Skip to content

පටුනට යන්න

අප “ක්‍රිස්තුස්ව” අනුකරණය කළ යුත්තේ ඇයි?

අප “ක්‍රිස්තුස්ව” අනුකරණය කළ යුත්තේ ඇයි?

අප “ක්‍රිස්තුස්ව” අනුකරණය කළ යුත්තේ ඇයි?

‘යමෙකුට මා අනුව එන්න ඕනෑ නම් ඔහු තමාවම නොසලකා දිගටම මා අනුව ඒවා.’—ලූක් 9:23.

1, 2. අප ‘ක්‍රිස්තුස්ව’ අනුකරණය කළ යුතු හේතුව කල්පනා කිරීම වැදගත් ඇයි?

යෙහෝවා දෙවිට නමස්කාර කරන අය අතර සිටින නවකයන් හා බාලයන්ව දැකීම දෙවිට ගෙන දෙන්නේ මොන තරම් ප්‍රීතියක්ද! ඔබ දිගටම බයිබලය අධ්‍යයනය කරමින් හා රැස්වීම්වලට සහභාගි වෙමින් දේවවචනයෙහි අඩංගු නිවැරදි දැනුමෙන් පෝෂණය වෙනවාත් සමඟ යේසුස්ගේ මෙම ආරාධනය ගැන බැරෑරුම්ව සිතා බලන්න. “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම් ඔහු තමාවම නොසලකා දවස්පතා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා.” (ලූක් 9:23) ඉන් යේසුස් අදහස් කළේ ඔබ ඔබවම නොසලකා ඔහුගේ අනුගාමිකයෙක් විය යුතු බවයි. එමනිසා අපි ‘ක්‍රිස්තුස්ව’ අනුකරණය කළ යුත්තේ ඇයි කියා සලකා බැලීම ඉතා වැදගත්.—මතෙ. 16:13-16.

2 දැනටමත් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වී සිටින අපත් එසේ කළ යුතුද? ඔව්, අපට බයිබලයේ උනන්දු කරන්නේ ‘වඩ වඩා එසේ කරන්න’ කියායි. (1 තෙස. 4:1, 2) අප ක්‍රිස්තුස්ගේ අනුගාමියකන් වුණේ මෑතකදී හෝ අවුරුදු ගණනාවකට පෙර විය හැකියි. ඒ කෙසේවෙතත් අප ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට හේතු වූ දේවල් ගැන නැවත කල්පනා කිරීම වැදගත්. එසේ කිරීමෙන් පාවුල් උනන්දු කළ ලෙස අපගේ ජීවිතයේ සෑම දිනකම වඩ වඩා එසේ කිරීමට අපට හැකි වෙයි. අපි, යේසුස්ව අනුකරණය කළ යුතු වීමට හේතු පහක් දැන් සලකා බලමු.

දෙවිට ළං වීමට අපට උපකාරයක්

3. අපට දෙවිව හොඳින් දැනගත හැකි ක්‍රම දෙකක් සඳහන් කරන්න.

3 පාවුල් “ඇරියොපගසයෙහි සිටගෙන” ඇතන්ස්හි ජනයාව අමතමින් මෙසේ පැවසුවා. ‘[දෙවි] නියමිත කාලවල්ද මිනිසාගේ වාසය සඳහා සීමාද නියම කළා. එසේ කළේ ඔවුන් දෙවිව සොයන පිණිසයි. ඇත්තෙන්ම ඔහුව මහත් උත්සාහයකින් සොයන පිණිසයි. එවිට ඔවුන්ට ඔහුව සොයාගත හැකියි. මන්දයත් ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය.’ (ක්‍රියා 17:22, 26, 27) ඔව්, දෙවිව සොයා ඔහුව දැනගැනීමට අපට හැකියි. ඒ සඳහා ඇති එක් ක්‍රමයක් වන්නේ ඔහු නිර්මාණය කර ඇති දේවලුයි. ඒවා අධ්‍යයනය කිරීමෙන් දෙවිගේ අද්විතීය ගුණාංග හා හැකියාවන් බොහෝමයක් ගැන ඉගෙනගත හැකියි. (රෝම 1:20) දෙවි ගැන දැනගත හැකි අනෙක් ක්‍රමය නම් බයිබලයයි. දෙවි තමා ගැන එහි හෙළි කර තිබෙනවා. (2 තිමෝ. 3:16, 17) එමනිසා ‘දෙවිගේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කිරීමෙන්’ හා ඔහු කටයුතු කර ඇති ආකාරය ගැන ‘සිතා බැලීමෙන්’ ඔහුට ළං වීමට අපට හැකියි.—ගීතා 77:12, නව ලොව පරිවර්තනය, NW.

