Skip to content

පටුනට යන්න

අලුත් උපත ඉන් අද්දකින වෙනස කුමක්ද?

අලුත් උපත ඉන් අද්දකින වෙනස කුමක්ද?

අලුත් උපත ඉන් අද්දකින වෙනස කුමක්ද?

යේසුස් ‘ආත්මයෙන් ඉපදීම’ ගැනද සඳහන් කළා. (යොහන් 3:5) “ඉපදීම” යන වචනයෙන් “ආරම්භයක්” අදහස් වෙනවා. උදාහරණයකට “ජාතියක උපත” කීමෙන් අදහස් කරන්නේ ඒ ජාතියේ පටන්ගැන්මටයි. ඒ අනුව “අලුත් උපතක්” ලැබීම යන්නෙන් අදහස් කරන්නේ “අලුතෙන් ආරම්භ වීමයි.” මෙයින් පෙනී යන්නේ ‘අලුත් උපතක්’ ලැබීමත් සමඟම දෙවි හා දෙවිගේ බලයෙන් බව්තීස්ම වන අය අතර සමීප සබඳතාවක් ආරම්භ වන බවයි. එය සිදු වන්නේ කෙසේද?

දේවරාජ්‍යයේ හවුල් පාලකයන් ගැන පැහැදිලි කරන විට පාවුල් දරුකමට හදා වඩා ගන්නා [පුත්‍රකමට ගන්නා] දරුවෙකු ගැන උදාහරණයක් යොදාගත්තා. ඒ හා සමාන අද්දැකීමක් ඔහුගේ කාලයේ සිටි ක්‍රිස්තියානීන්ද අද්දකින බව ඔහු පැවසුවා. ඒ අයව දෙවි ‘පුත්‍රකමට’ ගෙන ‘පුත්‍රයන් සමඟ කටයුතු කරන්නාක් මෙන් කටයුතු කරන’ බවත් පාවුල් පැවසුවා. (ගලාති 4:5; හෙබ්‍රෙව් 12:7) දරුකමට හදා වඩා ගැනීම ගැන පාවුල් පැවසූ උදාහරණය, දෙවිගේ බලයෙන් පුද්ගලයෙක් බව්තීස්ම වන විට ඔහු සිය ජීවිතයේ අද්දකින වෙනස වටහාගැනීමට උපකාරවත් වෙනවා. අපි නැවත වරක් වෙනත් ජාතියකට අයත් ළමුන් ඉගෙනගන්න පාසැලකට ඇතුල් වෙන්න ආසාවෙන් සිටින ළමයාගේ උදාහරණය සලකා බලමු.

පුත්‍රකමට ගන්නා විට අද්දකින වෙනස

අප සලකා බලන උදාහරණයේ සඳහන් ළමයාට පාසැලට ඇතුල් විය නොහැක්කේ ඔහු වෙනත් ජාතියකට අයත් නිසයි. නමුත් එක දවසක් ඔහුගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදු වෙනවා. පාසැලේ සිටින ළමුන්ගේ ජාතියට අයත් එක්තරා පියෙක් එම දරුවාව දරුකමට හදා වඩා ගැනීමට නීත්‍යනුකූලව භාරගන්නවා. මේ තත්වය එම දරුවාට බලපාන්නේ කෙසේද? එම පියා ඔහුව දරුවෙකු ලෙස හදා වඩා ගන්නා නිසා පාසැලට ඇතුල් වීමේ අයිතිය දරුවාට ලැබෙනවා. මෙසේ ඔහුව දරුකමට හදා වඩා ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වෙනවා.

ඒ හා සමානව අලුත් උපතක් ලබන අයද සුවිශේෂි වෙනස්කම් අද්දකින බව එම උදාහරණයෙන් පෙනී යනවා. ඉහත සඳහන් කළ දරුවා හා සමානව අලුත් උපතක් ලබන කෙනෙක් අද්දකින වෙනස දැන් අපි සලකා බලමු. එම දරුවාව ඒ පාසැලට ඇතුල් කරගන්නේ පාසැලේ ඉගෙනගන්නා ළමුන්ගේ ජාතියේ කෙනෙක්ය යන සුදුසුකම සපුරාලනවා නම් පමණයි. එහෙත් ඔහුගේම හැකියාවෙන් එම සුදුසුකම අත් කරගන්න බැහැ. ඒ හා සමානව, මිනිසුන් අතරින් සුළු පිරිසකට දෙවිගේ ආණ්ඩුවේ පාලනයට හවුල් වීමට හැකි වන්නේ ‘අලුත් උපතක්’ ලැබීම යන සුදුසුකම සපුරාලනවා නම් පමණයි. ඔවුන්ට ඒ සුදුසුකම ලැබෙන්නේ තමන්ගේ හැකියාවෙන් නොව දෙවිගේ උපකාරයෙනුයි.

