Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යේසුස් දෙවිට යාච්ඤා කළ විට “අබ්බා පියාණෙනි” කියා ආමන්ත්‍රණය කළේ ඇයි?

අරාමීය භාෂාවෙන් “අබ්බා” යන වචනය යොදාගන්නේ “පියාණන්” ගැන සඳහන් කරන විටයි. අබ්බා යන වචනය බයිබලයේ අවස්ථා තුනක සඳහන් වෙනවා. ඒ අවස්ථා තුනේදීම එම වචනය යොදාගෙන තිබෙන්නේ ස්වර්ගීක පියාණන් වන යෙහෝවා දෙවි සඳහායි. යේසුස් පොළොවේ සිටි කාලයේදී යෙහෝවා දෙවිට අබ්බා පියාණෙනි කියා ආමන්ත්‍රණය කළේ ඇයි?

එක් බයිබල් විශ්වකෝෂයක මෙවැනි දෙයක් සඳහන් වුණා. “යේසුස්ගේ කාලයේදී අබ්බා යන යෙදුම යොදාගත්තේ කිට්ටු බැඳීමක් මෙන්ම දරුවන් තම පියවරුන්ට දක්වන ගෞරවය ගෙනහැර දැක්වීමටයි.” එමෙන්ම දරුවෙක් පියෙකුට දක්වන ලෙන්ගතුකම අවධාරණය කිරීමටත් අබ්බා යන වචනව භාවිත කළා. එපමණක්ද නොව කුඩා දරුවන් මුලින්ම ප්‍රකාශ කරන වචන අතරටත් අබ්බා යන වචනය ඇතුළත් වෙනවා. මිය යෑමට පැය කිහිපයකට කලින් ගෙත්සෙමන උයනේදී යේසුස් හැඟීම්බරව දෙවිට යාච්ඤා කරමින් ඔහුව ඇමතුවේ “අබ්බා, පියාණෙනි” කියායි.—මාක් 14:36.

ග්‍රීක සහ රෝම ශිෂ්ඨාචාර පැවති කාලයේදී අබ්බා යන වචනයෙන් දෙවිව ඇමතීම ඔවුන් සැලකුවේ දෙවිට අගෞරව කිරීමක් ලෙසයි. ඉහත සඳහන් කළ විශ්වකෝෂයේ මෙවැනි දෙයක්ද සඳහන් වුණා. “යේසුස් අබ්බා පියාණෙනි කියා දෙවිව ඇමතීමෙන් ඔවුන් දෙදෙනා අතර කිට්ටු බැඳීමක් ඇති බව පැහැදිලි වෙනවා.” අනික් අවස්ථා දෙකේදී අබ්බා යන වචනය සඳහන් වෙන්නේ බයිබලයේ ලේඛකයෙක් වූ පාවුල්ගේ ලිපිවලයි. එයින් පැහැදිලි වෙන්නේ මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් දෙවිට යාච්ඤා කරද්දී එම වචනය යොදාගත් බවයි.—රෝම 8:15; ගලාති 4:6.

බයිබලයේ කොටසක් ග්‍රීක භාෂාවෙන් ලියා තිබෙන්නේ ඇයි?

යුදෙව්වන්ට “දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශන” විශ්වාසයෙන් භාර දුන් බව බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසුවා. (රෝම 3:1, 2) ඒ නිසයි බයිබලයේ මුල් කොටස (පරණ ගිවිසුම) යුදෙව්වරුන්ගේ භාෂාව වූ හෙබ්‍රෙව් භාෂාවෙන් ලියවුණේ. නමුත් බයිබලයේ දෙවන කොටස (අලුත් ගිවිසුම) ලියවුණේ ග්‍රීක භාෂාවෙනුයි. * එයට හේතුව කුමක්ද?

ක්‍රිස්තු පූර්ව සතරවන සියවසේදී මහ ඇලෙක්සැන්ඩර් යටතේ සේවය කළ සෙබළුන් සම්භාව්‍ය ග්‍රීක භාෂාවේ උප භාෂාවන් කතා කළා.එම උප භාෂාවන් මිශ්‍ර වී පොදු ග්‍රීක භාෂාව (එනම් කොයිනේ භාෂාව) ඇති වුණා. ඇලෙක්සැන්ඩර් විජයග්‍රහණයන් ලැබූ කාලවලදී එම පොදු ග්‍රීක භාෂාව එවකට ජාත්‍යන්තර භාෂාව බවට පත් වුණා. ඒ කාලයේදී බොහෝ යුදෙව්වන් පලස්තීනයෙන් පිට වී සිටියා. බැබිලෝනියේ වහල්භාවයේ සිටි යුදෙව්වන් නිදහස ලැබුවත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් නැවතත් පලස්තීනයට පැමිණියේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස යුදෙව්වන්ගෙන් බොහෝදෙනෙකුට හෙබ්‍රෙව් භාෂාව අමතක වී ගිය අතර ඔවුන් ග්‍රීක භාෂාව කතා කරන්නන් බවට පත් වුණා. (ක්‍රියා 6:1) හෙබ්‍රෙව් භාෂාවෙන් ලියවී තිබුණු ශුද්ධ ලියවිලි ග්‍රීක භාෂාවට පරිවර්තනය කරනු ලැබුවේ ඔවුන්ගේ ප්‍රයෝජනය උදෙසායි. එසේ පරිවර්තනය කරන ලද ලියවිලි සෙප්ටුඅජින්ට් ලෙස හඳුන්වනු ලබනවා.

එක් බයිබල් ශබ්දකෝෂයක සඳහන් වූ ආකාරයට ‘එවකට තිබූ ග්‍රීක භාෂාවට සම කළ හැකි කිසිම භාෂාවක් තිබී නැහැ.’ එයට හේතුව එම භාෂාවේ නිශ්චිත වාග් මාලාවක්, භාෂාව නිසි ලෙස හැසිරවිය හැකි ව්‍යාකරණ සහ අදහස්වල සුළු සුළු වෙනස්කම් පවා පැහැදිලිව පෙන්විය හැකි ක්‍රියා පද ඇතුළත් වී තිබීමයි. එමෙන්ම ‘සියලුම ජාතීන්ට ග්‍රීක භාෂාව තේරුම්ගැනීමට හැකි වුණා. එමනිසා පහසුවෙන් අදහස් හුවමාරු කිරීමටත් තොරතුරු නිවැරදිව මිනිසුන්ට දැනුම් දීමටත් එම භාෂාව ඉවහල් වුණා.’ (Dictionnaire de la Bible) ඒ අනුව බයිබලයේ අලුත් ගිවිසුම ලෙස හඳුන්වන කොටස ග්‍රීක භාෂාවෙන් ලිවීමට හොඳහේතු තිබූ බව පැහැදිලියි.

[පාදසටහන]

^ 7 ඡේ. පරණ ගිවිසුමට අයත් සමහර කොටස් ලිවීමට අරාමීය භාෂාවත් භාවිත කර තිබෙනවා. මතෙව් සුවිශේෂය මුලින්ම ලියන්න ඇත්තේ හෙබ්‍රෙව් භාෂාවෙන් විය හැකියි. පසුව මතෙව් විසින්ම එය ග්‍රීක භාෂාවට පරිවර්තනය කරන්න ඇති.

[13වන පිටුවේ පින්තූරය]

ග්‍රීක සෙප්ටුඅජින්ට් අත්පිටපතක කොටසක්

[හිමිකම් විස්තර]

Courtesy of Israel Antiquities Authority