Skip to content

පටුනට යන්න

සෑම ආගමකින්ම කෙරෙන්නේ එකම දේද?

සෑම ආගමකින්ම කෙරෙන්නේ එකම දේද?

සෑම ආගමකින්ම කෙරෙන්නේ එකම දේද?

“මට ඉතිං මගෙ ආගම තියෙනවනෙ. කොයි ආගමේ හිටියත් මොකෝ. හැම ආගමකින්ම කරන්නේ දෙවියන් වෙතට මිනිස්සුන්ව යොමු කරන එකනෙ!”

‘මොන ආගමක හිටියත්, දෙවියන් කවුද කියාත් අපි ජීවත් වෙන්නේ ඇයි කියාත් දැනගත හැකියි. ඕනෑම ආගමක හොඳ වගේම නරකද තිබෙනවා. දෙවි අනුමත කරන්නේ එක ආගමක් විතරක් නෙවෙයි.’

ඉහත සඳහන් මත අද කොතරම් ජනප්‍රිය වී තිබෙනවාද කියනවා නම් එසේ නොසිතන අය පටු විදිහට හිතන අය කියා හංවඩු ගසනවා. ඇත්තටම එක දෙවි කෙනෙකු වෙත යොමු කරන පාරවල් නැත්නම් ආගම් ගණනාවක් තිබෙනවාද? දෙවි ඒ සියල්ලම පිළිගන්නවාද? ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද?

උගන්වන්නේ එකම දෙයද?

එක් විශ්වකෝෂයකට අනුව දැනට ලොව පුරා ආගම් 9,900ක් තිබෙනවා. නමුත් ලෝක ජනගහනයෙන් සියයට 70ක්ම අයිති වන්නේ ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු, බෞද්ධ හා යුදෙව් යන ප්‍රධාන ආගම් පහටයි. මේ සෑම ආගමක්ම මිනිසුන්ව එක තැනකට යොමු කරනවා නම් ඔවුන්ගේ ඉගැන්වීම් අතරත් සමානකම් රාශියක් තිබිය යුතුයි. එමෙන්ම දෙවියන්ව හඳුන්වා දෙන ආකාරයත්, දෙවියන්ගේ අරමුණු මොනවාද කියාත් එක හා සමානව විස්තර කළ යුතුයි. නමුත් සිදු වන්නේ ඒකද?

එක් රෝමානු කතෝලික ආචාර්යවරයෙක් පැවසුවේ මිනිස් හැසිරීම ගැන සෑම ආගමකම යම් සමානකම් තිබෙනවා කියායි. උදාහරණයකට මිනි මැරීම, බොරු කීම, සොරකම් කිරීම, එකම පවුලේ සාමාජිකයන් සමඟ ලිංගිකව හැසිරීම කොයි ආගමේ වුණත් හෙළා දකිනවා. ඒ වගේම දෙමාපියන්ට ගරු කරන්නත් දරුවන්ට ආදරය හා රැකවරණය ලබා දෙන්නත් උගන්වනවා. නමුත් වෙනත් කාරණාවලදී මේ ප්‍රධාන ආගම් අතර විශාල වෙනස්කම් දකින්න ලැබෙනවා. ඉන් එකක් නම් දෙවි කවුද යන කාරණයයි.

හින්දු ආගමේ දෙවිවරුන් කෝටි ගණනක් අදහනවා. බෞද්ධයන් අතර දෙවි කෙනෙකුව විශ්වාස කරන අයත් එසේ නොකරන අයත් සිටිනවා. ඉස්ලාම් ආගමට අනුව සිටින්නේ එක දෙවි කෙනෙක් පමණයි. ක්‍රිස්තියානි ආගමේද සිටින්නේ එක දෙවි කෙනෙකු පමණයි කියා පැවසුවත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් එක දෙවියන් තුළ දෙවිවරු තුන්දෙනෙක් සිටින බව විශ්වාස කරනවා. ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් අතරද එකිනෙකට වෙනස් ඉගැන්වීම් දකින්න පුළුවන්. උදාහරණයකට කතෝලිකයන් මරියතුමීට නමස්කාර කළාට රෙපරමාදු ආගමේ අය එසේ කරන්නේ නැහැ. උපත් පාලනය කතෝලිකයන්ට තහනම්. නමුත් රෙපරමාදු අයට එය තහනම් නැහැ. සමලිංගික හැසිරීමේ වරදක් තිබෙනවාද නැද්ද යන කාරණය ගැන රෙපරමාදු අය අතරම එකඟතාවක් නැහැ.

