Skip to content

පටුනට යන්න

යෞවනයෙනි, ඔබේ දියුණුව අන් අයට පෙනෙන්න සලස්වන්න

යෞවනයෙනි, ඔබේ දියුණුව අන් අයට පෙනෙන්න සලස්වන්න

යෞවනයෙනි, ඔබේ දියුණුව අන් අයට පෙනෙන්න සලස්වන්න

“මේ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඒවායෙහි යෙදී සිටින්න. එවිට ඔබේ දියුණුව සියල්ලන්ට පෙනෙන්නේය.”—1 තිමෝ. 4:15.

1. යෞවනයන් සම්බන්ධයෙන් දෙවිගේ ආශාව කුමක්ද?

“තරුණය, ඔබේ යෞවන කාලය සතුටින් ගත කරන්න. යොවුන් වියේදී ප්‍රීති වන්න. ඔබේ සිතේ ආශාවන් ඉටු කරගන්න.” (දේශ. 11:9, නව ලොව පරිවර්තනය, NW) එසේ පැවසුවේ සලමොන් රජයි. මේ අදහස වාර්තා කිරීමට ඔහුව පෙලඹෙව්වේ යෙහෝවා දෙවියි. යෞවනයෙනි, දෙවිගේ ආශාව වන්නේ ඔබ ඔබේ ජීවිතය සතුටින් ගත කරනවා දැකීමයි. දෙවිට අවශ්‍ය ඔබ යෞවන කාලයේදී පමණක් නොව ජීවිතයේ ඉතිරි කාලයත් සතුටින් ගත කරනවා දැකීමයි. කෙසේනමුත් යෞවනයෙකු අතින් සිදු විය හැකි බරපතළ වැරදි ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලයම ඔහුව දුකින් තැබිය හැකියි. යෝබ්ද ඔහුගේ ‘තරුණ වියේ කළ පාප’ ගැන කනගාටු වුණා. (යෝබ් 13:26NW) තම ගැටවර අවදියේදී හා ඉන්පසුව එළඹෙන අවුරුදුවලදී ක්‍රිස්තියානියෙකුට තම ජීවිතයේ බරපතළ තීරණ ගැනීමට සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී කාරණා හරියාකාරව සෝදිසි කර බලා තීරණ නොගතහොත් ඔහුට දැඩි වේදනාවන්ට මුහුණ දීමට සිදු වන අතර එය ඔහුගේ ඉදිරි ජීවිතයටත් බලපෑ හැකියි.—දේශ. 11:10.

2. බරපතළ වැරදි වළක්වා ගැනීමට යෞවනයෙකුට උපකාර වන්නේ කුමන බයිබල් උපදෙස අදාළ කරගැනීමද?

2 තීරණ ගැනීමේදී යෞවනයෙක් කාරණා හරියාකාරව සෝදිසි කර බැලීම ඉතා වැදගත්. ඒ ගැන පාවුල් පැවසුවේ මෙසේයි. ‘තේරුම්ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් කුඩා දරුවන් නොවන්න. එහෙත් තේරුම්ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් මේරූ වන්න [හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න].’ (1 කොරි. 14:20) එලෙස පැහැදිලිව සිතා බලා කාරණා හොඳින් සෝදිසි කර තීරණ ගැනීමෙන් බරපතළ වැරදි වළක්වා ගැනීමට යෞවනයන්ට හැකියි.

3. හොඳ අවබෝධයෙන් කටයුතු කරන යෞවනයෙක් වීමට ඔබට කුමක් කළ හැකිද?

