Skip to content

පටුනට යන්න

වතිකානුව දෙවිගේ නම ඉවත් කරයි

වතිකානුව දෙවිගේ නම ඉවත් කරයි

වතිකානුව දෙවිගේ නම ඉවත් කරයි

කතෝලික දේවමෙහෙයන් අතරවාරයේදී දෙවිගේ නාමය භාවිත කිරීම නතර කර දැමීමට වතිකානුව ලොව පුරා සිටින බිෂොප්වරුන්ට 2008 ජූනි 29වනදා ලියවිල්ලක් මාර්ගයෙන් උපදෙස් දුන්නා. මෙම තීරණය ගනු ලැබුවේ පාප් විසිනුයි.

කලිනුත් ඒ හා සමාන ලිපි යවා තිබුණත් නැවත වතාවක් එසේ ලියන්න හේතු වුණේ දෙවිගේ නම භාවිත වෙමින් තිබූ නිසයි. එම ලියවිල්ලේ මෙසේ සඳහන් වුණා. “පුරාණ ඊශ්‍රායෙල්වරුන් නමස්කාර කළ දෙවිගේ නාමය නැවතත් භාවිත කිරීමේ පුරුද්දක් මෑත කාලයේදී පටන්ගෙන ඇති බව පෙනෙන්න තිබෙනවා. එම නාමය ‘යාවේ,’ ‘ජාවේ’ හා ‘යෙහෝවා’ වැනි විවිධ ආකාරවලින් උච්චාරණය කරන” බවත් එහි සඳහන් වුණා. කොහොමවුණත් කතෝලික පල්ලිය කලින් වගේම දෙවිගේ නාමය භාවිත කිරීමට තිබූ අකමැත්ත එම ලියවිල්ල මගින් පැහැදිලි කළා. එමනිසා වතිකානුව පැවසුවේ දේවමෙහෙයන් අතරවාරයේදී කෙරෙන ගීතිකා සහ යාච්ඤාවලට එම නාමය “කිසිම ආකාරයකින් භාවිත නොකර” ඒ වෙනුවට “ස්වාමීන්” යන යෙදුම භාවිත කළ යුතු බවයි.

වතිකානුව පැවසුවේ පැරණි බයිබල් පරිවර්තනවලත් දෙවිගේ නාමය සඳහන් නොවන නිසා එය භාවිත නොකිරීමට පදනමක් තිබෙන බවයි. ඔවුන් පැවසුවේ පැරණි ග්‍රීක බයිබල් පරිවර්තනවල (සෙප්ටුඅජින්ට්) දෙවිගේ නාමය සඳහන් කරනවා වෙනුවට “ස්වාමීන්” (කිරිඔස්) යන යෙදුම යොදා තිබෙනවා කියායි. අතීතයේ සිටි ක්‍රිස්තියානීන්ද දෙවිගේ නාමය භාවිත කළේ නැහැ කියා වතිකානුව ප්‍රකාශ කළා. කොහොමවුණත් පැරණි ග්‍රීක බයිබල් පිටපත්වල (සෙප්ටුඅජින්ට්) ස්වාමීන් යන යෙදුම භාවිත කරනවා වෙනුවට හෙබ්‍රෙව් භාෂාවේ අක්ෂර හතරකින් (יהוה) දෙවිගේ නාමය සඳහන් කර තිබෙනවා. එමෙන්ම ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ ජීවත් වූ යේසුස්ගේ අනුගාමිකයන්ද දෙවිගේ නාමය දැන සිටි අතර එය උච්චාරණය කළා. යේසුස් පවා දෙවිට යාච්ඤා කරමින් පැවසුවේ “මම ඔබේ නාමය ඔවුන්ට දැන්වීමි” කියායි. (යොහන් 17:26) එමෙන්ම “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා” කියා යාච්ඤා කිරීමට යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්වූවා.—මතෙව් 6:9.

ඇත්තෙන්ම සියලුම ක්‍රිස්තියානීන්ගේ ආශාව විය යුත්තේ දෙවිගේ නාමය විශුද්ධ වෙනවා දැකීමයි. “සදහටම මගේ නාමය එයයි. පරම්පරාවෙන් පරම්පරාවට මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්ය” කියා යෙහෝවා දෙවිම පවසා තිබෙනවා. (නික්මයාම 3:15, නව ලොව පරිවර්තනය) ඒ අනුව දෙවිගේ නාමය සඳහන් නොකිරීමට වතිකානුව ගත් තීරණය ඇත්තෙන්ම දෙවිට කරන අගෞරවයක් බව පැහැදිලියි.

[30වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සදහටම මගේ නාමය එයයි.”—නික්මයාම 3:15

[30වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසට අයත් ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පිටපතක හෙබ්‍රෙව් අක්ෂර හතරකින් යෙහෝවා යන දෙවිගේ නාමය සඳහන් වන අයුරු

[හිමිකම් විස්තර]

Courtesy of the Egypt Exploration Society