Skip to content

පටුනට යන්න

සාර්ථක උපදෙස් ලබාගත හැක්කේ කොහෙන්ද?

සාර්ථක උපදෙස් ලබාගත හැක්කේ කොහෙන්ද?

සාර්ථක උපදෙස් ලබාගත හැක්කේ කොහෙන්ද?

ඔබ ජීවිතය සාර්ථක කරගැනීමට මඟ පෙන්වීම් සොයමින් සිටින කෙනෙක්ද? මඟ පෙන්වීම් අඩංගු පොත් පත් බොහොමයක් අද තිබෙන අතර ඒවා ඉතා ජනප්‍රියයි. එවැනි මඟපෙන්වීම් ඇතුළත් වීඩියෝ පට, සම්මන්ත්‍රණ මෙන්ම රූපවාහිනි වැඩසටහන්ද දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතිනවා. එවන් මඟ පෙන්වීම් සපයන්නන් පවසන්නේ මනෝ වෛද්‍යවරයෙකුව, විවාහ උපදේශකයෙකුව හෝ පූජක පක්ෂයේ කෙනෙකුව හමු වීමෙන් තොරව ඔබටම ඔබගේ ප්‍රශ්න විසඳාගත හැකි බවයි.

තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම, ශක්තිමත් විවාහ බැඳීම් ඇති කරගැනීම සහ දරුවන් ඇති දැඩි කිරීම යන විෂයන් ගැනත්, මානසික පීඩනය, ශෝකය හා දික්කසාදය වැනි තත්වයන් සමඟ කටයුතු කරන ආකාරය ගැනත් උපදෙස් එවැනි පොත්වලින් සොයාගත හැකියි. ඒ අතර වැඩි ඉල්ලුමක් තිබෙන්නේ අධික ලෙස ආහාර ගැනීමෙන්, මත්පැන් පානයෙන් හා දුම්පානයෙන් මිදෙන ආකාරය පිළිබඳ උපදෙස් අඩංගු පොත්වලටයි. එවන් උපදෙස් සාර්ථකද? ඇතැම් අවස්ථාවලදී එම උපදෙස් සාර්ථක වන බව පෙනී ගියත් බොහෝවිට ඒවා සාර්ථක නොවන බව ඔප්පු වී තිබෙනවා. එමනිසා ඔබ යම් මඟ පෙන්වීමක් ලබාගැනීමට පෙර මෙම අවවාදය ගැන කල්පනා කිරීම ඥානවන්තයි. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15, නව ලොව පරිවර්තනය.

එවන් පොත් පත්, යම් වෘත්තියක් ඉගෙනගැනීම සඳහා තිබෙන පොත්වලට වඩා බොහෝ වෙනස්. උදාහරණයකට ඡායා රූප ශිල්පය, ගිණුම්කරණය හෝ වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට නම් ඒ අදාළ විෂය අඩංගු අත් පොතක් භාවිත කළ හැකි බව ඇත්තයි. එය පාඨමාලාවක් හැදෑරීමට වඩා ලාභදායි මෙන්ම ප්‍රයෝජනවත් විය හැකියි. නමුත් විවාහය, දරුවන් ඇති දැඩි කිරීම හා මානසික සුවය වැනි ජීවිතයට කෙළින්ම බලපාන කාරණා ගැන විවිධ අයගේ පෞද්ගලික අදහස් ඇතුළත් පොත් පත් මගින් උපදෙස් ලබාගැනීම සාර්ථකද? එවන් උපදෙස් සලකා බැලීමට කලින් ඔබෙන්ම මෙසේ අසාගන්න. ඒවා කාගේ උපදෙස්ද? ඒ උපදෙස් රැගෙන තිබෙන්නේ කොහෙන්ද?

එවන් උපදෙස් ලබා දෙන විශේෂඥයන් සැමවිටම ඒවා හොඳින් අධ්‍යයනය නොකරනවා විය හැකියි. තවත් අය වැඩි මුදලක් ඉපයීමේ අරමුණින් බොහෝදෙනෙකුව සතුටු කරවන උපදෙස් ලබා දෙනවා විය හැකියි. එක් රටක් එවන් පොත් පත් අළෙවියෙන් පමණක් සෑම අවුරුද්දකම ඩොලර් බිලියන අටකට වඩා උපයනවා.

එම උපදෙස් කොතරම් සාර්ථකද?

