Skip to content

පටුනට යන්න

අප අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන් වීමට ඉගෙනගනිමු

අප අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන් වීමට ඉගෙනගනිමු

අප අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන් වීමට ඉගෙනගනිමු

“අපි මේරූභාවය [අවබෝධයෙන් කටයුතු කරන අය වීම] කරා ඉදිරියටම යමු.”—හෙබ්‍රෙ. 6:1.

1, 2. යෙරුසලමේ සහ යුදයේ සිටි අයට ‘කඳුවලට පලා යෑමට’ අවස්ථාව ලැබුණේ කෙසේද?

දිනක් යේසුස්ගේ ගෝලයන් ඔහු ළඟට ඇවිත් මෙසේ ඇසුවා. “ඔබේ පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද?” ඊට පිළිතුරු ලෙස ඔහු, එදා පැවති සමාජයේ අවසානය හඳුනාගත හැකි අසාමාන්‍ය සිදු වීම් පෙළක් ඇතුළත් අනාවැකියක් පැවසුවා. ඒවා සිදු වෙනවාත් සමඟම “යුදයේ සිටින අය කඳුවලට පලා” යා යුතුව තිබුණා. (මතෙ. 24:1-3, 15-22) නමුත් ඔවුන් යේසුස් දුන් ඒ ලකුණු හොඳින් අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියා කරයිද?

2 ඊට දශක තුනකට පමණ පසු එනම් ක්‍රිස්තු වර්ෂ 61දී පාවුල් යෙරුසලම හා ඒ අවට සිටි හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ව සිතන්න පොලඹවන ලිපියක් ලිව්වා. නමුත් යෙරුසලමට පැමිණීමට නියමිත ‘මහත් පීඩාවට’ තව ඇත්තේ අවුරුදු පහක පමණ කාලයක් බව පාවුල්වත් සෙසු ක්‍රිස්තියානීන්වත් දැන සිටියේ නැහැ. (මතෙ. 24:21) සෙස්ටියස් ගැලස් යටතේ ක්‍රි.ව. 66දී පැමිණි රෝම හමුදාව යෙරුසලම සම්පූර්ණයෙන්ම වට කළා. නමුත් හිටි හැටියේම ඔවුන් ආපසු හැරී ගියා. යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන්ට තම ජීවිත ගලවාගැනීම සඳහා ඉන් පිටව යෑමට එමගින් අවස්ථාව උදා වූණා.

3. පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ කුමක් කිරීමටද? ඒ ඇයි?

3 එසේ බේරී පලා යාම සඳහා එම ක්‍රිස්තියානීන් යේසුස් පැවසූ සිද්ධීන් ගැන හොඳ අවබෝධයකින් හා සෝදිසියකින් සිටීම අවශ්‍ය වුණා. කෙසේවෙතත් සමහරුන්ගේ “ඇහුම්කන් දීමේ හැකියාව මොට වී” තිබූ අතර ඔවුන් කටයුතු කළේ බයිබල් සත්‍යයන් ගැන අවබෝධයක් නොමැති “කිරි බොන” ළදරුවන් වගෙයි. (හෙබ්‍රෙව් 5:11-13 කියවන්න.) එමෙන්ම දශක ගණනාවක් දෙවිට නමස්කාර කළ සමහර අය “ජීවමාන දෙවි කෙරෙන් ඈත්” වෙන්න පටන්ගෙන තිබුණා. (හෙබ්‍රෙ. 3:12) ‘ඒ දවස ළං වෙමින්’ තිබියදීත් තවත් අය ‘පුරුද්දක් ලෙස’ ක්‍රිස්තියානි රැස්වීම් අතපසු කළා. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ නිසා පාවුල් එදා ඔවුන්ට මෙසේ උනන්දු කිරීම ඉතා උචිතයි. “අපි ක්‍රිස්තුස් පිළිබඳ ප්‍රාථමික ඉගැන්වීම පසු කර සිටින නිසා, මේරූභාවය [අවබෝධයෙන් කටයුතු කරන අය වීම] කරා ඉදිරියටම යමු.”—හෙබ්‍රෙ. 6:1.

4. අප හොඳ සෝදිසියෙන් සිටීම වැදගත් ඇයි? ඒ සඳහා අපට උපකාරවත් වන්නේ කුමක්ද?

