Skip to content

පටුනට යන්න

දෙවි විටින් විට ප්‍රතිපත්ති වෙනස් කරනවාද?

දෙවි විටින් විට ප්‍රතිපත්ති වෙනස් කරනවාද?

දෙවි විටින් විට ප්‍රතිපත්ති වෙනස් කරනවාද?

යෙහෝවා දෙවි ගැන බයිබලයේ සඳහන් කරන්නේ “වෙනස් වන ඡායාවක් [සෙවනැල්ලක්] මෙන් ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත” කියායි. මෙය සනාථ කරමින් දෙවිම පවසන්නේ මෙසේයි. “මා යෙහෝවා දෙවිය. මම කිසිදාක වෙනස් නොවෙමි.” (යාකොබ් 1:17; මලාකි 3:6, නව ලොව පරිවර්තනය, NW) නිතරම වෙනස් වන සිතුවිලි ඇති මනුෂ්‍යයන්ට වඩා යෙහෝවා දෙවි කොතරම් විශ්වාසවන්තද!

එහෙත් බයිබලය කියවන සමහරුන් ඊට එකඟ වන්නේ නැහැ. ඔවුන් පවසන්නේ දෙවි අතීතයේ සිටි ක්‍රිස්තියානීන්ට ආශ්චර්යයවත් ක්‍රියා කිරීමට බලය දුන්නත් දැන් බලය දෙන්නේ නැහැ කියායි. එමෙන්ම අතීතයේදී එක් භාර්යාවකට වඩා විවාහ වීමට ඉඩ දුන්නත් දැන් එය තහනම් කර තිබෙනවා කියායි. එපමණක් නොව දෙවි මෝසෙස්ට දුන් නීතියට අනුව සබත් දවස පැවැත්වීම අත්‍යවශ්‍ය දෙයක් වුවත් දැන් එය පැවැත්වීම අවශ්‍ය නැහැ කියාත් ඔවුන් පවසනවා. ඉන් අදහස් කරන්නේ දෙවි ඔහුගේ තීරණ විටින් විට වෙනස් කරන බවද?

නැහැ. එසේ පැවසීමට හේතුව අපි දැන් සලකා බලමු. දෙවිගේ ප්‍රේමය හා යුක්තිය කිසිමදාක වෙනස් නොවන බව අපි මුලින්ම මතක තබාගනිමු. එමෙන්ම දෙවි ඔහුගේ රාජ්‍යය මගින් ඉටු කිරීමට නියමිත ඔහුගේ “සදාකාලීන අරමුණ” වෙනස් වෙන්නේද නැහැ. (එෆීස 3:11) නමුත් යම් අවස්ථාවලදී යෙහෝවා දෙවි තම සේවකයන්ගේ තත්වයන් වෙනස් වන විට ඒවා සැලකිල්ලට ගන්නවා. එවිට ඔහු තම අරමුණ වෙනස් නොකළත් ඒ ඒ තත්වයන්ට සරිලන ලෙස වෙනස් වෙනවා.

එය මෙසේ පැහැදිලි කළ හැකියි. මඟපෙන්වන්නෙක් සංචාරක පිරිසක් සමඟ ගමනක් යන විට අතරමඟදී අනතුරක් තිබෙන බව දකියි. ඔහු ගමන් මඟ වෙනස් කර වෙනත් පාරකින් ඔවුන්ව යා යුතු තැනට ගෙන යයි. ඒ හා සමානව යෙහෝවා දෙවි ඔහුගේ අරමුණු හා ප්‍රතිපත්ති වෙනස් නොකර තත්වයන්ට අනුව ඔහුගේ මඟ පෙන්වීම් සකස් කරයි. කෙසේවෙතත් දෙවෙනි ඡේදයේ සඳහන් කරුණු තුන දක්වමින් සමහරුන් පවසන්නේ යෙහෝවා දෙවි වෙනස් වන බවයි. අපි දැන් ඒවා එකින් එක සලකා බලමු.