3 කාරණා හොඳින් සෝදිසි කර බලා අවබෝධයෙන් කටයුතු කරන යෞවනයෙක් වීමට නම් වෑයම අවශ්‍යයි. යෞවන තිමෝතිට පාවුල් දුන් මෙම උපදෙස බලන්න. ‘ඔබේ තරුණකම සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදී, ඔබේ කතාවෙන්ද හැසිරීමෙන්ද ප්‍රේමයෙන්ද ඇදහිල්ලෙන්ද නිර්මලකමින්ද ඇදහිලිවන්තයන්ට ආදර්ශයක් වන්න. මා එන තුරු, ප්‍රසිද්ධ කියවීමෙහිද, උනන්දු කිරීමෙහිද, ඉගැන්වීමෙහිද දිගටම යෙදී සිටින්න. මේ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඒවායෙහි යෙදී සිටින්න. එවිට ඔබේ දියුණුව සියල්ලන්ට පෙනෙන්නේය.’ (1 තිමෝ. 4:12-15) ක්‍රිස්තියානි යෞවනයන් ඉහත සඳහන් පැති සම්බන්ධයෙන් දියුණු වීම අවශ්‍ය වන අතර ඒ තුළින් ඔවුන්ගේ දියුණුව අන් අයට පෙනෙන්න සැලැස්වීමද අවශ්‍යයි.

දියුණුව කියන්නේ කුමක්ද?

4. යෞවනයෙකු දියුණු විය යුත්තේ කුමන පැතිවලින්ද?

4 කෙනෙක් දියුණු වෙනවා කියන්නේ ඔහු සිටින තත්වයට වඩා හොඳ තත්වයකට පත් වීමයි. පාවුල් තිමෝතිට උනන්දු කළේ කතාවෙන්, හැසිරීමෙන්, ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන්, නිර්මලකමින් මෙන්ම දේවසේවය සම්බන්ධයෙන් දියුණුවක් ලබන්න කියායි. එමෙන්ම ආදර්ශවත් කෙනෙකු මෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න කියාත් පාවුල් ඔහුට උනන්දු කළා. එමනිසා ඒ පැතිවලින් දියුණු වීමට නම් දිගටම වෑයම් කරන්න තිමෝතිට සිදු වුණා.

5, 6. (අ) තිමෝතිගේ දියුණුව දැකගන්න ලැබුණේ කුමන කාලයේදීද? (ආ) දියුණු වීම සම්බන්ධයෙන් තිමෝතිව ආදර්ශයට ගැනීමට යෞවනයන්ට හැක්කේ කෙසේද?

5 පාවුල් ක්‍රිස්තු වර්ෂ 61ත් 64ත් අතර කාලයේදී තිමෝතිට ලියන විට ඔහු අද්දැකීම් ලත් වැඩිමහල්ලෙක්. ඒ වන විටත් ඔහු සෑහෙන දියුණුවක් ලබා තිබුණා. නමුත් ක්‍රි.ව. 49ත් 50ත් අතර කාලයේදී තිමෝති අවුරුදු 19ක හෝ 20ක පමණ යෞවනයෙක් වූවා විය හැකියි. එමෙන්ම ඒ කාලයේදී ඔහු “ලිස්ත්‍රාවෙහිද ඉකෝනියෙහිද සිටි සහෝදරයන්ගෙන් හොඳ සාක්ෂියක් ලැබූ කෙනෙකු” වුණා. (ක්‍රියා 16:1-5) පාවුල් ඔහුව තම මිෂනාරි ගමන් සඳහා රැගෙන ගියේද ඒ කාලයේදීයි. මාස කිහිපයක් පුරා ඔහුගේ දියුණුව නිරීක්ෂණය කළ පාවුල් තෙසලෝනික නගරයේ සිටි ක්‍රිස්තියානීන්ව සැනසීමට හා ශක්තිමත් කිරීමට ඔහුව යැව්වා. (1 තෙසලෝනික 3:1-3, 6 කියවන්න.) ඉන් පැහැදිලි වන්නේ තිමෝති යෞවනයෙකුව සිටියදීම ඔහුගේ දියුණුව අන් අයට දැකගත හැකි වූ බවයි.