4 දැන් අප ජීවත් වන්නේ යේසුස් පැවසූ අනාවැකියේ අවසන් ඉටු වීම සිදු වන කාලයේයි. ඔව් “යෙහෝවා දෙවිගේ මහත් දවස” එනම් සාතන්ගේ පාලනය යටතේ පවතින සියලුම දේවලට අවසානයක් ගෙනෙන ඒ දවස “ළං වී” තිබෙනවා. (ශෙප. 1:14, නව ලොව පරිවර්තනය, NW) ඒ නිසා අපි වෙන කවරදාකටත් වඩා බයිබල් අනාවැකි ඉටු වන ආකාරය ගැන සෝදිසියෙන් සිටිය යුතු අතර දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමත් අවශ්‍යයි. (1 පේතෘ. 5:8) අපි ඇත්තටම එසේ කරමින් සිටිනවාද කියා කල්පනා කර බලමු. අපි අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන් බවට පත් වීමට උත්සාහ කරමු. එවිට, අප සිටින්නේ අවසාන කාලයේ බව තේරුම්ගැනීමට අපට හැකියි.

අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙක් කියන්නේ කාටද?

5, 6. (අ) අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙක් කියන්නේ කාටද? (ආ) එසේ කටයුතු කිරීම සඳහා දියුණු කරගත යුතු පැති දෙක කුමක්ද?

5 පාවුල් මුල් සියවසේ සිටි හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට අවබෝධයෙන් කටයුතු කරන්න කියා පැවසුවා පමණක් නොව එය කරන්නේ කෙසේද කියාත් පැවසුවා. (හෙබ්‍රෙව් 5:14 කියවන්න.) එවැනි ක්‍රිස්තියානියෙක් ‘කිරිවලින්’ පමණක් සෑහීමට පත් නොවන අතර ‘ගන ආහාරද’ ලබාගන්නවා. එමනිසා දෙවිගේ ඉගැන්වීම්වල “ගැඹුරු දේ” මෙන්ම “ප්‍රාථමික දේවල්” ගැනද හොඳ අවබෝධයක් ඔහු සතුයි. (1 කොරි. 2:10) ඔහු එම අවබෝධය භාවිත කිරීම මගින් එය පුහුණු කරනවා. ඒ මගින් හරි වැරැද්ද අතර වෙනස වටහාගැනීමට ඔහුට හැකියි. උදාහරණයකට ඔහුට යම් තීරණයක් ගැනීමට සිදු වෙනවා කියා සිතන්න. එවිට එම තීරණයට අදාළ බයිබල් ප්‍රතිපත්ති මොනවාද, ඒවා අදාළ කරගන්නේ කෙසේද කියා අවබෝධ කරගැනීමටත් ඔහු සතු පුහුණුව ඔහුට උපකාර කරනවා. අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙක් කියන්නේ එවැනි කෙනෙකුටයි.

6 “අප කිසි කලක ගසාගෙන නොයන පිණිස, අප ඇසූ දේවල් කෙරෙහි සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම අවශ්‍යය” කියා පාවුල් පැවසුවා. (හෙබ්‍රෙ. 2:1) අපට නොදැනුවත්වම අපව ඇදහිල්ලෙන් ගසාගෙන යා හැකියි. එවැන්නක් සිදු නොවීමට නම් අපගේ පෞද්ගලික අධ්‍යයනයෙන් හා රැස්වීම්වලින් අපි ඉගෙනගන්නා තොරතුරු කෙරෙහි “සාමාන්‍යයට වඩා වැඩි අවධානයක්” දීම අවශ්‍යයි. එමනිසා අපි මේ ප්‍රශ්න ගැන හොඳින් සිතා බලමු. ‘මම තවමත් ඉගෙනගනිමින් ඉන්නේ බයිබලයේ මූලික ඉගැන්වීම්ද? මම දෙවිගේ නමස්කාරයේ කටයුතු කරන්නේ කරන්නන් වාලේ කරන දෙයක් හැටියටද? මට සත්‍යය තුළ ප්‍රගතියක් ලබන්න පුළුවන් කොහොමද?’ දෙවිගේ ප්‍රතිපත්ති ගැන මනා අවබෝධයකින් කටයුතු කරන ක්‍රිස්තියානියෙකු වීමට නම් අපි අඩුම තරමින් පැති දෙකකින් දියුණු විය යුතුයි. පළමුව, අපි දේවවචනය ගැන හොඳ අවබෝධයක් ලබාගත යුතුයි. දෙවනුව, අපි කීකරු වීමට ඉගෙනගත යුතුයි.

