෙර කිසිදාකටත් වඩා වැඩි වී තිබෙනවා. දෙවි විසින් ධර්මිෂ්ඨයන් ලෙස සලකන අයත් එවන් ප්‍රවෘත්ති ඇසීමෙන් කනගාටුවට පත් වෙනවා. නමුත් එවැනි ප්‍රවෘත්ති ඇසීමෙන් ඔවුන් අනාගතය ගැන බියෙන් පසු වන්නේ නැහැ. ඊට හේතුව යෙහෝවා දෙවි විසින් නුදුරු අනාගතයේදී මේ පොළොව පාරාදීසයක් කරන බව ඔවුන්ට විශ්වාස නිසයි. ඒ නිසා ඔවුන්ගේ සිත ‘ස්ථිරව’ තිබෙන අතර ඔවුන් අසන ප්‍රවෘත්ති නිසා ‘සැලෙන්නේ නැහැ.’ ඔවුන් යම් විපත්වලට මුහුණ දුන්නත් දෙවිගේ උපකාරය ඇතුව ඒවාට සාර්ථකව මුහුණ දෙන්න ඔවුන් දන්නවා. එමෙන්ම යෙහෝවා දෙවි ඔහුගේ ධර්මිෂ්ඨ සේවකයන්ට කිසිදා ‘සෙලවෙන්න නොදෙන’ අතර ඔවුන්ට විඳදරාගන්න අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.—ෆිලි. 4:13.

16 දෙවිගේ සේවකයන්ට ඔවුන්ගේ සතුරන්ගේ වෛරය හා බොරු ප්‍රචාරයන් විඳදරාගන්න සිදු වී තිබෙනවා. නමුත් එවැනි දේවල් මගින් ඔවුන්ව නිහඬ කිරීමට සතුරන්ට හැකි වී නැහැ. දෙවිගේ සේවකයන් අධිෂ්ඨාන කරගෙන සිටින්නේ නොකඩවාම ශුභරංචිය ප්‍රකාශ කිරීමට හා දෙවිගේ නමස්කාරකයන් වීමට මිනිසුන්ට උපකාර කිරීමටයි. ඔවුන් මුහුණ දෙන පීඩා ඉදිරියේදී තව තවත් වැඩිවන බව ඔවුන් දන්නවා. සාතන් ලොව පුරා සිටින දෙවිගේ සේවකයන්ට විරුද්ධව ගෙනෙන පීඩා උත්සන්න කරන්නේ, ඔහු මාගොග් දේශයේ ගොග් ලෙස කටයුතු කරන අවස්ථාවේදීයි. එවිට අපට විරුද්ධ වන සියල්ලන් සම්පූර්ණ පරාජයක් ලබන ආකාරය අපට දැකගත හැකියි. අවසානයේදී දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් වෙනවා දකින්න ලැබීම අපට මොන තරම් වරප්‍රසායක්ද!—එස. 38:18, 22, 23.

ඔහු තේජවත් වෙයි

17. ධර්මිෂ්ඨයන් ‘තව තවත් තේජවත් වන්නේ’ කෙසේද?

17 සාතන්ගෙන්වත් ඔහුගේ පැත්ත ගන්න මිනිසුන්ගෙන්වත් කිසිම බාධාවකින් තොරව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න ලැබෙන ඒ කාලය මොන තරම් ප්‍රීතිමත් එකක් වේවිද! ඔව්, දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන සියල්ලන්ට ලැබෙන සදාකාලික ත්‍යාගය එයයි. “ඔහුට ඇති අධිකාරිය තව තවත් තේජවත් වන්නේය” කියා දෙවි ඔවුන්ට පොරොන්දු වී තිබෙන නිසා ඔවුන් කවදාවත් පරාජයකට මුහුණ දෙන්නේ නැහැ. (ගීතා. 112:9NW) ඒ වෙනුවට යෙහෝවා දෙවි තම සතුරන්ව විනාශ කර සියලු දේ පාලනය කිරීමට තමන්ට ඇති අයිතිය තහවුරු කරන විට ධර්මිෂ්ඨයන් එම ජයග්‍රහණය ගැන ප්‍රීති ඝෝෂා පවත්වයි.

18. ගීතාවලිය 112:10හි වදන් ඉටු වන්නේ කෙසේද?

