Skip to content

පටුනට යන්න

දාවිත්ට හා සලමොන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්

දාවිත්ට හා සලමොන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්

දාවිත්ට හා සලමොන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්

“බලන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී.”—මතෙ. 12:42.

1, 2. දාවිත්ව රජ ලෙස පත් කිරීම ගැන සිතද්දී එය මිනිසුන් වන අපට පුදුමයට හේතුවක් වන්නේ ඇයි?

ඔහුට තිබුණේ රජ කෙනෙකුගේ පෙනුමක් නොවෙයි. අනාගතවක්තෘ සාමුවෙල් ඔහුව දුටුවේ බැටළුවන් බලාගන්නා නිකම්ම නිකම් කොලු ගැටයෙක් විදිහටයි. ඒ වගේම ඔහු ඉපදුණ නගරය වන බෙත්ලෙහෙමත් එතරම් ප්‍රසිද්ධ එකක් නොවෙයි. එය හඳුන්වන්නේ “යූදාහි නගර අතරින් කුඩාම නගරය” හැටියටයි. (මීකා 5:2, නව ලොව පරිවර්තනය, NW) ඒ කෙසේවෙතත් එතරම් වැදගත්කමක් නොපෙනුන මේ කොලු ගැටයාව ඊශ්‍රායෙලයේ අනාගත රජු ලෙස පත් කිරීමට නියමිතව තිබුණා. ඔහු වෙන කවුරුවත් නොව යෙස්සේගේ පුත් දාවිත්.

2 දෙවි ඔහුව ඊශ්‍රායෙල්හි මීළඟ රජ ලෙස තොරාගනියි කියා සාමුවෙල් කොහෙත්ම සිතුවේ නැහැ. ඊට හේතුව දාවිත්ට වැඩිමල් සහෝදරයන් සත්දෙනෙක් සිටීමයි. එමෙන්ම සාමුවෙල්, යෙස්සේගේ නිවසට පැමිණි අවස්ථාවේදී දාවිත් එහි සිටියෙත් නැහැ. ඒ කුමක් වුවත් රජ හැටියට යෙහෝවා දෙවි තෝරාගත්තේ දාවිත්වයි.—1 සාමු. 16:1-10.

3. (අ) යෙහෝවා දෙවි වැදගත් කොට සලකන්නේ කුමක්ද? (ආ) දාවිත්, රජ ලෙස අභිෂේක ලැබූ මොහොතේ සිට ඔහු තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ කුමක්ද?

3 යෙහෝවා දෙවි, දාවිත්ව තෝරාගත්තේ ඇයි? සාමුවෙල්ට දැකගත නොහැකි යමක් යෙහෝවා දෙවි දාවිත් තුළ දුටු නිසයි. එනම් තමාගේ සිත සතුටු කරවන ගුණාංග දාවිත් තුළ තිබෙනවා දෙවි දැකීමයි. දෙවිට වැදගත් වන්නේ කෙනෙක් කොතරම් උස මහතද යන්න නොවෙයි. ඒ වෙනුවට ඔහුගේ ඇතුළාත්ත පුද්ගලයාවයි. එනම් ඔහුගේ සිතුවිලි, ආකල්ප හා චේතනායි. (1 සාමුවෙල් 16:7 කියවන්න.) දෙවි, යෙස්සේගේ මුල් පුතුන් සත්දෙනාගෙන් කෙනෙකුව දෙවි තෝරා නොගත් නිසා බැටළුවන් බලාගනිමින් සිටි දාවිත්ව ගෙන එන්න කියා සාමුවෙල් පැවසුවා. ඊට පසු සිදු වූ දේ ගැන බයිබල් වාර්තාවේ සඳහන් වන්නේ මෙසේයි. “යෙස්සේ ඔහුව කැඳවාගෙන ඒමට කෙනෙකුව යැව්වේය. යෙස්සේගේ බාල පුතා ඉතා කඩවසම්ය. ඔහුගේ ඇස් ඉතා දීප්තිමත් වූ අතර රතට හුරු සමක්ද ඔහුට තිබිණ. ඔහු එතැනට පැමිණි විට ‘දැන් නැඟිට ඔහුව අභිෂේක කරන්න. මා තෝරාගත් තැනැත්තා ඔහුයි’ කියා යෙහෝවා දෙවි සාමුවෙල්ට පැවසුවේය. එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන, ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.”—1 සාමු. 16:12, 13, NW.