6 යෞවනයෙනි, ඔබත් බයිබල් සත්‍යයන් අන් අයට ඉගැන්වීමේ ඔබේ හැකියාවන්වල මෙන්ම ඔබගේ ක්‍රිස්තියානි ජීවිතයේ දියුණුව සඳහා වෙහෙසී වැඩ කරන්න. එවිට ඔබගේ දියුණුව සියල්ලන්ට පැහැදිලිව දැකගත හැකි වෙයි. වයස අවුරුදු 12 කාලයේදී පවා යේසුස් ‘ප්‍රඥාවෙන් වැඩුණා.’ (ලූක් 2:52) යෞවනයන් වන ඔබටත් එලෙස දියුණු විය හැකි පැති තුනක් ගැන දැන් අපි සලකා බලමු. ඒවා නම් (1) ගැටලුවලට මුහුණ දෙන විට, (2) විවාහ වීමට සූදානම් වන විට, (3) “හොඳ දේවසේවකයෙක්” වීමට වෑයම් කරන විට.—1 තිමෝ. 4:6.

‘හොඳ සිහිකල්පනාවෙන්’ ගැටලුවලට මුහුණ දෙන්න

7. යම් පීඩනයන් නිසා සමහර යෞවනයන් පත් වන තත්වය කුමක්ද?

7 දාහත් හැවිරිදි කැරල් නමැති ක්‍රිස්තියානි යෞවනිය පවසන දේ බලන්න. ‘සමහර දවස්වල මම කොයි තරම් අධෛර්යයට පත් වෙනවාද කිව්වොත් මට උදේට නැඟිටින්නවත් හිත දෙන්නේ නැහැ.’ * කැරල්ට එසේ සිතෙන්නේ ඇයි? ඇයට වයස අවුරුදු දහයේදී ඇගේ මව සහ පියා දික්කසාද වුණා. අවසානයේදී ඇයට ජීවත් වීමට සිදු වුණේ බයිබලයේ ඇති සදාචාරය හා සම්බන්ධ ප්‍රතිපත්ති ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වූ ඇගේ මව සමඟයි. සමහරවිට ඔබත් කැරල් මෙන් ගොඩ ඒමට නොහැකි යයි පෙනෙන යම් පීඩනයන් යටතේ සිටිනවා විය හැකියි. ඒ නිසා ඔබ කලකිරීමට පත් වී ඇති.

8. තිමෝතිට මුහුණ දීමට සිදු වූ ගැටලු මොනවාද?

8 යෞවන තිමෝතිද යම් ගැටලුවලට මුහුණ දුන්නා. ඉන් එකක් නම් ඔහුගේ උදරයේ අමාරුවක් නිසා ඔහු ‘නිතර අසනීප’ වීමයි. (1 තිමෝ. 5:23) එමෙන්ම ඔහු තරමක් තරමක් ලජ්ජාශීලී යෞවනයෙක් වූ බවද පැහැදිලියි. කොරින්ති සභාවේ වගකීම් දරන අයට ගෞරව නොකළ අය විසින් ඇති කළ යම් ගැටලුවක් නිරාකරණය කිරීම සඳහා පාවුල්, තිමෝතිව එහි යැව්වා. එමෙන්ම පාවුල් එම සභාවේ ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ “කිසි බියක් නැතිව” තිමෝතිට ඔහුගේ කාර්යය කිරීම සඳහා ඔහුට සහාය වෙන්න කියායි.—1 කොරි. 4:17; 16:10, 11.

9. හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කිරීම කියන්නේ කුමක්ද? එමෙන්ම සමහරුන් ගැටලුවලින් පලා යෑමට කරන්නේ කුමක්ද?