එකිනෙකට පටහැනි විශ්වාසයන් රැසක් තිබෙන මේ සියලුම ආගම්වලින් මිනිසුන්ව එකම දෙවි කෙනෙකු වෙත යොමු කරනවා කියා සිතීම තර්කානුකූලද? නැහැ. ඒ වෙනුවට සිදු වන්නේ දෙවියන් කවුද, ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ කුමන ආකාරයේ නමස්කාරයක්ද යන කාරණා ගැන මිනිසුන් අතර සැක මෙන්ම පටලැවිල්ලක් ඇති වීම පමණයි.

එක්සත්කම ඇති කර තිබෙනවාද?

සියලුම ආගම් මිනිසුන්ව යොමු කරන්නේ එකම දෙවි කෙනෙකු වෙත නම් එය මේ ලෝකයේ සාමයට හේතු විය යුතුයි. නමුත් එසේ සිදු වී තිබෙනවාද? නැහැ. ආගම් මිනිසුන්ව එක්සත් කරනවා වෙනුවට බෙදීම් ඇති කර තිබෙන ආකාරය යුද්ධවලින් පැහැදිලි වෙනවා. උදාහරණ කිහිපයක් සලකා බලන්න.

ක්‍රිස්තියානීන්යයි කියාගත් ජාතීන් ක්‍රිස්තු වර්ෂ 1000ත් 1200ත් අතර කාලයේදී ඉස්ලාම් භක්තිකයන් සමඟ යුද්ධ කළා. යුරෝපයේ සිටි කතෝලිකයන් හා රෙපරමාදුවන් ක්‍රි.ව. 1600 ගණන්වලදී අවුරුදු 30ක් පුරා ඇන කොටාගත්තා. වර්ෂ 1947දී ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවාත් සමඟම හින්දු හා ඉස්ලාම් ආගමට අයත් මිනිසුන් දේශ සීමා සඳහා සටන් කරන්න පටන්ගත්තා. උතුරු අයර්ලන්තයේ සිටින කතෝලිකයන් හා රෙපරමාදුවන් මෑතක් වන තුරුම අවුරුදු ගණනාවක් පුරා මිනි මරාගත්තා. මැද පෙරදිග සිටින යුදෙව්වන් හා ඉස්ලාම් භක්තිකයන් මේ වන විටත් යුද්ධ කරමින් සිටිනවා. මේ සියල්ලටම වඩා ඉහත සඳහන් කළ ප්‍රධාන ආගම් පහ, දෙවන ලෝක මහා යුධ සමයේදී අතිමහත් ලේ කඳක් වැගිරූ අතර විරුද්ධ පාක්ෂිකයන් වූ තමන්ගේම ආගමේ අයව පවා මරා දැමුවා.

දැන් නිගමනය පැහැදිලියි! මේ ආගම් ලෝකයට සාමය ගෙනැවිත් නැහැ. එකම දෙවියන් වෙතට මිනිසුන්ව යොමු කරලත් නැහැ. ඒ වෙනුවට කර තිබෙන්නේ මිනිසුන් අතර බෙදීමක් ඇති කිරීම පමණයි. එමෙන්ම දෙවියන් කවුද, ඔහු කැමති කුමන ආකාරයේ නමස්කාරයකටද වැනි කාරණා ගැන මහත් පටලැවිල්ලක්ද ඇති කර තිබෙනවා. කෙනෙකුට සැබෑ දෙවියන්ව දැන හඳුනාගැනීමට ඕනෑ නම් ඔහු ලෝකයේ තිබෙන පැරණිම ආගමික පොතක් වන බයිබලයෙන් ඒ ගැන සොයා බැලීම අවශ්‍යයි.

තීරණයක් ගන්න!