4. ක්‍රිස්තුස්ව අනුකරණය කිරීම දෙවිට ළං වීමට අපට උපකාරවත් වන්නේ කෙසේද?

4 දෙවිට වඩාත් ළං වීම සඳහා ඇති කදිම ක්‍රමයක් වන්නේ ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමයි. ඊට හේතුව නම් දෙවි සමඟ කිට්ටුවෙන්ම සිටි තැනැත්තා ඔහු වීමයි. “ලෝකය පවතින්න කලින්” යේසුස් දෙවි සමඟ සිටිද්දී ඔහුට තිබූ තේජවත් තත්වය මොන තරම්ද කියා සිතා බලන්න. (යොහ. 17:5) “දෙවිගේ මැවිල්ලේ පටන්ගැන්ම” වූයේ ඔහුයි. (එළි. 3:14) “මුළු මැවිල්ලේම කුලුඳුලා” ලෙස ඔහු තම පියා සමඟ සිතාගත නොහැකි තරම් දිගු කාලයක් පුරා ස්වර්ගයේ ජීවත් වුණා. යේසුස් මිනිසෙකු ලෙස පොළොවට පැමිණීමට පෙර දෙවි සමඟ නිකම්ම කාලය ගත කළේ නැහැ. ඒ වෙනුවට ඔහු තම පියා සමඟ එකට වැඩ කරමින් ඔහු සමඟ කිට්ටු, ප්‍රේමණීය බැඳීමක් ඇති කරගත්තා. ඒ කාලයේදී යේසුස් තම පියා කළ දේවල් නිරීක්ෂණය කරමින් ඔහුගේ ගුණාංග හා හැඟීම් හොඳින් තේරුම්ගත්තා. එපමණක් නොව ඔහු තම පියාව ඒ විදිහටම අනුකරණය කළා. ඒ නිසා ඔහු තම පියා හා සමානවම කටයුතු කරන්න පටන්ගත්තා. බයිබලයේ ඔහුව “අදෘශ්‍යමාන දෙවිගේ ස්වරූපයය” කියා හඳුන්වන්නේ හොඳ හේතු ඇතුවයි. (කොලො. 1:15) ඒ අනුව බලද්දී අපි ක්‍රිස්තුස්ව ඉතා කිට්ටුවෙන් අනුකරණය කිරීමෙන් යෙහෝවා දෙවිව වඩා හොඳින් දැන හඳුනාගෙන ඔහුට ළං වෙන්න අපට හැකියි.

දෙවිව වඩා හොඳින් අනුකරණය කිරීමට උපකාරයක්

5. දෙවිව වඩා හොඳින් අනුකරණය කිරීමට අපට උපකාර කරන්නේ කුමක්ද? එමෙන්ම ඒ ඇයි?

5 අපව ‘සාදා තිබෙන්නේ දෙවිගේ ගතිලක්ෂණ ඇතුවයි.’ ඒ නිසා ඒවා විදහා පෙන්වීමට අප තුළ හැකියාවක් තිබෙනවා. (උත්. 1:26NW) ‘ප්‍රේමණීය දරුවන් වන ඔබ දෙවිව අනුකරණය කරන්නන් වන්න’ කියා පාවුල් උනන්දු කළේ ඒ නිසයි. (එෆී. 5:1) දෙවි සිතන ආකාරය ඔහුගේ හැඟීම් මෙන්ම දෙවි කෙබඳු පුද්ගලයෙක්ද කියා අපට හොඳින්ම ඉගැන්වීමට සුදුසුම පුද්ගලයා යේසුස් පමණයි. එමනිසා අපි ක්‍රිස්තුස්ව අනුකරණය කිරිම යෙහෝවා දෙවිව අනුකරණය කිරීමට උපකාරයක්. යේසුස් පොළොව මත සිටියදී දෙවිගේ නාමය මිනිසුන්ට දැනුම් දුන්නා පමණක් නොව එම නාමය අයිති තැනැත්තා කවුරුන්ද කියාත් සම්පූර්ණයෙන් එළිදරව් කළා. (මතෙව් 11:27 කියවන්න.) ඔහු එසේ කළේ ඔහුගේ වචනයෙන්, ක්‍රියාවෙන්, ඉගැන්වීම්වලින් හා ඔහුගේම ආදර්ශයෙනුයි.

