Skip to content

පටුනට යන්න

යේසුස් සහ දෙවි එකම තැනැත්තාද?

යේසුස් සහ දෙවි එකම තැනැත්තාද?

බොහෝදෙනා සිතන්නේ ත්‍රිත්වය “ක්‍රිස්තියානි ආගමේ ඉගැන්වීමක්” කියායි. ඔවුන් පවසන්නේ පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන් එක දෙවි කෙනෙක් බවයි. එම ඉගැන්වීම “අපට කොහොමටවත් තේරුම්ගත නොහැකි අභිරහසක්” කියා එක් කතෝලික පූජකයෙක් පැවසුවා. ත්‍රිත්වය යන ඉගැන්වීම අභිරහසක් වන්නේ ඇයි?

ඊට එක් හේතුවක් ගැන බයිබල් ශබ්දකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “ඒ පිළිබඳව පැහැදිලි අදහසක් බයිබලයෙන් සොයාගත නොහැකි නිසා එය බයිබලයේ ඉගැන්වීමක් ලෙස සැලකීම දුෂ්කරයි.” (Illustrated Bible Dictionary) එම ඉගැන්වීම බයිබලයේ සඳහන් නොවන නිසා ත්‍රිත්වවාදීන් ඇතැම් බයිබල් පද විකෘති කර ත්‍රිත්වය ඔප්පු කිරීමට උත්සාහ කරනවා.

බයිබලය ත්‍රිත්වයට අනුබල දෙනවාද?

බයිබලයේ යොහන් 1:1හි [පැරණි අනුවාදය] සඳහන් වන්නේ මෙයයි. “පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක. වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.” එම පදයෙහි “දෙවියන්වහන්සේ” ලෙස එකම ආකාරයකින් පරිවර්තනය කර ඇති ස්ථාන දෙකේම ග්‍රීක බසින් භාවිත කර තිබෙන්නේ වෙනස් වචන දෙකක්. ඒවායේ ව්‍යාකරණවල පවා යම් වෙනස්කම් දක්නට ලැබෙනවා. එහි “දෙවියන්වහන්සේ” කියා ඇති ස්ථානයට ග්‍රීක බසින්“ටොන් තෙයොන්” යන වචනයත් “දෙවියන් වහන්සේවම” කියා ඇති ස්ථානයට “තෙයොස්” යන වචනයත් භාවිත කර තිබෙනවා. “ටොන් තෙයොන්” යන වචනය භාවිත කර තිබෙන්නේ සියලු බලැති දෙවිව හඳුන්වා දීමටයි. නමුත් “තෙයොස්” යන වචනය තුළ එවැනි අදහසක් ගැබ් වී නැහැ. මෙවැනි වෙනසක් සිදු වූයේ වැරදීමකින්ද?

බයිබල් ලේඛක යොහන් භාවිත කළ ග්‍රීක භාෂාවට ඉතා පැහැදිලි ව්‍යාකරණ රීති තිබුණා. ග්‍රීක බසින් වාක්‍යයක් තනද්දී එහි උක්තය හා ආඛ්‍යාතය එකම ස්වරූපයෙන් තිබෙන විට උක්තය හා ආඛ්‍යාතය එක හා සමාන වන බව බයිබල් විශාරදයෙක් පැවසුවා. උදාහරණයකට මතෙව් 13:38 බයිබල් පදය සලකා බලමු. එහි සඳහන් වන්නේ “කෙත නම් ලෝකයය” කියායි. එහි “කෙත” යන වචනයට ග්‍රීක බසින් “හෝ අග්‍රොස්” කියාත් “ලෝකය” යන වචනයට “හෝ කොස්මොස්” කියාත් යොදා තිබෙනවා. මෙහි “හෝ” යන ග්‍රීක පදය භාවිත කර තිබෙන්නේ කෙත හා ලෝකය යන පද දෙකම එකම රූපයෙන් දැක්වීමටයි. එයින් පැහැදිලි වෙන්නේ කෙත සහ ලෝකය එක හා සමාන බවයි.

නමුත් යොහන් 1:1 බයිබල් පදයෙහි උක්ත ආඛ්‍යාත සම්බන්ධයේදී එවැනි සමානකමක් දක්නට නැහැ. එවැනි සමානකමක් නැති විට උක්තය හා ආඛ්‍යාතය එක හා සමාන නොවන බව බයිබල් විශාරදයෙක් වන ජේම්ස් ඇලන් හිවිට් පැවසුවා.

උදාහරණයකට 1 යොහන් 1:5 බයිබල් පදය සලකා බලන්න. ‘දෙවි ආලෝකයය’ කියා එහි සඳහන් වෙනවා. එහි “දෙවි” යන වචනයට “හෝ තෙයොස්” යන වචනයත් “ආලෝකයය” යන වචනයට “ෆොස්” යන වචනයත් යොදා තිබෙනවා. ආලෝකය යන වචනයට කලින් “හෝ” යන ග්‍රීක පදය භාවිත කර නැති නිසා එහි උක්තය සහ ආඛ්‍යාතය එකම ස්වරූපයකින් දක්වා නැහැ. ඒ සම්බන්ධයෙන් හිවිට් මෙවැනි දෙයක් පැවසුවා. “දෙවිගෙන් ආලෝකය නික්මෙන බවත් ඔහු ආලෝකයේ උල්පත බවත් පැවසිය හැකියි. නමුත් ආලෝකය දෙවි කියා පවසන්න බැහැ.” ඒ හා සමාන උදාහරණයක් 1 යොහන් 4:16හිද සඳහන් වෙනවා.

සැබෑ අරුත

ග්‍රීක භාෂාව හදාරන බොහෝ විශාරදයන් හා බයිබල් පරිවර්තකයන් පවසන්නේ, යොහන් 1:1හි “වාක්‍යයාණෝ” ලෙස යොදා තිබෙන්නේ “වාක්‍යයාණෝ” කවුද කියා හඳුන්වා දීමට වඩා ඔහුගේ කාර්යභාරය කුමක්ද කියා විස්තර කිරීමට බවයි. බයිබල් පරිවර්තක විලියම් බාක්ලේ මෙසේ පවසයි. “බයිබල් ලේඛක යොහන් ‘තෙයොස්’ යන පදය භාවිත කළ විට ඔහු ‘හෝ’ යන ග්‍රීක පදය භාවිත නොකළ නිසා ‘වාක්‍යයාණෝ’ නමැති තැනැත්තා එකම සැබෑ දෙවි බව ඔහු පැවසුවේ නැහැ.” එමෙන්ම බයිබල් විශාරදයෙක් පැවසුවේ “‘වාක්‍යයාණෝ’එකම සැබෑ දෙවි නොව නමුත් ඔහු බලවත් කෙනෙක්” බවයි.

තමා සහ තම පියාණන් පුද්ගලයන් දෙදෙනෙකු බව ඉතා පැහැදිලිව දක්වමින් යේසුස් මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) යේසුස් පැවසූ දේ අප විශ්වාස කරනවා නම් යේසුස් දෙවිට සමාන ගතිලක්ෂණ ඇති දෙවිගේ පුත්‍රයා ලෙස අපි ඔහුට ගරු කරන අතර “එකම සැබෑ දෙවි” ලෙස යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරමු.

ත්‍රිත්වය සැබෑ ඉගැන්වීමක්ද?

තම පියාණන් සහ තමන් පුද්ගලයන් දෙදෙනෙකු බව යේසුස් ඉතා පැහැදිලිව පෙන්නුම් කළා