ශ්‍රේෂ්ඨ දාවිත්

4, 5. (අ) දාවිත් හා යේසුස් අතර ඇති සමානකම් මොනවාද? (ආ) යේසුස්ව ශ්‍රේෂ්ඨ දාවිත් කියා හැඳින්විය හැක්කේ ඇයි?

4 දාවිත් මෙන් යේසුස්ද උපත ලැබුවේ බෙත්ලෙහෙම් නගරයේයි. ඔහු ඉපදුණේ දාවිත් ඉපදී අවුරුදු 1,100කට පසුවයි. දාවිත්ව මෙන් ඔහුවද බොහෝදෙනෙකුට රජෙකු මෙන් පෙනුණේ නැහැ. එමෙන්ම ඊශ්‍රායෙලයේ රජ හැටියට පැමිණෙයි කියා ඔවුන් සිතාගෙන සිටියේ මෙවැනි තැනැත්තෙකුවද නොවෙයි. කවුරු කෙසේ සිතුවත් දාවිත්ව මෙන් රජ හැටියට දෙවි තෝරාගත්තේ යේසුස්වයි. එමෙන්ම දාවිත් මෙන් ඔහුද දෙවිගේ ප්‍රේමණීය තැනැත්තා වුණා. * (ලූක් 3:22) දාවිත්ට මෙන් යේසුස් කෙරෙහිත් දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා.

5 මේ දෙදෙනා අතර තවත් සමානකම් තිබෙනවා. උදාහරණයකට දාවිත්ට විරුද්ධව ද්‍රෝහිකම් කළේ ඔහුගේ ළඟින්ම සිටි අහිතොෆෙල් විසිනුයි. එලෙසම යේසුස්ට ද්‍රෝහි වුණෙත් ඔහුගේ මුල් ගෝලයන් 12දෙනාගෙන් කෙනෙකු වූ යූදස් ඉස්කාරියොත් විසිනුයි. (ගීතා. 41:9; යොහ. 13:18) මේ දෙදෙනාටම සැබෑ නමස්කාරය වෙනුවෙන් දැවෙන උද්‍යෝගයක් තිබුණා. (ගීතා. 27:4; 69:9; යොහ. 2:17) යේසුස් දාවිත්ගේ සිංහාසනයේ උරුමක්කරුයි. ඔහු උපදින්න සිටිද්දී දේවදූතයෙක් මරියාට ඒ ගැන මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙන්නේය.” (ලූක් 1:32; මතෙ. 1:1) දේවරාජ්‍යය හා සම්බන්ධ සියලුම පොරොන්දු ඉටු වන්නේ යේසුස් මගින් නිසාත් බොහෝදෙනා දේවරාජ්‍යයේ රජු ලෙස බොහෝ කාලයක් පුරා බලා සිටියේ ඔහු ගැන නිසාත් ඔහු දාවිත්ට වඩා බොහෝ ශ්‍රේෂ්ඨයි.—යොහ. 7:42.

ශ්‍රේෂ්ඨ එඬේරාව අනුකරණය කරන්න

6. දාවිත් හොඳ එඬේරෙක් ලෙස කටයුතු කළේ කෙසේද?

6 යේසුස්ද දාවිත් මෙන් එඬේරෙක්. හොඳ එඬේරෙක් මොන වගේද? ඔහු විශ්වාසවන්ත මෙන්ම නිර්භීතකමින් තම බැටළුවන්ව රැකබලා ගනිමින් උන්ව පෝෂණය කරනවා. (ගීතා. 23:2-4) යෞවන එඬේරෙක් වූ දාවිත් තම පියාගේ බැටළුවන්ව ඉතා කදිම ලෙස රැකබලා ගත්තා. බැටළුවන්ට තර්ජන එල්ල වූ අවස්ථාවේදී ඔහු නිර්භීතව වන මෘගයන් සමඟ සටන් කළා. තම ජීවිතය ගැනවත් නොතකමින් සිංහයෙකුගෙන් හා වලසෙකුගෙන් බැටළුවන්ව බේරාගත්තා.—1 සාමු. 17:34, 35.