6. යෙහෝවා දෙවි ගැන යේසුස් හෙළි කළේ කුමක්ද?

6 දෙවි තම නමස්කාරකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියාත් ඔහුට තම සේවකයන්ව මොන තරම් වටිනවාද කියාත් යේසුස් හෙළි කළා. (මතෙ. 22:36-40; ලූක් 12:6, 7; 15:4-7) දෙවිව වඩා හොඳින් අනුකරණය කිරීම සඳහා ඔහු සිතන ආකාරය තේරුම්ගන්න යේසුස් අපට උපකාර කළා. උදාහරණයකට, දස පනතෙහි සඳහන් “අනාචාරයේ නොහැසිරෙන්න” යන ආඥාව ගැන දෙවි සිතන ආකාරය, යේසුස් මෙසේ හෙළි කළා. “කාම ආශාවක් ඇති වන ලෙස ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ පරදාර සේවනයේ යෙදී ඇත.” (නික්. 20:14 NW; මතෙ. 5:27, 28) ඉන් අදහස් කරන්නේ කෙනෙක් අනාචාරයේ යෙදෙන්න පෙර ඔහුගේ සිතේ හටගන්නා සිතුවිලි ගැන පාවා දෙවි සැලකිලිමත් වන බවයි. තවත් උදාහරණයක් බලන්න. මෝසෙස්ට දුන් නීතියේ ඇතුළත් ආඥාවක් වැරදි ලෙස අර්ථ දක්වමින් පරිසිවරුන් පැවසුවේ ‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න, ඔබේ සතුරාට වෛර කරන්න’ කියායි. නමුත් ඒ වෙනුවට ඒ ගැන යෙහෝවා දෙවි සිතන ආකාරය යේසුස් හෙළි කළේ මෙසේයි. “ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.” (මතෙ. 5:43, 44; නික්. 23:4; ලෙවී. 19:18) මෙසේ අප, දෙවි සිතන හා ඔහුට හැඟෙන ආකාරය මෙන්ම ඔහු අපගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැන හොඳ අවබෝධයක් ලබාගැනීමෙන් ඔහුව වඩා හොඳින් අනුකරණය කිරීමට අපට හැකියි.

7, 8. යේසුස්ගේ ආදර්ශයෙන් අපි යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්නේ කුමක්ද?