ආශ්චර්යයවත් ක්‍රියා

අතීතයේදී යෙහෝවා දෙවි තම සේවකයන්ට ආශ්චර්යයවත් ක්‍රියා කිරීමට බලය දුන්නා. දෙවි එසේ කළේ ඇයි කියා අපි මුලින්ම සලකා බලමු. ආශ්චර්යයවත් ක්‍රියා කිරීමට දෙවි මෝසෙස්ට බලය දුන්නා. ඔහු මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතියව ඊජිප්තුවෙන් මුදාගත් දෙවි ඔවුන්ව පොරොන්දු දේශයට සුරැකිව ගෙන ගියේ තමා ඔවුන් සමඟ සිටින බව ඔප්පු කිරීමටයි. දෙවි මේ සියල්ල කළත් අවසානයේදී ජාතියක් වශයෙන් ඊශ්‍රායෙල්වරුන් දෙවිට ද්‍රෝහි වුණා. ඉන්පසුව යෙහෝවා දෙවිත් ඊශ්‍රායෙල් ජාතියව අත්හැර ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වා. ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි ක්‍රස්තියානි සභාවේ මුල් සාමාජිකයන්ටත් ආශ්චර්යයවත් ක්‍රියා කිරීමේ බලය දුන්නා. උදාහරණයකට උපතෙන්ම කොරව සිටි මිනිසෙක්ව යේසුස්ගේ මුල් ගෝලයන් වන පේතෘස් සහ යොහන් සුව කළා. ඒ වගේම පාවුල්ද මිය ගිය පුද්ගලයෙක්ව නැවත නැඟිට්ටෙව්වා. (ක්‍රියා 3:2-8; 20:9-11) මෙවැනි ආශ්චර්යයන් නිසා බොහෝදෙනෙක් ක්‍රිස්තු ධර්මය පිළිගත්තා. එමනිසා ක්‍රිස්තියානි සභාව ව්‍යාප්ත වුණා. එසේනම් යෙහෝවා දෙවි දැන් එසේ කිරීමට බලය නොදෙන්නේ ඇයි?

පාවුල්ම එම ප්‍රශ්නයට පිළිතුරක් සැපයුවා. “මම බිලිඳෙකුව සිටියදී, බිලිඳෙකු මෙන් කතා කළෙමි. බිලිඳෙකු මෙන් සිතුවෙමි. බිලිඳෙකු මෙන් කල්පනා කළෙමි. නමුත් දැන් මා වැඩිහිටියෙකු වී සිටින හෙයින්, මම බිලිඳෙකුගේ ගතිලක්ෂණ අත්හැර දමා සිටිමි.” (1 කොරින්ති 13:11) දෙමාපියන් බිලිඳෙකුට සලකන ආකාරයට නෙවෙයි වැඩිහිටි දරුවෙකුට සලකන්නේ. ඒ හා සමානව යෙහෝවා දෙවි ක්‍රිස්තියානි සභාවේ මුල් අවදියෙදී කටයුතු කළ ආකාරයටම නොවෙයි දැන් එය සමඟ කටයුතු කරන්නේ. එමෙන්ම පාවුල් තවදුරටත් පැවසුවේ ආශ්චර්යයවත් ක්‍රියා කිරීමේ හැකියාව “නැති වන්නේය” කියායි.—1 කොරින්ති 13:8.

විවාහය සඳහා දුන් නීතිය

මුල් මිනිස් යුවළට විවාහය සඳහා යෙහෝවා දෙවි දුන් ප්‍රමිතිය යේසුස් මෙසේ පැවසුවා. ‘මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඒ දෙදෙනා එක මාංසයක් වන්නෝය.’ (මතෙව් 19:5) ඉන් පෙනී යන්නේ විවාහය දෙදෙනෙක් අතර පමණක් සිදු වන දිගුකාලීන බැඳීමක් විය යුතු බවයි. නමුත් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට තම නීතිය දීමට පෙර සිට බහු විවාහය පුරුද්දක් වී තිබුණා. එයින් පැහැදිලි වෙන්නේ දෙවි එයට ඉඩ දුන්නත් එය ආරම්භ කළේවත් එයට අනුමැතිය දී තිබුණේවත් නැති බවයි. පසු කලෙක ක්‍රිස්තියානි සභාව පිහිටෙවූ අවස්ථාවේ දෙවි එය සම්පූර්ණයෙන්ම තහනම් කළා.—1 තිමෝති 3:2.

සමහර දේවල් වැරදි වුණත් යෙහෝවා දෙවි ඒවා නිවැරදි කරන්නේ ඔහුගේ නියමිත වෙලාවටයි. (රෝම 9:22-24) යෙහෝවා දෙවි තම ප්‍රමිතියට වෙනස් විවාහයකට තාවකාලිකව ‘ඉඩ දුන්නෙත්’ ඊශ්‍රායෙල්වරුන්ගේ “සිත්වල දැඩිකම” නිසාය කියා යේසුස් පැහැදිලි කළා.—මතෙව් 19:8; හිතෝපදේශ 4:18.