7. (අ) අනාගත රජු ලෙස කටයුතු කිරීමට දාවිත්ට පුහුණුවක් ලැබුණේ කුමකින්ද? (ආ) යේසුස් ශ්‍රේෂ්ඨ එඬේරා බව ඔප්පු වන්නේ කුමකින්ද?

7 දාවිත් කඳු හා කෙත්වල තම බැටළුවන්ව හොඳින් රැකබලා ගනිමින් ගත කළ අවුරුදු ගණනාව, ඊශ්‍රායෙලයෙහි අනාගත රජ හැටියට බරපතළ කාර්යභාරයන් ඉසිලීමට ඔහුට හොඳ පුහුණුවක් වුණා. * (ගීතා. 78:70, 71) යේසුස්ද එඬේරෙකුට සමාන කාර්යයක් කරනවා. ඔහුට තම “කුඩා රැළ” හා ‘වෙනත් බැටළුවන්ව’ රැකබලා ගැනීමට අවශ්‍ය ශක්තිය හා මඟ පෙන්වීම දෙවිගෙන් ලැබෙනවා. (ලූක් 12:32; යොහ. 10:16) ශ්‍රේෂ්ඨ එඬේරා වන ඔහුට තම රැළේ සිටින සෑම බැටළුවෙක් ගැනම ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා ඔහු ඒ සෑම බැටළුවෙකුටම නම කියා හඬ ගසනවා. ඔහු තම බැටළුවන්ට එතරම්ම ආදරය කරන නිසා ඔවුන්ගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් කැමැත්තෙන්ම සිය ජීවිතයත් පරිත්‍යාග කළා. (යොහ. 10:3, 11, 14, 15) එමගින් මුළු මිනිස් වර්ගයාවම මරණයෙන් ගලවාගැනීමට ඔහුට හැකි වුණා. ශ්‍රේෂ්ඨ එඬේරා වන යේසුස් කළේ දාවිත්ට කෙදිනකවත් කළ නොහැකි දෙයක්. යේසුස් කළ එම පරිත්‍යාගය නිසා ‘කුඩා රැළට’ ස්වර්ගයේ අමරණීය ජීවිතයත් ‘වෙනත් බැටළුවන්ට’ පාරාදීස පොළොවක් තුළ සදාකාල ජීවනයත් ලැබෙනවා. එය වළක්වන්න කිසිවෙකුට බැහැ.—යොහන් 10:27-29 කියවන්න.

ජයග්‍රාහී රජ අනුව යමු

8. දාවිත් ජයග්‍රාහී රජ කෙනෙක් බව අප දන්නේ කෙසේද?

8 දාවිත් රජ නිර්භීත රණශූරයෙක්. ඔහු දෙවිගේ සෙනඟගේ දේශය රැකගැනීමට සටන් කළ අතර ‘යෙහෝවා දෙවි දාවිත් ගිය ගිය තැන ඔහුට ජය අත් කර දුන්නා.’ දාවිත්ගේ නායකත්වය යටතේ ඊශ්‍රායෙල් දේශයේ සීමාවන් ඊජිප්තුවේ ගඟ දක්වාත් යුප්‍රටීස් ගඟ දක්වාත් ව්‍යාප්ත වුණා. (2 සාමු. 8:1-14) දෙවිගේ බලයේ උපකාරය ඇතුව දාවිත් බලවත් පාලකයෙක් බවට පත් වුණා. බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. “දාවිත්ගේ කීර්තිය දසත පැතිර ගියේය. යෙහෝවා දෙවි ඔහු සමඟ සිටි නිසා සියලුම ජාතීහු දාවිත්ට බිය වූහ.”—1 ලේක. 14:17NW.