එම දරුවාව පාසැලට ඇතුල් කිරීමට අවස්ථාව උදා වුණේ කොහොමද? පියෙක් එම දරුවාව හදා වඩා ගැනීමේ නැතහොත් පුත්‍රකමට ගැනීමේ නීතිමය අවශ්‍යතාව ඉටු කළ නිසයි. එයින් දරුවාගේ පෞද්ගලිකත්වයේ වෙනසක් සිදු වුණේ නැහැ. ඒ වෙනුවට දරුවාට අලුත් හැඳුනුමක් ලැබුණා. එය හරියට ඔහුගේ ජීවිතයට අලුත් ආරම්භයක් නැතහොත් අලුත් උපතක් ලැබුණා හා සමානයි. එම පියාගේ පුතෙක් බවට පත් වූ නිසා ඔහුගේ ජීවිතයේ වෙනසක් සිදු වුණා. මේ නිසා අලුත් පාසැලකට යන්නත් අලුත් පවුලක සාමාජිකයෙක් වෙන්නත් ඔහුට ප්‍රස්තාව උදා වුණා.

ඒ හා සමානව යෙහෝවා දෙවි කෙනෙක්ව තෝරාගෙන දරුවෙකු ලෙස පිළිගන්නා විට ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වෙනවා. එම කණ්ඩායමේ කෙනෙකු වන පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට පැවසුවේ දෙවිගේ බලය නිසා ඔවුන්ව දෙවිගේ පුත්‍රයන් ලෙස පිළිගත්තා කියායි. ඒ බලයේ ක්‍රියාකාරිත්වය නිසා ‘අබ්බා පියාණෙනි’ කියා දෙවිට පවසන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. එමෙන්ම එසේ තමන් දෙවිගේ දරුවන් බව ඔවුන්ගේ සිත්වලට ස්ථිර වශයෙන්ම දැනෙන්නේ දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වන නිසායි කියා පාවුල් පැවසුවා. (රෝම 8:15, 16) එම ක්‍රිස්තියානීන්ව පුත්‍රකමට ගැනීම නිසා ඔවුන් දෙවිගේ පවුලේ සාමාජිකයන් හෙවත් “දෙවිගේ දරුවෝ” බවට පත් වුණා.—1 යොහන් 3:1; 2 කොරින්ති 6:18.

දෙවි විසින් ඔවුන්ව දරුකමට හදා වඩා ගත්තත් ඔවුන්ට උරුම වී තිබෙන පව්කාර ස්වභාවය එලෙසම පවතිනවා. (1 යොහන් 1:8) කෙසේවෙතත් පාවුල් පැහැදිලි කළ ලෙස දරුවන් හැටියට හදා වඩා ගැනීමේ සුදුසුකම් ඔවුන්ට ලැබුණු විට ඔවුන්ට අලුත් හැඳුනුමක් ලැබෙනවා. ඒ අවස්ථාවේදී යේසුස් සමඟ ස්වර්ගයේ ජීවත් වීමට යන බවට ප්‍රබල විශ්වාසයක් දෙවිගේ බලය මාර්ගයෙන් ඔවුන් තුළ ඇති කරයි. (1 යොහන් 3:2) දෙවිගේ බලය මගින් ඔවුන් තුළ ඇති වන එම විශ්වාසය නිසා ඔවුන් ජීවිතය දෙස බලන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකටයි. (2 කොරින්ති 1:21, 22) මෙසේ අලුත් උපතක් ලබනවා හා සමානව ඔවුන්ගේ ජීවිතයට අලුත් ආරම්භයක්ද ලැබෙයි.

දෙවි පුත්‍රකමට ගන්නා අය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ වන්නෝය; අවුරුදු දහස පුරා ඔහු සමඟ රජකම් කරන්නෝය.” (එළිදරව් 20:6) මේ අනුව යේසුස් සමඟ ස්වර්ග රාජ්‍යයේ හවුල් පාලකයන් වීමේ ප්‍රස්තාව ඔවුන්ට තිබෙනවා. ඔවුන්ට “දිරාපත් නොවන, දූෂ්‍ය නොවූ, නොමැලවෙන උරුමයක්” ලැබෙන බවද පේතෘස් සඳහන් කළා. (1 පේතෘස් 1:3, 4) ඔවුන්ට ලැබෙන්නේ මොන තරම් වටිනා උරුමයක්ද!

කෙසේවෙතත් එම පාලනය සම්බන්ධයෙන් තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. අලුත් උපතක් ලබන අය ස්වර්ගයේ රජවරුන් ලෙස පාලනය කරද්දී ඔවුන්ගේ යටත් වැසියන් වන්නේ කවුද? එම ප්‍රශ්නය ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[10වන පිටුවේ පින්තූරය]

පුත්‍රකමට ගැනීම ගැන පාවුල් පැවසුවේ කුමක්ද?