Skip to content

පටුනට යන්න

අලුත් උපත එය තීරණය කරන්නේ කවුද?

අලුත් උපත එය තීරණය කරන්නේ කවුද?

අලුත් උපත එය තීරණය කරන්නේ කවුද?

‘ඔබ සැමෝම අලුත් උපතක් ලැබිය යුතුයි’ කියා යේසුස් පැවසුවා. (යොහන් 3:7) එක් එක් පුද්ගලයා ‘අලුත් උපතක්’ ලැබීමට තීරණය කරන බව ඉන් අදහස් කරනවාද? අද සිටින සමහර ක්‍රිස්තියානි ආගමික නායකයන් යේසුස් පැවසූ දෙය අණක් ලෙස සලකමින්, තම අනුගාමිකයන්ද තනි තනිවම ‘අලුත් උපතක්’ ලැබීමට උත්සාහ කළ යුතුයි කියා පවසනවා. ඔවුන් පවසන ආකාරයට ‘අලුත් උපතක්’ ලැබීමට තීරණය කරන්නේ එක් එක් පුද්ගලයායි. නමුත් එය යේසුස් නිකදේමස්ට පැවසූ දෙයට එකඟද?

යේසුස් පැවසූ වදන් හොඳින් සලකා බැලීමේදී පෙනී යන්නේ අලුත් උපත ලැබීම යමෙක් තනියෙන් ගන්නා තීරණයක් නොවන බවයි. එසේ පවසන්නේ ඇයි? “අලුත් උපතක් ලැබීම”ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක යෙදුම “ඉහළින් උපත ලැබිය යුතුයි” කියාද පරිවර්තනය කළ හැකියි. * ඒ අනුව අලුත් උපත සිදු කරන්නේ ‘ඉහළ’ හෙවත් ‘ස්වර්ගයේ’ සිටින දෙවි විසිනුයි. (යොහන් 19:11; යාකොබ් 1:17) මේ අනුව අලුත් උපතක් ලැබීම තීරණය කරන්නේ කවුද? එය තීරණය කරන්නේ එක් එක් පුද්ගලයා නොව දෙවි විසින් බව පැහැදිලියි.—1 යොහන් 3:9.

කලින් ඡේදයේ සඳහන් “ඉහළින්” යන වචනයෙන් තවදුරටත් පැහැදිලි වන්නේ යමෙක් තමන්ගේ තීරණයකට අනුව අලුත් උපතක් ලබන්නේ නැති බවයි. උදාහරණයක් හැටියට මෙසේ සිතන්න. ඔබේ උපත සිදු වූයේ ඔබ ගත් තීරණයකට අනුවද? නැහැ. ඔබේ පියා ඔබව ජනිත කළ නිසයි ඔබ ඉපදුණේ. ඒ හා සමානව කෙනෙකුට අලුත් උපතක් ලැබෙන්නේ ස්වර්ගයෙහි සිටින අපේ පියා ඒ සඳහා අපව තෝරාගත්තොත් පමණයි. (යොහන් 1:13) ඒ බව පේතෘස් පැවසූ මේ වචනවලින් පැහැදිලිව පෙනී යනවා. ‘අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවිද පියාණන්ද වන තැනැත්තාට ආශීර්වාද වේවා! ඔහු සිය මහත් දයාවට අනුව අලුත් උපතක් අපට දුන්නේය.’—1 පේතෘස් 1:3.

එය අණක්ද?

සමහරු මෙසේ ප්‍රශ්න කිරීමට ඉඩ තිබෙනවා. අලුත් උපතක් ලැබීම අපට තනිව කළ හැකි දෙයක් නෙවෙයි නම් ‘ඔබ සැමෝම අලුත් උපතක් ලැබිය යුතුයි’ කියා යේසුස් අණ කළේ ඇයි? යේසුස් අපෙන් ඉල්ලා සිටින්නේ අපට කරන්න බැරි දෙයක්ද? අපට කරන්න බැරි දෙයක් ඉල්ලා සිටියා නම් එය සාධාරණ නැහැ. එසේනම් ඔබ ‘අලුත් උපතක්’ ලැබිය යුතුයි යන ප්‍රකාශය අප තේරුම්ගත යුත්තේ කෙසේද?

ග්‍රීක භාෂාවට අනුව ඉහත වචන පැවසුවේ අණක් ලෙස නොව සාමාන්‍ය ප්‍රකාශයක් හැටියටයි. ඒ අනුව එම වචනවලින් යේසුස් අදහස් කළේ නැවත උපත ලැබීම අවශ්‍ය දෙයක් බවයි.

අණ දීමක් හා සාමාන්‍ය ප්‍රකාශයක් අතර වෙනස උදාහරණයක් මගින් පැහැදිලි කරගනිමු. පාසැල් කිහිපයක් තිබෙන නගරයක් ගැන සිතන්න. ඉන් එක් පාසැලකට ඇතුළත් කරගන්නේ යම් ජාතියකට අයත් ළමුන් පමණක් කියා සිතමු. දිනක් එම ජාතියට අයත් නොවන ශිෂ්‍යයෙක් ‘මාව මේ පාසැලට ඇතුල් කරගන්න පුළුවන්ද’ කියා ගුරුවරයෙකුගෙන් අසනවා. එවිට ගුරුවරයා ‘මේ පාසැලට ඇතුල් වෙන්න නම් ඔයා මේ පාසැලේ ළමුන්ගේ ජාතියේ කෙනෙක් විය යුතුයි’ කියා පවසනවා. මෙහිදී ගුරුවරයා එම ශිෂ්‍යයාට අණක් දුන්නාද? නැහැ. ඒ වෙනුවට පාසැලට ඇතුල් වීම සඳහා ඔහුට තිබිය යුතු සුදුසුකමක් ගැන සඳහන් කළා පමණයි. ඒ හා සමානව ‘ඔබ සැමෝම අලුත් උපතක් ලැබිය යුතුයි’ කියා පැවසූ වචනවලින් යේසුස් අදහස් කළේ යමෙක් ‘දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීම’ සඳහා ලැබිය යුතු අවශ්‍යතාවක් මිස අණක් නොවෙයි.

දේවරාජ්‍යය හා අලුත් උපත අතර යම් සම්බන්ධයක් තිබෙනවා. යමෙක් අලුත් උපතක් ලබන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුර සලකා බලන විට එම සම්බන්ධය තේරුම්ගත හැකියි. එමෙන්ම අලුත් උපතක් ලැබීම යන්නෙන් ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද යන්නත් දැනගත හැකියි.

[පාදසටහන]

^ 3 ඡේ. සමහර බයිබල් පරිවර්තනවල යොහන් 3:3 සඳහන් කර තිබෙන්නේ මෙසේයි. ‘යමෙක් ඉහළින් නූපදින්නේ නම් ඔහුට දෙවිගේ රාජ්‍යය දකින්න නොහැකිය.’—ඇත්ත ඇති තැන.

[6වන පිටුවේ පින්තූරය]

අලුත් උපත හා බිලිඳෙකුගේ උපත අතර තිබෙන සමානකම කුමක්ද?