18 “දුෂ්ටයා එය දැක කැලඹෙන්නේය. ඔහු තරහින් දත්මිටිකන්නේය. අවසානයේදී දුෂ්ටයා පහ වී යන්නේය. දුෂ්ටයන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේය.” (ගීතා. 112:10NW) එම වදන්වලට එකඟව දෙවිගේ සෙනඟට ඊර්ෂ්‍යා කරන, වෛර කරන සියල්ලන්ම “පහ වී” යාමට නියමිතයි. අප ප්‍රකාශ කරන දේවරාජ්‍යයේ පණිවිඩය නතර කිරීමට ඔවුන් ආශාවෙන් සිටියත් ‘මහත් පීඩාවේදී’ ඔවුන්ගේ ඒ ආශාවත් සමඟ ඔවුන්ද විනාශ වීමට නියමිතයි.—මතෙ. 24:21.

19. අපට ස්ථිර විය හැක්කේ කුමක් ගැනද?

19 මහත් පීඩාවෙන් බේරී ජීවත් වන අය අතර ඔබත් සිටීවිද? නැත්නම් මෙම දුෂ්ට සමාජය පහවීමට පෙර මහලු වයස නිසා හෝ බරපතළ අසනීපයක් නිසා ඔබගේ ජීවිතය අහිමි වුණොත් පාරාදීස පොළොවෙහි නැවත නැඟිටීම ලබන “ධර්මිෂ්ඨ” අය අතර ඔබත් සිටීවිද? (ක්‍රියා 24:15) ඊට ඔව් කියා පිළිතුරු දීමට නම් අප සියලුදෙනාම යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි දිගටම ඇදහිල්ල තැබීමත් ගීතා. 112වන ගීතිකාවේ සඳහන් ධර්මිෂ්ඨ “තැනැත්තා” මෙන් දිගටම යෙහෝවා දෙවිව අනුකරණය කිරීමත් අවශ්‍යයි. (එෆීස 5:1, 2 කියවන්න.) යෙහෝවා දෙවි එවැනි අයව සැමදා “මතකයේ” තබාගන්නා අතර ඔවුන් කරන සෑම ධර්මිෂ්ඨ ක්‍රියාවක්ම ඔහුට ඉතා අනර්ඝයි. එමෙන්ම දෙවිගේ ප්‍රේමයද ඔවුන්ට නොමඳව ලැබෙන බව ස්ථිරයි.—ගීතා. 112:3, 6, 9.

[පාදසටහන]

^ 5 ඡේ. බයිබලයේ සඳහන් ගීතා. 111 සහ ගීතා. 112වන ගීතිකා දෙක අතර සම්බන්ධයක් තිබෙනවා. එය රචනා කර ඇති ආකාරය මෙන්ම එහි අඩංගු තොරතුරු මගින්ද ඒ බව පැහැදිලියි. බයිබලයේ ගීතා. 112වන ගීතිකාවේ සඳහන් කර තිබෙන්නේ ගීතා. 111වන ගීතිකාවෙහි දක්වා තිබෙන දෙවිගේ ගුණාංග අනුකරණය කරන දේවගරුබිය ඇති කෙනෙකු ක්‍රියා කරන ආකාරය ගැනයි. ගීතාවලිය 111:3, 4 හා ගීතාවලිය 112:3, 4 යන පදවලින් ඒ බව වඩාත් පැහැදිලි වෙනවා.

ඔබට මතකද?

• “යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න” අපට තිබෙන හේතු මොනවාද?

• ක්‍රිස්තියානීන් සතුටු වන්නේ වර්තමානයේ සිදු වන කුමන වර්ධනය ගැනද?

• යෙහෝවා දෙවි සතුටු වන්නේ කුමන ආකාරයේ දීමේ ස්වභාවයක් තිබෙන අයටද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ පින්තූරය]

දෙවි විසින් අපව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගැනීමට නම් අප යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබිය යුතුයි

[26වන පිටුවේ පින්තූර]

සතුටු සිතින් ලබාදෙන සම්මාදම්, සහනාධාර කටයුතු සඳහා මෙන්ම බයිබලය මත පදනම් පොත් පත් නිපදවීම සඳහා යොදාගන්නවා