ඔබ එවන් පොත් පත් කියවන්නේ ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් ලබාගැනීමට වුණත් ඇතැම් මඟ පෙන්වීම් කිසිම තේරුමක් නැති ඒවා විය හැකියි. එවන් පොත් බොහොමයක ලබා දෙන අදහස මෙයයි. ‘ඔබට ඕනේ සල්ලිද, හොඳ සෞඛ්‍යයක්ද නැත්නම් එකිනෙකා සමඟ හොඳ බැඳීමක් ඇති කරගැනීමටද? ඒවා දෙස සුබවාදීව බැලුවොත් ඔබට ඒ දේවල් ලබාගත හැකියි.’ එවැනි උපදෙස් සාර්ථකයි කියා ඔබ සිතනවාද? ඔබ ජීවිතයේ මුහුණපාන සැබෑ තත්වයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඒවා ඔබට උපකාරවත් වෙයිද?

ශක්තිමත් විවාහ බැඳීමක් ඇති කරගන්නා ආකාරය ගැන ලියවුණු පොත් පත් බොහොමයක් තිබෙනවා. ඒවා කියවීම, සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට දායක වී තිබෙනවාද? සැමවිටම ඔව් කියා පැවසිය නොහැකියි. ප්‍රේමය ගැන ලියවුණු එක් පොතක් ලතින් ඇමරිකාවේ බොහෝ සේ ජනප්‍රිය වුණා. එම පොතේ කර්තෘ මෙවන් අදහසක් එහි පළ කර තිබුණා. ‘යම් කෙනෙකුට තවත් කෙනෙකු සමඟ බැඳීමක් දිගටම පවත්වාගෙන යෑමට නොහැකියි කියා පෙනෙන විටදී පවා, දිගටම එය පවත්වාගැනීමට උත්සාහ කිරීම තමාටම හානි පමුණුවාගැනීමක්.’ ඉන් නොකියා කියන්නේ, කෙනෙක් තමන්ට තිබෙන ගැටලු හඳුනාගෙන ඒවා විසඳගන්නවාට වඩා තමන්ට හොඳයි කියා සිතෙන තීරණයක් ගැනීම සුදුසු බවයි.

ඉහත සඳහන් පොත් පත්වල යම් හොඳ මඟ පෙන්වීම් තිබිය හැකියි. ඒ වුණත් එහි හානිකර අදහස්ද ඇතුළත් විය හැකි බව මතක තබාගන්න. උදාහරණයකට එක් විෂයක් ගැන ඉතා ප්‍රයෝජනවත් උපදෙස් ලබා දෙන විශේෂඥයෙක් වෙනත් විෂයක් ගැන ඉතා හානිකර උපදෙස් ලබා දිය හැකියි. එවැනි උපදෙස් ක්‍රියාත්මක කිරීමෙන් ගැටලුව තවත් සංකීර්ණ වීමට ඉඩ තිබෙනවා. එවන් අය ලබා දෙන මඟපෙන්වීම් බොහෝවිට එකිනෙකට වෙනස්. ඒ නිසා නිවැරදි මඟ පෙන්වීම් සොයාගැනීම දුෂ්කර වී තිබෙනවා. එසේනම් ඔබට විශ්වාස කළ හැක්කේ කාගේ මඟ පෙන්වීම්ද? එය තීරණය කිරීම සඳහා මෙවැනි ප්‍රශ්න ගැන සිතා බලන්න. ‘මේ උපදෙස් සකස් කර තිබෙන්නේ ඊට අදාළ කරුණු ඉතා හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුවද? නැත්නම් ඒවා මෙම පොතේ කර්තෘගේ පෞද්ගලික අදහස්ද? ඔහු මෙම කෘතිය ලියා ඇත්තේ ජනප්‍රිය වීමට හෝ මුදල් ඉපයීමට තිබෙන ආශාව නිසාද?

අප මෙතෙක් සලකා බැලූ සියලුම පොත්වලට වඩා උසස් මඟ පෙන්වීම් අඩංගු පොතක් තිබෙනවා. එය නම් ශුද්ධ බයිබලයයි. එහි ඇති උපදෙස් අතීතයේ සිට මිනිසුන්ට ප්‍රයෝජනවත් වී තිබෙනවා. මිලියන ගණන්දෙනා ඒ උපදෙස් අදාළ කරගැනීම නිසා ‘අලුත් පෞද්ගලිකත්වයක්’ වර්ධනය කරගෙන අලුත් ආකාරයකට සිතන්න පුරුදු වී තිබෙනවා. (එෆීස 4:23, 24) එමෙන්ම අප මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට මූලික හේතුවත් එම ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන ආකාරයත් බයිබලයේ සඳහන් වෙනවා. එපමණක්ද නොව නිතරම හරි දේ කිරීමට ඉන් අපට විශාල පෙලඹීමක්ද ලබා දෙනවා. ඒ කෙසේද කියා අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.