7 තම පියා කෙබඳු කෙනෙක්ද කියා යේසුස් තම ආදර්ශයෙන්ද පෙන්නුම් කළා. ඔහු දිලිඳු අයට අනුකම්පා කළා. දුක් විඳි අයට කාරුණික සැලකිල්ල දැක්වුවා. එමෙන්ම එක් අවස්ථාවකදී කුඩා දරුවන් යේසුස් ළඟට පැමිණෙන විට ඊට බාධා කළ තම ගෝලයන් කෙරෙහි ඔහු උදහස් වුණා. ඒ සියල්ලෙන් හෙළි වන්නේ යෙහෝවා දෙවිට මිනිසුන් කෙරෙහි ඇති ප්‍රේමණීය සැලකිල්ලම නොවේද? (මාක් 1:40-42; 10:13, 14; යොහ. 11:32-35) යේසුස් තම පියා සතු බලය, යුක්තිය, ප්‍රඥාව හා ප්‍රේමය විදහා පෙන්වූ ආකාරය ගැනද සිතන්න. ඔහු කළ ආශ්චර්යයන්ගෙන් හෙළි වූයේ යෙහෝවා දෙවි ඔහුට දී ඇති බලයයි. ඔහු කෙදිනකවත් එය තමාගේම වාසි ප්‍රයෝජනය සඳහා යොදාගත්තේ නැහැ. (ලූක් 4:1-4) ඔහු දේවමාලිගාවේ වෙළඳාම් කරමින් සිටි ගිජු පුද්ගලයන්ව එළවා දැමූ විට ඉන් හෙළි වූයේ ඔහුගේ යුක්තියයි. (මාක් 11:15-17; යොහ. 2:13-16) මිනිසුන්ව ක්‍රියාවට පොලඹවන ආකාරයෙන් ඔහු කළ ඉගැන්වීම් හා ඔහු පැවසූ ප්‍රියමනාප වචනවලින් ඔප්පු වූයේ ඔහුට “සලමොන්ට වඩා” ප්‍රඥාවක් තිබූ බවයි. (මතෙ. 12:42) එමෙන්ම ඔහු පෙන්වූ ප්‍රේමය ගැන කුමක් කිව හැකිද? තම ජීවිතය අන් අය වෙනුවෙන් පරිත්‍යාග කිරීමෙන් ඔහු පෙන්වූයේ ඊට “වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට” නැති බවයි.—යොහ. 15:13.

8 ඒ අනුව යේසුස් කළ කී සෑම දෙයකින්ම මනාව නියෝජනය වුණේ ඔහුගේ පියා වන යෙහෝවා දෙවිවයි. ඒ නිසා යේසුස්ට මෙසේ පැවසීමට හැකි වුණා. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වද දැක තිබේ.” (යොහන් 14:9-11 කියවන්න.) ඒ අනුව අපි ක්‍රිස්තුස්ව අනුකරණය කරනවා කියන්නේ යෙහෝවා දෙවිව අනුකරණය කරනවා කියන එකයි.

යේසුස් දෙවිගේ අභිෂේක ලත් තැනැත්තායි

9. යේසුස් දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා බවට පත් වුණේ කවදාද? එමෙන්ම ඒ කෙසේද?

9 යේසුස්ට වයස අවුරුදු 30දී එනම් ක්‍රිස්තු වර්ෂ 29දී ඔහු යොහන්ගෙන් බව්තීස්ම වීමට පැමිණි අතර ඉන්පසුව සිදු වූ දේ බලන්න. “බව්තීස්ම වීමෙන් පසු යේසුස් එකෙණෙහිම දියෙන් උඩට මතු විය. බලන්න! අහස විවර විය. දෙවිගේ ආත්මය [බලය] පරෙවියෙකු මෙන් ඔහු පිටට බසිනවා ඔහු දුටුවේය.” ඔහු ක්‍රිස්තුස් හෙවත් දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා බවට පත් වුණේ ඒ අවස්ථාවේදීයි. ඒ බව තහවුරු කරමින් දෙවිම මෙසේ පැවසුවා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි.” (මතෙ. 3:13-17) අප දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා වන ක්‍රිස්තුස්ව අනුකරණය කළ යුතු වීමට එයත් හොඳ හේතුවක් නොවෙයිද!

10, 11. (අ) යේසුස්ට “ක්‍රිස්තුස්” යන පදවි නාමය භාවිත වන්නේ කෙසේද? (ආ) අපි ක්‍රිස්තුස්ව අනුකරණය කිරීම අනිවාර්ය දෙයක් වන්නේ ඇයි?