ඔබ නමස්කාර කරන්නේ කාටද කියා තීරණය කළ යුත්තේ ඔබමයි. නමුත් ඊට පෙර ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න කියා බයිබලයේ උනන්දු කර තිබෙනවා. දෙවිගේ සේවකයෙක් වූ යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ මෙලෙසයි. “යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඔබ තුළ කැමැත්තක් නැත්නම් ඔබ නමස්කාර කරන්නේ කාටද කියා අදම තීරණය කරන්න. කැමති නම් ගඟෙන් එගොඩ ජීවත් වූ ඔබේ මුතුන්මිත්තන් නමස්කාර කළ දෙවිවරුන්ට නමස්කාර කරන්න. එහෙමත් නැත්නම් මේ දේශයේ කලින් ජීවත් වූ අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න. නමුත් මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.” ඉන් වසර ගානකට පසු එලියා නමැති අනාගතවක්තෘවරයාද නමස්කාර කරන්නේ කාටද කියා තීරණයක් ගැනීමේ වැදගත්කම ගැන පැවසුවේ මෙහෙමයි. “ඔබ තව කොපමණ කල් දෙගිඩියාවෙන් ඉන්නද හදන්නේ? යෙහෝවා සැබෑ දෙවි බව ඔබට විශ්වාස නම් ඔහුට පමණක් සේවය කරන්න. නමුත් බාල් [කානානිවරු ඇදහූ දෙවියෙක්] සැබෑ දෙවි කියා ඔබ සිතනවා නම් ඔබ ඔහුට සේවය කරන්න.”—යොෂුවා 24:15, 16; 1 රාජාවලිය 18:21; නව ලොව පරිවර්තනය, NW

ඉහත සඳහන් බයිබල් පදවලින් පෙනී යන්නේ සැබෑ දෙවිට නමස්කාර කරන්න කැමති අය ඒ සඳහා කැමැත්තෙන්ම තීරණයක් ගත යුතු බවයි. ඒ හා සමාන පද බයිබලය පුරාම දකින්න ලැබෙනවා. එදා මෙන් අදත් එහි වෙනසක් වී නැහැ. නමුත් නමස්කාරය සඳහා නිවැරදි තීරණයක් ගන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද? එමෙන්ම දෙවි අනුමත කරන නමස්කාරයේ යෙදෙන අයව හඳුනාගන්නේ කෙසේද?

ඔවුන්ගේ ක්‍රියාවලින් හඳුනාගන්න

දෙවි අනුමත කරන නමස්කාරයේ යෙදෙන මිනිසුන්ව හා එසේ නොකරන මිනිසුන්ව හඳුනාගැනීම ගැන යේසුස් පැවසුවේ මෙයයි. “මිනිසුන් කිසි කලෙක කටු ගස්වලින් මිදිවත් ගොකටුවලින් අත්තික්කා ගෙඩිවත් නෙළාගනීද? එසේම සෑම හොඳ ගසක්ම හොඳ පල දරයි. නමුත් සෑම නරක ගසක්ම නොවටිනා පල දරයි; හොඳ ගසකට නොවටිනා පල දරන්නවත් නරක ගසකට හොඳ පල දරන්නවත් නොහැක. . . . එබැවින්, ඔවුන්ගේ පලවලින් [ක්‍රියාවලින්] ඔබ ඒ මිනිසුන්ව ඇඳිනගන්නහුය.”—මතෙව් 7:16-20.

දෙවි අනුමත කරන නමස්කාරයේ යෙදෙන මිනිසුන් එකිනෙකාට ප්‍රේම කරයි. එය ඔවුන්ව හඳුනාගත හැකි එක් ක්‍රියාවක්. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:34, 35) මෙහි කතා කරන්නේ වචනවලට සීමා වූ ප්‍රේමයක් නොව ඕනෑම කෙනෙකුට පහසුවෙන් දැකගත හැකි ආකාරයේ කැපී පෙනෙන ප්‍රේමයක්.

අන් අයට ප්‍රේම කරන කෙනෙක් යුද්ධවලට සහභාගි වන්නේ නැහැ. ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වල එවැනි ප්‍රේමයක් දැකිය හැකිද? උදාහරණයකට, දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව කුමන තාඩන පීඩනවලට ලක් කළත්, කිසිම ආකාරයකින් යුද්ධයට හවුල් නොවුණේ ඔවුන් පමණයි. ඔවුන් ගැන ජර්මනියේ හිටපු රෙපරමාදු බිෂොප්වරයෙක් ලිව්වේ මෙසේයි. “නාට්සි පාලනය පැවති සමයේදී යුද්ධයට හවුල් වීම ප්‍රතික්ෂේප කළ එකම ආගමික කණ්ඩායම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පමණයි.” සාක්ෂිකරුවන් ලෝකයේ කොතැනක සිටියත් යුද්ධයට හවුල් නොවීම නිසා දඬුවම් ලබන්න ඔවුන්ට සිදු වුණත් ඊට හවුල් වුණේවත් එය අනුමත කළේවත් නැහැ.