9. යේසුස් ජයග්‍රාහී රජ කෙනෙක් වන්නේ කෙසේද?

9 දාවිත් මෙන් යේසුස්ද නිර්භීත පුද්ගලයෙක්. දෙවිගේ තෝරාගත් රජු ලෙස යේසුස් භූතයන්ගේ ග්‍රහණයේ සිටි අයව මුදවාගැනීමෙන් පෙන්වූයේ තමන්ට භූතයන් කෙරෙහි පවා අධිකාරියක් ඇති බවයි. (මාක් 5:2, 6-13; ලූක් 4:36) ප්‍රධාන සතුරා වන සාතන්ටවත් යේසුස්ව පරාජය කරන්න බැහැ. යේසුස් දෙවිගේ බලයේ උපකාරය ඇතුව සාතන්ගේ පාලනය යටතේ තිබෙන ලෝකයෙන් ජයගත්තා.—යොහ. 14:30; 16:33; 1 යොහ. 5:19.

10, 11. දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස්ගේ කාර්යය කුමක්ද?

10 යේසුස් මිය ගොස් නැවත නැඟිට වසර 60කට පමණ පසු යොහන් දර්ශනයක් දුටුවා. එහිදී ඔහු දුටුවේ යේසුස් ස්වර්ගයෙහි ජයග්‍රාහී රජ ලෙස කටයුතු කරන ආකාරයයි. “බලන්න! සුදු පැහැති අශ්වයෙකු මම දුටිමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට දුන්නක් තිබුණේය. ඔටුන්නක්ද ඔහුට දෙන ලදි. ඔහු ජයගනිමින් ගොස් සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබුවේය.” (එළි. 6:2) සුදු අශ්වයා පිට ඉඳගෙන සිටින්නේ යේසුස්. ඔහුට ‘ඔටුන්නක් දුන්නේ’ 1914දී දේවරාජ්‍යයේ රජ වූ අවස්ථාවේදීයි. ඉන්පසු ඔහු ‘ජයගනිමින්’ ගිය බව යොහන් පවසනවා. දාවිත්මෙන් යේසුස්ද ජයග්‍රාහී රජ කෙනෙක් ලෙස කටයුතු කරමින් රජ වී ටික කලකට පසු සාතන් හා ඔහුගේ භූතයන් සමඟ සටන් කොට ඔවුන්ව පොළොවට හෙළා දැම්මා. (එළි. 12:7-9) යේසුස් “සම්පූර්ණ ජයග්‍රහණයක්” ලබන්නේ සාතන්ගේ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ කරන විටයි.—එළිදරව් 19:11, 19-21 කියවන්න.

11 යේසුස් අනුකම්පාසහගත රජ කෙනෙක්. ඔහු හර්මගෙදොන් යුද්ධයේදී ‘මහත් සමූහයව’ ආරක්ෂා කරනවා. (එළි. 7:9, 14) යේසුස් හා නැවත නැඟිටුවන ලද ඔහුගේ හවුල් පාලකයන් වන 1,44,000දෙනාගේ පාලනය යටතේදී “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක්” සිදු වීමට නියමිතයි. (ක්‍රියා 24:15) ඔවුන්ට පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙනවා. එය මොන තරම් කදිම අනාගතයක්ද! එමනිසා අප සියලුදෙනාත් ‘යහපත කිරීමට’ අදිටන් කරගනිමු. එවිට ශ්‍රේෂ්ඨ දාවිත් යටතේ ධර්මිෂ්ඨ සමාජයක ප්‍රීතිමත් සාමාජිකයන් ලෙස ජීවත් වීමට අපට අවස්ථාව ලැබෙයි.—ගීතා. 37:27-29NW.

සලමොන්ගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණා

12. සලමොන් ඉල්ලුවේ කුමක්ද?