9 තිමෝතිව ශක්තිමත් කිරීමට පාවුල් පසුව ඔහුට මෙම වචන මතක් කළා. “දෙවි අපට දුන්නේ බියගුලුකමේ ආත්මයක් නොව, බලයෙත්, ප්‍රේමයෙත්, හොඳ සිහිකල්පනාවෙත් ආත්මයක්ය.” (2 තිමෝ. 1:7) ‘හොඳ සිහිකල්පනාවෙන්’ කටයුතු කිරීම කියන්නේ පැහැදිලිව සිතා බලා කාරණා හොඳින් සෝදිසි කිරීමයි. එමෙන්ම ගැටලුව කුමක් වුණත් විඳදරාගැනීමෙන් යුතුව එයට මුහුණ දීමද ඊට ඇතුළත්. නමුත් සමහර යෞවනයන් ඒ වෙනුවට ගැටලුවලට බිය වී ඉන් පලා යෑමට විවිධ ක්‍රම අත්හදා බලා තිබෙනවා. ඒ සඳහා සමහරුන් නිතරම නිදාගැනීමට හෝ රූපවාහිනිය නැරඹීමට පුරුදුව සිටිනවා. මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වල පිහිට පැතීම, නිතරම සාදයන්වලට සහභාගි වීම හෝ දුරාචාරයේ යෙදීමටද තවත් අය පුරුදුව සිටිනවා. නමුත් ක්‍රිස්තියානීන්ට බයිබලයේ උනන්දු කරන්නේ ‘අභක්තිකකමද, ලෞකික ආශාද ප්‍රතික්ෂේප කර දැන් පවතින සමාජ ක්‍රමය තුළ හොඳ සිහිකල්පනාවෙන්ද ධර්මිෂ්ඨකමින්ද දේවභක්තියෙන්ද යුක්තව ජීවත් වන්න’ කියායි.—තීත. 2:12.

10, 11. හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කිරීමෙන් අපට දෙවිගෙන් ශක්තිය ලබන්න පුළුවන් කොහොමද?

10 “තරුණයන්ට හොඳ සිහිකල්පනාවෙන් යුක්තව සිටින්න” කියා දේවවචනයේ උනන්දු කරනවා. (තීත. 2:6) ඊට එකඟව, ප්‍රශ්න ගැටලු ඇති වන විට දෙවිගේ උපකාර පතා යාච්ඤා කිරීමෙන් දෙවිගෙන් ශක්තිය ලබාගෙන ඊට මුහුණ දෙන්න ඔබට හැකියි. (1 පේතෘස් 4:7 කියවන්න.) ඔබ එසේ කරද්දී “දෙවි සපයන ශක්තිය” කෙරෙහි මුළු හදවතින්ම විශ්වාසය තැබීමට ඔබ ඉගෙනගනියි.—1 පේතෘ. 4:11.

11 කැරල් නමැති යෞවනිය හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කළ නිසාත් දෙවිට යාච්ඤා කළ නිසාත් ඇගේ ගැටලුවට සාර්ථකව මුහුණ දෙන්න ඇයට හැකි වුණා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මගේ ජීවිතයේ මට අමාරුම දේ වුණේ මගේ අම්මා ගත කරපු ඒ නරක ජීවිතයට සම්බන්ධ නොවී ඉන්න එකයි. නමුත් ඒ ගැන මම යෙහෝවා දෙවිට යාච්ඤා කරපු එක මට ගොඩාක් උපකාරවත් වුණා. දෙවි මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා. ඒ නිසා මට බයක් නැහැ.” යෞවනයෙනි, ඔබත් ගැටලුවලට මුහුණ දෙන විට ඉන් ඔබ පන්නරයක් ලබන අතර වඩා හොඳ පුද්ගලයන් බවට පත් වෙන බව මතක තබාගන්න. (ගීතා 105:17-19; විලා. 3:27) ඔබ මුහුණ දෙන ගැටලුව කුමක් වුවත් දෙවි ඔබව කෙදිනකවත් අත්හරින්නේ නැහැ. ඔහු ‘ඔබට පිහිට වෙනවා.’—යෙසා. 41:10NW.