දේවවචනය ගැන හොඳ අවබෝධයක් ලබන්න

7. දේවවචනය ගැන හොඳ අවබෝධයක් ලැබීමෙන් අපට ප්‍රයෝජන අත් කරගත හැක්කේ කෙසේද?

7 “කිරි බොන ඕනෑම කෙනෙකු බිලිඳෙකු වන බැවින් ඔහු ධර්මිෂ්ඨකමේ වචනය නොදන්නේය” කියා පාවුල් පැවසුවා. (හෙබ්‍රෙ. 5:13) අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙකු වීමට නම් අපි දේවවචනය ගැන හොඳ අවබෝධයක් ඇතුව සිටිය යුතුයි. එනම් දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේ ගැන හොඳින් දැන සිටිය යුතුයි. එසේ කිරීම සඳහා අපි බයිබලය හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයන ප්‍රකාශන හොඳින් අධ්‍යයනය කළ යුතුයි. (මතෙ. 24:45-47) දෙවි සිතන ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කිරීමෙන්ද වටහාගැනීමේ ශක්තිය පුහුණු කිරීමට අපට හැකියි. ඒ සම්බන්ධයෙන් ඕකිඩ් නමැති සහෝදරිය පවසන දේ බලන්න. * “මගේ ජීවිතයට ලොකු බලපෑමක් කරපු සිහිගැන්වීම් අතරින් එකක් තමයි හැමදාම බයිබලය කියවන්න කියන එක. බයිබලය සම්පූර්ණයෙන්ම කියවන්න මට අවුරුදු දෙකක් විතර ගියා. ඒ වුණත් ඒකෙන් පස්සේ මට තේරුණේ හරියට, මුල් වතාවට මගේ නිර්මාණකරුව මට හමු වුණා වගෙයි. බයිබලය කියවීමෙන් මට දෙවිගේ මාර්ග ගැන, ඔහු කැමති අකමැති දේවල් ගැන ඔහුගේ බලය හා ප්‍රඥාව මොන තරම්ද වැනි දේවල් ගැනත් ඉගෙනගන්න පුළුවන් වුණා. ඒ වගේම මම ජීවිතයේ මුහුණ දුන් ඉතා කටුක තත්වයන්වලදී බයිබලය කියවීම මට ලොකු ශක්තියක් වුණා.”

8. බයිබලය දිනපතා කියවීම අපව බලවත් කරන්නේ කෙසේද?

8 දිනපතා බයිබලයෙන් කොටසක් කියවීමෙන් මහත් ‘බලයක්’ හෝ ශක්තියක් ලබන්න අපට හැකියි. (හෙබ්‍රෙව් 4:12 කියවන්න.) එවිට අපගේ සිතුවිලි, ආකල්ප හා චේතනා දෙවිගේ කැමැත්තට අනුව සකස් වන අතර දෙවිට ඉතා ප්‍රසන්න පුද්ගලයන් වීමට ඒ තුළින් අපට හැකියි. එමනිසා බයිබලය නිතිපතා කියවා ඉන් පෝෂණය වීමට ආශාවක් ඔබ තුළත් තිබෙනවාද කියා කල්පනා කර බලන්න.

9, 10. දේවවචනය ගැන හොඳ අවබෝධයක් ඇතුව සිටීමට ඇතුළත් වන්නේ කුමක්ද? පැහැදිලි කරන්න.

9 දේවවචනය ගැන හොඳ අවබෝධයක් ඇතුව සිටීම කියන්නේ, එහි ඇති කරුණු නිකම්ම දැන සිටීම පමණක් නොවෙයි. පාවුල්, ළදරුවන් කියා හැඳින්වූ අයටත් ශුද්ධ ලියවිල්ල ගැන දැනුමක් නොතිබුණා නොවෙයි. නමුත් ඔවුන් ඒ දැනුම ක්‍රියාත්මක කර එහි ඇති වටිනාකම තේරුම්ගත්තේ නැහැ. ඒ නිසා එම දැනුම ප්‍රයෝජනයට ගනිමින් ඥානවන්ත තීරණ ගැනීමට ඔවුන්ට නොහැකි වුණා.