12 දැන් අපි සලමොන් ගැන සලකා බලමු. * සලමොන් රජ වූ විට ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් ඉල්ලන්න කියා දෙවි සිහිනයකින් පැවසුවා. ඔහුට අවශ්‍ය නම් ධනය, බලය හෝ දීර්ඝායුෂ ඉල්ලන්න තිබුණා. නමුත් ඔහු ඒ සියල්ල වෙනුවට දෙවිගෙන් ඉල්ලුවේ මෙයයි. “මෙතරම් මහත් සෙනඟක් විනිශ්චය කළ හැක්කේ කාටද? ඒ නිසා දෙවියනි, මට ප්‍රඥාවත් අවබෝධයත් ලබා දෙන්න. එවිට මේ සෙනඟට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්න මට හැකි වෙයි.” (2 ලේක. 1:7-10NW) දෙවි, ඔහුගේ ඉල්ලීම ලෙස ඔහුට පිළිතුරු දුන්නා.—2 ලේකම් 1:11, 12 කියවන්න.

13. සලමොන්ට, ඔහුගේ කාලයේ සිටි අයට වඩා ඉමහත් ප්‍රඥාවක් තිබූ බව අප දන්නේ කෙසේද? එමෙන්ම ඔහුට එම ප්‍රඥාව ලැබුණේ කාගෙන්ද?

13 සලමොන් දෙවිට විශ්වාසවන්තව සිටි කාලයේදී ඔහුට සමාන ප්‍රඥාවන්තයෙක් සිටියේ නැහැ. ඔහු “හිතෝපදේශ තුන්දහසක්” පැවසුවා. (1 රාජා. 4:30, 32, 34NW) අද දිනත් සැබෑ ප්‍රඥාව අත් කරගැනීමට සොයන අය එම කියමන් අදාළ කරගන්න උත්සාහ කරනවා. සලමොන්ගේ ප්‍රඥාව ගැන ආරංචි වූ ෂෙබා දේශයේ රැජින ඔහුගෙන් “සංකීර්ණ ප්‍රශ්න” අසා ඔහුගේ දැනුම මැන බැලීමට කිලෝමීටර් 2,400ක් දුර ගෙවාගෙන පැමිණියා. සලමොන්ගේ ප්‍රඥාව හා ඔහුගේ රාජ්‍යයේ සමෘද්ධිය දැක ඇය පුදුම වුණා. (1 රාජා. 10:1-9) සලමොන්ට මෙතරම් මහත් ප්‍රඥාවක් ලැබුණේ කාගෙන්ද කියා පහත සඳහන් වචනවලින් පැහැදිලියි. “දෙවි සලමොන්ට ලබා දුන් ප්‍රඥාවට ඇහුම්කන් දෙන්න පොළොවේ සතර දිගින් ජනයා පැමිණියෝය.”—1 රාජා. 10:24NW.

ප්‍රඥාවන්ත රජව අනුකරණය කරන්න

14. යේසුස් “සලමොන්ට වඩා උතුම්” වන්නේ කෙසේද?

14 සලමොන්ගේ ප්‍රඥාවට වඩා ප්‍රඥාවක් තිබුණේ එක් මිනිසෙකුට පමණයි. ඒ යේසුස් ක්‍රිස්තුස්. ඔහු තමාවම හැඳින්වූයේ “සලමොන්ට වඩා උතුම්” කෙනෙක් ලෙසයි. (මතෙ. 12:42) යේසුස් “සදාකාල ජීවනයේ වචන” පැවසුවා. (යොහ. 6:68) ඊට මේ උදාහරණය සලකා බලන්න. සලමොන් සැබෑ සන්තෝෂය අත් කරගත හැකි ක්‍රම ගණනාවක් පැවසුවා. යේසුස්ද කන්ද උඩ දේශනාවේදී සලමොන්ගේ හිතෝපදේශයන්වල තිබූ ප්‍රතිපත්තිවලට සමාන ප්‍රතිපත්ති ගැන සඳහන් කරමින් සැබෑ සන්තෝෂයට මඟ කුමක්ද කියා වඩා හොඳින් පැහැදිලි කළා. (හිතෝ. 3:13; 8:32, 33; 14:21; 16:20) සැබෑ සන්තෝෂය ලැබෙන්නේ සැබෑ නමස්කාරයට සම්බන්ධ දේවල්වල හවුල් වීමෙන් හා දෙවිගේ පොරොන්දු ඉටු වන විට බව ඔහු පෙන්වා දුන්නා. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “තම ආත්මික අවශ්‍යතාව [දෙවිගේ මඟ පෙන්වීම්] ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය. මන්ද ස්වර්ග රාජ්‍යය අයිති ඔවුන්ටය.” (මතෙ. 5:3) යේසුස්ගේ එම ඉගැන්වීම්වල ඇති ප්‍රතිපත්ති තම ජීවිතවලට අදාළ කරගන්නා අයට “ජීවිතයේ උල්පත” වන යෙහෝවා දෙවිට ළං විය හැකියි. (ගීතා. 36:9NW ; හිතෝ. 22:11; මතෙ. 5:8) යෙහෝවා “දෙවිගේ ප්‍රඥාව” යේසුස් තුළින් දැකගත හැකියි. (1 කොරි. 1:24, 30) දේවරාජ්‍යයේ රජු වන ඔහුට දෙවිගේ බලය නොඅඩුව ලැබෙන නිසා ඉමහත් ප්‍රඥාවක් ඔහු සතුයි.—යෙසා. 11:2.