10 බයිබලයේ “ක්‍රිස්තුස්” යන පදවි නාමය යේසුස්ට විවිධාකාරයෙන් භාවිත කර තිබෙනවා. ඒවා නම් යේසුස් ක්‍රිස්තුස්, ක්‍රිස්තුස් යේසුස් හා ක්‍රිස්තුස් යන්නයි. මුලින්ම “යේසුස් ක්‍රිස්තුස්” ලෙස එනම් තම නමට පසුව පදවි නාමය ඇතුව තමාව මුලින්ම හැඳින්වූයේ යේසුස් විසින්මයි. ඔහු තම පියාට යාච්ඤා කළ විට එය මෙසේ භාවිත කළා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහ. 17:3) ඉන් පැහැදිලි වන්නේ දෙවි විසින් එවූ තැනැත්තා වන යේසුස්, පසුව දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා හෙවත් ක්‍රිස්තුස් බවට පත් වූ බවයි. ඊළඟට “ක්‍රිස්තුස් යේසුස්” යන්න සලකා බලන්න. මෙහිදී යේසුස් යන නමට කලින් ක්‍රිස්තුස් යන්න යෙදීමෙන් අවධාරණය කරන්නේ ඔහු සතු පදවිය හෝ තත්වයයි. (2 කොරි. 4:5, 6) “ක්‍රිස්තුස්” යන්න පමණක් භාවිත කරන්නේ දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා ලෙස ඔහු සතු පදවිය හෝ තත්වය වෙනත් ආකාරයකින් අවධාරණය කිරීමටයි.—ක්‍රියා 5:42.

11 යේසුස්ට, “ක්‍රිස්තුස්” යන පදවිය කුමනාකාරයෙන් භාවිත කළත් ඉන් වැදගත් සත්‍යයක් ගෙනහැර දක්වනවා. එනම්, දෙවිගේ පුත්‍රයා මිනිසෙකු ලෙස පොළොවට පැමිණ තම පියාගේ අරමුණු දැනුම් දුන්නා වුවත් ඔහු සාමාන්‍ය මිනිසෙකුවත්, නිකම්ම අනාගතවක්තෘවරයෙකුවත් නොව ඒ වෙනුවට ඔහු දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා බවයි. ඒ නිසා අපි ඔහුව අනුකරණය කිරීම අනිවාර්ය දෙයක්.

ගැලවීම සඳහා එකම මඟ ඔහුයි

12. යේසුස්, තෝමස්ට පැවසුවේ කුමක්ද?

12 අප ක්‍රිස්තුස්ව අනුකරණය කළ යුතු වීමට තවත් හේතුවක් සලකා බලමු. යේසුස් මිය යෑමට පැය කිහිපයකට කලින් තම අනුගාමිකයන් 11දෙනාගෙන් කෙනෙක් වූ තෝමස් ඇසූ ප්‍රශ්නයකට දුන් පිළිතුරෙහි එය සඳහන් වෙනවා. “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත.” (යොහ. 14:1-6) මෙම සාකච්ඡාවේදී යේසුස් ඔවුන්ට ස්වර්ගයේ ස්ථානයක් සූදානම් කරන බවට පොරොන්දු වුණා. ඔහු එය පැවසුවේ ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන්ට වුණත් පොළොව මත සදාකල් ජීවත් වීමේ අපේක්ෂාවෙන් සිටින අයටත් එම වචන අදාළයි. (එළි. 7:9, 10; 21:1-4) ඒ කෙසේද?

13. යේසුස් “මාර්ගය” වන්නේ කෙසේද?

13 දැන් අපි යේසුස්, තෝමස්ට කී වචනවල අදහස සලකා බලමු. යේසුස් ක්‍රිස්තුස් “මාර්ගය” වන්නේ කෙසේද? අපට දෙවි වෙත යාච්ඤාවෙන් ළඟා වීමට තිබෙන එකම මාර්ගය වන්නේ ඔහුයි. දෙවිගේ කැමැත්තට එකඟව අප කරන යාච්ඤාවන් දෙවි විසින් අසනු ලබන්නේ යේසුස් මාර්ගයෙන් අපි ඒවා ඉදිරිපත් කරනවා නම් පමණයි. (යොහ. 15:16) එමෙන්ම යේසුස් “මාර්ගය” වන තවත් ආකාරයක් බලන්න. මිනිස් වර්ගයා උරුම කරගත් පාපය නිසා ඔවුන් දෙවිගෙන් බොහෝ සේ ඈත් වී සිටියා. (යෙසා. 59:2) ඔවුන්ව එයින් මුදවාගැනීම සඳහා ඔහු “බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය” පූජා කළා. (මතෙ. 20:28) ඒ නිසා “යේසුස්ගේ රුධිරය සියලු පාපවලින් අපව පවිත්‍ර” කළා. (1 යොහ. 1:7) ඒ තුළින් යේසුස් අපට දෙවි සමඟ සමගි වීමට මාර්ගය විවෘත කළා. (රෝම 5:8-10) අපට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වා ගත හැක්කේ අප යේසුස්ට කීකරු වී ඔහු කෙරෙහි විශ්වාසය තැබීමෙනුයි.—යොහ. 3:36.