10 බයිබලයේ අඩංගු දේවල් ගැන දැනුමක් ලබා සිටීම කියන්නේ, එහි අඩංගු තොරතුරු හොඳින් තේරුම්ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමයි. එය කළ හැකි ආකාරය සහෝදරී කයිල්ගේ අද්දැකීමෙන් පැහැදිලියි. ඇය සහ ඇය රැකියා කරන ස්ථානයේ කාන්තාවක් අතර බහින්බස් වීමක් ඇති වුණා. එය විසඳාගැනීමට කළ දේ ගැන ඇය මෙසේ පවසනවා. “ඒ වෙලාවේ එකපාරටම මට මතක් වුණේ රෝම 12:18හි සඳහන් ‘පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න’ යන වචනයි. පසුව මම ඇයව හමුවෙලා ඇති වුණ ප්‍රශ්නය ගැන කතා කළා.” ඒ නිසා කයිල්ට එම ප්‍රශ්නය සාර්ථකව විසඳාගන්න හැකි වුණා. කයිල් ඒ සඳහා ඉදිරිපත් වීම ගැන එම කාන්තාව පුදුම වුණා. “හැමවිටම බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන එක තමයි හරි දේ කියලා මම තේරුම්ගත්තා” කියා කයිල් පවසනවා.

කීකරු වීමට ඉගෙනගන්න

11. දුෂ්කර තත්වයන්වලදී කීකරුකම දැක්වීම අභියෝගයක් බව පෙනෙන්නේ කුමකින්ද?

11 අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙකු වීම සඳහා අප දියුණු කරගත යුතු අනික් පැත්ත වන්නේ කීකරුකමයි. දුෂ්කර තත්වයන්වලදී බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අභියෝගයක් විය හැකියි. උදාහරණයකට, යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජීප්තුවේ වහල්භාවයෙන් නිදහස් කරගෙන වැඩි කල් යන්නට මත්තෙන් සිදු වූ දේ බලන්න. ඔවුන් “මෝසෙස් සමඟ වාද” කරමින් ‘යෙහෝවා දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා පරීක්ෂා කළා.’ ඔවුන් එසේ කළේ බොන්න වතුර නැහැ කියායි. (නික්. 17:1-4) ඔවුන් “යෙහෝවා දෙවි පැවසූ සියල්ල” කරන බවට එකඟ වී මාස දෙකක් යන්නත් පෙර රූප නමස්කාරයේ යෙදුණා. (නික්. 24:3, 12-18; 32:1, 2, 7-9) ඊට හේතුව මෝසෙස්, හොරේබ් කන්දට ගොස් පැමිණෙන්න ප්‍රමාද වීම ගැන ඔවුන් බිය වූ නිසාද? නැත්නම් මෝසෙස් නැති අතරේදී අමෙලෙක්වරු නැවත පැමිණ පහර දෙයි කියා ඔවුන් සිතූ නිසාද? (නික්. 17:8-16) හේතුව කුමක් වුණත් ඔවුන් “කීකරු වන්න” කැමැත්තක් දැක්වූයේ නැහැ. (ක්‍රියා 7:39-41) ‘ඒ අකීකරුකමේ ආදර්ශයට අනුව’ නොයා සිටීම සඳහා ‘උපරිමය කරන්න’ කියා පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටියේ ඒ නිසයි.—හෙබ්‍රෙ. 4:3, 11.

12. යේසුස් කීකරුකම ඉගෙනගත්තේ කෙසේද? එමෙන්ම ඉන් ඔහු ලැබූ ප්‍රයෝජන මොනවාද?