15. දෙවිගේ ප්‍රඥාවෙන් ප්‍රයෝජන ගන්න අපට හැක්කේ කෙසේද?

15 ශ්‍රේෂ්ඨ සලමොන් වන යේසුස්ගේ අනුගාමිකයන් වන අපට දෙවිගේ ප්‍රඥාවෙන් ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේද? දෙවිගේ ප්‍රඥාව බයිබලයෙන් සොයාගත හැකියි. එමෙන්ම එහි යේසුස් පැවසූ වදන්ද ඇතුළත් වී තිබෙනවා. ඒ නිසා එය හොඳින් අධ්‍යයනය කිරීමෙන් හා ඒ ගැන කල්පනා කිරීමෙන් දෙවිගේ ප්‍රඥාව ලබාගැනීමට අපි දැඩි වෑයමක් දැරිය යුතුයි. (හිතෝ. 2:1-5) ඊට අමතරව අපි ප්‍රඥාව ඉල්ලා නොකඩවා යාච්ඤා කළ යුතුයි. අපි උපකාර පතා කරන අවංක යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙන බව දේවවචනයේ සහතික කර තිබෙනවා. (යාකො. 1:5) දෙවිගේ බලයේ උපකාරයෙන් බයිබලයේ තිබෙන මැණික් බඳු දෙවිගේ ප්‍රඥාව සොයාගත හැකියි. එවිට ජීවිතයේ අප මුහුණ දෙන විවිධ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමටත් ඥානවන්ත තීරණ ගැනීමටත් අපට හැකි වෙනවා ස්ථිරයි. (ලූක් 11:13) සලමොන් “තමන් ඉගෙනගත් දේ ජනයාට නිතරම කියා දුන්” නිසා ඔහුව “උපදේශකයා” කියාද හැඳින්වූවා. (දේශ. 12:9, 10NW) එලෙසම යේසුස්ද ක්‍රිස්තියානි සභාවේ හිස ලෙස තම ජනයාට දෙවි ගැන උගන්වන නිසා ඔහුවද උපදේශකයා ලෙස හැඳින්විය හැකියි. (යොහ. 10:16; කොලො. 1:18) එමනිසා අප සියලුදෙනාම අපට ‘නොකඩවා උගන්වන’ රැස්වීම්වලට සහාභාගි වීම ඉතා වැදගත්.

16. යේසුස් හා සලමොන් අතර ඇති සමානකමක් සඳහන් කරන්න.