සාර්ථක විවාහයක් සඳහා

12. විවාහ වීමට බලාපොරොත්තු වන ක්‍රිස්තියානියෙක් හිතෝපදේශ 20:25හි අදහස සැලකිල්ලට ගත යුත්තේ ඇයි?

12 සමහර යෞවනයන් අඩු වයසින්ම විවාහ වීමට ඉක්මන් වී තිබෙනවා. ඔවුන් සිතන්නේ අසතුට, තනිකම, නීරසභාවයට හා පවුලේ ප්‍රශ්න ගැටලුවලට එකම විසඳුම එය බවයි. කෙසේනමුත් විවාහ වීමේදී එකිනෙකාට දෙනු ලබන පොරොන්දු ඉතා බරපතළ ලෙස සැලකිය යුතුයි. පුරාණයේ සිටි සමහරුන්ද දෙවිට භාර හෝ පොරොන්දු වී තිබෙනවා. සමහරුන් එසේ කර තිබෙන්නේ ඊට ඇතුළත් වන්නේ කුමක්ද යන්න ගැන පැහැදිලි අවබෝධයකින් තොරවයි. (හිතෝපදේශ 20:25 කියවන්න.) එලෙසම සමහර යෞවනයන්ද විවාහ වන්නේ ඒ මගින් ඔවුන් මත පැවරෙන බරපතළ වගකීම් ගැන කලින් සිතා බැලීමෙන් තොරවයි. ඔවුන් එහි බරපතළකම තේරුම්ගන්නේ පසුවයි.

13. විවාහ වීමේ අරමුණ ඇතුව කෙනෙකු සමඟ ඇසුරු කිරීම ආරම්භ කිරීමට පෙර සිතා බැලිය යුතු ප්‍රශ්න මොනවාද? එමෙන්ම ඔවුන්ට උපකාරවත් මඟ පෙන්වීම් සොයාගත හැක්කේ කොහෙන්ද?

13 විවාහ වීමේ අරමුණ ඇතුව කෙනෙකු සමඟ ඇසුරු කිරීම ආරම්භ කිරීමට පෙර මේ ගැන සිතන්න. ‘මට විවාහ වෙන්න ඕනේ ඇයි? විවාහ වීමෙන් මම බලාපොරොත්තු වන්නේ කුමක්ද? මම තෝරාගෙන ඉන්නේ මට සුදුසුම කෙනාද? විවාහකයෙකු ලෙස මගේ වගකීම් ඉටු කිරීමට මම සූදානම්ද?’ එම ප්‍රශ්න ගැන හොඳින් කල්පනා කිරීම සඳහා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දී ඇති ලිපි අධ්‍යයනය කිරීම වැදගත්. * (මතෙ. 24:45-47) එමෙන්ම එවන් තොරතුරු යෙහෝවා දෙවිගෙන් ඔබට ලැබුණු මඟ පෙන්වීම් ලෙස සලකන්න. ඒවා ගැන හොඳින් සිතා බලා ඒවා ක්‍රියාත්මක කරන්න. ඒ හැර කෙදිනකවත් “දැනුම් තේරුම් නැති අශ්වයෙකු හෝ කොටළුවෙකු” මෙන් කටයුතු කරන්න එපා. (ගීතා 32:8, 9NW) විවාහයත් සමඟ ඔබට පැවරෙන වගකීම් හොඳින් අවබෝධ කරගන්න. විවාහ වීමේ අරමුණින් කෙනෙකුව ඇසුරු කරන්න සුදුසු තත්වයක ඔබ සිටිනවා කියා ඔබට හැඟෙනවා නම් එම ඇසුර ‘නිර්මල මෙන්ම ආදර්ශවත්’ එකක් වන බවට වගබලා ගන්න.—1 තිමෝ. 4:12.

14. යේසුස් මෙන් කටයුතු කිරීම ඔබගේ විවාහය සාර්ථක කරගැනීමට උපකාරවත් වන්නේ කෙසේද?