12 අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙකු වීමේදී දෙවිට කීකරු වීම සඳහා අපි දැඩි උත්සාහයක් දැරිය යුතුයි. අපට බොහෝවිට කීකරුකම ඉගෙනගත හැක්කේ අප මුහුණ දෙන දුක් පීඩාවලිනුයි. ඒ බව යේසුස්ගේ ආදර්ශයෙන් අපට පැහැදිලියි. (හෙබ්‍රෙව් 5:8, 9 කියවන්න.) පොළොවට පැමිණිමට පෙරත් යේසුස් තම පියාට කීකරුව සිටියා. නමුත් පොළොවට පැමිණ තම පියාගේ කැමැත්ත කිරීමේදී ඔහුට ශාරීරිකව මෙන්ම මානසිකව පීඩා විඳින්නත් දැඩි විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන්නත් සිදු වුණා. ඒවාට සාර්ථකව මුහුණ දීමෙන් ඔහු දෙවිට කීකරුව සිටීමට ඉගෙනගත්තා. ඒ තුළින් ඔහු, දෙවි අරමුණු කළ රජ හා උත්තම පූජක හැටියට සේවය කිරීමට සෑම අතින්ම “පරිපූර්ණ” කෙනෙකු බවට පත් වුණා.

13. අප කීකරුකම ඉගෙනගෙන ඇති බව පෙන්විය හැක්කේ කුමකින්ද?

13 අප ගැන කුමක් කිව හැකිද? දුෂ්කර තත්වයන් යටතේ වුණත් දෙවිට කීකරු වීමට අපි අදිටන් කරගෙන සිටිනවාද? (1 පේතෘස් 1:6, 7 කියවන්න.) සදාචාරය පිළිබඳ ප්‍රමිති, අවංක වීම, සුදුසු කතාබහ, බයිබලය කියවීම හා අධ්‍යයනය කිරීම මෙන්ම රැස්වීම්වලට හා දේවසේවයේ හවුල් වීම ගැන යෙහෝවා දෙවි දී ඇති පැහැදිලි උපදෙස් ගැන සිතන්න. (යොෂු. 1:8; මතෙ. 28:19, 20; එෆී. 4:25, 28, 29; 5:3-5; හෙබ්‍රෙව් 10:24, 25) පීඩා හා දුෂ්කරතා යටතේ වුණත් ඉහත සඳහන් දෙවිගේ ප්‍රමිතිවලට කීකරු වීමට අපි අදිටන් කරගෙන සිටිනවාද? අප එවැනි අවස්ථාවලදීත් දෙවිට කීකරු වෙනවා නම් අපි අවබෝධයෙන් කටයුතු කරන මෙන්ම කීකරුකම ඉගෙනගෙන ඇති බව පෙන්විය හැකියි.

එවන් ක්‍රිස්තියානීන් ලබන ප්‍රයෝජන

14. හොඳ අවබෝධයෙන් කටයුතු කිරීම ආරක්ෂාවක් වන ආකාරය ගැන උදාහරණයක් දෙන්න.

14 “කිසිම සදාචාරමය හැඟීමක් නැති” මේ ලෝකයේ, බයිබල් ප්‍රතිපත්ති අවබෝධ කරගෙන හරි වැරැද්ද අතර වෙනස හොඳින් හඳුනාගැනීමට හැකි වීම අපට ලොකු ආරක්ෂාවක්. (එෆී. 4:19) සහෝදර ජේම්ස්ගේ අද්දැකීමෙන්ද එය ඔප්පු වෙනවා. ඔහු නොකඩවාම බයිබලය මත පදනම් පොත්පත් කියවන අතර ඒවායේ මඟ පෙන්වීම් ගොඩාක් අගය කරනවා. ඔහු සේවය කළ ස්ථානයේ සියලුදෙනාම කාන්තාවන්. රැකියා ස්ථානයේ වතාවරණය ගැන ජේම්ස් පවසන්නේ මෙසේයි. “ඒ හැමෝම වගේ කිසිම සදාචාර ප්‍රතිපත්තියක් නැති අයයි. ඒ වුණත් ඒ අයගෙන් එක්කෙනෙක් නම් බයිබල් සත්‍යයට උනන්දුවක් දක්වපු හොඳ කෙනෙක් වගෙයි පෙනුණේ. එක දවසක් වැඩකරන ස්ථානයේ සිටියේ මමයි ඒ කාන්තාවයි විතරයි. ඇය මාව වැරදි දෙයකට පොලඹවාගන්නා ආකාරයෙන් වගේ හැසිරෙන්න පටන්ගත්තා. මම හිතුවේ ඒ විහිළුවට කියලා වුණත් ඇයව නතර කරන එක අමාරු වෙන්න පටන්ගත්තා. ඒ වෙලාවේ මට මතක් වුණේ රැකියා ස්ථානයේ මේ වගේම තත්වයකට මුහුණ දුන් සහෝදරයෙක් ගැන මුරටැඹ සඟරාවේ තිබුණු අද්දැකීමකුයි. ඒ ලිපියේ යෝසෙප් සහ පොතිෆර්ගේ භාර්යාව ගැනත් තිබුණා. * මම ඇයව පැත්තකට තල්ලු කෙරුවාම ඇය පැනලා දිව්වා.” (උත්. 39:7-12) ඒ අවස්ථාවේදී දෙවිගේ ප්‍රතිපත්තිවලට පටහැනිදෙයක් සිදු නොවීම ගැන ජේම්ස් සතුටු වෙනවා.—1 තිමෝ. 1:5.