16 යේසුස් හා සලමොන් අතර ඇති තවත් සමානකමක් බලන්න. සලමොන් රජ ඉතා විශාල ව්‍යාපෘතීන් ආරම්භ කළා. ඒවාට ගොඩනැඟිලි, මහා මාර්ග, ජලමාර්ග, ගබඩා නුවරවල්, අශ්ව රථ නවතා තැබීමට නුවරවල් හා අසරුවන් පදිංචි කිරීම සඳහා නුවරවල්ද අයත් වුණා. (1 රාජා. 9:17-19) එමෙන්ම ඔහු ඒවා අධීක්ෂණයද කළා. යේසුස්ද ගොඩනඟන්නෙක් ලෙස කටයුතු කරමින් තම සභාව “පර්වතය මත” ගොඩනැඟුවා. (මතෙ. 16:18) එමෙන්ම ඔහු පාරාදීස පොළොවේදී ගොඩනඟන දේවල්ද අධීක්ෂණය කිරීමට නියමිතයි.—යෙසා. 65:21, 22.

සමාදානයේ රජ අනුව යන්න

17. (අ) සලමොන්ගේ පාලන කාලය තුළ ජනයා අද්දැක්ක විශේෂත්වය කුමක්ද? (ආ) නමුත් ඔහුට කිරීමට හැකියාවක් නොතිබුණේ කුමක්ද?

17 සලමොන් යන නමේ අර්ථය වන්නේ “සමාදානය” යන්නයි. ඔහු පාලනය කළේ යෙරුසලමේ සිටයි. එහි අර්ථය වන්නේ “දෙගුණයක් සමාදානය උරුම” යන්නයි. ඔහු පාලනය කළ වසර 40ක කාලයට සමාන සාමකාමී කාලයක් ඊශ්‍රායෙල් ඉතිහාසයේ තිබුණේ නැහැ. එම සාමකාමී කාලපරිච්ඡේදය ගැන බයිබලයේ විස්තර කරන්නේ මෙසේයි. “යූදා සහ ඊශ්‍රායෙල් දේශවල විසූ ජනයා සුරක්ෂිතව කල් ගෙවූහ. සලමොන් රජකම් කළ මුළු කාලය පුරාම, දාන් සිට බෙයර් ෂෙබා දක්වා වාසය කළ සියලුදෙනා තම තමාගේ මිදිවැල යටද තම තමාගේ අත්තික්කා ගස යටද සුවසේ වාසය කළෝය.” (1 රාජා. 4:25NW) සලමොන්ට කොතරම් ප්‍රඥාවක් තිබුණත් ඔහුගේ යටත් වැසියන්ව අසනීපවලින්, පාපයෙන් හා මරණයෙන් මුදවාගන්න ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. ඔහුට වෙනස්ව ශ්‍රේෂ්ඨ සලමොන් වන යේසුස් ඉදිරියෙදී තම යටත් වැසියන්ව ඒ සියල්ලෙන් නිදහස් කරගැනීමට නියමිතයි.—රෝම 8:19-21 කියවන්න.

18. අප ක්‍රිස්තියානි සභාව තුළ භුක්ති විඳින තත්වය කුමක්ද?

18 අද දින පවා අපි ක්‍රිස්තියානි සභාව තුළ සාමකාමී වතාවරණයක් භුක්ති විඳිනවා. ඇත්තෙන්ම දෙවිගේ ආශීර්වාද ලබන සෙනඟ සමඟ ඇසුරු කරන්න ලැබීම නිසා අපි සිටින්නේ පාරාදීසයක් බඳු තත්වයකයි. අපට දෙවි සමඟත් අසල්වැසියන් සමඟත් සමාදානයෙන් සිටීමට හැකි වී තිබෙනවා. මෙම තත්වය ගැන යෙසායා කලින්ම මෙසේ පවසා තිබුණා. “ඔවුහු තමුන්ගේ කඩුවලින් නගුල් තළද පිහිවලින් දෑකැතිද සාදාගන්නෝය. තවදුරටත් ජාතියක් ජාතියකට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.” (යෙසා. 2:3, 4NW) අපි දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ජීවත් වෙනවා නම් මෙම පාරාදීසයේ අලංකාරයට දායක වෙන්න අපටත් හැකියි.

19, 20. සන්තෝෂ වීමට අපට තිබෙන හේතු මොනවාද?

