Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

නරක ඇසුරට වැටුණු යෙහෝයාෂ්

නරක ඇසුරට වැටුණු යෙහෝයාෂ්

ඒ වෙද්දී යෙරුසලමේ තිබුණේ හරිම කලබලකාරී වාතාවරණයක්. අහසියා රජව මරා දාලා. ඒක කරලා තියෙන්නේ අතලියා. ඒ කියන්නේ අහසියාගෙම අම්මා. අහසියාව මැරුවට පස්සේ එයාගේ පුතුන්වත් අතලියා මරා දැමුවා. එයා එහෙම කළේ ඇයි කියලා ඔයා දන්නවාද?— * අතලියා එහෙම කළේ යෙරුසලමේ පාලනය අතට ගන්න තිබුණු ආශාව නිසයි.

කොහොමවුණත් අතලියාගේ මුනුපුරෙක් වුණු යෙහෝයාෂ් බේරුණා. ඒ කොහොමද කියලා දැනගන්න ඔයා කැමතිද?—යෙහෝෂෙබා, ඒ කියන්නේ යෙහෝයාෂ්ගේ නැන්දා එයාව දේවමාලිගාවේ හැංගුවා. යෙහෝෂෙබාට එහෙම කරන්න පුළුවන් වුණේ එයාගේ ස්වාමිපුරුෂයා වුණු යෙහෝයාදා ඒ වෙද්දී දේවමාලිගාවේ උත්තම පූජකයාව සිටි නිසයි. ඒ දෙන්නම එකතු වෙලා යෙහෝයාෂ්ව ආරක්ෂා කළා.

අවුරුදු හයක්ම යෙහෝයාෂ් හැදී වැඩුණේ දේවමාලිගාවෙයි. ඒ කාලයේදී යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ නීති ගැනත් ඉගෙනගන්න යෙහෝයාෂ්ට පුළුවන් වුණා. යෙහෝයාෂ්ට අවුරුදු හතක් සම්පූර්ණ වුණාම එයාව රජකමට පත් කරන්න යෙහෝයාදා කටයුතු සැලසුම් කළා. යෙහෝයාදා ඒක කළේ කොහොමද කියලත් නපුරු අතලියා රැජිණට වුණේ මොකක්ද කියලත් අපි බලමුද?—

මුලින්ම, යෙහෝයාදා යෙරුසලමේ රජවරුන් වෙනුවෙන් පත් කරලා තිබුණු විශේෂ ආරක්ෂක භටයන්ව රහසින් කැඳවාගත්තා. ඊට පස්සේ අහසියා රජගේ එක පුතෙක්ව ඔහුත් ඔහුගේ බිරිඳත් මෙතෙක් කල් ආරක්ෂා කළ බව ඒ ආරක්ෂක භටයන්ට පවසමින් යෙහෝයාෂ්ව ඔවුන්ට පෙන්නුවා. රජකම හිමි විය යුත්තේ යෙහෝයාෂ්ට කියලා ආරක්ෂක භටයන් ඒ වෙලාවේ තේරුම්ගත්තා. ඒ නිසා යෙහෝයාෂ්ව රජකමට පත් කරන්න ඔවුන් සැලැස්මක් දියත් කළා.

යෙහෝයාදා ප්‍රසිද්ධියේම යෙහෝයාෂ්ට ඔටුන්න පැළඳෙව්වා. ඒ වෙලාවේ සෙනඟ ‘අත්පොළසන් ගසමින් රජතුමා දිගු කල් ජීවත් වේවා’ කියලා හඬ නැඟුවා. ඒ වෙද්දී යෙහෝයාෂ්ගේ ආරක්ෂක භටයන් එයාව වට කරගෙනයි හිටියේ. ඒ ඝෝෂාව ඇහුණම අතලියා රැජිණ එළියට ආවා. එතකොට යෙහෝයාදාගේ නියෝගය පිට ආරක්ෂක භටයන් අතලියාව මරා දමන්න පියවර ගත්තා.—2 රාජාවලිය 11:1-16, නව ලොව පරිවර්තනය, NW.

යෙහෝයාෂ් හැමමොහොතකම යෙහෝවා දෙවිට කීකරු වෙමින් හරි දේ කරන්න ඇති කියලා ඔයා හිතනවාද?—යෙහෝයාදා ජීවතුන් අතර ඉන්න කල් එයා එහෙම කළා. එයාගේ සීයයි තාත්තයි ඒ කියන්නේ යෙහෝරාම් රජයි අහසියා රජයි නොසලකාහැර තිබුණු දේවමාලිගාව අලුත්වැඩියා කරන්න එයා මිනිසුන්ගෙන් සල්ලිත් එකතු කළා. හැබැයි යෙහෝයාදා මැරුණට පස්සේ එයා වෙනස් වුණා. ඒ කොහොමද කියලා දැනගන්න ඔයා කැමතිද?—2 රාජාවලිය 12:1-16.

යෙහෝයාදා මැරෙද්දී යෙහෝයාෂ්ට වයස අවුරුදු 40ක් විතර ඇති. එයා යෙහෝවා දෙවිට සේවය කළ අයව ආශ්‍රය කරනවා වෙනුවට බොරු දෙවිවරුන්ට නමස්කාර කළ අයව ආශ්‍රය කරන්න පටන්ගත්තා. ඒ වෙද්දී උත්තම පූජකයා විදිහට සේවය කළේ යෙහෝයාදාගේ පුතා. එයාගේ නම සෙකරියා. යෙහෝයාෂ් දෙවි අකමැති දේවල් කරද්දී සෙකරියා මොනවා කරන්න ඇද්ද?

සෙකරියා යෙහෝයාෂ්ට කිව්වා ‘ඔබ යෙහෝවා දෙවිව අත්හැරිය නිසා ඔහුද ඔබව අත්හරියි’ කියලා. එතකොට යෙහෝයාෂ්ට හුඟක් කේන්ති ගියා. ඒ නිසා සෙකරියාට ගල් ගහලා මරන්න කියලා යෙහෝයාෂ් අණ කළා. සෙකරියාගේ අම්මායි තාත්තායි යෙහෝයාෂ්ගේ ජීවිතය බේරුවත් යෙහෝයාෂ් සෙකරියාව මරා දැමුවා.—2 ලේකම් 24:1-3, 15-22NW.

ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකද්ද?—අපි කවදාවත් අතලියා වගේ නපුරු වෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට යේසුස් කියලා තියෙන විදිහට අපි මිතුරන්ට වගේම සතුරන්ටත් ප්‍රේම කරන්න ඕනේ. (මතෙව් 5:44; යොහන් 13:34, 35) නිතරම හරි දේ කරන්න නම් අපි යෙහෝවා දෙවිට සේවය කරන්න කැමති අයව අපේ මිතුරන් කරගැනීම හරිම වැදගත්.

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙක් සමඟ නම් ඉරක් (—) යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.