15. හොඳ අවබෝධයෙන් කටයුතු කිරීමට වෑයම් කිරීමෙන් ලැබෙන තවත් ප්‍රයෝජන මොනවාද?

15 හොඳ අවබෝධයෙන් කටයුතු කිරීමට වෑයම් කිරීමෙන් තවත් ප්‍රයෝජන බොහෝමයක් ලැබෙනවා. “විවිධාකාර, අමුතු ඉගැන්වීම්වලින් ගසාගෙන” යාමෙන් වැළකී සිටීමට එය උපකාරයක්. (හෙබ්‍රෙව් 13:9 කියවන්න.) එමෙන්ම අපි අවබෝධයෙන් කටයුතු කරන්න වෑයම් කරන විට “වඩා වැදගත් දේවල්” කෙරෙහි සම්පූර්ණ අවධානයක් දීමටත් අපට හැකියි. (ෆිලි. 1:9, 10) එවිට අපගේ ප්‍රයෝජනය සඳහා දෙවි සපයා ඇති සියල්ල කෙරෙහි අපගේ අගය තවත් වැඩි වෙයි. (රෝම 3:24) එමෙන්ම අප “තේරුම්ගැනීමේ හැකියාව” ඇතුව කටයුතු කරන විට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳීමටද හැකි වෙනවා.—1 කොරි. 14:20.

16. මුළු හදවතින්ම දෙවිට සේවය කිරීමට එක් සහෝදරියකට හැකි වුණේ කෙසේද?

16 සහෝදරී ලුවීස්ගේ අද්දැකීම බලන්න. ඇය බව්තීස්ම වී ටික කලකට පසු ඇය යෙහෝවා දෙවිගේ නමස්කාරයේ කටයුතුවල හවුල් වුණේ එසේ නොකළොත් අන් අය තමන් ගැන මොනවා හිතයිද යන ආකල්පය නිසයි. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මම වැරදි දෙයක් කෙරුවේ නැහැ. ඒ වුණත් මම දෙවිට සේවය කළේ එතරම් ආශාවකින් නොවෙයි. ඒ නිසාදෙවිට මගේ මුළු හදවතින්ම සේවය කරන්න නම් යම් වෙනස්කම් කරන්න ඕනේ කියලා මට තේරුණා. මගේ මුළු හදවතින්ම දෙවිට සේවය කරන්න ආශාවක් ඇති කරගැනීම තමයි මට කරන්න තිබුණ ලොකුම වෙනස්කම.” දැඩි වෑයමක් දැරීමෙන් පසු ඇය ඒ වෙනස්කම කළා. ඒ නිසා ඇය මුහුණ දුන් කලකිරවන සෞඛ්‍යය ගැටලුවකට සාර්ථකව මුහුණ දීමටද ඇයට හැකි වුණා. (යාකො. 5:8) ඒ ගැන ඇය මෙසේ පවසනවා. “අසනීප තත්වය යටතේ මම ගොඩක් දුෂ්කරතාවන් අද්දැක්කත් යෙහෝවා දෙවිට ළං වෙන්න මට හැකි වුණා.”

ඔබේ සිතින්ම කීකරු වන්න’

17. මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට කීකරුකම විශේෂයෙන්ම වැදගත් වුණේ ඇයි?