දෙවි අනුමත කරන නමස්කාරයේ යෙදෙන අයව හඳුනාගත හැකි තවත් ක්‍රියාවක් ගැන යේසුස් ඉගැන්වූ යාච්ඤාවේ සඳහන් වුණේ මෙසේයි. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” මෙහිදී යේසුස් වැදගත්ම දෙය ලෙස සැලකුවේ යෙහෝවා යන දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීම මෙන්ම දෙවිගේ රාජ්‍යය මගින් මේ පොළොවට ගෙනෙන ආශීර්වාද ගැනයි. දෙවිගේ නාමය ගැනත් දේවරාජ්‍යය මිනිසාගේ ගැටලුවලට එකම විසඳුම බවත් මහජනයාට දන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පමණයි. මේ වන විට ඔවුන් රටවල් 236ක භාෂා 470කින් පළවන ප්‍රකාශන මගින් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරනවා.—මතෙව් 6:9, 10.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලන හා සමාජ මත වාදවලින් වැළකී සිටිනවා. ඒ ඔවුන් යේසුස්ව ආදර්ශයට ගන්නා නිසයි. යේසුස් පැවසුවේ මෙසේයි. ‘මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුන්ද ලෝකයේ කොටසක් නොවෙයි.’ ඊට අමතරව දෙවිගේ වචනය වන බයිබලය ගැන ඔවුන් සිතන්නේ මේ ආකාරටයි. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය [දෙවිගේ මඟ පෙන්වීම තුළින්ය]. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිගේ මිනිසා පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව සිටිනු ඇත.”—යොහන් 17:14, 17; 2 තිමෝති 3:16, 17.

සියලුම ආගම්වලට වඩා වෙනස්

ඉහත සඳහන් කළ ක්‍රියා ඔබට මතකද? ඒවා නම් එකිනෙකා කෙරෙහි තිබෙන ප්‍රේමය, දෙවිගේ නාමය විශුද්ධ කිරීමට තිබෙන කැමැත්ත, දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කිරීම, මේ ලෝකයේ කොටසක් නොවීම හා මුළු බයිබලයම දෙවිගේ වචනය ලෙස පිළිගැනීමයි. එම ක්‍රියා දෙවි අනුමත කරන නමස්කාරය තුළ දැකිය හැකියි. සාක්ෂිකරුවන් සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළ කාන්තාවක් සඳහන් කළේ මෙසේයි. “මම දන්න ගොඩාක් ආගම් අතර සමානකම් හුඟක් තියෙනවා. ඒත් ඔයාලගේ ආගම අනිත් ඒවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.”

සියලුම පාරවල් කෙළවර වන්නේ එකම තැනකින් කියා කියමනක් තිබුණත් සියලුම ආගම් මිනිසුන්ව යොමු කරන්නේ එකම දෙවි කෙනෙකු වෙතටද? ඉහත සඳහන් තොරතුරු සලකා බලන විට එය එසේ නොවන බව පැහැදිලියි. නමුත් සැබෑ දෙවිගේ කැමැත්තට අනුව කටයුතු කරන පිරිසක් සිටිනවාද? ඔව්, ලොව වටා සිටින ලක්ෂ 70කට වැඩි පිරිසක් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එසේ කරමින් සිටිනවා. ඔවුන් බයිබලයේ සඳහන් ඉගැන්වීම් වෙන කිසිම ආගමකට වඩා වැඩියෙන් පිළිගන්නවා. එමගින් මිනිසුන්ව දෙවි වෙතට යොමු කිරීමටත් විවිධ ජාති හා භාෂාවලට අයත් මිනිසුන්ව එක්සත් කිරීමටත් ඔවුන්ට හැකි වී තිබෙනවා. දෙවි වෙතට ළං වෙන්න හා එම එක්සත්කම අද්දකින්න ඔබ කැමතිද? ඔබ කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබට උපකාර කරන්න ආශාවෙන් සිටිනවා.

[14වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2004දී යුක්‍රේනයේ ඕතඩොක්ස් පූජකයෙක් නව හමුදා සෙබළුන්ට ආශීර්වාද කරයි

[හිමිකම් විස්තර]

GENIA SAVILOV/AFP/Getty Images

[15වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සියලුම ජනයාට දෙවි හා ඔහුගේ රාජ්‍යය ගැන පහදා දෙයි

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Page 12: Buddhist woman: © Yan Liao/Alamy; Hindu holy man: © imagebroker/Alamy; page 13: Man reading Koran: Mohamed Amin/Camerapix; Jewish man: Todd Bolen/Bible Places.com