14 ක්‍රිස්තියානියෙක් තම වගකීම් ගැන හොඳ අවබෝධයක් ඇතුව විවාහ වෙනවා නම් විවාහයෙන් පසුව පවා සාර්ථක වීමට ඔහුට හැකියි. එවැනි ක්‍රිස්තියානියෙක් “ක්‍රිස්තුස්ගේ පූර්ණකමට අයත් උස මහතේ ප්‍රමාණයට” පැමිණීමට උත්සාහ කිරීම අවශ්‍යයි. (එෆී. 4:11-14) අපගේ ආදර්ශකයා වන “ක්‍රිස්තුස් පවා තමාවම සතුටු කර නොගත්” ආකාරයටම ඔහු විදහා පෙන්වූ ගුණාංග අනුකරණය කිරීමට විවාහක ක්‍රිස්තියානියෙක් දැඩි උත්සාහයක් දැරීම අවශ්‍යයි. (රෝම 15:3) මෙසේ දෙදෙනාම තමන්වම සතුටු කර නොගෙන අනෙක් තැනැත්තාව සතුටු කිරීමට උත්සාහ කරද්දී ඒ විවාහය ඉතාමත් ප්‍රීතිමත් එකක් වෙනවා. (1 කොරි. 10:24) එමෙන්ම ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් තම භාර්යාව කෙරෙහි ප්‍රේමය පෙන්වන විට, ක්‍රිස්තුස්ගේ මූලිකත්වයට යටත් වන තම ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට යටත් වීමට ඇය කැමැත්තෙන්ම පෙලඹෙනවා.—1 කොරි. 11:3; එෆී. 5:25.

ඔබේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න

15, 16. දේවසේවයේ ඔබ ලබන දියුණුව අන් අයට පෙනෙන්න සැලැස්විය හැක්කේ කෙසේද?

15 තිමෝතිට පැවරී තිබුණු කාර්යයෙහි වැදගත්කම අවධාරණය කරමින් පාවුල් ඔහුට මෙසේ ලිව්වා. ‘දෙවි ඉදිරියෙහිද ක්‍රිස්තුස් යේසුස් ඉදිරියෙහිද, මම ඔබට අණ කරමි. වචනය දේශනා කරන්න. හදිසිතාවේ හැඟීමකින් යුක්තව එහි නොකඩවා යෙදී සිටින්න. එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කරන්න. ඔබේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න.” (2 තිමෝ. 4:1, 2, 5) එම අණ ඉටු කිරීම සඳහා ‘ඇදහිල්ලේ වචනවලින් පෝෂණය වීමට’ ඔහුට සිදු වුණා.—1 තිමෝති 4:6 කියවන්න.

16 යෞවනයෙනි, ‘ඇදහිල්ලේ වචනවලින් පෝෂණය වීමට’ ඔබටත් හැක්කේ කෙසේද? පාවුල් ඊට මෙසේ පිළිතුරු දෙනවා. ‘ප්‍රසිද්ධ කියවීමෙහිද, උනන්දු කිරීමෙහිද, ඉගැන්වීමෙහිද දිගටම යෙදී සිටින්න.’ (1 තිමෝ. 4:13, 15) එම පැතිවලින් දියුණු වීමට නම් උනන්දුවෙන් පෞද්ගලික අධ්‍යයනයේ යෙදීම අවශ්‍යයි. ‘දිගටම යෙදී සිටින්න’ යන්නෙන් අදහස් කරන්නේ යම් කාර්යයක නොකඩවා හවුල් වීමයි. ඔබගේ අධ්‍යයන පුරුදු කෙසේද? ඔබ අධ්‍යයනයේදී “දෙවිගේ ගැඹුරු දේ” සොයා බලනවාද? (1 කොරි. 2:10) නැත්නම් ඔබ අධ්‍යයනය කරන්නේ උඩින් පල්ලෙන්ද? ඔබව ක්‍රියාවට පෙලඹෙන්නේ ඔබ අධ්‍යයනය කරන දේ ගැන ගැඹුරින් සිතා බලන විට බව මතක තබාගන්න.—හිතෝපදේශ 2:1-5 කියවන්න.