14. යේසුස් “සත්‍යය” වන්නේ කෙසේද?

14 යේසුස් “සත්‍යය” වන්නේ ඔහු නිතරම සත්‍යය කතා කරමින් ඊට එකඟව ජීවත් වූ නිසා පමණක් නොවෙයි. ගැලවුම්කරු ගැන පවසා තිබූ සියලුම අනාවැකි ඔහු තුළින් ඉටුවීමද ඊට හේතුවක්. “දෙවිගේ පොරොන්දු කොපමණ වුවත්, යේසුස් මාර්ගයෙන් ඒවා එසේය වී තිබේ” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. (2 කොරි. 1:20) මෝසෙස්ගේ නීතියේ සඳහන්ව තිබූ “පැමිණෙන්න තිබෙන යහපත් දේවල ඡායාවක්” පවා එනම් සෑම දෙයක්ම ඉටු වුණේ ක්‍රිස්තුස් යේසුස් තුළිනුයි. (හෙබ්‍රෙ. 10:1; කොලො. 2:17) සෑම අනාවැකියකම යේසුස් හා සම්බන්ධ තොරතුරු සඳහන්ව තිබෙන අතර ඒ සෑම එකකම දෙවිගේ අරමුණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යේසුස්ට හිමි කාර්යය ගැන අවබෝධයක් ලබා දෙනවා. (එළි. 19:10) දෙවි අප වෙනුවෙන් අරමුණු කර තිබෙන දේවල් ඉටු කරන විට ඉන් ප්‍රයෝජන ගැනීමට නම් අපි ක්‍රිස්තුස්ව අනුකරණය කිරීම අවශ්‍යයි.

15. යේසුස් “ජීවනය” වන්නේ කෙසේද?

15 යේසුස් “ජීවනය” වන්නේ ඔහු වැගිරෙවූ රුධිරය මගින් මිනිස් වර්ගයාට සදාකාල ජීවනය ලබාගැනීම සඳහා ප්‍රස්තාව උදා කර දුන් නිසයි. එමෙන්ම අපට ලැබෙන සදාකාල ජීවනය දෙවිගෙන් වූ ත්‍යාගයක් වන අතර එය අපට ලැබෙන්නේ ‘අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙනුයි.’ (රෝම 6:23) මිය ගොස් ඇති අයට “ජීවනය” වන්නේද යේසුස්. (යොහ. 5:28, 29) එමෙන්ම දහස් අවුරුදු පාලනය තුළදී උත්තම පූජක ලෙස කටයුතු කරන ඔහු තම යටත් වැසියන්ව පාපයෙන් සහ මරණයෙන් මුදවාගෙන ඔවුන්ට ලබා දෙන සදාකාල ජීවනය මොන තරම් වටිනා එකක්ද!—හෙබ්‍රෙ. 9:11, 12, 28.

16. යේසුස්ව අනුකරණය කිරීමට අපට තිබෙන හේතුව කුමක්ද?

16 යේසුස් තෝමස්ට පැවසූ වචනවල විශාල අර්ථයක් තිබෙනවා. ඔව්, මාර්ගයද, සත්‍යයද, ජීවනයද යේසුස් බව පැහැදිලියි. මිනිසුන්ව ගලවාගැනීම සඳහා දෙවි විසින් එවූ තැනැත්තා ඔහුයි. (යොහ. 3:17) කිසිවෙකුට ඔහු තුළින් මිස වෙන කෙනෙකු මාර්ගයෙන් පියාණන් වෙත පැමිණිය නොහැකියි. ඒ බව බයිබලයේ තහවුරු කරන්නේ මෙසේයි. “වෙන කිසිවෙකු තුළ ගැලවීම නැත. මන්ද, අපේ ගැලවීම සඳහා දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට මිනිසුන් අතරෙහි නැත.” (ක්‍රියා 4:12) අප සිටින තත්වය හෝ පසුබිම කුමක් වුවත් ජීවනය ලැබීම සඳහා අප ගත යුතු ප්‍රඥාවන්තම ක්‍රියා මාර්ගය වන්නේ යේසුස් කෙරෙහි විශ්වාසය තබා ඔහුව අනුකරණය කිරීමයි.—යොහ. 20:31.