17 යෙරුසලමේ හා යුදයේ සිටි අයගේ ජීවිත ගැලවුණේ, අවබෝධයෙන් කටයුතු කරන්න කියා පාවුල් දුන් උපදෙසට ඔවුන් කීකරු වූ නිසයි. එවැනි ක්‍රිස්තියානීන් යෙරුසලෙමේ විනාශය ගැන යේසුස් පැවසූ ලකුණු අවබෝධ කරගෙන ‘පාළු කිරීම සිදු කරන පිළිකුල ශුද්ධ ස්ථානයක තිබෙන’ බව දකින විට ඔවුන් “කඳුවලට පලා” යා යුතු බව ඔවුන් දැන සිටියා. (මතෙ. 24:15, 16) ඒ කාලය පැමිණි විට ඔවුන් එසේ කළාද? ඔව්, යේසුස් දුන් අනතුරු ඇඟවීමට එකඟව බොහෝ ක්‍රිස්තියානීන් යෙරුසලමෙන් පිට වී ගිලියද් නම් කඳුකර ප්‍රදේශයේ පිහිටි නගරයක් වන පෙලාවලට පලා ගියා. ඒ බව ඉතිහාසඥයෙකු වූ යුසීබියස් වාර්තා කළා. ඒ නිසා යෙරුසලම මතට පැමිණි භයානක විනාශයෙන් ආරක්ෂා වෙන්න ඔවුන්ට හැකි වුණා.

18, 19. (අ) අපගේ කාලයේදී කීකරුකම වැදගත් ඇයි? (ආ) ඊළඟ ලිපියෙන් අපි සලකා බලන්නේ කුමක්ද?

18 හොඳ අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙකු වීමට වෑයම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අප තුළ කීකරුකම වර්ධනය වෙනවා. ඒ තුළින් යේසුස් පැවසූ අනාවැකියේ අවසන් ඉටු වීම වන ‘මහත් පීඩාවේදී’ අපගේ ජීවිතත් ආරක්ෂා කරගැනීමට අපට හැකියි. (මතෙ. 24:21) අවසානය ළං වෙද්දී “විශ්වාසවන්ත” දාසයා අපට ලබා දිය හැකි විශේෂ මඟ පෙන්වීම්වලට අපත් කීකරු වෙයිද? (ලූක් 12:42) ඒ සඳහා දැන් සිටම මුළු “සිතින්ම කීකරු” වීමට ඉගෙනගැනීම කොතරම් වැදගත්ද?—රෝම 6:17.

19 අප හොඳ අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙකු බවට පත් වන්නේ අපගේ වටහාගැනීමේ හැකියාව පුහුණු කරනවාත් සමඟයි. ඒ සඳහා අපි බයිබලයේ අඩංගු තොරතුරු ගැන හොඳ දැනුමක් ලබාගත යුතුයි. ඒ වගේම කීකරු වීමටද ඉගෙනගත යුතුයි. හොඳ අවබෝධයෙන් කටයුතු කිරීමට වෑයම් කිරීමේදී එය අභියෝගයක් වන විශේෂ පිරිසක් සිටිනවා. ඒ අපගේ යෞවනයනුයි. ඊළඟ ලිපියෙන් අපි සලකා බලන්නේ ඒවාට සාර්ථකව මුහුණ දීමට ඔවුන්ට හැකි ආකාරය ගැනයි.

[පාදසටහන්වල]

^ 7 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 14 ඡේ. වර්ෂ 1999 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ පළ වූ “වැරදි දේවල් ප්‍රතික්ෂේප කිරීමට ශක්තිය උපදවාගැනීම” යන ලිපිය බලන්න.

ඔබට මතකද?

• අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙකු කියන්නේ කාටද? එමෙන්ම එවැනි කෙනෙකු වීමට අපට හැක්කේ කෙසේද?

• දේවවචනය ගැන හොඳ අවබෝධයක් ඇතුව සිටීම, අවබෝධයෙන් කටයුතු කිරීමට අපට උපකාරයක් වන්නේ කෙසේද?

• අප කීකරුකම ඉගෙනගන්නේ කෙසේද?

• හොඳ අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙකු වීමේ ඇති ප්‍රයෝජන මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

බයිබලයේ දී ඇති ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ප්‍රශ්න ගැටලු ඥානවන්තව විසඳාගන්න අපට හැකියි

[12, 13වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ උපදෙසට ඇහුම්කන් දීමෙන් මුල් ක්‍රිස්තියානීන්ගේ ජීවිත ගැලවුණා