17, 18. (අ) ඔබ දියුණු කරගත යුතු හැකියාවන් මොනවාද? (ආ) තිමෝතිට තිබූ ආකල්පය වර්ධනය කරගැනීම දේවසේවයේදී ඔබට උපකාරවත් වන්නේ කෙසේද?

17 යෞවන පුරෝගාමියෙක් වන මිෂෙල් තම අද්දැකීම මෙසේ විස්තර කරනවා. “දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීම සඳහා මම පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙනවා. ඒකට මට හොඳ කාලසටහනක් තියෙනවා. මම නොකඩවා රැස්වීම්වලට සහභාගි වෙනවා. ඒ නිසා නොකඩවා දියුණු වෙන්න මට හැකි වෙලා තියෙනවා.” ඔව්, පුරෝගාමී සේවයේ හවුල් වීම බයිබලය හොඳින් භාවිත කිරීමටත් හොඳ දියුණුවක් ලැබීමටත් විශාල උපකාරයක්. එමෙන්ම හොඳින් කියවීමට පුරුදු වන්න, රැස්වීම්වලදී අර්ථවත් පිළිතුරු දීමෙන් හවුල් වන්න. ඔබට දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් පැවරුම් ලැබෙන විට දී ඇති මූලාශ්‍රයට අනුව, සබයට ප්‍රයෝජන ගත හැකි වන ලෙස ඊට හොඳින් සූදානම් වන්න.

18 “එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය” කිරීම එනම් ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ කාර්යය කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඔබට හමු වන ජනයාට ගැලවීම ලබාගැනීම සඳහා ඔවුන්ව ක්‍රියාවට පොලඹවන ආකාරයෙන් ඉගැන්වීමයි. ඊට “ඉගැන්වීමේ කලාව” දියුණු කරගැනීමද අයත්. (2 තිමෝ. 4:2) ඒ සඳහා අද්දැකීම් ලත් දේවසේවකයන් සමඟ සේවයේ හවුල් වීමෙන් ඉගැන්වීමේ කදිම ක්‍රම ඔබට ඉගෙනගත හැකියි. තිමෝතිද පාවුල් සමඟ එකට වැඩ කිරීමෙන් එවැනි ක්‍රම ඉගෙනගත්තා. (1 කොරි. 4:17) දෙවිගේ නමස්කාරයකයන් වීමට තමන් උපකාර කළ අය ගැන පාවුල් පැවසුවේ ඔහු ඔවුන්ට එතරම්ම ප්‍රේම කළ නිසා ‘තම ජීවිතය පවා’ ඔවුන් වෙනුවෙන් දීමට කැමති වූ බවයි. එනම් ඔහු ඔහුගේ මුළු ජීවිතයෙන්ම ඔවුන්ට උපකාර කිරීමට කැමති වූ බවයි. (1 තෙස. 2:8) යෞවනයෙනි, ඔබත් පාවුල්ව අනුකරණය කිරීමට නම් ඔහුව අනුකරණය කළ තිමෝතිට තිබුණා හා සමාන ආකල්පයක් ඇතුව සිටිය යුතුයි. ඔහු අන් අය කෙරෙහි අවංක සැලකිල්ලක් දැක්වූ අතර ‘ශුභාරංචියේ වැඩි දියුණුව තකා සේවය’ කළා. (ෆිලිප්පි 2:19-23 කියවන්න.) ඔබත් දේවසේවයේදී ජනයා කෙරෙහි එවැනිම සැලකිල්ලක් දක්වනවා නම් ඔබටත් සාර්ථක විය හැකියි.

දියුණුවෙන් ලැබෙන තෘප්තිය

19, 20. ඔබ ලබන දියුණුව ඔබට ප්‍රීතියට හේතුවක් වන්නේ ඇයි?