එය කළ යුතුම දෙයක්

17. අපි දෙවිගේ පුත්‍රයාට ඇහුම්කන් දීම වැදගත් ඇයි?

17 යේසුස් සමඟ පේතෘස්, යොහන් හා යාකොබ් සිටි අවස්ථාවකදී යේසුස්ගේ මුහුණේ පෙනුම වෙනස් වුණා. එවිට ඔවුන්ට ස්වර්ගයෙන් මෙසේ පවසන හඬක් ඇසුණා. “මේ මාගේ පුත්‍රයාය. තෝරාගෙන තිබෙන තැනැත්තා මොහුය. මොහුට සවන් දෙන්න.” (ලූක් 9:28, 29, 35) එම අණට එකඟව අපි ක්‍රිස්තුස්ට ඇහුම්කන් දීම අත්‍යවශ්‍ය දෙයක්.—ක්‍රියා 3:22, 23 කියවන්න.

18. යේසුස්ට ඇහුම්කන් දීමට අපට ලැබෙන අවස්ථා මොනවාද?

18 යේසුස්ට ඇහුම්කන් දීම කියද්දී ‘ඔහු දෙස මහත් ඕනෑකමින් බලා, ඔහු ගැන හොඳින් කල්පනා කර’ බැලීම ඇතුළත්. (හෙබ්‍රෙ. 12:2, 3) ඒ සඳහා අපි බයිබලයෙන් හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දෙන ප්‍රකාශන මෙන්ම රැස්වීම්වලින් ඉගෙනගන්නා තොරතුරුවලට “සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම” ඉතා වැදගත්. (හෙබ්‍රෙ. 2:1; මතෙ. 24:45) යේසුස්ගේ බැටළුවන් වන අපි ඔහුට උනන්දුවෙන් ඇහුම්කන් දෙමින් ඔහුව අනුකරණය කරමු.—යොහ. 10:27.

19. නොකඩවා ක්‍රිස්තුස්ව අනුකරණය කරන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?

19 අපට කුමන දෙයකට මුහුණ දීමට සිදු වුණත් නොකඩවා ක්‍රිස්තුස්ව අනුකරණය කරන්න අපිට පුළුවන්ද? ඔව්, ‘යේසුස් තුළ තිබෙන ඇදහිල්ල හා ප්‍රේමය’ ගැන අප ඉගෙනගත් ‘සුවදායී වචනවල ආදර්ශය අල්ලාගෙන’ සිටීමෙන් අපට එය කළ හැකියි.—2 තිමෝ. 1:13.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• ‘ක්‍රිස්තුස්ව’ අනුකරණය කිරීමෙන් දෙවිට වඩාත් ළං විය හැක්කේ කෙසේද?

• යේසුස්ව අනුකරණය කිරීම දෙවිව අනුකරණය කිරීමට සමාන වන්නේ කෙසේද?

• යේසුස් “මාර්ගයද සත්‍යයද ජීවනයද” වන්නේ කෙසේද?

• අප දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට ඇහුම්කන් දිය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ පින්තූරය]

යේසුස් ඉගැන්වූ දේවල්වලින් පිළිබිඹු වුණේ යෙහෝවා දෙවි සිතන ආකාරයයි

[30වන පිටුවේ පින්තූරය]

අපි විශ්වාසවන්තව දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාව අනුකරණය කළ යුතුයි

[32වන පිටුවේ පින්තූරය]

‘මේ මාගේ පුත්‍රයාය, මොහුට සවන් දෙන්න’ කියා දෙවි පැවසුවා