සබත් දිනය සඳහා දුන් නීතිය

යෙහෝවා දෙවි සබත් නීතිය ඇති කළේ ඔහු ඊශ්‍රායෙල් ජාතියව ඊජිප්තුවෙන් නිදහස් කළාට පසුවයි. එය මෝසෙස්ට දුන් නීතියේ කොටසක් වුණා. (නික්මයාම 16:22-30; 20:8-10) එසේනම් දැන් එය නොපවත්වන්නේ ඇයි? පාවුල් ඒ ගැන පැවසුවේ යේසුස් ඔහුගේ ජීවිත පූජාව මගින් ‘නියෝගවලින් සමන්විත ආඥා අඩංගු නීතිය නැති කර දමා’ “අතින් ලියන ලද ලියවිල්ල මකා දැම්මේය” කියායි. (එෆීස 2:15; කොලොස්සි 2:14) මෝසෙස්ට දුන් නීතිය අහෝසි වූ අවස්ථාවේදී සබත් නීතියත් අහෝසි වුණා. බයිබලයේ ඒ ගැන පවසන්නේ මෙසේයි. “එබැවින්, කෑම බීම ගැනවත්, මංගල්‍යයක් ගැනවත්, අමාවක හෝ සබත් දවසක් පැවැත්වීම ගැනවත් ඔබව විනිශ්චය කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.” (කොලොස්සි 2:16) එසේනම් තාවකාලිකයි කියා දැන දැනත් යෙහෝවා එවැනි නීති දුන්නේ ඇයි?

“නීතිය අපව ක්‍රිස්තුස් ළඟට ගෙන යන අපේ උපදේශකයා බවට පත් වී තිබේ” කියාත් “දැන් ඇදහිල්ල පැමිණ තිබෙන නිසා, අපි තවදුරටත් උපදේශකයෙකු යටතේ නොසිටින්නෙමු” කියාත් පාවුල් ලිව්වා. (ගලාති 3:24, 25) දෙවිගේ නමස්කාරයට අයත් දේවල් ගැන නිතිපතා සිත යොමු කළ යුතු බව ජනයාට ඉගැන්වීමටයි දෙවි සබත යොදාගත්තේ. එය තාවකාලික වුණත් එම සැලැස්ම යෙදුවේ මිනිසාට සදාකාලික ප්‍රයෝජන ලැබෙන කාලයක් ගැන යොමු දැක්වීමටයි.—හෙබ්‍රෙව් 4:10; එළිදරව් 21:1-4.

ප්‍රතිපත්ති වෙනස් නොකරන දෙවි කෙනෙක්

ඉහත උදාහරණවලින් පෙනී ගියේ යෙහෝවා දෙවි තම සෙනඟගේ අවශ්‍යතාවන්ට අනුව දිය යුතු මඟ පෙන්වීම් වෙනස් කළේ ඔවුන්ගේම යහපත උදෙසා බවයි. නමුත් ඔහු ප්‍රතිපත්ති වෙනස් කළේ නැහැ. ඒ අනුව දෙවි අදටත් වෙනස් වී නැහැ.

ඔහු ප්‍රතිපත්ති වෙනස් නොකරන දෙවි කෙනෙක් නිසා ඔහුව සතුටු කිරීමට අප කළ යුතු දේ ගැන සැකයක් තබාගන්න එපා. ඊට අමතරව දෙවිගේ පොරොන්දු සියල්ල ඉටු වන බවටත් ස්ථිර විය හැකියි. ඒ ගැන දෙවිම පවසන්නේ ‘මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි. මම අරමුණු කළ ලෙසම කරමි’ කියායි.—යෙසායා 46:10, 11.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවිගේ ප්‍රේමය හා යුක්තිය කිසිමදාක වෙනස් වන්නේ නැහැ

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පාවුල් පැවසුවේ ආශ්චර්යයවත් ක්‍රියා කිරීමේ හැකියාව “නැති වන්නේය” කියායි

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

විවාහය දෙදෙනෙක් අතර පමණක් සිදු වන දිගුකාලීන බැඳීමක්