19 කාරණා හරියාකාරව සෝදිසි කර බලා සිහිකල්පනාවෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙකු දක්වා දියුණු වීමට වෑයම අවශ්‍යයි. ඔබ ඉවසීමෙන් යුතුව ඔබේ ඉගැන්වීමේ හැකියාවන් වර්ධනය කරගන්නවාත් සමඟම “බොහෝදෙනෙකුව ධනවත්” කිරීමේ එනම් ඔවුන්ව දෙවිගේ නමස්කාරකයන් බවට පත් කිරීමේ වරප්‍රසාදය ඔබ භුක්ති විඳියි. එය ඔබගේ ‘ප්‍රීතියත්, ප්‍රමෝදයේ ඔටුන්නත්’ වෙයි. (2 කොරි. 6:10; 1 තෙස. 2:19) පූර්ණ කාලීන දේවසේවකයෙකු වන ෆ්‍රෙඩ් ඒ ගැන මෙසේ පවසනවා. “වෙන කවරදාකටත් වඩා දැන් මගේ කාලය වැය කරන්නේ අනික් අයට උපකාර කිරීමටයි. සන්තෝෂය ලැබෙන්නේ ගැනීමට වඩා දීමෙන් කියන කතාව නම් ඇත්තම තමයි.”

20 හොඳ අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙකු වීමට වෑයම් කිරීම නිසා තමන් ලැබූ ප්‍රීතිය හා තෘප්තිය ගැන යෞවන පුරෝගාමියෙක් වන ඩැෆ්නි මෙසේ පවසනවා. “මම යෙහෝවා දෙවි ගැන වැඩි වැඩියෙන් ඉගෙනගන්න පටන්ගත් නිසා ඔහුට වඩාත් ළං වෙන්න මට හැකි වුණා. මට හැකි උපරිමයෙන්ම දෙවිව සතුටු කරන්න උත්සාහ කරන කොට මට දැනෙන්නේ පුදුමාකාර තෘප්තියක්.” යෞවනයෙක් හැටියට ඔබ, දියුණු වීමට දරන සෑම උත්සාහයක්ම මිනිසුන්ට නොපෙනුණත් යෙහෝවා දෙවිට නම් එය පෙනෙන අතර ඔහු එය අගය කරනවා. (හෙබ්‍රෙ. 4:13) යෞවනයෙනි, යෙහෝවා දෙවිට මහිමය හා ප්‍රශංසාව ගෙන ඒමට ඔබට හැකි බවට කිසිම සැකයක් නැහැ. එමනිසා ඔබගේ දියුණුව අන් අයට දැකගැනීමට සැලැස්වීමෙන් ඔහුගේ සිත සතුටු කරන්න.—හිතෝ. 27:11.

[පාදසටහන්වල]

^ 7 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 13 ඡේ. වර්ෂ 2001 මැයි 15 මුරටැඹ කලාපයේ පළ වූ “විවාහ කලත්‍රයෙක් තෝරාගැනීමට දෙවිගෙන් මඟ පෙන්වීම” යන ලිපිය බලන්න.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• යෞවනයෙකු දියුණු විය යුත්තේ කුමන පැතිවලින්ද?

• පහත සඳහන් තත්වයන්වලදී ඔබගේ දියුණුව පෙනෙන්න සැලැස්විය හැක්කේ කෙසේද?

ගැටලුවලට මුහුණ දෙන විට

විවාහ වීමට සූදානම් වන විට

හොඳ දේවසේවකයෙක් වීමට වෑයම් කරන විට

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට යාච්ඤාව ඔබට උපකාරයක්

[16වන පිටුවේ පින්තූරය]

බලපෑමෙන් යුත් ඉගැන්වීමේ ක්‍රම වර්ධනය කරගැනීමට යෞවනයන්ට හැක්කේ කෙසේද?