19 අප අනාගත පාරාදීසයේදී මීට පෙර කිසි දිනක භුක්ති නොවිඳි ආකාරයේ සමාදානයක් භුක්ති විඳීමට නියමිතයි. එය සිදු වන්නේ යේසුස්ගේ පාලනය යටතේ වන අතර කීකරු මිනිස්වර්ගයාට “දිරාපත් වීමේ වහල්කමින් නිදහස් වී” ක්‍රමානුකූලව පරිපූර්ණත්වයට පැමිණීමේ අවස්ථාවද ලැබෙනවා. (රෝම 8:21) ඉන්පසුව දහස් අවුරුදු පාලනය අවසානයේ තිබෙන අවසන් පරීක්ෂණය ජයගන්නා ‘නිහතමානි අය පොළොව උරුම කරගන්න අතර දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුන් මහත් සේ ප්‍රීති වෙනවා.’ (ගීතා. 37:11NW; එළි. 20:7-10) ඇත්තෙන්ම සලමොන්ගේ පාලන කාලයට වඩා යේසුස්ගේ පාලන කාලයේදී අපට ලැබෙන ආශීර්වාද සිතාගන්නවත් බැරි වේවි.

20 එදා මොසෙස්, දාවිත් හා සලමොන් යටතේ ඊශ්‍රායෙල්වරු සන්තෝෂය භුක්ති වින්දා. ඉදිරියෙදී යේසුස්ගේ පාලනය යටතේ අපි ඊටත් වඩා සන්තෝෂයක් භුක්ති විඳීමට නියමිතයි. (1 රාජා. 8:66) මේ සියලු දේ සඳහා අප ස්තුතිවන්ත විය යුත්තේ අපේ දෙවි යෙහෝවාටයි. ඊට හේතුව නම් මෝසෙස්, දාවිත් හා සලමොන්ට වඩා ශ්‍රේෂ්ඨ තැනැත්තා වූ ඔහුගේ එකම පුත්‍රයාව අප වෙනුවෙන් දී තිබීමයි.

[පාදසටහන්වල]

^ 4 ඡේ. දාවිත් යන නමේ තේරුම “ප්‍රේමණීය” යන්නයි. යෙහෝවා දෙවි අවස්ථා දෙකකදීම “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය” කියා යේසුස්ව ඇමතුවා.—මතෙ. 3:17; 17:5.

^ 7 ඡේ. දාවිත් තම එඬේරාට කීකරුව සිටින බැටළු පැටවෙකු ලෙසද කටයුතු කළා. ඔහු ආරක්ෂාව සහ මඟ පෙන්වීම පැතුවේ අති ශ්‍රේෂ්ඨ එඬේරා වන යෙහෝවා දෙවිගෙනුයි. ඔහු දැඩි විශ්වාසයකින් පැවසුවේ “යෙහෝවා දෙවි මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය” කියායි. (ගීතා. 23:1NW) යේසුස්වද යොහන් බව්තීස්ත හැඳින්වුයේ “දෙවිගේ බැටළු පැටවා” ලෙසයි.—යොහ. 1:29.

^ 12 ඡේ. සලමොන්ගේ අනෙක් නම වූයේ යෙදිදීයායි. එහි තේරුම ‘යෙහෝවා දෙවි විසින් ප්‍රේම කළ තැනැත්තා’ යන්නයි.—2 සාමු. 12:24, 25.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යේසුස් ශ්‍රේෂ්ඨ දාවිත් වන්නේ කෙසේද?

• යේසුස් ශ්‍රේෂ්ඨ සලමොන් වන්නේ කෙසේද?

• ශ්‍රේෂ්ඨ දාවිත් හා සලමොන් ලෙස යේසුස් කළ කාර්යය ඔබ අගය කරන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[31වන පිටුවේ පින්තූරය]

සලමොන්ට දෙවි දුන් ප්‍රඥාවෙන් නියෝජනය කළේ ශ්‍රේෂ්ඨ සලමොන් වූ යේසුස්ගේ ප්‍රඥාවයි

[32වන පිටුවේ පින්තූරය]

සලමොන්ගේ හා දාවිත්ගේ පාලනයට වඩා යේසුස්ගේ පාලනයේදී ලැබෙන ආශීර්වාද ගැන අපට සිතාගන්නවත් බැරි වේවි!